සොඳුරු ගුණදහම් ද උත්තම මිනිස් දහම් ද ඇතිව නැණ බලයෙන් ද ඔද වැඩුණු සාධු ජනයන්ගේ පහළ වීම ලොව අතිශයින් ම දුර්ලභ ය. එයින් වඩාත් උත්තරීතර ම මනුෂ්‍ය රත්නය අපගේ ශාස්තෘ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. දෙව් මිනිස් ලොවට සත්පුරුෂ දහම දායාද කළ අපගේ භාග්‍යවතුන් වහන්සේ, ඒ සොඳුරු දහමින් උපන් පිවිතුරු සිත් ඇති ශ්‍රාවක දරුවන්ගේ අසහාය මුනීන්ද්රයන් වහන්සේ වන සේක් ම ය. සාමාන්‍ය මිනිස් ගුණදහම් වඩ වඩාත් දියුණු කොට උතුම් මිනිසුන් බවට පත් වූවෝ ඒ ශ්‍රාවක දරුවෝ ය. ගුණ නැණින් පිරිපුන් දිවියක් කරා යන ගමනේ බාධක මගහැර සේවනය කළ යුතු, සේවනය නොකළ යුතු, ඇසුරු කළ යුතු, නොකළ යුතු දේවල් මෙන්ම මග නොමග හොඳින් පෙන්වා දුන්නේ අප ශාස්තෘන් වහන්සේ ය.
උන්වහන්සේ දුර්ජන අසත්පුරුෂ ඇසුරේ භයානක බව මතු කරමින් සුදන සත්පුරුෂ ඇසුරේ වටිනාකම මැනවින් පහදා දුන් සේක.
“චරඤ්චේ නාධිගච්ඡෙය්ය
සෙය්යං සදිසමත්තනෝ
ඒකචරියං දළ්හං කයිරා
නත්ථි බාලේ සහායතා”
“එක්කෝ තමන්ට වඩා උසස් කෙනෙක් ම යි ආශ්‍රයට සොයාගන්නට ඕන. එහෙමත් නැතිනම් තමන්ට සමාන ගුණධර්ම තියෙන කෙනෙක් ම යි ආශ්‍රයට සොයාගන්නට ඕන. එහෙම කෙනෙකුත් සොයා ගන්නට නැත්නම්, දැඩි අධිෂ්ඨානයකින් හුදෙකලාවේ තනියම ජීවත් වෙන්නට ඕන. අසත්පුරුෂයන් එක්ක යාළුකම් ඕන නෑ.” (ධම්ම පදය – බාල වර්ගය)
මේ බව හොඳින් හඳුනා නොගතහොත් සිදුවන අයහපත ගැනත්, සුදන ඇසුරෙන් සිදුවන යහපත ගැනත් අවබෝධයෙන් ම දැක වදාළ අප ශාස්තෘන් වහන්සේ ‘අසේවනාච බාලානං’ – බාලයන් ඇසුරු නොකිරීමත්, ‘පණ්ඩිතානං ච සේවනා’ – නුවණින් යුතු කලණමිතුරු ඇසුරත් මංගල කාරණා වශයෙන් පෙන්වා වදාළ සේක.
අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු දඹදිව විසූ එක්තරා දුප්පත් මිනිසෙක් සොරුන් හා එක්ව සොරකමේ යන්නට පුරුදු විය. දිනක් ඔහු ව රාජ පුරුෂයින්ට හසුවී රාජ නියෝගයෙන් සිරගත කරන ලදී. මෙසේ වසර දොළහක් මුළුල්ලේ සිරගෙයි සිටින ඔහුට හරියාකාරයෙන් කෑමක් බීමක් නින්දක් නොමැතිව මහා දුක් විඳින්නට සිදු විය.
දිනක් පිටිසර ගම්වැසියෙක් ඒ නුවර ඇවිදගෙන යන විට සිරගෙයි වසන මේ මිනිසා දැක පැරණි යහළුවෙක් බව දැන හැඳින මහා කම්පාවට පත් විය. කඳුළු වගුරුවමින්, මහා හඬින් හඬා වැළපෙමින් “යහළුව, ඔබට මගෙන් උදව්වක් වුවමනාදැ?” යි විමසී ය. “අනේ මිත්‍රය, මේ සිරගෙදර දැන් බොහෝ කාලයක් බොහෝ දුක් වින්දා. මගේ බඩ පිරෙන්න ආහාරයක් අනුභව කරලා එන්න ඇත්නම් හොඳයි.” ඔහු කීය.
ඒ පිටිසර ගම්වැසි මිනිසා හරිම ලස්සනට සිතන්නට විය.
මෙලොව යම් කිසිවෙක් මනබඳින රූප සම්පත්තියකින් යුතු වුවත් ආචාරශීලී ගුණදහම් නැතිනම් ඔහුගේ රූපයෙන් කවර ප්‍රයෝජනයක් ද?
යමෙක් කරුණු තේරුම් ගන්නා කුසලතා ඇති දක්ෂයෙක් වූයේ නමුත් නොගැළපෙන වචන කියමින් අලසව නොහොබිනා කටයුතු කරත් නම් ඔහුගේ හැකියාවලින් කවර ප්‍රයෝජනයක් ද?
මහා ධනවත් කෙනෙක් නමුත් අනුන්ට කිසිවක් නොදී මසුරුව වෙසෙයි නම් ඔහුගේ වස්තුවෙන් කවර ප්‍රයෝජනයක් ද?
යම් මිතුරෙක් තම යහළුවාට කිසියම් ආපදාවක් පැමිණි කල්හි නොදැක්කා සේ මුහුණ සඟවා පලා යයි නම් ඔහුගේ මිතුරුකමින් කවර ප්‍රයෝජනයක් ද?
එසේ නම් මොහුට අවශ්‍ය ම මොහොතේ මා උපකාර කළ යුතු යි සිතා සිරගෙයි පාලකයන් වෙත ගොස් ‘පින්වත, මොහු ආහාරයක් සොයා අනුභව කොට පැමිණෙන තුරු මාව ඇපයට තබා මොහු නිදහස් කරන්නැ.’ යි ඉල්ලී ය. හෙතෙම තමාම සිරකරුගේ දම්වැල ගලවා තමා පය ලාගෙන සිරගෙට වැද තම මිතුරා ගලවා යැවී ය.
අහෝ! සිරකරු ව සිටි අසත්පුරුෂයා සියලු බන්ධනයන්ගෙන් මිදී නික්ම ගිය මුත් යළි නොපැමිණියේ ය. අරුමයකි, කෙළෙහිගුණ නොදන්නා වූ, කළ උපකාර සිහිනොකරන්නා වූ අසත්පුරුෂයන්ගේ චිත්ත ස්වභාවය දැනගැනීම දුෂ්කර ය. මුදුනේ දිය පිරී තිබෙන විල්, පොකුණු ආදියෙහි දිය යට සම විෂම තැන් නොපෙනේ ද එලෙසින් ම සිතින් එකක් සිතා වදනින් තවෙකක් කියා කයින් වෙනෙකක් කරන අසත්පුරුෂයාගේ සැබෑ තතු දත නොහැකි ය. වංචා සිත් ඇති අසත්පුරුෂයන්ගේ මේ ස්වභාවය දන්නේ පරසිත් දන්නා වූ කෙනෙක් ම ය.
පණ්ඩිතයන් ම ය. බහුශ්‍රැත නුවණැත්තන් ම ය.
මේ සිරබත් කන මිනිසා, මේ හිත හොඳ පිටිසරබද මිනිසා ද දොළොස් අවුරුද්දක් පුරා සාදුකින් පීඩිතව දුක සේ කල් ගෙවී ය. ඒ කාලය පුරා ම ඔහු කිසිවෙකුගෙන් ආහාරයක් ඉල්ලුවේ නැත. ඒ නුවර රජුට පුත් කුමරෙක් ඉපදීම හේතුවෙන් තම විජිතයෙහි සියලු සිර ගෙවල් වල දොරවල් හරින ලදී. සිවුපාවුන්, පක්ෂීන් පවා බන්ධනවලින් නිදහස් කෙරිණ. සිර ගෙවල් වල දොරවල් හැරිය සැණින් සිරකරුවන් එකිනෙකා පරයමින් එළියට ගොස් තම තමන් කැමති තැන්වලට ගිය අතර මේ හිත හොඳ මිනිසා සිරගෙයි ම සිටියේ ය. තමා මෙතෙක් කල් බොහෝ දුක් වින්ද නිසා දුර්වල සිරුරක් ඇති බැවින් දහවල් යන්නට ලැජ්ජා බවත්, හිරු බැස ගොස් අඳුරු වූ කල යන බවත් විමසූ අයට ඔහු කීය.
