දුරුතු වැහි රැල්ල වෙනදා තරම් සරුසාරෙට මෙදා දුරුත්තේ පොළොවට කඩන් වැටුනෙ නෑ. දුරුතු හීතල අකා මකා දාලා නවම් මහේ පින්නෙන් පොළොව තෙත් වුණේ වැහි පොදක්වත් පේන තෙක් මානෙක නැති තරමෙ නිල් පාටක් අහස් කුසේ තවරාගෙනයි. බැලූ බැලූ අත ගස් වැල් පවා මලානික වෙලා ගිහින්. අව් කාස්ටකේ හැමදේම පුච්චලා දාලා. ගිනි මද්දහනෙ පාරට බැස්සොත් අව් රස්නෙට ම කරවෙනවා.

ලීලම්මා මේ අව්කූටකේ ම ඉක්මන් ගමනින් ඉස්කෝලේ ගේට්ටුව ගාවට ගියේ ලොකු දුවගෙ දරුවො දෙන්නව ගන්න. පොඩි පුතාව ඉස්කෝලෙට බාර දුන්නේ ගිය අවුරුද්දෙ. ඉස්කෝලේ ඇරෙන වෙලාවට ලීලම්මා ගේට්ටුව ගාව හිටියෙ නැති නම් පොඞ්ඩගේ මූණ නරක් වෙනවා. ඇස්වල කඳුළු පිරෙනවා. ගේට්ටුවේ එල්ලිලා පාර බලන් ඉන්නවා. ඈතින් එන ලීලම්මව දැකපු ගමන් හයියෙන් කෑ ගහනවා.

‘‘අත්තම්මා….. ඇයි පරක්කු වුණේ? හොඳ නෑ… හොඳ නෑ… හොඳ ම නෑ ඔයා නම්…..”

ඊට පස්සෙ ටික වෙලාවක් යනකල් නෝක්කාඩු කියන එක නතර වෙන්නෙ නෑ. ලොකු පුතා නම් දැන් හත වසරෙ. එයාට ඉස්කෝලෙ ඇරෙනකල් ලීලම්මා පොඩි පුතත් එක්ක බංකුවේ වාඩි වෙලා ඉන්නවා. එ් අතරෙ පොඩි පුතාට කතන්දර කියලා දෙනවා.

‘මඝ’ කියන තරුණයා පිරිස එකතු කරගෙන ගමට වැඩ කරපු හැටි අහන්න පොඩ්ඩා හරිම කැමතියි. ගස් වැල් හිටවලා, පාලම් එ්දඬු හදලා මඝ තරුණයා විසින් කරපු හොඳ වැඩ ගැන කොච්චර අහගෙන හිටියත් එයාට එපා වෙන්නෙ නෑ. දිව්‍ය ලෝක දෙකකට අධිපති සක් දෙවිඳු වෙලා මඝ තරුණයා උපන්නා කියන හැම වෙලේ ම පොඩ්ඩා කියන්නේ ‘‘මමත් කවදා හරි එ් වගේ වෙනවා” කියලයි.

ලීලම්මලා පදිංචි වෙලා ඉන්නේ කොළඹ රටට කිට්ටු නගරෙක. මේ කලබල නගරෙ, පවුල් පරම්පරාවෙන් ම ලීලම්මට ලැබුණු මහගෙදර ලොකු දුවයි, බෑණයි, මේ දරුවො දෙන්නයි එක්ක ගෙවන ජීවිතේ නම් ලොකු කලබලයක් නෑ. වාහන තදබදය හින්දා මේ කට්ටිය ඉස්කෝලෙ ඇරිලා ගෙදරට එනකොට හවස තුන හමාර විතර වෙනවා. ගිනි කූටක අව්රැල්ලෙන් බේරිලා ගෙදරට පය තිබ්බට පස්සෙ තමයි ලීලම්මට සැහැල්ලූවක් දැනෙන්නේ.

දවසක් පය ඉක්මන් කරලා ගෙදර ළඟට ආව වෙලාවෙ ලොකු පුතා එකපාරට ම පුදුමයෙන් වගේ කෑ ගැහුවා.

‘‘අත්තම්මා, මේ බලන්න… මේ….”

ලීලම්මා හැරිලා බැලූවා. ගේට්ටු පලූව යා වෙලා තිබුණ තාප්පය ලොකුවට ඉරිතැලිලා ගිහින් කියලා ලීලම්මා දැක්කෙත් එ් වෙලාවෙයි.

