ලෝකය කලින් කල අලුත් වනවා… ගස්වැල් පවා මේරූ, ඉදී ගිය කොළ හළා දමා අලුතින් අතුරිකිලි දලු දමා මල් පිපෙන්නට, ඵල දරන්නට සූදානම් වනවා… සතුන් හැව අරිනවා… කුඩා කුඩා කෝටු කැබලි තුඩින් ගෙන අලුතින් ම කැදලි තනමින් අලුත් පරපුරක් බිහි කරන කුරුලු සමූහයා විශේෂයෙන් ම මේ වසන්තයේ දී ප්‍රබෝධවත් ව සිටිනවා…

වෙනෙකක් තබා… යම් කාලයක් වැසි නොවැටී වියළී කරව යන මහපොළොව ගහකොළ සතා සිව්පාවා මිනිසුන් පවා එකම එක වැස්සෙනුත් පණ ගසා, නව ජීවයක් ලබා අලුත් වන අයුරු අප දකිනවා.

අලුත් වෙලා පරණ වීම

නිවසක් වුණත් තීන්ත ආලේපයෙන්, ගෘහභාණ්ඩ වෙනස් පිළිවෙළකට ඇසිරීමෙන්, නව ගෘහ නිර්මාණයන්ගෙන් නොයෙක් නොයෙක් අයුරින් අලුත් කෙරෙනවා. උත්සව සමයේ ඇඳුම් පැලඳුම් ආදිය කොහොමත් අලුත් වනවා. ඔව්… ලෝකයේ ස්වභාවය තමයි අලුත් වීම. මේ බාහිරින් සිදු වන අලුත් වීම අපට ඇසට පෙනෙන දෙයක්. අපේ ඉඳුරන්ට සංවේදී දෙයක්.

බොහෝ වෙහෙසමහන්සියෙන් අප අත්පත් කරගන්නා මේ අලුත් වීම හැබැයි කාලයත් සමඟ වෙනස් වන දෙයක් ම යි. කාලයට යටත් දෙයක් ම යි. බාහිරින් යමක් අලුත් වූ හෝ අලුත් කළ මොහොතේ පටන් ම එය අයිති පරණ වීමට. අලුත් වුණු හැමදේම ආයෙමත් පරණ වෙනවා. ඒකත් ලෝකයේ විද්‍යාමාන වන කරුණක්…

පරණ නොවී අලුත් වෙන්න බැරි ද?

තුන්ලෝකය ම මැනැවින් අවබෝධ කළ, ඒ පරම ශ්‍රේෂ්ඨ අවබෝධයට අනුව ම තම ජීවිතය පවත්වා වදහළ, ලෝසතගේ අවබෝධය මුහුකුරා යෑම පිණිස තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය ප්‍රාතිහාර්ය සහිත ව ලෝකයට දේශනා කොට වදහළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව්මිනිස් ලෝකයට අනුශාසනා කොට වදාළ අති සුන්දර අලුත් වීම නම් මේ විදිහට කාලය හමුවේ පරණ වන්නේ නෑ… ඒ අති සුන්දර අලුත් වීම තමාව මනා ව වෙනස් කරවන්නක්. තමාට මහා යහපත ම සලසන්නක්. එපමණක් නොවෙයි, එය බාහිර ලෝකයටත් යහපත සලසන්නක්. එය සිදු වන්නේ අභ්‍යන්තරික ව. බාහිර ඇඳුමකින්, ආලේපනයකින්, වෙනසකින් එය අත්පත් කරගන්නට බැහැ. මොකද මේ අලුත් වීම බැඳී යන්නේ කුසල් දහම් පිළිබඳව යි…

“මහණෙනි, මම් කුසල් දහම් පිළිබඳ ව හුදෙක් තිබීම වර්ණනා නොකරමි. පරිහානිය ගැන කවර කථා ද? මහණෙනි, මම් කුසල් දහම්හි දියුණුව වර්ණනා කරමි. තිබීම හෝ පරිහානිය වර්ණනා නොකරමි.”

(ඨිති සූත්‍රය, අං. නි. දසක නිපාතය)

මහා කාරුණික වූ අපගේ ශාස්තෘන් වහන්සේ මේ කරුණ තවදුරටත් විස්තර කොට වදාළා.

