ඉතිහාසය යනු සහමුලින් ම අතීතය නො වේ. අතීතයේ යම් යම් දේවල් ඉතිහාසය නිවැරදිව කීව ද අතීතයේ සියලූ දෙය ම ඉතිහාසය නිවැරදිව කියන්නේ නැත. අතීතය එ් එ් යුගවල දිවි ගෙවූවන්ට අයත් වීමත්, ඉතිහාසය එකී ඉතිහාස පුවත් ලියූවන්ට අයත් වීමත් මෙයට හේතුවයි. අතීතයට හාත්පසින් ම වෙනස් ඉතිහාසයක් වුව ගොඩනගන්නට ඉතිහාස පුවත් ලියා දක්වන්නවුන්ගේ මතවාද සමත් වේ.

එහෙත්…. එක ම යුගයක් තුළ ශිෂ්ටාචාරයන් ගණනාවක් පුරා එක ම අතීත පුවත කියැවෙන විට ඉන් එක රටකට වුවමනා වූ පමණින් එ් අතීතය වළලා දැමිය නො හැකි ය. එ් සියලූ ශිෂ්ටාචාරයන් යටත් විජිත බවට පත් කරගෙන, ඔවුන්ගේ අතීතයට වඩා වෙනස් වූ ඉතිහාස පුවතක් ජන සම්මත කරවා, එකී පුවත ම සත්‍යය වේ යැයි එ් ජන සමූහයාගේ පිළිගැනීමට ලක් වනතුරු බලය යෙදවීමෙන් ම මිස රටවල් ගණනාවකට නෑකම් කියන අතීතයක් වෙනස් කළ නො හැකි ය. එනිසා සරලව කිව හැක්කේ එය කළ නො හැක්කක් බවයි.

එහෙත් අවශ්‍ය නම් අදාළ රට තුළ අතීතයට වෙනස් වූ යම් පමණක ඉතිහාසයක් ගොඩ නගන්නට පුළුවන්කම තිබේ. තමන්ට රුචි වූවන් අතිශයෝක්තියට නැගීමෙන් ද අරුචි වූවන් සුළු කොට දැක්වීමෙන් ද ස්වකීය මතවාදයන් ඉතිහාසය තුළ පිළිගැනීමකට බඳුන් කරවීමෙන් ද එය කළ හැකි ය. නමුත් එය සැබෑ අතීතයට කරනා අවමානයකි. එ් අවමානය සිදුකරන ලද රටක් වශයෙන් අපේ අසල්වැසියන් හඳුනාගැනීමේ වරදක් නැත. මන්ද අතීතය අමතක කර ඔවුන් ඉතිහාසය ගොඩනගන්නට දැවැන්ත උත්සාහයන් සියවස් ගණනාවක් පුරා දරනු ලැබූ නිසා ය.

ඉන්දියානු ඉතිහාසයෙන් ඉන්දියානු අතීතයේ ස්වර්ණමය යුගයන් අමතක කරද්දී වැඩියෙන් ම පහර වැදුණේ බෞද්ධ දර්ශනයට සහ බෞද්ධ රජවරුන්ට ය. බුදු දහම ඉන්දියාවෙන් තුරන් කරන ලද්දේ නම් ‘‘බෞද්ධ රජවරු හා සම්බන්ධ ඉතිහාසය වළලා දැමී ය” යන කාරණය ගැන පුදුම වන්නට දෙයක් නැත. රටේ සතර දිග්භාගයේ අණසක පැතිරවූ අධිරාජයන් පිළිබඳ අතීතය පවා ඔවුන් බොදුනුවන් වීමේ හේතුව නිසා ම යටපත් කළ රටක අවශේෂ බෞද්ධ ප‍්‍රාදේශීය රජවරුන්ගේ අතීතය ගැන කවර කතා ද?

පුරාණ දඹදිවෙහි පැතිර ගත් අසහාය ධර්ම සම්ප‍්‍රදාය වූ සුගත තථාගත මුනි දහම හා සබැඳුනු සුවිශේෂී පුණ්‍යභූමි පිළිබඳ හෙළිදරව්වක් මහාමේඝ පොසොන් කලාපයෙන් එළිදක්වන්නට අපි සමත් වූවෙමු. ඉන්දියානු ඉතිහාසය තුළ නො සලකා හැරුණු බෞද්ධ දර්ශනය සහ බෞද්ධ රජවරුන් ගැන අතිශය වැදගත් තොරතුරු බොහෝමයක් අපට මුණ ගැසුණේ භාරතීය බුද්ධභූමි ගැන ගවේෂණයේ යෙදී සිටිය දී ය. එ් තොරතුරු දැනගන්නා විට ඉන්දියානු ඉතිහාසය මේ පුවත් වසන් කරන්නේ කවර අරමුණකින් ද යන ප‍්‍රශ්නය අපට ඇති විය. මේ සටහන එකී ප‍්‍රශ්නයට පිළිතුරු සොයා අප කළ ගවේෂණයේ ප‍්‍රතිඵලයයි.

බුදු දහම හා ඉන්දියානු රජවරු

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ විසූ සමයේ දඹදිව රාජ්‍ය පාලනය කළ රජවරු ගැන ත‍්‍රිපිටක මූලාශ‍්‍රවලින් තොරතුරු මුණ ගැසේ. ඉන්දියානු රාජධානි පිළිබඳව සවිස්තරාත්මක කරුණු බොහෝමයක් මුණ ගැසෙන්නේ ව්‍යවහාරික වර්ෂ පූර්ව හයවන සියවසේ සිට ය. සම්බුදු දහමත්, ජෛනාගමත් දඹදිව පහළ වූයේ එ් සියවස තුළයි. මගධයේ බිම්බිසාර රජුත්, ඔහුට පසුව රජ පැමිණි අජාසත් රජුත් එකල සොලොස් මහා රාජධානි අතර මගධය ප‍්‍රබල රාජ්‍යයක් බවට පත් කරලන්නට සමත් වූහ. එසේ ම පසේනදී කෝසල රජු විසින් පාලනය කළ කෝසල රාජ්‍යය ද බුද්ධකාලීනව ප‍්‍රසිද්ධියක් ඉසිලීය.

බිම්බිසාර රජුගෙන් ඇරඹි මගධ රාජ පරපුරෙන් පසුව ව්‍යවහාරික වර්ෂ පූර්ව 413 දී පමණ ශිශුනාග රජ පරපුරත්, ව්‍යවහාරික වර්ෂ පූර්ව 368 දී පමණ නන්ද රාජ පරපුරත් රාජ්‍යත්වය හෙබවූහ. ව්‍යවහාරික වර්ෂ පූර්ව 321 දී පමණ මෞර්ය අධිරාජ්‍යය අරඹමින් බලයට පත් වූ චන්ද්‍රගුප්ත අධිරාජයාගේ පාලනය පටන් ගැණුනේ නන්ද රාජ පරම්පරාවේ මහා පත්මනන්ද රජුව පරාජයට පත් කිරීමෙනි. මෞර්ය අධිරාජ්‍යය ගංගා නිම්නයත්, ඉන්දියාවේ වයඹදිග ප‍්‍රදේශයත්, බටහිර හා මධ්‍යම ඉන්දියාවත්, ඩෙකානය හා ඇෆ්ගනිස්ථානයේ කොටස් කීපයක් දක්වාත් පුළුල්ව විහිද ගිය මහා රාජ්‍යයක් ම විය. මේ මායිම සිව්දිගින් ම ව්‍යාප්ත කරමින් පුරාණ භාරතය තුළ මහා අධිරාජ්‍යයක් බිහි කරන්නට සමත් වූයේ සුප‍්‍රකට අශෝක අධිරාජයා ය.

අශෝක අධිරාජයාගෙන් පසුව කුෂාණ රාජ වංශයත්, පළමුවැනි චන්ද්‍රගුප්ත රජුගෙන් ඇරඹි ගුප්ත රාජවංශයත් බුදු දහමේ උන්නතිය උදෙසා කැපී පෙනෙන දායකත්වයක් දක්වා ඇත. දැනට ඉතිරිව පවත්නා දඹදිව සිද්ධස්ථාන පුරාවට මෙකී රජවරුන් හා බුදු දහම අතර වූ සබැඳියාව පෙන්වා දෙන්නේ වුව ද ඉන්දියානු ඉතිහාසය එය හෙළිදරව් කරන්නේ නැත.

