මේ වන විටත් ලෝකයේ නව යුද උණුසුමක් ඇති වෙලා නේ ද? සෑම කාලයක ම ලෝකයේ රටවල් අභ්‍යන්තරයේ ඇති වන ජනවාර්ගික හා දේශසීමා අර්බුද, බල අරගල, ආගමික ගැටුම් ආදිය දැන් දැන් ජාත්‍යන්තර මට්ටමින් සිදු වන්නට පටන් අරගෙන. අලූත් ම තත්වය මැදපෙරදිග හා බටහිර රටවල් අතර සිදු වෙමින් පවතින බල අරගලය යි. බටහිර බලවතුන්ගේ වෙළඳ ආර්ථික රටාවේ එක් අංගයකි මේ යුද කෝලාහල ය. මෙම යුද අර්බුදයේ තීරණාත්මක මෙහෙවරක් සන්නිවේදනය විසින් ඉටුකරමින් ඇත. සන්නිවේදනයේ නූතන පෙරළිය වන ජනමාධ්‍යය ඔස්සේ අද වන විට ආර්ථික, දේශපාලන, සමාජ, ආගමික මතවාද පතුරුවා හැරීම පාලනයකින් තොරව සිදුකරයි. මෙසේ නූතන යටත්විජිතවාදය හෙවත් බහුජාතික සමාගම් සිය ආර්ථික බලයෙන් ලෝකය ඇල්ලීමේ ක‍්‍රමවේදයට අප යටත් කොට ඇත.

මේ වන විට බලවත් රටවල් තමන්ගේ බලය පතුරුවන්නට බළලූන් ලවා කොස්ඇට බෑමේ සංකල්පයක් ඇති කර ඇත. ඇමරිකාව ද චීනය ද රුසියාව ද පිල් බෙදෙමින් සීතල යුද්ධයක් ආරම්භ කර ඇත. ඉරානය, සිරියාව, ඇෆ්ගනිස්ථානය ඇතුළු බොහෝ රටවල් මේ අර්බුදයෙන් බැට කන්නෝ ය. බලවතුන්ගේ ආර්ථික අරමුණු හා ඇතැම් සමාජ හා ආගමික අරමුණු රැසක් මේ පෙරළිය යටින් ක‍්‍රියාත්මක වෙමින් පවතියි.

රටක වෙළඳපොළ රටාවේ තීරණාත්මක ආර්ථික සාධකවලට අතපොවන්නට, දේශපාලනයේ තීන්දු තීරණ සඳහා ඍජු බලපෑම් එල්ල කරන්නට, ආගමික වශයෙන් ජනයා මෙහෙයවන්නට අද බලවත් රටවල්වලට මාහැඟි බලයක් හිමි ව ඇත. ආර්ථික බලය පැතිරවීම උදෙසා ජනමාධ්‍ය හරහා පාලනයකින් තොරව කාමය පැතිරවීම සිදු කළ පසුගිය යුගයේ විපාක දැන් දැන් මතුවෙමින් පවතියි. බටහිර කාම ගින්න පැතිරවීම සිදු කළ පුරෝගාමියා වන්නේ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය යි. ශ‍්‍රී ලංකාවේ ද මෑත කාලයේ ඇති වූ කාම ගින්නට ඉන්ධන දැමූයේ ජනමාධ්‍ය හරහා ය. මේ ඔස්සේ ස්ත‍්‍රී දූෂණ, ළමා අපචාර, විෂම ලිංගික චර්යා, මත්ද්‍රව්‍ය වෙළඳාම, පාතාල කල්ලි සංස්කෘතිය, මත්ද්‍රව්‍ය භාවිතය, සූදුව ආදිය මෙරට බහුල වෙමින් ඇත. මේ ගෝලීයකරණය නම් වූ නූතන යටත් විජිතවාදය විසින් ජාතක කළ කාම රැල්ලේ ආදීනව වේ. අපේ ක‍්‍රියාව ද වචනය ද සිතිවිලි ද ඒ රැල්ලට අනුව තීරණය වී ඇත. මේ වෙනකක් නො ව, සදාචාරයක් නැති අධර්ම රාගයේත් විෂම ලෝභයේත් හිස එසවීම ය.

