ජීවය රඳා පවතින්නේ ජලය මත කියා පිළිගැනීමක් තිබෙනවා. ආහාර නැතිව සිටිනවාට වඩා අඩු කාලයක් තමයි ජලය නැතිව ජීවියක් පවත්වා ගත හැක්කේ. හැබැයි…. ජීවිත රකින ජලයට ම හැකි යි ජීවිත නසන්නටත්….

උතුරත් දකුණත් වෙන් කරගෙන ගහ මරා ගන්න රටවල් දෙකක් තමයි උතුරු කොරියාව සහ දකුණු කොරියාව. දකුණු කොරියාව ලෝකයට මෑත කාලයේ ප්‍රකට වුණේ අත්තනෝමතික, දරදඬු පාලනයකින් එරට මෙහෙයවෙන කරුණෙන්. උතුරු කොරියාව දකුණු කොරියාවට සාපේක්ෂ ව අහිංසක රටක් කියලයි පිළිගැනෙන්නේ. ලෝකයට එහෙම වෙනසක් තිබුණට අහස පොළව රත් වෙද්දි, ජල කඳ සැඩ පහරක් වෙද්දි, ඍතු විපර්යාසයන් සිදු වෙද්දී උතුරු දකුණු වෙනසක් නෑ. ඒ නිසා මේ වසරේ දරුණු ගංවතුර තත්ත්වයකට මුහුණ පෑමේ ඉරණම අයත් වුණේ උතුරු කොරියාවට.

දසදහස් ගණනින් ජනයා අවතැන් කළ, මිනිස් ජීවිත 150කට ආසන්න ප්‍රමාණයක් හානි කළ, 400ක පමණ පිරිසක් අතුරුදන් වූවන් බවට පත් කළ මේ සැඩ දිය කඳ උතුරු කොරියාවේ ජන ජීවිත අඩාල කරනු ලැබුවා. පසුිය මැයි මාසයේ දී අධික වැසි නිසා අපත් මෙවැනි ම ඉරණමකට මුහුණපෑ බව ඔබටත් මතක ඇති. කලින් කලට ලෝකයේ මෙවැනි විපත් ඇති වනවා. සමහරු රස්සාවලට යද්දි… සමහරු රස්සාවලට ගිහින් එද්දි… සමහරු කද්දි… සමහරු විනෝදාංශයේ යෙදෙද්දී… සමහරු නිදද්දී… සමහරු කථා කරමින් සිටිද්දී… සමහරු හඬද්දී… සමහරු සිනාසෙද්දී… මේ විදියේ ජීවිතයේ නොයෙක් කටයුතුවල, නොයෙක් අවස්ථාවල සිටිය දී අප ව රකින ජලයට ම අප ව නසන්නට හැකි යි… ජීවත් වීම පිණිස ඉහළට ඇද ගනු ලබන හුස්ම ටිකට ම අප ව නසන්නට හැකි යි… ජීවිතය වෙනුවෙන් ගන්නා ආහාරයට ම අප ව නසන්නට හැකි යි… ඒ මොන දේ සිද්ධ වුණත් මේ දහම් මඟේ අප්‍රමාදී නො වුණහොත් අපට අයිතිත් ගං දියේ ගසාගෙන යන මරණයක් තමයි. ඒ කොහොම ද ඒ???

සිතන්න. මේ දේවලිනුත්, මෙවැනි ම තවත් දේවලිනුත් අපේ මරණය සිදු වෙද්දී මේ සිත පවතින්නේ රාග, ද්වේෂ, මෝහ වසඟයේ නම් ඒ මරණයත් ගංවතුරකට ගසාගෙන ගිය මරණයක් ම යි නේ ද?

සිහිපත් කරන්න මේ බුද්ධ වචනය…..

“තං පුත්තපසුසම්මත්තං – බ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහෝඝෝ’ව – මච්චු ආදාය ගච්ඡති”

“සමහර උදවිය තමන්ගෙ දූ දරුවන් ගැන, සතා සිවුපාවා ගැන හිතින් බැඳිලා, එයින් මත් වෙලා කල් ගෙවනවා. අන්තිමේ දී මාරයා ඇවිදින් ඔවුන් ව මරණය කරා ගෙනියන්නෙ සැඩ වතුර පහරක් විසින් නිදි ගත් ගමක් මුහුදට ගසාගෙන යනවා වගේ.”

(ධම්මපදය – මග්ග වර්ගය)

ජරාව, ව්‍යාධිය, මරණය ආදි වූ දුක් රැස අප වෙත එනවා ම යි. අනාගතයේ නිසැක ව ම උපදින ඒ බිය හමුවේ අප තවත් කාම ලෝකයේ අල්ප වූ කාමාස්වාදය ජීවිත අරමුණ කොට සිටින්නේ නම්…. ගඟක් අහල පහළකවත් නැතිව වුණත් සැඩ ගං දියේ ගසාගෙන යන්නට තමයි අපටත් සිදු වන්නේ…

ප්‍රමාදයට පත් ව ගං දියේ ගසාගෙන යන්නට නො ව, උඩුගං බලා පිහිනන්නට සියල්ලෝ වීරිය කරත්වා!

සටහන – උදුලා පද්මාවතී