මහා දිය විල්, සිව් මහා සමුදුර සිඳී වියැළී යන කාලයක් එනවා. මහා සෙල්කුළු, මේ මහා පෘථිවිය නැසී යන කාලයක් එනවා. ඒ වගේ ම යි ළදරු තරුණ මහලු ඕනෑම වයසක දී මරණය අප කරා පැමිණෙනවා. උදේට නැගෙන හිරු හවසට බැහැල යනව වගේ, මරණය ස්ථිරයි.

මිනිසා වටා තියෙන ධනධාන්‍ය, දේපළ වස්තුව, අඹුදරුවන්, නම්බුනාම, ගරු සත්කාර ඔහු සමඟ රැඳෙන්නේ මේ මනුලොවට සමුදෙන දිනය තෙක් පමණයි. නමුත් අපි කැමති වුණත්, අකමැති වුණත් එක දෙයක් අප පසුපස එනවා ම යි. ඒ අප ජීවත් ව සිටින කාලය තුළ ලොවට මුදාහල වචනයෙන්, කළ ක්‍රියාවෙන්, සිතූ සිතුවිලි සමුදායෙන් දායාද වූ කර්ම විපාකයි. එදාට අහසේ හෝ සයුරේ හෝ ගිරි ගුහාවක හෝ සැඟවී එයින් මිදෙන්න, වෙට්ටු දාන්න කාටවත් ම බෑ. කර්ම දායාදය එබඳු දෙයක්.

ධනපාල… ඔහු දසන්න රටේ නුවරක ප්‍රධාන සිටුවරයෙක්. අමු රන් විතරක් කරත්ත 84ක් පිරෙන්න තිබුණා. රන්, රිදී, වෛරෝඩි, මුතු, මැණික් සෑහෙන්න තිබුණා. අප මුනිරජුන් පහළ වෙන්න පෙර මිනිස්ලොව හිටපු කෙනෙක්. මොහු කෑවේ බිව්වෙ දොරවල් වහගෙන. එච්චරට මසුරුයි. තණපතක අගින් වෑහෙන දිය බිඳක් තරම්වත් දෙයක් අන් අයට නොදුන් කෙනෙක්. දන් දෙන අයවත් ඒ පිනෙන් වැළැක්වුවා. සීලය ගැන කවර කතා ද? ඒ මදිවාට පොදු යහපත පිණිස හදල තිබුණ ළිං, පැන්පොකුණු වහල දැම්මා. උයන් වතු වනසල දැම්මා. ඒදඬු පාලම් කඩල දැම්මා. ඔය අතරේ ම ඔහුටත් හොරා ඔහුගේ ආයුෂත් ගෙවී ගියා.

ඉපදුණේ මරුකතරේ ප්‍රේතයෙක් වෙලා. අප මුනිරජුන් ලොව පහළ වූවාට පසුව උපාසක පිරිසකට ඔහුව හමු වුණා. ඇඟේ නූල් පොටක් නැති, කටුගැහිච්ච පෙරේතයෙක්. ගංගාවක වතුර කටට වක්කළත් උගුරෙන් පහළට දිය බිඳක්වත් නොයෙන පෙරේතයෙක්. ඒ වෙනකොට අවුරුදු 55 ක්! ඔහුට තව මාස 4කින් චුත වෙලා යන්න නියම මහා නිරයක් පේනවා. කර්ම දායාදයෙන් අන්ත අසරණ වෙච්ච ඔහු මෙහෙම පවසනවා…

“ඔබ එළිපිටවත්, රහසේවත් පව් කියන ජාතිය කරන්න එපා! මවට පියාට වැඩිහිටියන්ට, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හොඳට සලකන්න. ඒ පිනෙන් සුගතියෙ යන්න.” නමුත් ඔහු ප්‍රමාද වැඩියි. ඔහුට එම පින් යළි කවරදාක නම් කරන්න ලැබේවි ද?

දිනක් අපගේ ශාස්තෘන් වහන්සේ නියසිලට පස් ස්වල්පයක් ගෙන පවසා වදාළේ ප්‍රේත ලොවින් චුතවන සත්වයන් අතරින් යළිත් මිනිස්ලොව උපදින්නේ නියසිල මත තිබෙන පස් වැනි ස්වල්ප පිරිසක් බවයි. මහපොළවේ ඇති පස් වැනි පිරිසක් නැවතත් ප්‍රේතලොවට, තිරිසන් ලොවට, නිරයට වැටෙන බවයි.

දිනක් අපගේ මහමුගලන් මුනිඳු ඉදිරියට එවේලේ අසූචි වළෙන් ගොඩ වූ, අසූචි නාගත්ත ප්‍රේතියක් ආවා. ඇය තමයි ඒ ආවාසය හදල පූජා කරපු දායිකාව. ආවාසය බාරගත් භික්ෂුවත් සසුන් ප්‍රතිපදාව අමතක වූ කෙනෙක්. සිල්වත් භික්ෂූන් වඩිනකොට දායිකාව ලවා එළවා ගන්නවා. දෙදෙනා ම මිය ගියා. බුද්ධාදී උතුමන් අසූචි සේ සලකා බැහැර කරන ලාභසත්කාර කෑදරකමින් වැළඳගෙන සිල්වතුන් වෙහෙසවපු පාපයට ඒ භික්ෂුව ගිහින් උපන්නේ ආරාමයේ වැසිකිළි වළ ඇතුළෙ. දායිකාව උපන්නේ ඔහුගේ හිස උඩ. පැනල දුවන්න ද? කර්මයේ දායාදය… ප්‍රේතිය මිනිස් අසූචි කනවා. ප්‍රේතයා ප්‍රේතියගෙ අසූචි කනවා. අහෝ..! ඊර්ෂ්‍යාව, මසුරුකම, සිල්වතුන්ට ගුණවතුන්ට ගැරහීම, ලාභසත්කාරයට ගිජු වීම මිනිසා සුගතියෙන් පැහැරගෙන අසූචි වළක සිර කෙරූ ආකාරය..! ආයෙ කෙදිනක නම් ඔවුන්ට සිල්වතුන් ගුණවතුන් මුණගැසේවි ද? තථාගත දහමක්, පිවිතුරු පැවිද්දක්, නැණවත් ජීවිතයක් කෙදිනක ලැබේවි ද?

ඒ දුර්ලභ බව බුදුමුවින් වදාළ මේ දෙසුම බලන්න… මේ මහා පෘථිවිය ම එක ම ජලාශයක් වී සිව්දිගින් හමන සුළඟට කැළඹි කැළඹී තියෙනවා. ඒ මත ම එක සිදුරක් ඇති වියගහක් පාවි පාවී තියෙනවා. වසර සියයකට වතාවක් උඩට එන කණ කැස්බෑවෙකුට ඒ විය ගස තිබෙන තැනින් මතු වී, ඔහුගේ පේන ඇසට අර විය සිදුර සම්බන්ධ වී, ඒ සිදුරෙන් අහස දකිනවා යන කාරණය කවරදාක සිදු වේවි ද? ඒ අහඹු සිදුවීම කල්ප කාලාන්තරයකින් විය හැකි සිදුවීමක්..!

එබඳු වූ සිතින් සිතාගත නොහැකි වූ සුදුර්ලභව සිදුවන දෙයකි සම්මා සම්බුදුවරයෙකු ලොව පහළ වීම, තථාගත ශ්‍රී සද්ධර්මය ලොව පැවැතීම, එබඳු යුගයක මිනිසත් බව ලැබීම. මේ සියල්ල කෙනෙකුට ලැබී වටිනාකම නොදැන ගිලිහී ගියොත්, වරදා ගතහොත් ඒ අවාසනාව ගැන කෙසේ වචනවලින් පවසන්න ද? මේ තාක් ලොව පහළ වූ බුදු සසුන්වල නිර්වාණ ද්වාරයෙන් සසරෙන් මිදී ගිය මුනිවරු අපමණයි… නමුත් අප… අවාසනාවේ ද්වාරයෙන් සසරට විසි වී ගිය අය නොවේ ද?

කාශ්‍යප බුදු සසුනේ බොහෝ පින් දහම් කරන උපාසකතුමෙකුගේ බිරිඳක් හිටියා. මේ ඇගේ කතාව. ඇයත් සිල්වත් නමුත් සල්ලාලයන්ගේ නොමඟ යැවීමකින් ඇය දිනක් තම සිල් බිඳගත්තා. ස්වාමියා කරුණු විමසද්දී ඇය බොරුවට දිව්රුවා. ඇයට ඒ වෙලාවේ තිබුණේ වරද පිළිගන්නයි. 500ක් වෙච්ච ඇගේ මිතුරියන් පිරිසත් ඇයගේ වරද සඟවා ඔවුනුත් බොරුවට දිව්රුවා. ඇය මිය ගියා. හිමාලයේ විමාන ප්‍රේතියක්ව ඉපදුණා. මිතුරියෝ පිරිස දාසියෝ වෙලා ඉපදුණා. බුදුසසුනේ රැස් කළ පිනුත්, පවත් එකට ම විපාක දෙන්න පටන් ගත්තා. බුද්ධාන්තර කල්පයක් පුරාවට හැමදාම රෑට ඇයට ඇහැරෙනවා. විමානෙන් බැහැල පොකුණ ළඟට යනවා. එතනට ඇත්පැටියෙක් තරම් විශාල කන් දෙක නැති බල්ලෙක් එනවා. ඇයව බිම පෙරළගෙන, ඇය කෑගහද්දි ඇටසැකිල්ල පෑදෙනකල් මස් කඩ කඩා කනවා. ඇටසැකිල්ල නැගිටල පොකුණට බහිනවා. ආයෙ ශරීරය ප්‍රකෘති තත්වයට පත්වෙනවා. කවදා මේ දුක්ඛිත විපාකයෙන් ගැලවෙන්න ද?

අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ යම් වරදක් සිත කය වචනයෙන් සිදුවුවහොත් දහම දුටු ශ්‍රාවකයෙකුට කිසි දිනක එය සඟවාගෙන සිටිය නොහැකි බවයි. එය තමයි ඔහුගේ අවංක බව. දහම දුටු බව. ඔහු නුවණැතියන් ඉදිරියේ විවෘත වී සංවර වෙනවා. එදා ඇය වරද පිළිගෙන සංවර වුණා නම් අද වන විට ඉහළ දෙව්ලොවක ඉපිද හෝ ගෞතම බුදු සසුනේ හෝ මගඵල ලබන්න පවා ඉඩ තිබුණා. ඒ සියල්ල අහිමි වූ ඇය අදටත් විමාන ප්‍රේතියක්. ඔය ඉරණම දිගේ මේ සසර පුරා අපිත් කොපමණ තාක් කල් නම් ගමන් කරමින් එන්න ඇති ද? අහෝ…! මේ සසර නම් ඒකාන්තයෙන් ම අනිත්‍යයි. අස්ථීරයි. අස්වැසිලි රහිත ම යි. මේ සසර ගැන කලකිරෙන්න නිසි බව සත්‍ය ම යි. නොඇලෙන්න නිසි බව සත්‍ය ම යි. නිදහස් වෙන්න නිසි බව ඒකාන්ත සත්‍යයක් ම යි.

සුජාත කුමාරයා කියලා කියන්නේ අස්සක රජුගේ පුතා. වයස 16යි. ජීවිත ආරක්ෂාව පිණිස මේ කුමාරයාට වනගත වෙන්න සිදු වුණා. ඔහුට පියරජතුමා පැවසුවේ තමා මිය ගිය පසු පැමිණ රාජ්‍යය භාරගන්නා ලෙසයි. බඩගිනි එනකොට ගහක ගෙඩියක් කනවා. නැත්නම් මුවෙක් මරා ගන්නවා. ඒක තමයි ඔහුගේ ජීවිතය. දිනක් ඔහුට ඒ මහා වනයෙදි ශාන්ත ශ්‍රමණ රුවක් මුණගැහුනා. ඒ අපගේ මහා කච්චායන රහත් මුනිඳු. ඒ නිකෙලෙස් හදවතේ කරුණාවට මේ කුමාරයා අතිශය පැහැදුනා. ඒ වෙද්දි ඔහුගේ ඊළඟ උපත හැදිල තිබුණේ නිරයට. කල්‍යාණමිත්‍ර ඇසුර නිසාත්, සසරේ කළ පින් තිබූ නිසාත් ඔහු තිසරණ සරණේ පිහිටා සිල්වත් වුණා. ඔහුට මහරහතන් වහන්සේගෙන් ශාස්තෘන් වහන්සේගේ ධාතුන් වහන්සේනමකුත් ලැබුණා. තම රාජ්‍යයට ගිය ඔහු පියාට පවසා ධාතු මන්දිරයක් තනවා සර්වඥ ධාතුන් වහන්සේ එහි තැන්පත් කොට දිවා රාත්‍රී බුද්ධෝපස්ථානයේ යෙදුණා. දන් දුන්නා. සිල්වත්ව වාසය කළා. බුදු සසුන තුළ පහන් සිතින් රැස්කර ගත් පුණ්‍යස්කන්ධය විසින් ඔහු ට විවර ව තිබූ නිරයේ දොරටුව වසා දමා ඔහුව තව්තිසා දෙව්ලොවට රැගෙන ගියා.

සංවේග විය යුතු තැන සංවේග වීමත්, සංවේගයට පත්ව වීරිය කිරීමත් නුවණැතියන්ගේ ලක්ෂණයක්. ඒ නුවණ ඔහුට ලැබෙන්නේ තථාගත ශ්‍රී සද්ධර්මයේ සරණින් පමණයි. ඒ සඳහා ඔහුට ජවය සපයන්නේ ශාස්තෘන් වහන්සේගේ සරණයි.

කාම ලෝකයේ වේවා, රූප ලෝකයේ වේවා, අරූප ලෝකයේ වේවා හටගත් සෑම දෙයක් ම – ආශ්වාදය උපදවා දෙන සෑම දෙයක් ම වෙනස් වෙනවා. ස්ථිර නැහැ. සදාකාලික නැහැ. යළි යළි දුකට වැටෙන ස්වභාවයෙන් යුක්තයි. නමුත් යළි යළි සසරට නොවැටෙන, සීල සමාධි ප්‍රඥාවෙන් වැඩී යන එක ම ඍජු මාවත අප ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ සේක. කර්මයේ සැඩ සුළඟින් උඩුයටිකුරු කොට බිහිසුණු සසරට විසිකර දමන අපගේ අසරණ ජීවිතවලට ඇති එක ම සරණ ඒ උතුම් සම්බුදු සරණ ම පමණයි. ඒ උතුම් සරණ සීලයේ මනා ව පිහිටන්න අපටත් වාසනාව ලැබේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.