බලවත් රටවල ආර්ථික, සමාජ, දේශපාලන, ආගමික ආක‍්‍රමණ ගුප්ත ය. ඔවුන් අපට සැප සම්පත් සපයා දෙනවා යැයි හැෙඟ්. දියුණු සමාජයක් ඔවුන් සතු යැයි අපේ සිත් තුළට කාවද්දා ඇත. අප ක‍්‍රියාත්මක කරන ඔවුන්ගේ දේශපාලන ව්‍යුහය ශිෂ්ට සම්පන්න යැයි වෙස් ගන්වා ඇත. ඔවුන්ගේ සංයමය ද, විනය ද, උසස් යැයි හුවාදක්වා පාසලේ සිට රැකියා ස්ථානය හරහා සියලූ සමාජ රටාවන්ට ම එය පුරුදු කර ඇත. ඔවුන්ගේ අර්ථ දැක්වීම අනුව අපගේ විනය හා හික්මීම නො දියුණු එකකි. මේ ඔස්සේ සිදුවන්නේ අපේ ජීවන රටාවේ තීරණාත්මක සාධක ඔවුන් අතට පත් කර ගැනීම ය. අපි කන, බොන දෙය ද අඳින පලඳින දෙය ද පරිහරණය කරන උපකරණ ද තීරණය වන්නේ අපට හිමිකර ඇති ආර්ථික, සමාජ රටාව මත ය. ඒ ඔවුන්ගේ නූතන යටත් විජිතය යි. ඒ අනුව අප ජීවත් වනු ඇත.

බලවත් රටවල් සිය අරමුණු කාම රැල්ල ඔස්සේ ඉටුකර ගන්නට බැරි තැන, ඒ ඒ රටවල් අතර යුද ගැටුම් ඇති කරයි. එසේත් නැතිනම් බලවත් සමාජ, දේශපාලන, ආගමික, දෘෂ්ටි පතුරුවයි. මේ නූතන යටත් විජිතයේ පාලනය ගැනීමට, ඔවුන් කාමයේ ඕනෑම ක‍්‍රියාවකට නිදහස දීමට නිර්ලැජ්ජී ය. ඕනෑම යුද්ධයක් කිරීමට සූදානම් ය. ඔවුන්ගේ හැඟීම්, මතවාද, දෘෂ්ටි ද නිර්මාණ කරන්නට සමත් ය. මේ වෙන දෙයක් නො ව අපට සසරේ හැමදා බැටකන්නට උරුමව ඇති රාග, ද්වේෂ, මෝහවල නූතන බැට කෑම නො වේ ද?

අද වන විට කාම රැල්ල ශ‍්‍රී ලංකාවට අධි වේගයෙන් ගලා එන ප‍්‍රමුඛ මාධ්‍ය වන්නේ විදේශ ටෙලිවිෂන් සබඳතා, ඉන්ටනෙට් හා මොබයිල් ෆෝන් ය. සදාචාරයෙන් තොර සම්බන්ධතා හරහා කාම රැල්ලට සියලූ දෙනාම අඩු වැඩි වශයෙන් ඇබ්බැහි වී හමාර ය. දිවේ රස නහර මැරූ කල නීරස දේ ද රසයැයි පෙන්වා අපට කැවිය හැක. සිත අවුස්සා තැබූ කල ඇවිස්සුණු සිතට සරිලන භාණ්ඩ සියල්ල වෙළඳපොළේ මිල දී ගැනීමට සූදානමින් ඇත.
කාම රැල්ලට හසු කර ගන්නට අපහසු, තෙල් සම්පත් බහුල මැදපෙරදිග රටවලට මෑත කාලයේ බලවත් රටවල් විසින් යුද ගිනි පතුරුවන්න පටන්ගෙන ඇත. ආගමික අන්ධභාවයෙන් ජනතාව කුපිත වීමේ රටාව මනාව හඳුනාගත් ඔවුන් මැදපෙරදිග ඇති සමාජ අර්බුදවලට අතපොවා පාලනය කරමින් ඇත. මේ යුද තත්වයෙන් ඔවුන් බැට කන්නේ නැත. අප වැනි ආර්ථික, දේශපාලන, සමාජ සිර කඳවුරු මේවායින් සැමදා බැට කනු ඇත.

නිදහස් ආර්ථිකය ඔස්සේ අපේ රට කාම උන්මාදයෙන් ආක‍්‍රමණය කරද්දී අප ගුණ ධර්මවලින් ආරක්ෂාවක් සලසා ගත්තේ නැත. මෑත කාලයේ උග‍්‍ර වෙමින් ඇතිි යුද්ධයේ ගිනි දැල් ලොව වටා පැතිර යන්නට කලින් අප ආරක්ෂාවක් සලසා ගන්නට කල්පනා කළ යුතු කාලය පැමිණ ඇත. ඒ ආරක්ෂාව අත්භූත තැනක නැත. අහසේ හෝ පොළවේ හෝ නැත. එය ඇත්තේ අපේ සිතේ ම ය. සිත පරිපූර්ණව අවබෝධ කළ උතුමන් වහන්සේ නමක් අපට ශාස්තෘන් වහන්සේ වීම කෙතරම් භාග්‍යයක් ද? ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පරිපූර්ණ ආරක්ෂාව ලබන්නට හැකි නම් ලෝකය ම ගිනි ගත්ත ද අප සිසිල් වූ නිවුණු සිතකින් වාසය කරනු ඒකාන්ත ය. ධර්මය දැන එහි හැසිරීමෙන් ම අනාගත යුද අර්බුදයෙන් ඇතිවන පීඩාවෙන් පරිපූර්ණ රැකවරණයක් ලැබෙනු ඇත.

යුද්ධයේ සුලමුල ගැන විස්තරයක් භාග්‍යවතුන් වහන්සේ මහානිධාන සූත‍්‍රයේ දේශනා කොට වදාළ සේක. එදා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ කුරු රටේ කම්මාස්සදම්ම නියම්ගමේ ය. එදා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළ ආනන්ද ස්වාමින්වහන්සේ පටිච්චසමුප්පාදය ගැන දහම් කතාවකට මුල පිරූ සේක. එහි දී මේ පටිච්චසමුප්පාද ධර්මය ගම්භීර වූ එකක් ගැඹුරු තේරුම් ඇති එකක් බව දේශනා කළ සේක. ලෝක සත්වයා අවුලෙන් අවුලට යන්නේ නූල් බෝලයක් වගේ අවුලවී, කුරුලූ කූඩුවක් වගේ ගෙතී, තණ බිස්සක් වගේ පැටලිලා යන්නේ මේ පටිච්චසමුප්පාදය අවබෝධ නො කිරීම නිසා බව ද භාග්‍යවතුන් වහන්සේ හෙළිකොට වදාළ සේක. යුද කෝලාහල ඇතිවීමට හේතුව ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. “පින්වත් ආනන්ද, විඳීම හේතුකොට ගෙන තණ්හාව ඇති වේ. තණ්හාව නිසා සොයන්නට පටන් ගනී. සොයන්නට පටන් ගැනීමෙන් එය ලැබෙයි. ලැබීම නිසා ලැබෙන දේවල්වල වටිනාකම විනිශ්චය කරන්නට පටන් ගනියි. විනිශ්චය අනුව එයා ඒකට ඇලූම් කරයි. ඇලූම් කරද්දී ඒ කෙරේ සිත බැස ගනී. සිත බැසගත් විට ඒක තමා සතු කරගන්නට කල්පනා කරයි. තමා සතුකරගන්නට කල්පනා කිරීමෙන් එය වෙන කෙනෙකුට ලැබෙනවාට අකමැති බව හෙවත් මසුරුකම ඇති වේ. මසුරුකම නිසා ඒ දෙය ආරක්ෂා කරගන්නට එයා අරගලයක යෙදේ. අන්න ඒ ආරක්ෂා කර ගැනීමේ අරගලය නිසා දඬුමුගුරු ගැනීම, ආයුධ ගැනීම, කෝලාහල කිරීම, විරුද්ධකම් කිරීම, විවාද කිරීම, බොරුකීම, කේලාම් කීම, පරුෂ වචන කීම ආදි නොයෙක් ළාමක අකුසල ධර්මයන් පහළ වෙයි.” මේ ධර්මතාවය අපේ සිතේ ඇත. ඒ සිත නිසා නේ ද ලෝකයේ කලකෝලාහල ගැටීම් යුද්ධ හට ගන්නේ? සිතේ මේ ධර්මතාවය අදහාගත් කෙනා හට ගැටීම් කලකෝලාහල මැද වුව ද සිසිල් වූ සිතක් ඇති කරගත හැක.