මෙන්න මේකයි පිරිහීම…

“මහණෙනි, කුසල් දහම් පිළිබඳ ව තිබීමකුත් නොවී, දියුණුවකුත් නොවී හානිය වන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සහ වැටහෙන නුවණින් යම් පමණකින් යුක්ත වෙයි ද ඔහු තුළ ඒ කුසල් දහම් නොපිහිටා තිබෙයි ද නොදියුණු වෙයි ද මහණෙනි, මෙය ඒ කුසල් දහම්වල හානිය යැයි කියමි. තිබීමකුත් නොවෙයි. දියුණුවකුත් නොවෙයි.”

එක තැන පල් වෙන්නත් එපා…!

කුසල් දහම් පරණ වීමේ ස්වභාවය මෙබඳුයි…

“මහණෙනි, කුසල් දහම් පිළිබඳ ව හානියකුත් නොවී, දියුණුවකුත් නොවී තිබීම වන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සහ වැටහෙන නුවණින් යම් පමණකින් යුක්ත වෙයි ද ඔහු තුළ ඒ කුසල් දහම්වලට හානි නොවී තිබෙයි. නමුත් නොදියුණු වෙයි. මහණෙනි, මෙය ඒ කුසල් දහම්වල තිබීම යැයි කියමි. හානියකුත් නොවෙයි. දියුණුවකුත් නොවෙයි.”

දියුණුව සදන අලුත් වීම…!

භාග්‍යවතුන් වහන්සේලා පවා පසසනා අලුත් වීම සිදු වන්නේ මේ අයුරින්…

“මහණෙනි, කුසල් දහම් පිළිබඳ ව තිබීමකුත් නොවී, හානියකුත් නොවී, දියුණුවකට පත් වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සහ වැටහෙන නුවණින් යම් පමණකින් යුක්ත වෙයි ද ඔහු තුළ ඒ කුසල් දහම් එක තැන පිහිටා නොතිබෙයි. හානි ද නොවෙයි. මහණෙනි, මෙය ඒ කුසල් දහම්වල දියුණුව යැයි කියමි. තිබීමකුත් නොවේ. හානියකුත් නොවේ.”

තමන්ගේ සිත දකින්නට දක්ෂ වන්න…!

මේ උතුම් ධර්ම පර්යාය අවසානයේ භාග්‍යවතුන් වහන්සේ තවත් සුන්දර දහම් අවවාදයක් වදාරණවා. නොපිරිහෙන කෙනෙක් වෙමින් අලුත් වන්නට නම් අප මේ දහම් අවවාදයේ පිහිටිය යුතු ම යි.

“ඉදින් මහණෙනි, භික්ෂුවක් අනුන්ගේ සිත දකින්නට දක්ෂ නොවෙයි නම්, එකල තමන්ගේ සිත දකින්නට දක්ෂ වන්නෙමි’යි මහණෙනි, මේ අයුරින් ඔබ හික්මිය යුත්තේ ය.”

ඉදින්, අපට විමසා බලන්නට තිබෙන්නේ අපව ම යි. අප බහුල වශයෙන් සිටින්නේ ලෝභය ඇතිව ද නැතිව ද ද්වේෂය ඇතිව ද නැතිව ද ථීනමිද්ධයට යට වී ද යට නොවී ද උද්ධච්චයෙන් යුතුව ද උද්ධච්ච රහිතව ද සැකයෙන් ද සැකයෙන් තොරව ද ක්‍රෝධයෙන් ද ක්‍රෝධ රහිත ව ද කිලිටි සිතින් ද නොකිලිටි සිතින් ද කායික පීඩාවෙන් ද කායික පීඩා රහිතව ද කුසීත ව ද පටන් ගත් වීර්යයෙන් යුතුව ද එකඟ නොවූ සිතින් ද සමාධිමත් ව ද ලෙසින් බහුල කොට අප වාසය කරන ආකාරයන් නුවණින් විමස විමසා බලන කල්හි ඒ කෙනාට එය බොහෝ උපකාර පිණිස පවතින බව භාග්‍යවතුන් වහන්සේ වදාළා…

අවබෝධය සදන වීර්යය කරා…

ඒ විදිහට විමස විමසා බලද්දී තමා තුළ ඇති පාපී අකුසල ධර්මයන් දකින්නට ලැබෙන විට “ඒ පාපී අකුසල දහම් ප්‍රහාණය කිරීම පිණිස වූ ඉතා බලවත් වූ කැමැත්තක් ද වීර්යයක් ද උත්සාහයක් ද බලවත් උත්සාහයක් ද නොපසුබස්නා උත්සාහයක් ද සිහියක් ද නුවණක් ද පැවැත්වීමට කටයුතු කළ යුතු ය” යන ශාස්තෘ අවවාදයේ පිහිටා කටයුතු කිරීමට අවස්ථාව සැලසෙනවා.