ඉක්බිති රාත්‍රී කාලයේ සිරගෙයින් නික්ම ඇතුළුනුවර තමාගේ නෑසියන් නැති බැවින් ආහාරයක් සොයමින් යන කල සොහොන් බිමට පිවිසියේ ය. ඝනාන්ධකාරයේ මළමිනී දමන අමු සොහොනකට ගොස් අලුත් මළමිනියක් දැක මිනී ඇටයකින් මස් කපා වෙනත් මිනී හිස් කබලෙක් තුළ ඒ මස් දමා මිනී හිස් තුනකින් ලිපක් තනාගෙන ඒ මත මස් සහිත හිස් කබල තැබී ය. සොහොන් නිවන්නට ගෙනත් ඉතිරිව තැබූ පැන් එයට දමා දර සෑයකින් සොහොන් පෙනෙලි ගෙනත් ගිනි දැල්වීය. කොළ අතු කඩා හැඳගෙන කලින් හැඳ සිටි කිලුටු කඩරෙද්ද ලිප වටා බැඳ මිනී ඇටයක් ගෙන හැඳි ගාමින් මස් උයන්නට විය.
එය දුටු ඒ අමුසොහොන අසල පුළිල ගසකට අධිගෘහිත වෘක්ෂ දේවතාවෙක් මිනිසා වෙත පැමිණ ඒ ගැන විමසී ය. “එම්බල මිනිස, මේ ඝන අඳුරින් යුතු මධ්‍යම රාත්‍රියෙහි මළමිනී කන කැනහිලුන්, කබරගොයින්, යක්ෂ රාක්ෂයින් ගැවසෙන මේ සොහොන මැද මිනී හිස් කබලක මස් උයන්නේ කුමක් නිසා ද?” ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය. “දිව්යපුත්රය, මේ යාගයකට හෝ දානයකට නොවේ. මේ ලෝකයේ සත්වයින්ට කුසගින්නට වඩා දුකක් නැත. මගේ සාදුක් නිවාගන්න මේ ආහාරය සකස් කරමි.” “එසේ නම් ලැජ්ජාව නිසා විලි වසා ගන්නට කොළ අතු හැඳගෙන, කලින් හැඳ සිටි කිලුටු රෙදිකඩ වටේට බඳිමින් සුළං වළක්වන්නේ ඇයි?” දිව්‍යපුත්‍රයා යළි එසේ විමසද්දී මිනිසා පැවසුවේ මෙසේ ය.
“දිව්යපුත්රය, එසේ නම් මෙය අසන්න. සීතල සුළඟ හමන්නේ මේ ලොව යහපත් අයහපත් දෙය මිශ්‍රවයි. සුළඟට සිත් පිත් නැති හෙයින් කළ උපකාර නොදන්නා, කෙළෙහිගුණ නොදන්නා මිත්‍රද්‍රෝහී අසත්පුරුෂයාගේ සිරුර පිස හමයි. දුදන සුදන දෙපිරිසට ම සමව සිටියි. ඉදින් අසත්පුරුෂයාගේ ශරීරය පිසදා හමන සුළඟ මාගේ සිරුරෙහි හැපුනොත් ඒ ළාමක සත්වයාගේ සිරුර පිස එන සුළඟ මේ සිරුරේ වැදී මගේ කයටත්, සිතටත් දුක උපදවයි. ඒ සුළඟ පවා සැණෙකින් ජීවිතය විනාශ කරන උග්‍ර විෂක් සේ සලකා දුරු කිරීමටයි, මම මේ කිලුටු රෙදිකඩ තිරයක් මෙන් වටකොට එල්වූයේ…”
“නුඹට ඒ අසත්පුරුෂයා කුමන අනර්ථයක් කළේ දැ?” යි දේවපුත්‍රයා විමසූ විට ඔහු තමන් වසර 12ක් පුරා විඳි දුක් රැස ගැන කියා සිටියේ ය. එසේම මිත්‍රද්‍රෝහී අසත්පුරුෂයින් නිසා හටගන්නා බය, අයහපත ගැන තවදුරටත් කියා සිටියේ ය.