දිනක් මහානාම ශාක්‍යයා නිග්‍රෝධාරාමයට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට දහම් කතාවේ යෙදෙන්නට විය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් මහානාම, කාමයන්ගේ කුඩා සැපයක් ඇත; බොහෝ දුක් ඇත; දැඩි වෙහෙසක් ඇත. බොහෝ විපාකයන් ඇත”. “පින්වත් මහානාම කාමය මුල්කොට ගෙන කාමය හේතුකොට ගෙන රජවරු රජවරු සමඟ යුද්ධ කරයි. ක්ෂත‍්‍රියෝ ක්ෂත‍්‍රියෝ සමඟ කෝලාහල කරයි. බමුණන් බමුණන් සමඟ කෝලාහල කරයි. ගේෙදාර වාසීන් අතර කෝලාහල ඇති වේ. මව ද පුතා ද අතර කෝලාහල ඇති වේ. පියා ද පුතා ද අතර කෝලාහල ඇති වේ. සහෝදර සහෝදරියන් අතර කෝලාහල ඇති වේ. යහළුවන් අතර කෝලාහල ඇති වේ. මෙසේ කෝලාහල, විරුද්ධකම්, වාද විවාදයට පැමිණ එකිනෙකා අතින් පහර දෙයි. කැට කැබලිතිවලින් පහර දෙයි. පොලූවලින් පහර දෙයි. ආයුධවලින් පහර දෙයි. එයින් ඔවුන් මරණයට පත්වේ. මාරාන්තික වේදනා ඇති වේ. පින්වත් මහානාම, මෙලොවදීම විඳිය යුතු මේ දුක් සියල්ල ඇති වන්නේ කාමය හේතුකොටගෙන ය. කාමය මුල්කොට ගෙන ය.”

කාම රැල්ලට හසු වූ අප මේ ව්‍යසනය නෙවෙයි ද අත් විඳින්නේ? අන්න ඒ ආකාරයට සිතේ අර්බුදයට හේතුව දන්නා කෙනා කාමයෙන් ලෝකය ගිනි ගත්ත ද සිසිල් වූ සිතකින් වාසය කරනු ඇත.

බලන්න, අපගේ සිතේ හෝ බාහිර ලෝකයේ හෝ සියලූ අර්බුද හඳුනාගන්නට ශ‍්‍රී සද්ධර්මයේ උරුමය අපට හිමිව ඇත. ඒකාන්තයෙන් අපට රැකවරණය ලබා දෙන්නා වූ ඒ උරුමය ලබා නො ගන්නාතාක් ඒ ඒ කලට එන කාම රැල්ලට, ඒ ඒ යුද්ධයට, ඒ ඒ අන්ධ මතවාදවලට අප යටත් ය. භාග්‍යවතුන් වහන්සේ පංචකාමය ද දක්වා ඇත. පංච කාමයට හසුවන ක‍්‍රමය දක්වා ඇත. එහි විපාකය ද දක්වා ඇත. එයින් මිදීම ද දක්වා ඇත. භාග්‍යවතුන් වහන්සේ යුද්ධයේ සුලමුල ද දක්වා ඇත. අර්බුදවල ආදීනව ද දක්වා ඇත. අර්බුදයෙන් මිදීම ද දක්වා ඇත. භාග්‍යවතුන් වහන්සේ සිත මුළා වන ක‍්‍රම දක්වා ඇත. එහි විපාක දක්වා ඇත. ඉන් මිදීම ද දක්වා ඇත. ශ‍්‍රී සද්ධර්මයෙන් හෙළිවන ධර්මතාවයන්ගෙන් පිට මේ ලෝකයේ කිසිවක් සිදු නො වන්නේ ය. මේ ධර්මයේ උරුමය ලබන්නට අන් ක‍්‍රමයක් නැත. ඒ භාග්‍යවතුන් වහන්සේ ම දේශනා කළ ආකාරයට ධර්මයේ හැසිරීම ය. ධර්මයේ හැසිරීමෙන් ම ධර්මයෙන් සිසිල් වූ සිතක් ඇති කර ගැනීමට අප සියලූ දෙනා ම අදිටන් කර ගනිමු.

සටහන
කාලිංග මහානාම