‘‘හප්පා… මාසයක්වත් නෑනේ අලූතින් ගේට්ටුව දාලා… ඉස්සර වගේ දැන් කාලෙ සිමෙන්ති හොඳ නැද්ද මන්දා…. මේක නම් ඉක්මනට හදන්න වෙනවා පුතේ… නැත්නම් තාප්පෙයි, ගේට්ටුවයි දෙක ම බිම තියෙයි ළඟදි ම.”

‘‘සිමෙන්ති නෙමෙයි අත්තම්මා…., තාත්තා කිව්වෙ මේ කොස් ගහ හින්දයි තාප්පේ ඇද වෙලා ඉරි තලන්නෙ කියලා. කොහෙද ඉතින් අත්තම්මා කැමති නෑනෙ මේක කපලා දාන්න.”

ලොකු මුනුපුරාගේ වචනවලට කීරි ගැහුන හිතින් ඇස් උඩට ගෙන ගියපු ලීලම්මට රූස්ස කොස් ගහ පෙනුනා. පරම්පරා ගාණකට මදි නො කියන්න පල දරපු කොස් ගහත් මේ ගිනි අව්වට මැළවිලා ගිහින් වගේ. ලීලම්මා නිහඬව ම ගේට්ටුව ඇරගෙන ඇතුළට ආවා.

‘‘ඇයි අත්තම්මා ඔයා ඔය කොස් ගහට ඔච්චර ආදරේ? තාත්තා කියන්නේ ඔය ගහ කපලා ඊට එහා පැත්තෙන් අලූතෙන් ගේ හදමු කියලනේ. ඔයා තමයි අපිට ගේ හදන්න දෙන්නෙ නැත්තෙ…”

එ් නෝක්කාඩුව පොඞ්ඩගෙන්. ලීලම්මා කිසිම කතාවක් නැතිව ගෙට ඇතුළු වුණා. මේ කොස් ගහ කියන්නෙ පරම්පරා තුන හතරක ඉතිහාස කතාවක් කියලා පොඩි අය දන්නෙ නෑ. අවුරුදු සීයකටත් එහා ඉඳගෙන එ් කතාව පටන් අරන් තියෙන්නෙ ලීලම්මගෙ තාත්තගෙත් තාත්තා. එ් තාත්තා අතින් හිටවපු කොස් පැළේ තමයි මේ පස්වන පරම්පරාවේ දරු මුණුබුරන්ගෙත් බඩ කට පුරවන්නෙ.

ලීලම්මලා පුංචි කාලේ මේ කොස් ගහ යට සෙල්ලම් කරපු හැටි ලීලම්මට හොඳට මතකයි. අයියලා හතර දෙනෙක්ටයි, අක්කලා දෙන්නෙක්ටයි නංගි වුණ ලීලම්මා මේ කොස් ගහ යටදි කී පාරක් නම් රැජිණක් වෙන්න ඇති ද? කොස් කොළවලින් ඔටුනු හදාගෙන, කොස් ගහ යට ම ඉඳගෙන වැලි බත් උයපු කාලෙ අද ඊයෙක වගේ මතකයි.

ලීලම්මා පුංචි කාලෙදි තමයි සීයා නැති වෙලා තිබුණේ. එ් නිසා ලීලම්මට මේ කොස් ගහේ පළමුවෙනි පරම්පරාව ගැන ලොකු මතකයක් නෑ. එ්ත් ලීලම්මගෙ අම්මයි, තාත්තයි දෙන්න ම මේ කොස් ගහට ගොඩක් සැලකිලි කළා කියන එක නම් ගලේ කෙටුව වගේ ලීලම්මට මතකයි. එ් දෙන්න ම නිතර දෙවේලෙ කිව්වේ සීයගෙ අත් දෙකින් හිටවපු මේ කොස් පැළේ අවුරුදු ගාණක් තිස්සේ ගමේ හැම ගෙදරකට ම සම්පතක් වුණා කියලයි. ඇත්තටම ලීලම්මට මතක ඇති කාලෙ පටන් ගමේ උදවිය වරකා ගෙඩියක්, කිරි කොස් ගෙඩියක්, පොලොස් ගෙඩියක් හොයාගෙන නිතර දෙවේලෙ මේ කොස් ගහ යටට ඇවිත් තියෙනවා. ලීලම්මත් කසාද බැඳලා, දරු මල්ලොත් දෙන්නෙක් වුණාටත් පස්සෙයි මේ ඉඩ කඩම් වැට මායිම් ගහලා වෙන් කෙරුණේ.