“මේ ලෝකයේ රන් රිදී මුතු මැණික් ආදී සම්පත් පැහැර ගැනීම්, වධ බන්ධන කිරීම් ආදී ලෙස රජවරුන්ගෙන්, යුවරජවරුන්ගෙන් සිදුවෙන යම් බයක් ඇත්නම් ඒ සියල්ලම කෙළෙහිගුණ නොදන්නා වූ අසත්පුරුෂයා නිසා ම වන්නේ ය. එමෙන්ම මේ ලෝකයේ සොර සතුරන් නිසා උපදනා බය, ජලයෙන් ගින්නෙන් ඇතිවෙන බය සියල්ල කළගුණ නොදත් අසත්පුරුෂයා නිසා ම වන්නේ ය.
තවද, ප්‍රාණවධ කිරීම, අනුන් සන්තක වස්තුව උදුරා ගැනීම, පරදාර සේවනය, අනුන්ට අයහපත සදන අසභ්‍ය වචන කීම, මත්පැන් මත්ද්‍රව්‍ය පානය, රණ්ඩුසරුවල් කිරීම, කේළාම් කියා ඔවුනොවුන් බිඳවීම, තමන්ටත් අනුන්ටත් කිසි වැඩක් නැති හිස් වචන කීම, ධනය උකසට තබා සූදු කෙළියෙහි යෙදීම යනාදී සියලු අනර්ථදායක, අමනෝඥ වූ, යහපත් විපාක නැති, මතු සතර අපායට පමුණුවන, ඉවසිය නොහැකි, කෙළවරක් නැති මහා දුක් රැසක් උපදින්නේ ද ඒ සියල්ල කෙළෙහිගුණ නොදන්නා, කළ උපකාර නොදන්නා මිත්‍රද්‍රෝහී අසත්පුරුෂයා නිසා ම වන්නේ ය.
එහෙයින් ඒ අසත්පුරුෂයා අහසට පොළොව සේ දුරින් ම දුරු කළ යුත්තේ ය.”
අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ “යානි කානිචි භික්ඛවේ, භයානි උප්පජ්ජන්ති. සබ්බානි තානි බාලතෝ උප්පජ්ජන්ති, නෝ පණ්ඩිතතෝ” “පින්වත් මහණෙනි, යම්කිසි බයක් උපදිනවා නම්, ඒ සෑම භයක් ම උපදින්නේ (පින්පව් නොතකන පුහුදුන්) බාලයාගෙනි, (පින්පව් දන්නා ආර්ය ශ්‍රාවක වූ) ප්‍රඥාවන්තයාගෙන් නොවෙයි.” “යේ කේචි උපද්දවා උප්පජ්ජන්ති…” යම්කිසි උවදුරක් උපදිනවා නම්…, “යේ කේචි උපසග්ගා උප්පජ්ජන්ති…” යම්කිසි විපතක් උපදිනවා නම්… ඒ සෑම උපද්‍රවයක් ම, ඒ සෑම උපතක් ම හටගන්නේ බාලයාගෙනි. ප්‍රඥාවන්තයන්ගෙන් නොවේ.”
සම්බුදුරජාණන් වහන්සේ උපමාවක් ද මේ අයුරින් පෙන්වා දුන් සේක.
