මුළු තුන් ලෝකයම සනසාලමින් අසිරිමත් ලෙස මනුලොව උපත ලද, සියලු‍ සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන් පිහිට වූ, අතිශය භයංකර වූ සසර ගමනක දුක් විඳ විඳ යන නුවණැති පිනැතියන් හට අමා නිවනට මග විවර කළ අපගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු තෙමඟු‍ල සිහිපත් කරවමින්, බොහෝ දෙනා ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි උත්සුක කරවූ උදාගිරින් නැගී ආ වෙසක් පුන්සඳ බැස ගිය ද සුළු කලෙකින් ම පොසොන් පුන්සඳ පායා දිලෙමින් ලක්වැසි අපට සිහිපත් කර දෙනු ලබන්නේ, තුන්ලෝකාග්‍ර අසහාය මනුෂ්‍ය රත්නය වූ අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී බුද්ධ වචනය ලංකාවාසී අප හට දායාද කළ උත්තම ජිනපුත්‍රයාණන් වහන්සේ වන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මහා කරුණාවේ මහිමයයි.

මිහිඳු කුමරා සසුන් දායාදය ලබයි.

දඹදිව අග්‍රරාජෝත්තමයාණන් වූ ධර්මාශෝක අධිරාජයාණන්ගේ පුත්‍රරත්නය ලෙසින් වේදිසගිරියෙහි දේවී කුමරියගේ කුසින් උපත ලද පින්වන්ත මිහිඳු කුමරා අත්‍යන්තයෙන් ම නිවුණු, කාරුණික හදක් ඇති, මහා නුවණින් යුක්ත වූවෙකි. රහතන් වහන්සේලාගේ ඇසුර නිබඳව ම ලද කුමරු ආල වැඩූයේ සිහසුනට නොව බුදු සසුනට ය. ධර්මාශෝක මහරජුගෙන් අවසර ලදුව, එකල්හි මේ මහා පෘථිවියෙහි වැඩ සිටි මහා ඉසිවරයාණන් වහන්සේ වූ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේනමක් ලෙසින් උතුම් බුදු සසුනට ඇතුළු වූ මිහිඳු කුමරුවෝ පැවිදි වූ දිනයේ දී ම උපසම්පදාව ද ලැබූහ.

උපසම්පදා මාලකයේ දී ම සතර පටිසම්භිදාවෙන් යුක්ත වූ රහතන් වහන්සේනමක් බවට පත් වීමට අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වාසනාව ලද සේක. උපසම්පදාව ලබා තුන් වසරක් ඇතුළත සිය උපාධ්‍යායන් වහන්සේ වූ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ වෙතින් ම තුන් පිටකය ම ඉගෙන ගත්හ.

අපගේ ආදිගුරුදෙවිඳුන් ලක්දිවට වැඩම කරයි.

මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කරන ලද තුන්වන ධර්ම සංගායනාවෙන් අනතුරුව අපගේ භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය ඈත පිටිසර රටවල සිටිනා අහිංසක ජනයා හට ද ලබා දීම පිණිස රහතන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය කටයුතු සම්පාදනය කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් රටවල් කිහිපයකට ම රහතන් වහන්සේලා පිටත් කොට යවන ලද්දාහ. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසිනුත්, උතුම් මහා සංඝරත්නය විසිනුත් මිහිඳු මහරහතන් වහන්සේ අපගේ ලංකාද්වීපය වෙත වැඩම කරවීමට තීරණය කරන ලද අතර ඒ වන විට අපගේ මිහිඳු මහරහත් මුනිඳුන් උපසම්පදාව ලබා දොළොස් වසරකි. ගෞතම සම්බුදු සසුන කෙරෙහි ලංකාදීපවාසීන් මනාව පැහැදවීම පිණිස වඩාත් උද්f්‍යා්ගයෙන් දායක විය හැකි තරුණ කුමරෙකු වූ දේවානම්පියතිස්ස කුමරුන්ගේ රාජ්‍යත්වයට පත් වීම බලාපොරොත්තුවෙන් අපගේ මහරහතන් වහන්සේ වැඩ සිටියේ එවකට රජව සිටි මුටසීව රජු ඉතා මහලු‍ අයෙක් වූ බැවින් ය. “මාගේ පියාණන් වූ ධර්මාශෝක රජතුමා විසින් පිටත් කර හරින ලද දූත පිරිසෙහි උපකාරයෙන් දේවානම්පියතිස්ස නිරිඳුන් දෙවන වරට ද ලංකා රාජ්‍යයෙහි අභිෂේක ලබත්වා! එම දූතයන්ගෙන් තුනුරුවනේ ගුණ අසා දැනගනිත්වා! එළඹෙන්නා වූ පොසොන් පුන් පොහෝ දින මිස්සක නමැති පර්වතයට රජතෙමේ නගීවා! එදින ම අපිදු උත්තම ලංකාද්වීපයට යන්නෙමු.” යි අධිෂ්ඨාන කළ – අනාගතයෙහි සිදුවන දේ පිළිබඳ මැනවින් දන්නා අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වේදිසගිරි විහාරයෙහි වැඩ වසමින් සුදුසු කාලය එළඹෙන තුරු මෑණියන් ඇතුළු ඥාති පිරිසට සම්බුදු දහම නම් වූ අමෘතයෙන් සංග්‍රහ කළ සේක. අපගේ ලංකාද්වීපය කෙරෙහි හිතානුකම්පී වූ ශාක්‍යමුනීන්ද්‍ර භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා මොහොතේ යහන මත සැතපී සිට, මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිවෙහි බුදු සසුන පිහිටුවන බවට වදාළ වදන් සිහි කළ ‘මහා ඉන්ද්‍ර’ නමැති සක් දෙව්රජු අපගේ මහරහතන් වහන්සේ වෙත එළඹ, “සම්බුදු සසුන කෙරෙහි ලක්දිවවාසීන් පැහැදවීමට ලංකාද්වීපයට වඩිනු මැනව. ඒ සඳහා අපිදු උපකාරී වන්නෙමු.” යි මහත් ආදර ගෞරවයෙන් ආරාධනා කර සිටියේ ය. මෙලෙසින් සම්බුදු සසුන කෙරෙහි මැනවින් සිත පහන් කරගත්, උත්තම මුනි දහමින් පිළිසරණ සදාගත්, කල්‍යාණමිත්‍ර සත්පුරුෂ උතුමන්ගේ උපකාර මධ්‍යයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වසර 236ක් ගතවෙන තැන මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට යහපත සැලසීම පිණිස ම ඉඳුබලයෙන් මෙහි වැඩම කළ සේක.

ලක්වැසියන්ගේ මිසදිටු දුරැලූ සත්පුරුෂ කල්‍යාණමිත්‍රයාණෝ

එදා පොසොන් පුන්පොහෝ දින දෙවන පෑතිස් නිරිඳු පිරිස් පිරිවරා දඩයම පිණිස මිස්සක පර්වතයට පැමිණියේ ය. හිංසාකාරී සිතිවිල්ලකින් සිටි රජතුමා ඉදිරියේ අපගේ මහා මුනීන්ද්‍ර වූ මහරහතන් වහන්සේ පෙනී සිටියේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම උන්වහන්සේගේ මහා කරුණාව ක්‍රියාවෙන් ද ඉස්මතු කරවමිනි.

රහතන් වහන්සේ සමග පැමිණි ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන යන රහතන් වහන්සේලාත්, භණ්ඩුක නම් උපාසක දරුවාත් එක්වර ම දුටුවහොත් රජු බොහෝ බියට පත් වේ යැයි සිතූ අපගේ මහරහතන් වහන්සේ මුලින් ම තමන් වහන්සේ පමණක් පෙනීමට සලස්වා, තමන්ව හඳුන්වා දුන්නේ ලොව අන් කවරෙකුවත් තමන්ව වෙනත් අයකුට හඳුන්වා නොදෙන වෙනස් ම පිළිවෙළකට ය. උන්වහන්සේ වදාළේ මෙසේ ය.

“සමණාමයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා”

“අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි ආවෙමු.”

