ජීවිතයේ බොහෝ දුක් පීඩාවන්ට මුහුණ දීලා ජයග‍්‍රහණ අත්පත් කර ගත්ත උදවිය එ් ගැන සිහිපත් කරද්දි මෙන්න මෙහෙම කතාවක් කියනවා.

‘‘මොන තරම් ප‍්‍රශ්න ආවත් මං මහමෙර වගේ දරා ගත්තා…”

මහමෙර කියන්නේ කිසිවකට නො සැලෙන, ඕනෑම බලයක් – පීඩනයක් දරා ගැනීමට සවි ශක්තිය තිබෙන දෙයක් ය කියන විශ්වාසය තමයි මේ ආකාරයෙන් එළියට එන්නේ. එ්ත්…. අකම්පිතයි කියා අපට සිතෙන, කිසිවකින් සොලවා දැමිය නො හැකි යැයි කියා අපට සිතෙන මේ මහමෙර සදාකාලිකව ම නො සෙල්වී පවතියි ද???

අප ජීවත් වන මේ පෘථිවිය ඈත ගුවනට පෙනෙන්නේ සුන්දර නිල් පැහැයක් ඇතිවයි. එ් නිසයි පෘථිවිය ‘නිල් ග‍්‍රහයා’ යන නමින් හඳුන්වන්නේ. මතුපිට ගොඩබිම් ප‍්‍රමාණයෙන් හතරෙන් තුනක් ම වසා ගත් මහා සමුදුරේ ජලය නිසා බැලූ බැල්මට පෘථිවිය එක ම ජල බිංදුවක් වගේ දිස් වනවා වන්නටත් ඇති. මේ ජලස්කන්ධය අතරින් යෝධයෙක් වගේ ඉහළට එසැවුණ එවරස්ට් කඳු ශිඛරය මේ පෘථිවි තලයේ ගොඩබිම් ද තිබෙන බව සක්වළට හඬ ගා කියනවා. මේ කඳු දැවැන්තයා පිහිටා තිබෙන්නේ ලෝකයේ සියල්ලට ම ඉහළින්. පාසල් කාලයේ පටන් අප ඉගෙන ගත් විදිහට මීටර් 8848ක් උසින් යුතු, හිමාලය කඳු පන්තියට අයත් ‘එවරස්ට් කන්ද’ තමයි ලෝකයේ උස ම කන්ද…

ඔය කියපු කතාවේ පුංචි වැරැද්දක් තියෙනවා. එ් වැරැුද්ද නිවැරදි කරන්න කලින් ඔබේ මතකය 2015 අපේ‍්‍රල් 25 වනදාට ගෙන යන්න මා කැමතියි.

මේ ව්‍යවහාරික වර්ෂයේ ලෝකයේ මෙතෙක් වාර්තා වුණ ඛේදවාචකය සනිටුහන් කරමින් නේපාලය කඳුළින්, සුසුමින් නැහැවී ගියේ එ් දිනයේ දී. නේපාලයේ අගනුවර වූ කත්මණ්ඩුවලට කිලෝ මීටර් 30ක පමණ දුරකින් පිහිටි ප‍්‍රදේශය අපිකේන්ද්‍රය කර ගනිමින් සිදු වූ මේ දරුණු භූ කම්පනයේ ප‍්‍රබලත්වය රිච්ටර් මාපකයේ එ්කක 7.9ක් ලෙසින් සටහන් වුණා. ජනාකීර්ණ නගර මධ්‍යයක සිදු වූ මේ විපත්තියෙන් අහිමි වූ මිනිස් ජීවිත ගණන පමණක් හත්දහස ඉක්මවා ඇති බවයි වාර්තා කෙරුණේ. සමස්ත විනාශය මොන තරම් වන්නට ඇති ද යන්න ගැන සිතා ගන්නටවත් බැරි තරමට මේ භූ කම්පනය හරහා නේපාලයට ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල වී තිබුණා. අසල්වැසි ඉන්දියාවට, බංග්ලාදේශයට වගේ ම ටිබෙටයටත් මේ භූ කම්පනයේ බලපෑම දැනී තිබුණා.

එවරස්ට් කඳු මුදුන වසාගෙන ඝන සුදු පොදියක් ලෙසින් රැුඳී තිබුණ හිම වැස්ම අදහා ගත නො හැකි වේගයකින් පහළට කඩා වැටෙමින් හිම සුනාමියක් නිර්මාණය කළේ මේ භූ කම්පනයේ ප‍්‍රතිඵලයක් විදිහටයි. කඳු තරණය කරන්නන්, ඔවුන්ගේ

මාර්ගෝපදේශක ෂර්පාවරුන්, කඳවුරු ඇසි පිය හෙළන සැණෙකින් හිම ගංගාවක සැඟවී ගියා. එපමණක් නො වෙයි; මේ ප‍්‍රබල භූ කම්පනය නිසා ම කිසිවෙකුට හෙළවිය නො හැකි යෝධයෙක් වගේ අහසට නැගී සිටිය එවරස්ට් කඳු මුදුන දරා ගත්ත හිමාල කන්ද අංශක දහයක ඇලයක් ඇතිව, අඩි දහයක් දකුණු පසට තල්ලූ වී ගියා…! දැන්, එවරස්ට් කන්දේ උස තිබුණට වඩා වෙනස් වෙලා වන්නටත් පුළුවනි… එ් වගේ ම කත්මණ්ඩු නගරයත් මුල් පිහිටීමට වඩා මීටර් කිහිපයක් දකුණු දෙසට තල්ලූ වෙලයි තිබෙන්නේ. නිතර ම සකී‍්‍රය වන භූ තල මායිම් මත පිහිටි නේපාල භූ තලයේ වසර අසූ එකකට පසුව ඇති වුණ මේ දරුණු භූ කම්පනය ලෝකයේ සීමා මායිම් පවා වෙනස් කරන්නට සමත් වෙලා…

මොහොතකට සිතා බලන්න. කන්දක් වගේ නො සැලී ඉන්න පුරුදු වෙන්න කියා වචනයට කිව්වට කඳු නො සෙල්වී පවතින්නේ නැහැ. ලෝකයේ උස ම කන්දත්, යෝධ ම කඳු පංතියකුත් සැණෙකින් සෙලවී ගියේ මේ ලෝකයේ ලොකු කුඩා හැම දේ ම එක ම එක ධර්මතාවයකට යටත් බව ලෝකයට ම පසක් කරමින්. අන්න එ් පොදු ධර්මතාවය තමයි සම්බුදුරජාණන් වහන්සේලා විසින් ආර්ය පර්යේෂණයකින් හෙළිදරව් කොට ගෙන දෙව් මිනිස් ලෝකයට විවෘත කළේ. අන්න එ් පොදු ධර්මතාවය තමයි මේ ලෝකයේ ‘ඇත’ යන අන්තයත්, ‘නැත’ යන අන්තයත් බිඳ හෙළුවේ. තථාගතයන් වහන්සේලා ලෝකයට පෙන්වා දෙන්නේ ඇති බවවත්, නැති බවවත් නෙවෙයි; හට ගැනීමක්, පවතින දෙය තුළ වෙනස් වීමක් හා නැසී යාමක් මේ ලෝකයේ පවතින බවයි. එය එක් වචනයකින් හඳුන්වා දෙමින්, හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හට ගත්තා වූ සියල්ලේ පොදු ඉරණම සම්බුදුරජාණන් වහන්සේලා ප‍්‍රකාශ කළේ ‘අනිත්‍යය’ යන නමින්…

හේතූන්ගෙන් හට ගත්ත සෑම සියලූ දෙයක් ම මේ අනිත්‍ය ධර්මතාවයට යටත්. දෙවියන් බඹුන් මිනිසුන්, නිරි පේ‍්‍රත අසුර තිරිසන් සතුන්, අහස පොළව ඉර හඳ ආදි සියල්ල ම මේ අනිත්‍ය ස්වභාවයට බඳුන් වෙමිනුයි පවතින්නේ. හට ගත්තා වගේ ම පවතින දෙය තුළත් වෙනස් වෙන මේ සියල්ල යම් දිනක නැසී යනවා ම යි. අල්ප ප‍්‍රමාණ වශයෙන් පෙනෙන මනුෂ්‍ය ජීවිත, සත්ව ජීවිත, ගහ කොළ ආදිය සහමුලින් නැසී වැනසී යන බව අප දකිනවා. එහෙම වුණත් මේ විසල් වූ, තුමුල වූ මුළුමහත් පෘථිවි තලය ම කපුරු පෙත්තක් සේ දැවී නැසී යන බව අදහා ගැනීම නම් දුෂ්කරයි නේ ද? හේතුන්ගෙන් හට ගත් සියල්ලේ පොදු ඉරණමට ම ගොදුරු වෙමින් මේ මහා පෘථිවිය පවා සහමුලින් ම විනාශ වී යන බව සම්බුදු නුවණින් දකිමිනුයි සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට හෙළිදරව් කළේ.

යොදුන් හතළිස් දහසක් පළල, යොදුන් හතළිස් දහසක් දිග, යොදුන් හතළිස් දහසක් මහා සාගරයේ ගිලී ගත්ත, යොදුන් හතළිස් දහසක් සාගරයෙන් උඩට මතු වුණ සිනේරු පර්වතරාජයා ගැන අප අසා තිබෙනවා. එවන් වූ තුමුල පර්වතය ද දැවී නැසෙන ආකාරය සම්බුදු නුවණින් පිරිසිඳ දැක්කා.

අවුරුදු ලක්ෂ ගණනකින් වැසි නො ලැබී ගොසින් මේ ලෝකයේ තිබෙන තාක් ගස් වැල් මැරී ගිය කලෙක දෙවැනි සූර්යයෙක් පායනවා. එවිට කුඩා කුඩා ජල තටාක, වැව්, පොකුණු සිඳී යනවා. තව කාලයක් යනකොට තුන් වෙනි ඉරත් පායනවා. එවිට ලෝකයේ තිබෙන සියලූ මහා ගංගාවන් සිඳී යනවා. තවත් කාලයක් ගිහින් හතරවෙනි සූර්යයා පායන කොට මහා ගංගාවන්ට උල්පත් වුණ මහා විල් සියල්ල සිඳී යනවා. මෙහෙම කාලයක් ගිහින් පස් වෙනි සූර්යයෙකුත් පායනවා. එවිට පොළවේ හතරෙන් තුනක් ම වසා ගත්ත මහා සාගරය යොදුන් ගණනින් සිඳී ගිහින් හරක් කුරයකින් සැදුන පුංචි වළක් තරමට ම මුහුද සිඳෙනවා. අවසානයේ ඇඟිලි තෙමන්නටවත් ජල බිඳක් ඉතිරි වෙන්නේ නැහැ. ඉරවල් පහක් පායලා තියෙද්දි මේ මහ පොළවේ ජලය කියා දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. තව කාලයක් ගිහින් හය වෙනි සූර්යයා පෑයීමෙන් පස්සේ සිනේරු පර්වතයෙනුත්, මේ මහා පෘථිවියෙනුත් දුම් නැගෙන්නට පටන් ගන්නවා. ගිනි ගහන කබලක් වගේ හාත්පසින් දුම් දමන්නට පටන් ගන්නවා. ඔය අතරේ හත්වන සූර්යයා පායනවා. හාත්පසින් දුම් දමමින් තිබුණ මහා පෘථිවියත්, සිනේරු පර්වතරාජයාත් ගිනි ජාලාවලින් වෙලී යනවා. මේ තුමුල මහමෙර කපුරු පිළිස්සුවා වගේ, ගිතෙල් පිළිස්සුවා වගේ අළු දූවිල්ලක්වත් ඉතිරි නො වී දැවී යනවා. මේ පෘථිවිය සහමුලින් ම අතුරුදහන් වෙනවා…

බලන්න, යම් කලෙක මේ මහමෙරත් සම්පූර්ණයෙන් ම විනාශ වෙනවා…!

මේ ලෝකයේ කවර දෙයක් නම් අපි නිත්‍යයි කියලා ගන්න ද? කවර දෙයක් නම් වෙනස් නො වී පවතියි කියලා කියන්න ද? ශ‍්‍රද්ධාවෙන් සහ ප‍්‍රඥවෙන් ම පමණක් දරා ගත හැකි මේ විස්මිත හෙළිදරව්ව සිදු කරමින් සුගත තථාගතයාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකය කෙරෙහි අනුකම්පාවෙන් මෙසේ වදාළා.

‘‘මෙසේ මහණෙනි, හේතු ප‍්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරයෝ අනිත්‍ය ය. මහණෙනි, හේතු ප‍්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරයෝ අස්ථිර ය. මහණෙනි, හේතු ප‍්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරයෝ අස්වැසිලි රහිත ය. මහණෙනි, හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හට ගත් සෑම දෙයක් පිළිබඳව අවබෝධයෙන් එපා වන්නට මෙකරුණ ප‍්‍රමාණවත් ය. නො ඇලෙන්නට ප‍්‍රමාණවත් ය. නිදහස් වෙන්නට ප‍්‍රමාණවත් ය.”

‘‘මෙසේ වේවා හෝ මෙසේ නො වේවා” කියා අප වසඟයේ පවත්වා ගත නො හැකි, හේතූන්ගෙන් හටගත් මේ සියලූ දේ කෙරෙහි අවබෝධයෙන් කලකිරීම ම නේ ද අපට නිවනට මඟ කියන්නේ. නැසෙන වැනසෙන ලෝකය අත් දකිනා අපට මේ පසක් කෙරෙන්නේ පරම සත්‍යය හෙළි කළ අකාලික මුනි දහමේ ආශ්චර්යවත් ගුණ ශෝභාව ම යි. සිත පහදවාගෙන එ් දහම්ගත අදහා ගැනීම ම යි කළ යුතු.

තුමුල වූ, මහත් වූ බාහිර පඨවි ධාතුවත් එසේ නැසී වැනසී යනවා නම් මේ කයේ පවතින අල්ප වූ පඨවි ධාතුවේ නැසී වැනසී යාම ගැන කවර කථා ද? තුමුල වූ, මහත් වූ බාහිර ආපෝ ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් එසේ නැසී වැනසී යනවා නම් තමා තුළ පවතින අතිශයින් අල්ප වූ ආපෝ තේජෝ වායෝ ධාතූන්ගේ නැසී වැනසී යාම ගැන කවර කථා ද?

‘ඇත’, ‘නැත’ යන සියලූ දෘෂ්ටීන්ගෙන් නිදහස් ව, අනිත්‍ය ධර්මය අවබෝධ කොට ගනිමින් කටුක දුක් පිරි මේ ඝෝර සසර ඉක්මවා යාමේ දුර්ලභ භාග්‍යය අප සියලූ දෙනාටම උදා වේවා!

මහාමේඝ 2015 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK

ඇසුර – සත්ත සුරියුග්ගමන සූත‍්‍රය, අං. නි.

සටහන
උදුලා පද්මාවතී