ඉදින් යම් කෙනෙක් එසේ නුවණින් විමස විමසා බලන කල්හි තමා තුළ ඇති යම්තාක් කුසල ධර්මයන් තිබේ ද ඒ කුසල් දහම්හි පිහිටා තවදුරටත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස උත්සාහ කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.

පුන්සඳක් බඳු මුනිවරු…!

මෙසේ නුවණින් විමසා විමසා බලමින් තම සිත පිරිසිදු කරමින්, සිත වඩමින් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම සාක්ෂාත් කළ රහතන් වහන්සේලා පවා ලෝකය හා එක් නොවී ලෝකයේ වාසය කරන්නේ හැමදා ම අලුත් වන පුන්සඳක් වගෙයි… ඒ උතුමන්ගේ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා වදාළා.

“පින්වත් මහණෙනි, දායක ගෙවල්වලට යන විට සඳක් වගේ යන්න. ඔවුන්ගෙන් කය ඉවත් කරගෙන ම, ඔවුන්ගෙන් සිත ඉවත් කරගෙන (ආගන්තුකයෙක් වගේ) ම යන්න. හැමතිස්සේ ම අලුත් කෙනෙක් වගේ යන්න. දායකයින් එක්ක අනවශ්‍ය කුළුපගකම් නැතිව යන්න.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ගරා වැටුනු ළිඳක් ළඟට යනවා. එහෙම නැත්නම් භයානක කඳු ප්‍රපාතයක් ළඟට යනවා. එක්කෝ කැඩී ගිය ගං ඉවුරක් ළඟට යනවා කියලා හිතමු. ඔහු කය ඈත් කරගෙන ම යි, සිත ඈත් කරගෙන ම යි එබිලා බලන්නේ. අන්න ඒ වගේ පින්වත් මහණෙනි, ඔබත් දායක ගෙවල්වලට යන විට සඳක් වගේ යන්න.”

(චන්දූපම සූත්‍රය, සං. නි.)

ආධ්‍යාත්මික ව පරිපූර්ණ ව ම අලුත් වෙමින් වැඩ සිටි ඒ මුනි උතුමන් කිසිදු විටෙක බාහිර ලෝකය හා මුසු වෙමින් පරණ වූයේ නැහැ. අවකාශයේ නොඇලී, අවකාශයට නොබැඳී ඔබමොබ සරන සර්වඥ ශ්‍රී හස්තය පෙන්වා භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒ අයුරින් ම දායක ගෙවල්වලට පිවිසෙද්දී සිත නොඇලී, නොගැලී, නොබැඳී, ‘පින් ලබනු කැමති උදවිය පින් ලබා ගනිත්වා! පින් කරනු කැමති උදවිය පින් කර ගනිත්වා!’ කියා සිත පිහිටුවාගෙන තමන් ලද දෙයකින් සතුටු ව – සතුටු සිතින් යුතුව, අන් අයගේ ලාභයේදීත් සතුටු ව – සතුටු සිතින් යුතුව වසන ඒ භික්ෂුව දායක ගෙවල්වලට යන්නට සැබෑම සුදුස්සෙක් වන බවයි..

කෙලෙස් තවනා ධුත ගුණයෙන් මිහිමඬල කම්පා කරවූ මහා කාශ්‍යප මහරහත් මුනිඳුන්ගේ ගුණ පසසමින් අපගේ ශාස්තෘන් වහන්සේ ලෝකයෙන් නිදහස් වූ මුනිවරුන්ගේ අලුත් බව කෙබඳුදැයි එසේ උපමාවට නැගුවා…

හැරෙන්න තමා දෙසට…

ඒ ශාස්තෘන් වහන්සේ ව සරණ ගිය, ඒ ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය සරණ ගිය, අලුත් වීම පිණිස දෙව්මිනිස් ලෝකයට විවර වූ මාවත වන ශ්‍රී සද්ධර්ම රත්නය සරණ ගිය අපත් හැමවිට ම කුසල් දහම් තුළ අලුත් විය යුතුයි. එයටයි ශාස්තෘන් වහන්සේ පසසන්නේ. එවිටයි, පුන්සඳක් බඳුව ලෝකය හා එක් නොවී වාසය කරන්නට අපටත් හැකි වන්නේ…!

සටහන – උදුලා පද්මාවතී