කෙතරම් විස්මිත ප්‍රකාශයක් ද? තමන් මහා අධිරාජයෙකුගේ පුතෙකු බවවත්, තමන් විසින් ම ලද අවබෝධයකින් ලංකාදීපවාසීන් බේරාගන්නට පැමිණි ගැලවුම්කරුවෙකු ලෙසින්වත් නොවෙයි උන්වහන්සේ තමන් වහන්සේ ව හඳුන්වා දුන්නේ. ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙසින් ය. මානය සුණුවිසුණු කළ, මානව දයාවෙන් පරිපූර්ණ වූ, මහා කාරුණික හදමඬලක සුන්දරත්වයේ අනුහසින් දේවානම්පියතිස්ස නිරිඳුන්ගේ තැතිගැන්ම දුරුකර, සංසිඳීමට පත් කරවා, හෙතෙම දමනයට පත් කළේ ය. ලක්දිව සිදු වූ විශිෂ්ට වූත්, සර්ව අභිවෘද්ධිදායක වුත් පරිවර්තනයෙහි ආරම්භයයි මේ. මහා නුවණැති මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස නිරිඳුන් නුවණැතියකු බව වටහාගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ චූළහත්ථිපදෝපම සූත්‍රය මුල් කොට ධර්මය දේශනා කළ සේක. එම ධර්ම දේශනාව අවසානයේ සතළිස් දහසක් පමණ වූ පිරිවර සමඟින් රජතුමා තෙරුවන් සරණෙහි පිහිටියේ ය. මහා නුවණැති මිහිඳු මහරහතන් වහන්සේ විසින් අපගේ ධර්ම සේනාධිපතීන් වහන්සේ වදාළ දෙසුමක් වන සමචිත්තපරියාය සූත්‍රය මුල්කොට දෙවිවරුන් අරභයා වදාළ ධර්ම දේශනාව ශ්‍රවණය කළ බොහෝ දෙවියෝ ලංකාද්වීපයෙහි සම්බුදු සසුන පිහිටුවීම පිණිස අපගේ මහරහතන් වහන්සේ ගන්නා අවංක උත්සාහයට මුළු හදින්ම දායක වූවෝ ය. ඒ සමඟ ම ලංකාවාසීන් විසින් බොහෝ කාලයක් මුළුල්ලේ පුද සත්කාර දක්වමින් උපකාර ලබාගන්නා ලද පවිටු බලවේගයන් කෙමෙන් කෙමෙන් දුර්වල වී ගියේ ය.

කළ යුතු දෙයෙහි සුදුසු කාලය මැනවින් දන්නා නුවණැති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පවිටු අඳුරු බලවේගයන් සරණ ගොස් සිටි, භයානක ඉරණමක් උරුම කරගෙන සිටි අහිංසක ලංකාවාසීන් ක්‍රමානුකූලව ධර්මයෙන් පෝෂණය කොට යහපත් මාවතට යොමු කළ සේක. පව් රැස්කොට ප්‍රේතලොව දුක් විඳින සත්වයන්ගේ විස්තර ප්‍රේත වස්තුවෙනුත්, පින් රැස් කොට දෙව්ලොව ඉපිද සැප විඳින සත්වයන්ගේ විස්තර විමාන වස්තුවෙනුත් වදාරා, සියලු‍ දුක් අවසන් කිරීමට නම් චතුරාර්ය සත්‍යාවබෝධය ලබා ගත යුතු බව උතුම් බුද්ධ දේශනා ඇසුරින් මනාව පෙන්වා දුන් සේක.

සත්පුරුෂයාත්, අසත්පුරුෂයාත් මැනවින් වෙන්කොට හඳුන්වා දුන් අපගේ මහරහතන් වහන්සේ, අතීතයේ වැඩ සිටි කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන තුන් බුදුරජාණන් වහන්සේලාගේ මෙන්ම අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද පාද ස්පර්ශයෙන් මේ සොඳුරු දිවයින පූජනීයත්වයට පත් වූ ඒ අසිරිමත් කතා පුවත මැනවින් කියාදී ලංකාවාසී ජනයාගේ සිත් සතන් පහන් කළ සේක.

මුනි දහමින් සිදු වූ සොඳුරු පරිවර්තනය

මේ උතුම් ලංකාද්වීපයෙහි අනාගතයෙහි ඉදිවන අසිරිමත් පුණ්‍යභූමීන් පිළිබඳව සියලු‍ තොරතුරු වදාළ මිහිඳු මහරහතන් වහන්සේ, එය හුදෙක් වචනයට සීමා නොකොට අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සර්වඥ ධාතූන් වහන්සේලාත්, ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ හට උතුම් සම්බෝධිය පිණිස සෙවණ සැලසූ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ඛිණ ශාඛා වහන්සේත් මහත් ගෞරවයෙන් වැඩම කරවා දුන් සේක.

අඳුරු බලවේගයන් සමගින් භයංකාර වූ ගනුදෙනුවක නිරතව සිටි ලක්වාසී ජනයා හට සැබැවින් ම පිදිය යුතු උතුමන් පුදන්නට ඉඩහසර විවර වූයේ, අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැනි සත්පුරුෂ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේනමකගේ ඇසුරක් ලබන්නට තරම් ඔවුන් වාසනාවන්ත වූ නිසාවෙනි. අපගේ ලංකාද්වීපයට පිළිසරණ වූ සොඳුරු ගුණැති මිහිඳු මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මනාව දේශනා කරමින් සතියක් තුළ මාර්ග ඵලලාභීන් අටදහස් පන්සිය දෙනෙක් බිහිකරන්නට හැකිවූයේ අපගේ මහරහතන් වහන්සේ වෙත පැවරී තිබූ ශාසනික වගකීම මනාව ඉටු කිරීමට උන්වහන්සේ ගත් අවංක, හිතානුකම්පී උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙනි. ලක්දිව උපන් සිංහල කුල කුමාරවරුන් සිය දහස් ගණනින් ගෞතම බුදු සසුනෙහි පැවිදි කරවා, තමන් වහන්සේ විසින් රන් බඳුනක ලූ සිංහ තෙලක් පරිද්දෙන් හදෙහි දරාහුන් සම්බුදු වදන් මැනවින් කියාදී, දීප භාෂාවෙන් අර්ථ පැහැදිලි කර දුන් කල්හි, ඔවුහු ද ගෞතම බුදුරජුන්ගේ ළයෙහි උපන්, නිකෙලෙස් හදමඬලක් දරාගත් රහත් ශ්‍රාවක දරුවන් බවට පත් වන්නට වාසනාව ලද්දෝ ය. උතුම් බෝධීන් වහන්සේ සමඟින් සඟමිත් තෙරණිය ද වැඩම කරවා ලක්දිව භික්‍ෂුණී පැවිද්ද ද ස්ථාපිත කළ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවෙහි ම වැඩ වාසය කරමින් ලංකාවාසීන් හට මහත් අනුකම්පාවෙන් ම පිහිට වූ සේක.

අඳුරු බලවේගයන්හි ගොදුරක් බවට පත්ව සිටි ජනයා එයින් මුදවා උතුම් තුනුරුවන කෙරෙහි මනාව පහදවා තුනුරුවන ම තම එකම පිහිට පිළිසරණ බවට පත් කරගැනීම පිණිස මඟ පෙන්වූයේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ම ය. මේ මහා භද්‍රකල්පයේ සිවුවැනිව පහළ වී වදාළ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත්, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිවනට ම පමුණුවන මිහිරි ශ්‍රී සද්ධර්මයත්, භාග්‍යවතුන් වහන්සේගේ හදමඬලින් උපන් ධර්මයෙන් නිර්මිත ශ්‍රාවක මහා සංඝරත්නයත්, මනාකොට හඳුන්වා දී, පිදිය යුතු උතුමන් පුදමින් ජීවිතයට මහානීය පුණ්‍යධර්මයන් රැස්කර ගන්නටත්, දිවියේ සැබෑ තතු මනාව අවබෝධ කොට භයානක සසරින් නිදහස් වීමටත්, මාවත පෙන්වා වදාළේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් ම ය.

මිනිස්කම අගයන ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙසින් නැඟී සිටීමට අවශ්‍ය ආධ්‍යාත්මික දියුණුව පිණිසත්, භෞතික දියුණුව පිණිසත්, සියලු‍ මඟ පෙන්වා වදාළෝ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ම ය. සැබැවින් ම ඒ උත්තම මිහිඳු මහරහතන් වහන්සේ අපගේ ආදිගුරුදේවෝත්තමයාණන් වහන්සේ ම ය. අපගේ ලංකාද්වීපයට ශාස්තෘන් වහන්සේනමක් බඳුව පිහිට වූ මහා මුනිවරයාණන් වහන්සේ ම ය.

ලක්වාසී ජනයා වරදින් මුදවා යහපතෙහි ම රැඳවූ, අප හට සියලු‍ යහපත උදා කළ, බුදු සසුන් දායාදය මැනවින් ලබා දුන් ලංකාදීපප්පසාදක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.