පින්වත් යොවුන් දූ දරුවනේ,
ජීවිතේට මහා වෙහෙසක් ගෙනෙන දෙයක් තමයි පසුතැවීම. හිතක පසුතැවීමක් ඇති වුණොත් ඒ නිසා සිත සුවපත් කරගැනීම ලේසි නෑ. ඒ නිසා පසුතැවෙන්ට ඉඩක් තියා ගන්නේ නැතිව ජීවත් විය හැකි නම් ඒක මහා පහසුවක්. නමුත් ඔයාලට හිතෙන්න පුළුවන්, ‘එහෙම ජීවිතයක් ගත කරන්නේ කොහොමද?’ කියලා. අද ලිපියෙන් කියා දෙන්නේ ඒ ගැනයි.
වෙනදා වගේම සෙනෙහසින් සිහිපත් කරනවා මේ ලිපිය අවසන් වන තෙක්ම අවධානයෙන් කියවන්න. ‘පසුතැවෙන්ට ඉඩක් තියා ගන්නේ නැතිව ජීවත් වෙන හැටි’ ඔයාලටත් තේරුම් යාවි!
සාරාංශ කාරණා 2ක්
ජීවිතේ පසුතැවෙන ඉඩ නිර්මාණය වීම සාරාංශ කාරණා දෙකකින් මතක තියා ගන්න.
1 සිත කය වචනයෙන් පව් කළොත් පසුතැවෙන්ට වෙනවා.
2 පින් කරන්ට අවස්ථාව ලැබිලත් බාගෙට පින් කළොත් පසුතැවෙන්ට වෙනවා.
‘පව් කළොත් පසුතැවෙන්ට වෙනවා’ කියන කාරණේ ධම්මපදයේ යමක වර්ගයේ තිබෙන මේ ගාථාවෙන් තේරුම් ගන්න.
ඉධ තප්පති පෙච්ච තප්පති
පාපකාරී උභයත්ථ තප්පති
පාපං මේ කතන්ති තප්පති
භිය්‍යෝ තප්පති දුග්ගතිං ගතෝ
“පව් කරන පුද්ගලයා තමයි මෙලොවදී පසුතැවෙන්නේ. පරලොවදී පසුතැවෙන්නෙත් ඔහු ම යි. ඔහු දෙලොවදී ම පසුතැවෙනවා. ‘අයියෝ! මං පව් කර ගත්තා’ කියල පසුතැවෙනවා. අපායේ ඉපදුණාට පස්සේ ඔහු ගොඩාක් පසුතැවෙනවා.”
පව් කරගෙන විපතේ වැටුණු දෙව්දත් අරභයා බුදුරජුන් වදාළ ඔය ගාථාව හිතට අරගෙන පව් කිරීමෙන් වළකින්න. පසුතැවෙන්ට ඉඩ තියාගන්න එපා!
පසුතැවෙන දෙවිවරු
ඔව්! පසුතැවෙන දෙවිවරු පිරිසක් දිනක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණියා. ඔවුන් දෙවියන් අතරේ ඉපදිලත් පසුතැවෙන්ට හේතු වූ කරුණ බුදුරජාණන් වහන්සේට කියා හිටියා. මේ විස්තරය තිබෙන්නේ අංගුත්තර නිකායේ දේවතා සූත්‍රයේ.
ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර. එදා රැස්ව සිටි භික්ෂූන්ට බුදුරජුන් මෙසේ වදාළා. “පින්වත් මහණෙනි, ඉකුත් රාත්‍රියේ බොහෝ දේවතාවෝ මා සමීපයට පැමිණියා. පැමිණ මා හට වන්දනා කළා. එසේ සකසා වන්දනා කරල එකත්පසෙක සිට ගත්තා. ඒ අතරින් දේවතාවෝ පිරිසක් මට මෙසේ පැවසුවා.
‘ස්වාමීනී, අපි කලින් ජීවිතේ හිටියේ මනුස්ස ලෝකේ. අපි ජීවත් වුණේ ගිහි ගෙවල්වල. අපේ ගෙවල්වලට පැවිද්දෝ වැඩම කළා. (තා මයං භන්තේ, පච්චුට්ඨිම්හ) ස්වාමීනී අපි උන්වහන්සේලා වඩිද්දී ගෞරවය දක්වමින් ආසනවලින් නැගිට්ටා. (නෝ ච ඛෝ අභිවාදිම්හ) ඒ වුණාට ස්වාමීනී, අපිට බැරි වුණා උන්වහන්සේලාට වන්දනා කරන්න.
දැන් ඉතින් ස්වාමීනී (අපරිපුණ්ණකම්මන්තා) අපේ අසම්පූර්ණ පින්කම නිසා අපි උපන්නේ හීන දෙව් කයක. අපේ හිත් විපිළිසරයි. අපි පසුතැවෙනවා.’”
වඳින්ට පුළුවන් කාලේ වඳින්ට
මෙයින් තේරෙනවා නේද අවස්ථාව තියෙන කාලෙ බාගෙට පින් කරගත්තොත් පසුතැවෙන්ට වෙන බව. ඒ දෙවිවරු පැවිද්දන් දකිද්දී අඩු තරමේ ගෞරව කළ නිසයි දෙව්ලොව උපන්නේ. ඒ නිසා අපි හොඳින් තේරුම් ගත යුතුයි. ගරු කළ යුතු උතුමන්ට, ගරු කළ යුතු පූජනීය වස්තූන්ට අවස්ථාව ලැබෙන හැම මොහොතේ ම ගරු කළ යුතුයි. ගරු සරු දැක්වීමට අවස්ථාව ලැබෙද්දී ගරු කරන කෙනාට පසුතැවීමට ඉඩක් නෑ.
ගරු කළාට වන්දනා කරගන්ට බැරි වුණ නිසා දෙවිවරුන්ට පසුතැවෙන්ට වුණා. අපිට මොනතරම් අවස්ථා ලැබිලා තියෙනව ද දෙමව්පියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගෞරවයෙන් වඳින්ට. උතුම් තෙරුවන මුණගැහුණු මේ ජීවිතේ බුද්ධ වන්දනාවෙන්, ධර්ම රත්නයට වැඳීමෙන්, සඟරුවන වැඳීමෙන්, සෑ බෝධීන් වහන්සේලාට, ධාතූන් වහන්සේලාට, පිළිම වහන්සේලාට වැඳීමෙන් අපිට මොනතරම් පින් කර ගන්ට හැකියාවක් ලැබී තියෙනවා ද?
නමුත් මේ හැකියා, අවස්ථා තියෙන කාලේ වැඳීමෙන් කරගත හැකි පින අසම්පූර්ණ කරගන්ට එපා! පසුතැවීමට ඉඩක් තියාගන්ට එපා! වඳින්ට පුළුවන් කාලේ වඳින්ට.
අනෙක් දෙවිවරු
ඒ මුල් දෙවිවරු ඔය කාරණේ කියූ විට අනෙක් දෙවිවරුන් කථා කරන්ට පටන් ගත්තා. දෙවිවරු කොටසක් කිව්වා, “ස්වාමීනී, අපේ ගෙවල්වලටත් පැවිද්දෝ වැඩියා. අපි නම් ගරු සරු දක්වලා වන්දනා කළා. නමුත් අපිටත් තියෙනවා පසුතැවීමක්. (නෝ ච ඛෝ ආසනං අදම්හ) අපිට බැරි වුණානේ ඒ උතුමන්ට වැඩ හිඳීම පිණිස ආසනයක් පනවන්ට. ඒ නිසා අපි හීන වූ දිව්‍ය ජීවිතයක් ලබල අපේ පින සම්පූර්ණ කරගන්න බැරි වුණා කියල පසුතැවෙමින් ඉන්නවා.”
එතකොට තව දෙවිවරු පිරිසක් පැවසුවා, “අපි නම් ආසනත් පැනෙව්වා. ගරු සරු දක්වා වන්දනා කරලා ආසන පැනෙව්වත් (නෝ ච ඛෝ යථාසත්ති යථාබලං සංවිභජිම්හ) අපිට බැරි වුණානේ අපට ඇති අයුරින් අපේ බල පමණින් ඒ උතුමන්ට දන් දෙන්ට. ඒ නිසා අපි හීන වූ දිව්‍ය ජීවිතයක් ලබල අපේ පින සම්පූර්ණ කරගන්න බැරි වුණා කියල පසුතැවෙමින් ඉන්නවා.”
ඔය විදිහට හීන වූ දිව්‍ය ජීවිතයක් ලැබූ ඒ ඒ දෙවිපිරිස් පිළිවෙළින් තමන්ට ලැබුණු අවස්ථාවල දී පින අසම්පූර්ණ කරගත් විදිහ පසුතැවෙමින් පැවසුවා. ඇතැම් දෙවිවරු ශක්ති පමණින්, බල පමණින් දන් දීලා. නමුත් (නෝ ච ඛෝ උපනිසීදිම්හ ධම්මසවණා) දානෙන් පස්සේ බණ ටිකක් අහන්ට වාඩි වෙන්ට බැරි වුණ නිසා පසුතැවෙනවා.
ඇතැම් දෙවිවරු බණ අහන්ට වාඩි වෙලා. ඒ වුණාට (නෝ ච ඛෝ ඕහිතසෝතෝ ධම්මං සුණිම්හ) කන යොමාගෙන අවධානයෙන් බණ අහන්ට බැරි වීම නිසා පසුතැවෙනවා.
ඇතැම් දෙවිවරු සවන් යොමාගෙන බණ අහලා. නමුත් (නෝ ච සුත්වා ධම්මං ධාරයිම්හ) ඇසූ බණ ටික මතකයේ දරා ගන්ට බැරි වීම නිසා පසුතැවෙනවා.
ඇතැම් දෙවිවරු බණ මතකයේ දරාගෙන. ඒ වුණාට (නෝ ච ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛිම්හ) මතකයේ දරාගත් ධර්මයේ අර්ථ නුවණින් විමසන්ට බැරි වෙලා. ඒ නිසා පසුතැවෙනවා.
ඇතැම් දෙවිවරු ධර්මයේ අර්ථ මෙනෙහි කරලා. නමුත් (නෝ ච ඛෝ අත්ථමඤ්ඤාය ධම්මඤ්ඤාය ධම්මානුධම්ම පටිපජ්ජිම්හ) අර්ථයට අනුව, ධර්මයට අනුව ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්ට බැරි වීම ගැන පසුතැවෙනවා.
සම්පූර්ණයෙන් පින කරගත් දෙවිවරු…
ඔය විදිහට පසුතැවෙන දෙව් පිරිස් අටකට පස්සේ නවවැනි දෙවි පිරිසක් ඉතාම ප්‍රීතියෙන් බුදුරජුන්ට මෙහෙම පැවසුවා. “ස්වාමීනී, කලින් ජීවිතේ අපිත් හිටියේ මනුස්ස ලෝකෙ ගිහි ගෙවල්වල. ඒ අපේ ගෙවල්වලටත් උතුම් පැවිද්දන් වහන්සේලා වැඩියා. (තා මයං භන්තේ) එතකොට අපි නම් ස්වාමීනී
1 (පච්චුට්ඨිම්හ) ඒ උතුමන් දකිද්දීම හුනස්නෙන් නැගිට ගෞරව දැක්වූවා.
2 (අභිවාදිම්හ) අපි නම් ඒ උතුමන්ට ඉතා ගෞරවයෙන් පසඟ පිහිටුවා වන්දනත් කළා.
3 (ආසනං අදම්හ) එහෙම වැඳලා ආසනත් පැනෙව්වා. ඒ ආසන පවරා වඩා හිඳෙව්වා.
4 (යථාසත්ති යථාබලං සංවිභජිම්හ) අපිට ශක්ති පමණින්, බල පමණින් දානෙත් පූජා කළා.
5 (උපනිසීදිම්හ ධම්මසවණාය) දන් වළඳා නිමවූ ඒ උතුමන් සමීපයට ගිහින් බණ පදයක් අහන්ට වාඩි වුණා.
6 (ඕහිතසෝතා ච ධම්මං සුණිම්හ) අපි සවන් යොමාගෙන බණ ඇසුවා.
7 (සුත්වා ච ධම්මං ධාරයිම්හ) ඒ අහපු බණ පද මතකයේත් දරා ගත්තා.
8 (ධතානඤ්ච ධම්මානං අත්ථං උපපරික්ඛිම්හ) ඒ මතකයේ දරාගත් ධර්මයේ අර්ථ නුවණින් මෙනෙහි කළා.
9 (අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජිම්හ) ඒ වගේම අපි ධර්මයේ අර්ථ දැනගෙන, ධර්මයත් දැනගෙන, ධම්මානුධම්ම පටිපදාවේ යෙදුණා.
ඉතිං ස්වාමීනී, ඒ නිසා අපි නම් (පරිපුණ්ණකම්මන්තා) අපේ පුණ්‍ය කර්මය සම්පූර්ණ කරගත් නිසා ප්‍රණීත වූ දිව්‍ය ජීවිතයක් ලබා කිසිම විපිළිසර බවක් නැතිව, පසුතැවීමකින් තොරවයි ඉන්නේ.”
පස්සේ පසුතැවෙන්ට තියාගන්න එපා!
මේ විස්තරය දේශනා කරපු මහා කාරුණික අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට අවවාද කළේ,
“(මා භික්ඛවේ පමාදත්ථ) මහණෙනි, නුඹලා නම් ප්‍රමාද වෙන්ට එපා! අර ප්‍රමාද වූ දෙවිවරු වගේ (මා පච්ජා විප්පටිසාරිනෝ අහුවත්ථ) පස්සේ පසුතැවෙන්ට තියාගන්ට නම් එපා!” කියලයි.
තෙරුවන් සරණයි!
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments