ලිපියේ මාතෘකාව දැක්කට පස්සේ ඔබේ සිත ටිකක් කැළඹුණා වෙන්නට පුළුවන්, මොකක්ද මේ කියන්නෙ කියලා. ඒක හරි… මේ කියන්න යන්නෙ ඔබේ ජීවිතයට ඉතා ම වැදගත් දෙයක් ගැනයි. ගැමි වහරේ තියෙනවා කතාවක් “‍ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකි යි.”‍ කියලා. ඒ කියන්නේ සමහර දේවල් අපට වැරදුනාට පස්සේ ආයේ හදා ගන්නවා කියන එක ඉතා ම අසීරුයි කියන එකයි. අසීරුයි කියන්නේ කරන්න බැරි තරම්.

ශ්‍රද්ධාව කියන්නේ බොහෝ දෙනෙක්ට නුහුරු වචනයක් නොවෙයි. මේ ලිපිය කියවන ඔබටත් ශ්‍රද්ධා මාත්‍රයක් හෝ තිබෙන බවට සැක නැහැ. මොකද එහෙම තිබුණේ නැත්නම් මේ ලිපිය ඔබ කියවන්නේ නැහැනේ. කොයිකවුරුත් දන්නා දෙයක් වුණත් අපේ හිතේ තියෙන ශ්‍රද්ධාව නිසා ම සමහර අය බොහෝ වැරදි කරනවා. හ්ම්… විශ්වාස කරන්නත් අමාරුයි නේද? ඔව්. ඒක නිසා තමා ඔබ මේ ලිපිය අවසානය තෙක් කියවිය යුත්තේ. ඉතින් සමහර වෙලාවට ඒ අය ඒක වැරැද්දක් කියලවත් දන්නෙ නැහැ. ඔබ අතින් වුණත් එහෙම වෙලා තියෙන්න පුළුවන්. නොවුණත් ඉස්සරහට වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා මේ ලිපිය ගිහි පැවිදි භේදයකින් තොරව කොයි කාටත් අතීත වැරදි හදා ගන්නත්, අනාගත වැරදි වලින් වළකින්නත් උපකාර වේවි.

ශ්‍රද්ධාව තිබුණ පලියට සියල්ල හරි ද?

එහෙම හිතනවා නම් ඉතින් ඒක ලොකු වැරදීමක් තමයි. හරි. හරි… කලබල නොවී කියවගෙන යන්නකො. සරලව කීවොත් ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි හිතේ ඇතිවන පැහැදීමයි. ඉතින් ඒක අපට බොහෝ උපකාරී වන දෙයක්. භාග්‍යවතුන් වහන්සේ වදාළේ යම් කෙනෙක් තුළ “සද්ධාමත්තං, පේමමත්තං” – ශ්‍රද්ධා මාත්‍රයක් හෝ ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම්, “සබ්බේ තේ සග්ග පරායනා”‍ – ඒ සියල්ලෝ ම සුගතියේ උපදින බවයි. අපේ ජීවිතයේ බොහෝ පුණ්‍ය ධර්මයන්, කුසල ධර්මයන් රැස් කර ගන්නට මෙකී ශ්‍රද්ධාව බොහෝ සේ උපකාරකයි. ඒ නිසා ම සේඛ බල අතර පළමුවැන්න ශ්‍රද්ධාවයි. නමුත් සෝවාන් මාර්ගයට පැමිණෙන තෙක් අපට තිබෙන්නේ අමූලිකා ශ්‍රද්ධාවයි. ඒ කියන්නේ පිහිටි, ස්ථීර ශ්‍රද්ධාවක් නොවෙයි. වෙනස් වන ශ්‍රද්ධාවක්. අන්න ඒ නිසා ශ්‍රද්ධාවට ආරක්ෂකයෙක් අවශ්‍යයයි. රැකවරණයක් අවශ්‍යයයි. එසේ නොවුණහොත් ඔබේ ජීවිතයේ අර්බුද ඇති කරවන්නට ඔබේ ම ශ්‍රද්ධාවට පුළුවන්. ඒ නිසා ශ්‍රද්ධාව තිබුණ පලියට සියල්ල ම හරි කියලා නම් සිතන්න එපා.

එතකොට කවුද ආරක්ෂකයා…

ශ්‍රද්ධාව සේඛ බල අතර පළමුවැන්න වුණත්, බොහෝ උපකාරී දෙයක් වුණත් සියල්ල අතර අග්‍ර දේ බවට පත් වන්නේ ශ්‍රද්ධාව නොවෙයි. ඒක දැක්කේ ඔබත්, මමත් නොවෙයි; ධර්මස්වාමී වූ අපගේ ශාස්තෘන් වහන්සේ යි. උන්වහන්සේ මෙසේ වදාළ සේක. “ඉමේසං ඛෝ භික්ඛවේ පඤ්චන්නං සේඛබලානං ඒතං අග්ගං, ඒතං සංගාහිකං, ඒතං සංඝාතනියං යදිදං පඤ්ඤාබලං.”‍ – “මහණෙනි, මේ සේඛ බලයන් අතුරින් යම් මේ ප්‍රඥා බලයක් ඇද්ද, මෙය අග්‍ර ය. මෙය කුසල් එක්තැන් කරයි. මෙය කුසල් රැස් කරයි.”‍ යනුවෙන්. උන්වහන්සේ එය උපමාවෙන් ද පෙන්වා වදාළා. “මහණෙනි, එය මෙබඳු දෙයකි. උස් මුදුන් ඇති වහළයෙහි යම් කැණිමඬලක් ඇද්ද, මෙය අග්‍ර ය. මෙය යට ලී එක් කරයි. පරාල එකට රැස් කරයි.

එසෙයින් ම මහණෙනි, මේ සේඛ බලයන් අතරින් යම් මේ ප්‍රඥා බලයක් ඇද්ද මෙය අග්‍ර ය. මෙය කුසල් එක්රැස් කරයි. මෙය කුසල් රැස් කරයි.”‍ එසේ නම් ඔබ ඉතා හොඳින් තේරුම් ගත යුතු කරුණක් තිබේ. එනම්, ශ්‍රද්ධාව විතරක් නොවෙයි සීලය, ශ්‍රැතය සහ චාගය කියන සතරට ම ආරක්ෂාව රැකවරණය සලසා දෙන්නෙ ප්‍රඥාව විසින් කියලා. ඒ නිසා තමා අපගේ භාග්‍යවතුන් වහන්සේ සෑම තැන දී ම ප්‍රඥාව උස්තැනක පිහිටුවලා තියෙන්නේ. ඒ විතරකුත් නොවෙයි…

නිවන් මඟ ඇරඹෙන්නේ ප්‍රඥාවෙන්

අප ඉතා හොඳින් ම දන්නා දෙයක් තමා මේ නිවන් මඟට මුල් වන්නේ සම්මා දිට්ඨිය කියලා. (තත්‍ර භික්ඛවේ, සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති.) එය අයත් වන්නේ ප්‍රඥා ස්කන්ධයටයි. භාග්‍යවතුන් වහන්සේ සම්මා දිට්ඨිය උපමා කළේ අරුණෝදයටයි. හිරු නැගෙන්නට පෙර නැගෙනහිර අහසේ පෙනෙන රන්පැහැ වීමෙන් අදහස් කරන්නේ ඒකාන්තයෙන් තව සුළු මොහොතකින් සූර්යයා නැගෙන බවයි. සම්මා දිට්ඨියට පැමිණුනා කියන්නේ ඔහු ඒකාන්තයෙන් ම උපරිම වශයෙන් ආත්මභාව සතක් තුළ නිවන කරා යන බවයි.

ඒ නිසා ම අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ “මේ ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්තයාටයි. දුෂ්ප්‍රාඥයන්ට නොවෙයි.”‍ යනුවෙන්.

ප්‍රඥාව නැති වුණොත් ශ්‍රද්ධාදියට මොකද වෙන්නේ?