ඊට පස්සෙ ගමේ උදවිය එක්ක තිබුණ ඇයි හොඳයිකමුත් එ් වැට මායිමෙන් ම වෙන් වුණා කියලයි ලීලම්මට හිතෙන්නේ. අවුරුදු දහයක්, පහළොවක් ඇතුළෙ ගමේ සිද්ධ වුණ විපර්යාස හිතාගන්නවත් බැරි තරමයි. බලාගෙන ඉද්දි ගෙවල් දොරවල් හැදුණා. තාප්පවලින් එ් ගෙවල් අනිත් එ්වාගෙන් වෙන් වුණා. කලාතුරකින් මිසක් මේ තාප්පවලින් වට වුණු ජීවිත අසල්වැසියෝ එක්ක මුහු වුණේ නෑ. හැමෝම හරි වේගෙන් තම තමන්ගේ වැඩපළවල ම යෙදුණා. මළගමකදි, මංගල්‍යකදි මිසක් එක්කාසු වීමක් තිබුණෙ ම නැති තරම්. හිටිහැටියේ මහත්තයා මියැදුණාට පස්සෙන් පහු ලීලම්මා මළගෙයකට, මංගල්‍යයකටවත් ගෙයින් එළියට ගියේ නැති තරම්.

ලොකු දුව කසාද බැඳලා, මහ ගෙදර ම පදිංචි වුණායින් ලීලම්මා තනි වුණේ නෑ. එ් දුවගේ දරුවො තමයි අද ලීලම්මගෙ ඇස් දෙක වගේ ඉන්නේ. ලීලම්මගේ දරුවො දෙන්නත් සෙල්ලම් ගෙවල් හැදුවේ මේ කොස් ගහ යටමයි. දැන් මේ දරුවෝ දෙන්නත් හැංගිමුත්තන් කර කර හැංගෙන්නේ මේ යෝධ කොස් ගහ පිටිපස්සෙයි. එ්ත් මාස ගාණක් ඉඳන් මේ කොස් ගහ ගැන ගෙදර පුංචි පුංචි කතාවල් ඇහුනා.

කොස් ගහේ කොළ පාරෙන් එහා පැත්තෙ තියෙන ගෙදර මිදුලට වැටෙනවා කියලා එ් ගෙදරින් නෝක්කාඩු කියනවා. එ් වෙලාවෙ නම් ලීලම්මා කිව්වේ ‘‘එ් ගොල්ලන්ට පිරිසිදුවට හුස්ම ටිකක් හරි ගන්න ලැබෙන්නේ මේ ගහ හින්දයි. එ් වත්ත ම කාන්තාරෙ වගේ ගහක් වැලක් වත් ඉතිරි කරගත්තෙ නෑ. දැන් මේ ගසුත් පේන්න බෑ.” කියලයි.

අසල්වැසියගේ විරෝධය ලියලන අතරෙයි කොස් ගහට මෙහායින් තාප්පෙ ඇද වෙන්න පටන් ගත්තෙ.

‘‘කොයි වෙලාවක හරි ඔය තාප්පෙ කාගෙ හරි ඇඟට කඩන් වැටෙනවා. එතකල් ද බලන් ඉන්නෙ? මොකක්ද ඔය ලෝභකම? කපලා දැම්ම නම් ඉවරනේ කරදරයක් වෙන්න කලින්.”

ලොකු දුවගේ මහත්තයා එහෙම කියද්දි ලීලම්මා වචනයක්වත් නො කියා බලාගෙන හිටියා. අවසානේ ඔහුට ම ඇති වෙලා එ් ගැන කතාව නැවැත්තුවා.

‘‘ඕන දෙයක් කරගන්න එකයි ඇත්තෙ අම්මලා, දූලා එකතු වෙලා. ඔන්න මං නො කිව්වයි කියන්න එපා. කොයි වෙලාවක හරි හැමෝට ම පොලිසි යන්න වෙලයි ඔය වැඩේ කෙළවර වෙන්නේ.”

ඔය මොන දේ කිව්වත් ලීලම්මා නෙමෙයි කොස් ගහ කපන්න කැමති වුණේ. එ්ත් අද ගේට්ටුව ගාවින් ම තාප්පෙ ඉරිතැලිලා කියලා දැක්කට පස්සෙ ලීලම්මා බර කල්පනාවකට වැටුණා.

‘‘මොකද කියන්නෙ අම්මා? ඉක්මනට මේක අයින් කරමු නේ ද?”

ලොකු දුවයි, බෑණයි අහද්දි ලීලම්මා ‘‘හ්ම්” කියලා නිහඬ අවසරයක් දුන්නා. සතියෙන්, හමාරෙන් ගහ කපන්න වැඩපිළිවෙළ හැදුණා. එක ඉරිදාවක උදේ ම ගස් කපන කට්ටිය ආවා.

ලීලම්මගෙ පපුව හිරවෙනවා වගේ දැනුනා. ඇස් බොඳ වුණා. එ් ගමන් ම, සුදු මල් මාලයක් දාලා තිබුණ අම්මගෙයි, තාත්තගෙයි ෆොටෝ එක ළඟට ගිය ලීලම්මා අත් දෙක එකතු කරලා වැන්දා.

‘‘අනේ මට කරන්න වෙන දෙයක් නෑ. මට සමාවෙන්න අම්මේ. සමාවෙන්න තාත්තේ. ගහ කපන්න ඉඩ දෙන්න වුණා මට.”

ලීලම්මා ඇස්වල තෙත මාත්තු කරගෙන ගෙයි උළුවස්සට හේත්තු වෙලා කොස් ගහ දිහා බලන් හිටියා. පොඞ්ඩා ඉස්සිලා ලීලම්මගෙ මූණ බැලූවා.

‘‘අත්තම්මා, ඔයා මොකට ද දුක් වෙන්නෙ? තාත්තා කොස් ගහ කපන්නෙ ගේ හදන්නනේ. ඔයා එ් ගැන හිතන්න එපා.”

පොඩ්ඩගේ කතාවට උත්තර නො බැඳ ම ලීලම්මා ගේ ඇතුළට ගියා. හවස් වෙනකොට රූස්ස කොස් ගහේ මුල විතරයි ඉතිරි වුණේ. කහ ම කහ පාට ලී කුඩු හැම තැන ම විසිරිලා. දවස තිස්සෙ ම මැෂින්වල සද්දෙට පළාත ම දෙදරුම් කෑවා. ලීලම්මට හවස් වෙනකොට උහුලන්න බැරි තරම් ඔළුව කැක්කුමයි…

අනිත් දවසෙ උදේ ලීලම්මා එළියට බැස්සෙ පොඩි දෙන්නව ගන්න යන්න. එළිය හරිම හිස් කියලයි ලීලම්මට හිතුණේ. ‘මේවා හදපු ඈයෝත් මියැදුණා. ගහත් මියැදුණා, අපිත් මේ වගේ ම මියැදෙනවා. එ්ක වළක්වන්න බෑනේ.’ කියලා ලීලම්මා හිත හදා ගත්තා.

ටිකක් ප‍්‍රමාද වෙලා ඉස්කෝලෙ ගේට්ටුව ගාවට යනකොට පොඞ්ඩා ඇවිත්. එ්ත් වෙනදා වගේ නෝක්කාඩු නෑ. මූණ අමුතු ම දුකකින් පිරිලා.

‘‘ඇයි පුතේ?”

ලීලම්මා එහෙම ඇහුවා නෙමෙයි, ලීලම්මට එහෙම ඇහුණා. පොඞ්ඩා ලීලම්මව බදා ගත්තා.

‘‘අත්තම්මා, අද මට ඉස්කෝලෙදි කොස් ගහ කැපුවා කියලා මතක් වෙලා ඇඬුණා. මං අත්තම්මට කොස් පැළ දෙකක් ම හිටවලා දෙන්නම්. අපි එ්වා ඉක්මනට ලොකු කරගමු අත්තම්මා .”

ලීලම්මා ආදරයෙන් පොඩ්ඩගෙ ඔළුව අත ගෑවා. මඝ මාණවක විදිහට ම මේ දරුවත් ලොකු මහත් වෙද්දි දිවා රෑ පින් වැඩෙන පින්කම් කරාවියි කියලයි ලීලම්මට හිතුණේ. එදාට තාප්පවලින් වෙන් වුණ ජීවිත සුන්දර පින් දහම් එක්ක ආයෙමත් එකමුතු වේවි කියලත් ලීලම්මට හිතුණා.

(සත්‍ය කථාවක් ඇසුරින්…)

සටහන
කලණ ගංගානාථ