පුංචි කාලෙ ඉඳන් මිය යනතුරු ම අපට හිතවත් ම පිරිසක් තමයි මිතුරු මිතුරියන්.. අපේ ජීවිතවලට මිත‍්‍රත්වයෙන් ලැබෙන උපකාර නම් කියල නිම කරන්න බෑ. ජීවිතයේ මිතුරු දමක් නැතිව ගත කළ කාලයක් නැති තරම්. මිතුරු මිතුරියන් විසින් බොහෝ දේවල් අපේ ජීවිතයට දායාද කරනවා. එ් දායාදයන් අනුව මිතුරුබව අපට ප‍්‍රිය යි. නැත්නම් අප‍්‍රිය යි. ‘මිතුරා’ කියන වචනය ධර්මයේ දී හමු වෙනවා. කල්‍යාණ මිත‍්‍රයන් ඇති බව කියන්නෙ නිවනට සම්පූර්ණයෙන් ම උපකාර වන ධර්මයක්…

හඳුනාගන්න අමිතුරන්..

එකිනෙකාට අමිතුරන් වන අය

අනෙකා දැක සතුටට පත් නො වන්නේ ය, අනෙකාගේ කථාවට අනුබල දෙන්නට වන නිසා කතා නො කරන්නේ ය, අනෙකා තමා දෙස බලන කල්හී නො බලන්නේ ය, අනෙකාගේ කථාවට විරුද්ධව කථා කරන්නේ ය.

අනෙකාගේ සතුරන් ඇසුරු කරන්නේ ය, අනෙකාගේ මිතුරන් ඇසුරු නො කරන්නේ ය, අනෙකාගේ ගුණ කියන කැමති අය වළක්වයි, අනෙකාට බණින අය ප‍්‍රශංසාවට ලක් කරයි.

තමාගේ රහස් අනෙකාට නො කියයි, අනෙකාගේ රහස් වෙනත් අයගෙන් නො සඟවයි, අනෙකාගේ ගුණ කතා නො කරයි, අනෙකාගේ නුවණ වර්ණනා නො කරයි.

අනෙකාගේ පිරිහීමට කැමති වෙයි, දියුණුවට අකමැති වෙයි, රස ආහාරයක් ලැබුණු කල පවා අනෙකා සිහි නො කරයි, ‘අනේ මගේ මිත‍්‍රයාටත් මෙයින් මෙයින් කොටසක් ලැබෙනවා නම්’ යැයි අනුකම්පාවෙන් නො සිතයි, මේ කරුණු අමිත‍්‍රයා කෙරෙහි පිහිටන්නේ ය. නුවණැත්තා මේවා දැන අමිත‍්‍රයා හඳුනා ගන්නේ ය.

මිතුරන්ගේ ලකුණු දනිමු..

එකිනෙකාට මිතුරන් වන අය

වෙන් වෙන්ව වෙසෙන්නා වූ මිතුරන් අනෙකාව සිහි කරයි. හමුවුණ විට සතුටට පත් වේ. සෙනෙහස දක්වයි. ප‍්‍රිය වචනයෙන් පිළිසඳර කථා කරයි.

මිතුරන් අනෙකාගේ මිතුරන් ම ඇසුරු කරයි. අනෙකාගේ සතුරන් ඇසුරු නො කරයි. අනෙකාට බැණ වදින්නාවූවන් වළක්වාලයි. අනෙකාගේ ගුණ කියන අයව ප‍්‍රශංසා කරයි.

තමාගේ රහස් අනෙකාට කියයි. අනෙකාගේ රහස් වෙනත් අයට නො කියයි. අනෙකාගේ ගුණ කථා කරයි. අනෙකාගේ නුවණ ගැන ප‍්‍රශංසා කරයි.

අනෙකාගේ පිරිහීමට අකමැති වෙයි, දියුණුවට කැමති වෙයි, රස ආහාරයක් ලැබුණු කල පවා අනෙකා සිහි කරයි, ‘අනේ මගේ මිත‍්‍රයාටත් මෙයින් කොටසක් ලැබෙනවා නම්’ යැයි අනුකම්පාවෙන් යුතුව සිතයි, මේ කරුණු මිත‍්‍රයා කෙරෙහි පිහිටන්නේ ය. නුවණැත්තා මේවා දැන මිත‍්‍රයා හඳුනා ගන්නේ ය.

මිත්තාමිත්ත ජාතකය – ජාතක පාළියෙන්