බුද්ධ භූමිය සඟවාලූ උපායශීලී කුමන්ත‍්‍රණ

සම්බුදුරජාණන් වහන්සේ අසූ වයස් ජීවිත කාලයක් පුරා සේවනය කරනා ලද බුද්ධ භූමීන්ගෙන් බහුතරයක් අයත්ව තිබෙන වත්මන් ඉන්දියාවේ 2001 වසරේ බෞද්ධ ජනගහනය එරට මුළු ජනගහනයෙන් 1.5%ක් පමණක් විය. සම්බුදුරජාණන් වහන්සේගේ ජාතචේතිය පිහිටි නේපාලයේ එම අගය 10% ඉක්මවන්නේ යන්තමිනි.

ව්‍යවහාරික වර්ෂ හතරවන සියවසේ චීන ජාතික දේශාටකයෙකු වූ ෆාහියන් ස්වාමීන් වහන්සේ දඹදිව බුද්ධ භූමි වන්දනා කරන විට ද බුද්ධගයාව හැරුණු කොට සම්බුදු සිරිතේ අති පූජනීය ම සිද්ධස්ථානයන් වූ ලූම්බිණිය, බරණැස ඉසිපතනය හා කුසිනාරාව ජනශූන්‍යව පැවතුණි. ව්‍යවහාරික වර්ෂ හත්වන සියවසේ චීන ජාතික හියුංසියැං ස්වාමීන් වහන්සේ මෙකී පුණ්‍ය භූමි කරා වැඩම කරවන විට හතරවන සියවසේ තිබුණාටත් වඩා පාළුවට ගොස් ජනශූන්‍ය වී මෙම සිද්ධස්ථාන පැවතුනා පමණක් නො ව බොහෝ ශ්‍රී විභූතීන් අතුරුදන්ව එ් සිද්ධස්ථානවල වූ ඉදිකිරීම් නටබුන්ව ද පැවතුණි. ඉතිහාසඥයන් පෙන්වා දෙන ආකාරයෙන් එකොලොස්වන සියවසේ මෝගල් ආක‍්‍රමණ සිදු වීමෙන් පමණක් ඉන්දියාවේ බුදු සමය පිරිහුණේ යැයි පිළිගත නො හැක්කේ මේ නිසා ය. ඊට සියවස් ගණනකට පෙර පටන් ම සම්බුද්ධ දේශය ඉතිහාසයෙන් සඟවා තැබීමේ මෙහෙයුම් දියත් කෙරුණු බව නිසැක ය. එ් මෙහෙයුම් සෑමවිට ම යුද්ධයවත්, හිංසනයවත්, ආක‍්‍රමණයවත්, බලය යෙදවීමවත් නො වී ය; ඉතාම උපායශීලීව ක‍්‍රියාවට නැන්වුණ දේශපාලන වටපිටාවක් මේ සමස්ත ක‍්‍රියාදාමය තුළ ම අන්තර්ගත විය.

ඉන්දියානු ඉතිහාසය තුළ බෞද්ධ ඉන්දියාවක් ගැන කතා කෙරෙන්නේ ම නැත. ඔවුන් පිළිගන්නා පරිදි පුරාතන ඉන්දියාව යනු හින්දු දර්ශනය ප‍්‍රබල වූ ඉන්දියාවයි. අනතුරුව මුසල්මානු ආක‍්‍රමණ ප‍්‍රබල වූ යුගය වැඩවසම් ඉන්දියාවයි. ඊටත් පසුව බි‍්‍රතාන්‍ය යටත්විජිතයක් වූ යටත්විජිත ඉන්දියාව නූතන නිදහස් ඉන්දියාවට පෙර පැවති යුගය ලෙස ගෙනහැර දක්වයි. එහෙත් කිසිදු අවස්ථාවක ලොව පුරා පැතිර ගිය විශ්වීය ධර්ම සම්ප‍්‍රදායක් බවට පත් විය යුතු ගුණයෙන් අනූන වූ බුදු දහම කේන්ද්‍ර කොට ගත් ඉතිහාසයක් ඉන්දියාවේ තිබුණ බව සඳහන් කෙරෙන්නේ නැත.

බෞද්ධ සම්ප‍්‍රදායන් ස්වකීය රාජ ධර්මය බවට පත්කරගෙන අධිරාජ්‍යයක් ගොඩනැගූ ධර්මාශෝක රජු ගැන ඉන්දියානු ඓතිහාසික ලේඛන කථා කරන්නේ නැත. සංරක්ෂිතව තිබෙන බ‍්‍රාහ්මණික ලේඛන ඉන්දියාවේ බෞද්ධ රජවරුන් හට දක්වා තිබෙන්නේ අවමන් සහගත සැලකිල්ලකි. අශෝක අධිරාජයා ගැන කිසිවක් නො කියන එම ලේඛන පසුකාලීනව බුදු දහමේ උන්නතිය පිණිස කටයුතු කළ ගුප්ත රාජවංශය ගැන ද කථා කරන්නේ ඉතා ස්වල්පයකි.

ධර්මයට එරෙහි වූ අධර්මය

හියුංසියැං ස්වාමීන් වහන්සේ බුද්ධභූමි වන්දනා කිරීම පිණිස පුරාණ භාරතයට ඇතුළු වන්නේ වයඹ දිග ප‍්‍රදේශයෙනි. නූතනයේ එම පෙදෙස ඇෆ්ගනිස්ථානයට අයත් ය. එ් කාලය වනවිට ගන්ධාරයත්, තක්ෂිලාවත් බෞද්ධ ශ‍්‍රාවකයන් වහන්සේලා වැඩ සිටි බුද්ධභූමීන්ව පැවතිණි. එහෙත් බුද්ධකාලීනව කෝටි පහක මඟඵලලාභී ශ‍්‍රාවක පිරිසක් වාසය කළ, සම්බුදුරජාණන් වහන්සේ විසිහතර වරක් වස් වාසය කළ සැවැත්නුවර බොදුනුවන්ගෙන් හිස්ව තිබිණි. කපිලවස්තුව නටබුන්ව, ජනශූන්‍යව පැවති අතර සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාව ජෛන හා ශිව සම්ප‍්‍රදායන්ගෙන් වැසී ගොස් තිබුණි. අද දෙමළ නිජබිමක අයිතිය කියමින් අපට නොයෙකුත් අකටයුතුකම් කරන තමිල්නාඩුව එකල බෞද්ධ විහාරස්ථාන සිය ගණනකින් යුතු වූ ප‍්‍රදේශයක් විය.

මේ කරුණු කාරණා සලකා බලන විට කිසිසේත් නො සලකා හැරිය නො හැකි, ඉන්දියාවෙන් බුදු දහම තුරන්ව යාමට සෘජුව ම බලපෑවේ යැයි ගෙන හැර දැක්විය හැකි කාරණාවක් පෙනී යයි. එනම් සම්බුද්ධ දර්ශනය ඉන්දියාවේ පැවතිය දී ම බෞද්ධ ලෝකය තුළ මහත් හරසරට එ්කාන්තයෙන් ම බඳුන්වන බුද්ධභූමීන් ජනශූන්‍ය තත්ත්වයට, නටබුන් බවට හෝ අන්‍යාගාමික සිද්ධස්ථානයන් බවට පත් කරගෙන තිබූ බවයි. ඉන්දියාවේ බෞද්ධ අතීතය වළලා දැමීමේ පළමු පියවර වන්නට ඇත්තේ එයයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් කිහිපයක් ගතවන කල්හි ලූම්බිණිය, බුද්ධගයාව, ඉසිපතනය හා කුසිනාරාව යන සතර සංවේග ස්ථානයන් බෞද්ධ ලෝකයෙන් බැහැර කොට හුදෙකලා කරවන්නට ඔවුන් සමත් විය.

ලෝක ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූ සම්බුදු දහමේ උපත එ් අසිරිමත් කාරණය පණ නැගුණු බිම තුළ ම මෙතරම් රහස්‍ය භාවයට, සඟවා තැබීමකට ලක් වූයේ ඇයි? මේ පැනයට සෘජුව ම දිය හැකි පිළිතුරක් තිබේ. සම්බුද්ධ දර්ශනය වනාහි මිථ්‍යා දෘෂ්ටීන්ගෙන් වැසී ගොස් තිබුණු ජම්බුද්වීපයේ පහළ වූ මහා ප‍්‍රඥ ආලෝකයයි. එතෙක් ජම්බුද්වීපයේ අසීමිත බලතල පතුරුවාලූ බ‍්‍රහ්මණ දර්ශනයට සම්බුදු දහම එක එල්ලේ යොමු වූ මහා අභියෝගයක් ම විය. එයට හේතුවක් තිබේ. බ‍්‍රාහ්මණයන් ස්වකීය වේද ශාස්ත‍්‍රයන් හරහා සමාජය තුළ අද්විතීය භාවයක් තහවුරු කරගෙන සිටියහ. ඔවුහු රජකම ප‍්‍රතික්ෂේප කළ ද රජුන් පාලනය කිරීම ප‍්‍රතික්ෂේප කළේ නැත. එනිසා ක්ෂත‍්‍රීය වංශික රජවරුන් හරහා ද ක‍්‍රියාවට නැගුණේ බමුණු සංකල්පයන් ම ය. බ‍්‍රාහ්මණයන්ට තමන් කැමති වූ ආකාරයකින් අන්‍යයන් මැඩ පවත්වන්නට හැකි වූයේ මේ හරහා ය.

එහෙත් සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරම අවිහිංසාවාදී වූ සද්ධර්මය හමුවේ එ් බමුණු මත එක පිට එක බිඳ වැටෙන්නට විය. එ් තාක් බමුණු මත හමුවේ සමාජයීය වශයෙන් කොන් කිරීම්වලට ලක් වූවන් මානව විමුක්තිය පිළිබඳව උපන් මහත් කැමැත්තෙන් සම්බුද්ධ දර්ශනය පිළිගන්නට ඇතිවාට සැක නැත. ස්වකීය දර්ශනය හරහා සමාජය තුළ ගොඩනගාගත් මහා ප‍්‍රතිරූපයක් සහිත වූ බ‍්‍රාහ්මණයන් හමුවේ බුදු දහම කැරලිකාරයෙකු වූයේ ඒ අයුරිනි. සම්බුද්ධ දර්ශනය ලොව පහළ වූ යුගයේ එයට වඩාත් එරෙහි වන්නට ඇත්තේ ද බ‍්‍රාහ්මණයන් ම ය. කුලහීනයන් මහත් ආදරයෙන් සම්බුදු දහම වැළඳ ගත්තේ යම් සේ ද එ් සා අනාදරයෙන් ම බ‍්‍රාහ්මණයන් සම්බුදු දහම පිළිකුල් කරන්නට ඇත. නුවණැති වූ, පිනැති වූ බ‍්‍රාහ්මණ පිරිස් මිසක අන්‍යයන් බුදු දහම එකහෙළා පිළිගත්තේ නැත. ඔවුන්ගේ සිත්හි සම්බුදු දහම කෙරෙහි නිසැක ද්වේෂයක් පවතින්නට ඇත.

රාජ්‍ය බලය යොදා කළ මර්ධන

බුද්ධකාලීනව වැඩ විසූ මහා පුරුෂයන්ගෙන් ශාසනය හිස් වනවිට එ් තාක් සම්බුදු දහම හමුවේ ස්වකීය මාන්නයට වැදුණු පහර අමතක කළ නො හැකිව සිටි, දණ්ඩෙන් පහර ලද සර්පයන්ව කිපී සිටි බ‍්‍රාහ්මණයන් උපායශීලීව යළිත් බමුණු දහම ස්ථාපිත කරවන්නට වැර වෑයම් දැරූ බවට සැකයක් නැත. සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් කිහිපයක් ගෙවී යන කල ක‍්‍රමිකව ඇති කරන ලද මේ උත්සාහයන් හමුවේ ඇති වූ දේශපාලන ප‍්‍රවණතා සම්බුදු සසුනට හිතදායී වූයේ නැත. රජවරුන් බෞද්ධයන් වීම නිසා බුදු සසුනට සැලසුන රාජානුග‍්‍රහය පැහැර ගැනීමට අබෞද්ධයන් රාජ්‍යත්වයට පත් කිරීම මේ උපක‍්‍රමයේ මූලික අංගයක් විය.

මෞර්ය රාජ වංශයේ අවසාන රජු ඝාතනය කොට රාජ්‍ය බලය උදුරා ගත් පුෂ්‍යමිත‍්‍ර බ‍්‍රාහ්මණ වංශිකයෙකි. ක්ෂතී‍්‍රය වංශික බෞද්ධ රජවරුන් දඹදිව මධ්‍ය දේශය පුරා නිර්මාණය කර තිබූ බෞද්ධ පසුබිම ස්වකීය රාජ්‍ය බලය යොදාගෙන විනාශ කරන්නට ඔහු මුල පිරුවේ ය. මේ කාලය තුළ බෞද්ධ විහාරාරාම රාශියක් ගිනිබත් කෙරුණු අතර ‘මුඩු මහණුන්’ යැයි බමුණන්ගේ ගැරහීමට බඳුන් වූ උගත්, සිල්වත් ස්වාමීන් වහන්සේලා ඝාතනය කෙරිනි. මේ ව්‍යසනයෙන් ගැලවී ගත් ස්වාමීන් වහන්සේලා ආරක්ෂාව පිණිස බුද්ධ දේශයෙන් බැහැරට ගමන් ගත්හ.

ව්‍යවහාරික වර්ෂ හයවන සියවසේ දී මිහිරකුල නම් රජු මගධ දේශය ආක‍්‍රමණය කොට දහස් ගණන් උගත් ස්වාමීන් වහන්සේලා ද දහස් ගණන් ධර්ම පුස්තකයන් ද වැඩ විසූ නාලන්දාව සහමුලින් ම පාහේ විනාශ කළේ ය. බෞද්ධ සම්ප‍්‍රදායේ මර්මස්ථානයක් එලෙස සම්පූර්ණයෙන් විනාශ කිරීමෙන් පසු ඉන්දියාව තුළ යළි නැගී සිටීමට බෞද්ධ දර්ශනය සතු වූ අවකාශය අතිශයින් සීමිත විය. පසුව රජ පැමිණි රාෂ්ට‍්‍රකූට ආදි රාජ වංශයන් ඉතිරිව තිබූ බෞද්ධ වෙහෙර විහාර බිඳ හෙළා එ් මත ස්වකීය ආගමික සිද්ධස්ථාන ඉදි කළහ. මෙලෙස සියවසින් සියවසට ඉන්දියාවේ බෞද්ධ මුහුණුවර අතුරුදන් කෙරෙද්දී එ් හා සමඟ ම ලිඛිත සාහිත්‍යයක් ද ගොඩනැගුන අතර එ් හරහා ඉස්මතු වූයේ කවර කලෙකත් ඉන්දියාව බ‍්‍රාහ්මණ දහම මූලික කරගෙන පැවති රටක් බව ය. අදටත් ඉන්දියාවේ ලිඛිත ඉතිහාසය මත පදනම්ව පුරාණ ඉන්දියාව දෙස බලන්නේ නම් බෞද්ධ මුහුණුවරක් සොයාගත නො හැක්කේ මේ නිසා ය.

එකොලොස්වන සියවසෙන් පසුව ඉන්දියාවට මුස්ලිම් ආක‍්‍රමණ ඇති වූ අවස්ථාවේ විපතට පත් හින්දු අනුගාමිකයන්ට සහන සලසාලන්නට ඉදිරිපත් වූ පාලකයෝ විපතට පත් බෞද්ධ ජනයා නො සලකා හැරි බවට සාධක තිබේ. ආක‍්‍රමණ අතරතුර පමණක් නො ව නිදහස් පාලන තන්ත‍්‍රයන් පැවතිය දී පවා රාජ්‍ය පාලකයන් බෞද්ධයන් නො සලකා කටයුතු සිදු කළහ. එයට හේතු වූයේ රාජ්‍ය පාලනයෙහි ලා ශූර උපායන් පෙන්වා දෙමින් රජුගේ පුරෝහිතයන් වශයෙන් කටයුතු කළේ බෞද්ධ විරෝධි වූ බ‍්‍රාහ්මණයන් වීමයි. භික්ෂූන් වහන්සේලා කිසි ලෙසකින්වත් සෘජු ලෙස රාජ්‍ය පාලනයට මැදිහත් නො වූහ. රජු විසින් අපේක්ෂිත ධාර්මික අනුශාසනාවන් සිදු කළ මිසක උන් වහන්සේලා රාජ්‍ය බලය පවත්වා ගැනීම පිණිස රජුට උපස්තම්භ වූයේ නැත. මේ නිසා ම බලලෝභී රජවරුන් හට ස්වකීය දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමෙහි ලා වඩාත් වැදගත් වූයේ බ‍්‍රාහ්මණයන් සහ බමුණු දහම අදහා ගත්තවුන් ය. රජය විසින් ජනතාව උදෙසා ඉඩම්, සහනාධාර ආදිය ලබා දෙද්දී පවා බමුණු දහම පිළිගත් ජනයා වැඩි වරප‍්‍රසාද ලැබූහ.

අහෝ…. බුද්ධ දේශය නො දත් බුද්ධ දේශයේ මිනිසුන්….!

මෙලෙස දේශපාලනික හා සමාජයීය වශයෙන් බෞද්ධ දර්හනයට පහර වැදීමේ ප‍්‍රතිඵලයන් ලෙස භාරතය තුළ බුදු දහමේ පැවැත්ම අවිනිශ්චිත වූ අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා එ් වන විට බුදු දහම මුල් බැසගෙන තිබූ ප‍්‍රත්‍යන්ත දේශ කරා ගමන් කළහ. බෞද්ධ සිද්ධස්ථාන අන්‍යාගමිකයන් විසින් ස්වකීය පූජ්‍යස්ථාන වශයෙන් පෙනුමෙන් ද ක‍්‍රියාවෙන් ද වෙනස් කොට ගත්හ. එසේත් නැති නම් කිසිවෙකුගේ සැලකිල්ලට බඳුන් නො වීම නිසා ම වල් බිහිවී, ගරා වැටී, නටබුන් බිහි විය. මුස්ලිම් ආක‍්‍රමණිකයන් බෞද්ධ වෙහෙර විහාර වනසා දමන විට බෞද්ධයන් විසින් ම ඇතැම් සිද්ධස්ථාන පසු කඳුවලින් වසා දමන ලද්දේ පසුකලෙක යළි එළි පෙහෙලි කරගන්නා අරමුණෙන් විය යුතු ය. එහෙත් යළි කිසිකලෙක ඔවුන්ට එකී සිද්ධස්ථානයන් පමණක් නො ව ස්වකීය ආගමිත චින්තාවන් ද කලඑළි බස්සවන්නට හැකි වූයේ නැත. එ් පුදබිම් දහනමවන හා විසිවන සියවස් තුළ දී බි‍්‍රතාන්‍යයන් විසින් සොයාගනු ලැබීමේ ප‍්‍රතිඵලය වූයේ ඉතා වැදගත් වූ, පූජනීය වූ බෞද්ධ පුරාවස්තු බොහෝමයක් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරවල ප‍්‍රදර්ශන භාණ්ඩ බවට පත් වීම ය.

නිදහස් ඉන්දියාවේ ප‍්‍රකට දේශපාලනඥයෙකු වූ මහත්මා ගාන්ධි 1921 වසරේ වෙසක් පුන් පොහෝ දිනයේ කල්කටාවේ පැවැත්වූ වෙසක් උත්සවය ආමන්ත‍්‍රණය කරමින් මෙසේ ප‍්‍රකාශ කළේ ය.

‘‘මම ඉන්දියාවේ උපත ලද සිද්ධාර්ථ කුමාරයා ගැන දැනගත්තේ මීට අවුරුදු තිස් අටකට පෙර ශ්‍රීමත් එඞ්වින් ආර්නෝල්ඞ් මැතිතුමා විසින් පළ කරන ලද ‘ආසියාවේ ආලෝකය’ නමැති පොතෙන්. ඊට පෙර මා බුදුරජාණන් වහන්සේ ගැන හෝ බුදු දහම ගැන කිසිත් දැන සිටියේ නැත.”

එම උත්සව සභාවේ ස්තුති කථාව කිරීමට නැගී සිටි අනගාරික ධර්මපාලතුමා මේ ප‍්‍රකට ඉන්දියානුවාගේ සමාව දිය නො හැකි තරමේ නො දැනුවත් බවට මෙසේ ප‍්‍රතිචාර දැක්වුයේ ය.

‘‘අද දින මෙම උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීම ගැන මම මහත්මා ගාන්ධි මැතිතුමාට මහා බෝධි සමාගම වෙනුවෙන් මගේ ගෞරව ආචාරය පුද කර සිටිනවා. එතුමා වයසින් මට වඩා වසර පහක් බාලයි. එතුමා කළ කථාවේ දී සඳහන් කළ එක් කරුණක් ගැන යමක් නො කියා ම බැහැ. මහත්මා ගාන්ධිතුමා මේ සභාවට කියා සිටියේ බුදුරජාණන් වහන්සේ ගැනත්, බුදු දහම ගැනත් එතුමා දැනගත්තේ එංගලන්තයේ සුද්දෙක් දුන් පොත් පිංචකින් කියා. මේ දඹදිව් තලයේ උපන් ශ්‍රේෂ්ඨතම මහා පුරුෂ ශාක්‍ය සිංහයාණන් ගැන, තම රටේ ම ඉපිද, තම රටේ ම ජීවත් වී මුළු මහත් ලෝකයේ ම අති උතුම් ශාන්ති නායකයාණන් බවට පත්වූ අපගේ බුදුරජාණන් වහන්සේ ගැන මහත්මා ගාන්ධි දැනගත්තේ එංගලන්තයේ සුද්දෙකුගෙන්ලූ. ඉන්දියාව සුද්දන්ගෙන් නිදහස් කරගන්න දඟලන මිනිහා තමන්ගෙ මවුබිම ගැන දන්නා තරම පේනවා ද?”

රැකගත යුතු අභිමානය වනාහි අතීතය වළ නො දැමූ ඉතිහාසයයි….!

මහත්මා ගාන්ධිගෙන් පමණක් නො ව සමස්ත ඉන්දියාවෙන් ම එ් බෞද්ධ අතීතය සඟවා තබන්නට අප පෙර කථා කළ දේශපාලනික, සමාජයීය හා ආගමික උපායන් කෙතරම් සාර්ථකව ක‍්‍රියාත්මක වූවා ද යන්න ගැන කියන්නට වෙනත් උදාහරණ වුවමනා නැත. මේ අසහාය මනුෂ්‍ය රත්නය ඉන්දියාවේ පහළ වීම අභිමානයක් ලෙස දකින ඉන්දියානුවන් අතිශයින් විරල ය. කොටින් ම ඔවුහු ඒ අභිමානනීය අතීතය දන්නේ නැත…. ශ්‍රී ලංකාව, චීනය, තායිලන්තය, නේපාලය, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, බුරුමය, පර්සියාව, ග‍්‍රීසිය ආදි රටවල් සියල්ලේ ම ඉතිහාස පුවත තුළ නො සැඟවුණු මේ බුද්ධ භූමියේ සැබෑ පුවත එ් බුද්ධ භූමියේ ම ගොඩනැගුනු ඉතිහාසයෙන් පමණක් ම අතුරුදන් වී තිබීම කවර අවාසනාවක් ද?

සිංහල බෞද්ධයන් වූ අප සතු යම් අභිමානයක් වේ නම් එය ද බුදු දහම ලැබීමෙන් පසුව නිර්මාණය වූ ජීවන සම්ප‍්‍රදායේ අභිමානයයි. එ් අතීතය වෙනස් නො කොට, අමතක නො කොට තබා ගත යුතු ය යන පණිවිඩය අප අවසන සටහන් තබන්නේ එසේ නො වුණහොත් අපේ ඉතිහාසය ද වෙනස්ව යම් දිනෙක මේ අභිමානයන් අපේ පරපුරකට ‘සුද්දන්ගෙන් ම’ ඉගෙන ගන්නට විය හැකි නිසා ය. නැතහොත් අභිමානනීය ඉතිහාසයක් තුළ අපේ පරපුරක් ආගන්තුකයන් බවට පත් විය හැකි නිසා ය.

– මහාමේඝ –