ඔබට ඊළඟට ඇති වුණ ප්‍රශ්නය මෙය විය යුතුයි. ඔව්… ඇත්තටම එය බරපතළ අර්බුදයක්. කොතෙක් ද යත්, ප්‍රඥාව නැති වුණොත් ඔබේ ශ්‍රද්ධාව දවස පුරා රත් වූ තැටියකට දැමූ දිය බිඳුවක් වහා වාෂ්ප වී යන්නා සේ වාෂ්ප වී යා හැකි යි. “දුප්පඤ්ඤෝ භික්ඛවේ භික්ෂු චවති. නප්පතිට්ඨානි සද්ධම්මේ.” – “ප්‍රඥාව රහිත වූ භික්ෂුව නිවන් මගින් චුත වෙයි. සද්ධර්මය තුළ නොපිහිටයි. (චවන සූත්‍රය – අං. නි. 3) යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ එනිසාය. ප්‍රඥාව විසින් ශ්‍රද්ධාව රකිනවා පමණක් නොව එය නිසි අයුරින් මෙහෙයවයි. එය ද දැකිය හැක්කේ යම් හෝ ප්‍රඥාවක් තිබෙන කෙනෙක්ට පමණකි. අමූලිකා ශ්‍රද්ධාවෙන් යුතු සමහර මිනිසුන් මුල දී තුනුරුවනේ ගුණ කියමින් මහ ඉහළින් වර්ණනා කරමින් වැඳ වැඳ යති. එහෙත් ටික කලක දී ඔවුන් ම තුනුරුවනට බැණ වදිති. තවත් අය කලක දී මනා කොට දන්පැන් පුදති. එහෙත් පසු කලක දී ඔවුන් දනට ගරහති. සීලයට සමථ විදර්ශනාවට ද එලෙසින් ම සලකන මිනිසුන් ඔබ ද දැක ඇතුවාට සැක නැත. අවසන අන්‍යාගමිකයන් බවට ද පත්වන්නේ ය.

ශ්‍රද්ධාව, ආකාරවතී ශ්‍රද්ධාවක් එනම් කරුණු සහිතව ඇති වූ පැහැදීමක් බවට පත්ව, තව දුරටත් දියුණු වී නොසෙල්වෙන ශ්‍රද්ධාවක් බවට පත් වන්නේ සෝවාන් ඵලයේ දී ය. එහි දී ඉන්ද්‍රිය ධර්මයන් (ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා) වැඩීම ආරම්භ වන්නේ ය. ඒ තාක් තිබෙන බරපතළ අර්බුදය ඉතා හොඳින් දන්නා අප භාග්‍යවතුන් වහන්සේ විසින්, “මහණෙනි, එසෙයින් ම භික්ෂුව විසින් කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාවෙන් කළ යුතු දෙය යම්තාක් නොකරන ලද්දේ වෙයි ද… ලැජ්ජාවෙන්… භයෙන්… වීරියෙන්… කුසල් දහම් පිළිබඳව ප්‍රඥාවෙන් කළ යුතු දෙය යම්තාක් නොකරන ලද්දේ වෙයි ද මහණෙනි, ඒ තාක් ම ඒ භික්ෂුව මා විසින් රැකිය යුත්තේ ය.” (කාමේසුපළාලිත සූත්‍රය, අං. නි. 3) භික්ෂුවට ද එසේ නම් ගිහි අය ගැන කිවයුත්තක් තිබේ ද? “මහණෙනි, යම් කලක භික්ෂුව විසින් කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාවෙන් කළ යුතු දෙය කරන ලද්දේ වෙයි ද… ලැජ්ජාවෙන්… භයෙන්… වීරියෙන්… කුසල් දහම් පිළිබඳව ප්‍රඥාවෙන් කළ යුතු දෙය කරන ලද්දේ වෙයි ද මහණෙනි, එකල්හි මම ඒ භික්ෂුව කෙරෙහි කලින් තිබූ අවධානය මා තුළින් ලිහිල් කරමි. ‘දැන් මේ භික්ෂුව තමා ම රැකෙන අයුරු දනියි. ප්‍රමාදයට නොනිසි ය’යි.”‍ සෝවාන් ඵලයට පත් වීමෙන් පමණක් කෙනෙක් අන් අයගේ උපකාරයෙන් තොරව නිවන් මඟ සම්පූර්ණ කර ගන්නා (අපරප්පච්චයා සත්ථුසාසනේ) අයෙක් බවට පත් වන්නේ ය.

ප්‍රඥාව නැතිව ශ්‍රද්ධාවෙන් ම කටයුතු කළොත්…?

ගැමි වහරේ ආප්තෝපදේශයක් තියෙනවා, “ලූලා නැති වළේ කණයා පණ්ඩිතයා”‍ කියලා. අදාළ කෙනා නැතිව තව කෙනෙක් හිතුමතේට පාලනය කරන්නට ගියොත් සමහර තැන්වල නොයෙක් අර්බුද හට ගන්නට පුළුවන්. ලොකු විනාශයකට මුල පුරන්නත් ඉඩ තියෙනවා. ඉතින් ප්‍රඥාව මුල් නොවී ශ්‍රද්ධාවෙන් ම කටයුතු කරන්න, තීරණ ගන්න ගියොත් ඒ දේ ම වෙන්න ඉඩ තියෙනවා. මේ කියන්නේ එවැනි බොහොමයක් දේ අතුරින් කිහිපයකි.

■ ලු‍ණු ඇඹුල්, දුරු මිරිස් නැති දාන

සමහර අය ශ්‍රද්ධාව නිසා දානය පිළියෙල කරන විට, බුද්ධ පූජාව, සාංඝික දාන ඉඳුල් කරන්නට හොඳ නැහැ කියමින් සකසන දානයේ ලු‍ණු ඇඹුල් පවා නොබලති. අවසානයේ උඩුවියන් බැඳ පාවඩ මත වඩම්මවා සංඝයාට පුදන්නේ සතෙකුටවත් කෑ නොහැකි දානයකි. ශ්‍රද්ධාව ඇතත් නැත්තේ කුමක්දැයි සිතා බලත්වා.

■ පබළු‍ ඇල්ලීම

තවත් සමහර අය බුදු පිළිම වහන්සේලා වර්ණවත් පබළු වර්ග අලවා පූජා කරති. වැඳුම් පිඳුම් කළ යුතු පිළිම වහන්සේගේ එවැනි කටයුතු කිරීම කිසිසේත් ම නුවණැති ක්‍රියාවක් නම් නොවේ. කළේ ශ්‍රද්ධාවෙනි. එහෙත් නැත්තේ ප්‍රඥාවයි.

■ සෙරෙප්පු/වටාපත්

එසේම සෙරෙප්පු, වටාපත් පුරා අලංකාර සැරසිලි කර පූජා කරති. ඒ කිසිවක් පිළිගත් භික්ෂුවකට පරිහරණය කිරීම නම් කිසිසේත් ම කළ නොහැකිය. ඉතින් පූජා කළේ කුමන අර්ථයක් සලකාගෙන ද?

■ අමුකොළ පූජා වට්ටි

ඖෂධ පූජාවන් කියමින් සෑයට බෝධියට නොයෙක් අමුකොළ වට්ටි පූජා කරති. එවැනි පූජාවන් කරන්නේ ද ශ්‍රද්ධාවෙනි. එහෙත් ප්‍රඥාව නම් නැත.

■ පහනට තෙල් දැමීම

සමහර අයට අවශ්‍ය වන්නේ කෙසේ හෝ ගෙනා පොල්තෙල් ටික පුරවා යෑමට ය. ඉතින් සෑයේ, බෝධි මණ්ඩපයේ තබා ඇති පහන්වලට පිරී ඉතිරී මළු‍ව පුරා යන්නට තෙල් පුරවති. එය සෑයට ද බෝධියට ද අහිතකර ය.

■ පූජාවන්ට අත ගැසීම

තවත් අය සිතා සිටින්නේ බුද්ධ පූජාව, පිරිකර ආදිය පූජා කරන විට අත ගැසීම කළ යුතු ය කියා ය. පින රැස්වන්නේ අල්ලේ නොව චේතනාවේ ය. අවසානයේ පොරකමින් අත ගසන්නට ගොස් පූජාව ද පෙරලා දමති. ශ්‍රද්ධාව නිසා අල්ලන්න යති. එහෙත් ප්‍රඥාව නැතිකමින් මහා විනාශයක් කරති.

■ සීලය ද දෘෂ්ටියකට යනවා

ශ්‍රද්ධාව තියෙන නිසයි කෙනෙක් සිල් රකින්නේ. නමුත් එයට ප්‍රඥාව සම්බන්ධ නොවුණොත් සීලව්‍රතයකට යන්නත් පුළුවන්. එසේම නිර්මාංශ ප්‍රශ්නය වැනි දෘෂ්ටියකට යන්නත් පුළුවන්. අවසන සීලයේ නාමයෙන් ඉතිරි වන්නේ දෘෂ්ටි ජාලයක් පමණි.

■ භාවනාව අංජනමක් වෙයි

ශ්‍රද්ධාවත් සමඟ ප්‍රඥාව එක් නොවුණොත් භාවනාවට ද සිදු වන්නේ අංජනම් බැලීමට ය. ගොඩක් අයගේ භාවනාව අංජනම් බඳු ය. එහි ඇති අනිත්‍ය ස්වභාවය, සිතේ මායාකාරී ස්වභාවය තේරුම් ගැනීමට ප්‍රඥාව නොමැත. කියන්නට ගියහොත් මෙවැනි දේ කෙළවරක් නැති ය. සියල්ලට ම මුල ප්‍රඥාවෙහි ම අහේනියයි. දෙක ම උපදින්නේ එක ම දෙයකින් ය.

යමෙකුට සැබෑ ශ්‍රද්ධාව උපදින්නේ ධර්මශ්‍රවණය තුළින්‍ ය. එයට කල්‍යාණමිත්‍ර ඇසුර අවශ්‍ය ය. එසේ ම ප්‍රඥාව උපදින්නෙත් ධර්මශ්‍රවණය තුළින් ම ය. නමුත් ශ්‍රද්ධාව මෙන් ප්‍රඥාව ධර්මශ්‍රවණය කළ පමණින් වැඩෙන්නේ නැත. ඒ සඳහා විශේෂ කැපවීමක් කළ යුතු ය. නිරන්තරයෙන් කල්‍යාණමිත්‍ර ඇසුරේ හිඳිමින්, නිතර නිතර ධර්මය ඉගෙන ගනිමින්, ඇසූ ධර්මය මනා කොට දරාගෙන වචනයෙන් පුරුදු කරමින් නුවණින් විමස විමසා බැලිය යුතු ය. එවිටයි සැකතැන් දුරු වී දෘෂ්ටිය පිරිසිදු වන්නේ. අපගේ පුණ්‍ය ශක්තිය ද බොහෝ දුබල ය. එනිසාවෙන් නිරන්තර වෙහෙසක් ගත යුතු ය. නමුත් කිසි විටෙකත් කලබල නොවිය යුතු ය. මනා ඉවසීමක් නම් අත්‍යවශ්‍ය ය. දැන උගත් ස්වාමීන් වහන්සේලා ඇසුරේ හිඳිමින් යහපත අයහපත ඉගෙන ගත යුතු ය. ප්‍රඥාව යනු සුළුපටු දෙයක් නොවේය.

එසේනම් ඔබ ඉතා හොඳින් තේරුම් ගත යුතු ය. අපටත් ශ්‍රද්ධාව තියෙනවා කියා ඉන් සෑහීමකට පත් නොවිය යුතු ය. මක් නිසා ද යත් ශ්‍රද්ධාව තිබුණ පලියට ධර්ම මාර්ගය සම්පූර්ණ නොවෙයි. යම් දවසක ප්‍රඥාව මුල් කරගෙන සීලය වඩා, සමාධියේ පිහිටා ප්‍රඥාව ම සම්පූර්ණ කළ දවසට නිවන් මඟ පරිපූර්ණ වන්නේ ය. පටන් ගන්නටත්, අවසන් කරන්නටත්, කරගෙන යන්නටත් උපකාරක ධර්මය ප්‍රඥාවයි. ඒ තාක් ම අසත්පුරුෂ ඇසුරෙන් ප්‍රවේශම් විය යුතු ය. අධර්මයෙන් ප්‍රවේශම් විය යුතු ය. අසත්පුරුෂයා, සත්පුරුෂයා ද අසත්පුරුෂයා ද නොහඳුනයි. අධර්මය ද ධර්මය ද නොහඳුනයි. සෝවාන් ඵලයට පත් වන තෙක් අනතුරක් තිබෙන්නේ ය. සතර අපා දොරටු විවෘතව පවතින්නේ ය. එබැවින් ප්‍රඥාව ම සාරය කර ගත යුත්තේ ය. අරටුව වන්නේ ප්‍රඥාවයි. අතුකොළවලට රැවටුණොත් ගෞතම බුදු සසුනත් අහිමි වනු නියත ය. ඔබට එසේ නොවේවා!

ඔබ සියලු දෙනාටම ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.