“සෙය්යථාපි භික්ඛවේ, නළාගාරෝ වා තිණාගාරො වා අග්ගිමුක්කෝ කූටාගාරානිපි දහති උල්ලිත්තාවලිත්තානි නිවාතානි ඵුස්සිතග්ගලානි පිහිතවාතපානානි.” “ පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. බට දඬුවලින් කළ ගෙයක් වේවා, තණකොල වලින් කළ ගෙයක් වේවා, ගිනි ඇවිලුණු විටදී ඇතුළත පිටත සුණු පිරියම් කළ, ජනෙල් කවුළු ඇති, හොඳින් යෙදූ දොර කවුළු ඇති කූටාගාර පවා පිච්චිලා යනවා.”
“ඒවමේව ඛෝ භික්ඛවේ, යානි කානිචි භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතෝ උප්පජ්ජන්ති, නෝ පණ්ඩිතතෝ.”
“අන්න ඒ වගේ ම යි, යම් බයක් උපදිනවා නම් මහණෙනි, ඒ සියල්ල උපදින්නේ බාලයාගෙන්. සියලු උවදුරු, සියලු විපත් බාලයා නිසයි උපදින්නේ. ප්‍රඥාවන්තයාගෙන් නොවෙයි.”
“සප්පටිභයෝ බාලෝ, අප්පටිභයෝ පණ්ඩිතෝ.”
“බාලයා බය සහිතයි. පණ්ඩිතයා බය රහිතයි.”
“සඋපද්දවෝ බාලෝ, අනුපද්දවෝ පණ්ඩිතෝ.”
“බාලයා උවදුරු සහිතයි, පණ්ඩිතයා උවදුරු රහිතයි.”
“සඋපසග්ගෝ බාලෝ, අනුපසග්ගෝ පණ්ඩිතෝ.”
“බාලයා විපත් සහිතයි. පණ්ඩිතයා විපත් රහිතයි.”
“නත්ථි භික්ඛවේ, පණ්ඩිතතෝ භයං, නත්ථි පණ්ඩිතතෝ උපද්දවෝ, නත්ථි පණ්ඩිතතෝ උපසග්ගෝ.”
“පින්වත් මහණෙනි, පණ්ඩිතයාගෙන් බයක් ඇතිවෙන්නේ නෑ. උවදුරක් ඇතිවෙන්නේ නෑ. පණ්ඩිතයාගෙන් විපතක් ඇතිවෙන්නේ නෑ.”
ඒ නිසා අපගේ ශාස්තෘන් වහන්සේ හික්මෙන්නට ඕන අයුරුත් මැනවින් පෙන්වා දුන් සේක.
“තස්මාතිහ භික්ඛවේ, ඒවං සික්ඛිතබ්බං:” “එම නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ අයුරින් හික්මිය යුතු ය:” “යේහි තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ, තේ තයෝ ධම්මේ අභිනිවජ්ජෙත්වා, යේහි තීහි ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ, තේ තයෝ ධම්මේ සමාදාය වත්තිස්සාමා”ති.”“(බය සහිත බව, උවදුරු සහිත බව, විපත් සහිත බව යන) යම් කරුණු තුනකින් යුක්ත වූ බාලයා ගැන දැන ගත යුතු නම්, අන්න ඒ කරුණු තුන අත්හැර දමලා, (බය රහිත බව, උවදුරු රහිත බව, විපත් රහිත බව යන) යම් කරුණු තුනකින් යුක්ත වූ පණ්ඩිතයා ගැන දැන ගත යුතු නම්, අන්න ඒ කරුණු තුන සමාදන් වෙලා ඒ අනුව ජීවත් වෙනවා කියලා.” “ඒවං හි වෝ භික්ඛවේ, සික්ඛිතබ්බන්ති.” “පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මිය යුත්තේ.”
(අං. නි. තික නිපාතය, බාල සූත්‍රය)
එහෙයින්, සුළු කලකට ලැබුණු මනුසත් දිවිය සම්බුදු දහමෙන් පෝෂණය කරගෙන, සම්බුදු අවවාදයේ පිහිටා දුදන බාල ගති දුරු කොට, සුදන සත්පුරුෂ ගුණ ඇතිකර ගන්නට පුළුවන්කම ලැබුණොත් අප ශාස්තෘන් වහන්සේගේ සැබෑ ශ්‍රාවක දරුවන් වන්නට අපටත් හැකි වේවි.
ඇසුර – සද්ධර්මලංකාරය
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments