භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් විස්මිත අනුත්තරෝ පුරිසදම්මසාරථී ගුණ තේජසින්, මිනිසුන් දහස් ගණන් මරා ඇඟිලිමාලයක් පැලඳ සිටි බිහිසුණු අංගුලිමාලයන් සදා දමනය වූ නිකෙලෙස් මුනිවරයෙකු බවට පත් විය. කරුණාවෙන් තෙත් වූ හද මඬලක් දරා ගත් අංගුලිමාල මහරහත් මුනිඳුන් සුවහසක් ගැබිණි මව්වරුන් සුවපත් කළ අංගුලිමාල පිරිත ලොවට දායාද කළ සේක. දෙව් මිනිසුන්ගේ වන්දන මානන ලද, වලාකුළින් මිදුණු පුන්සඳ මඬලක් සේ ගොයුම් සසුන බැබළවූ උදාර මුනිවරයෙකු වූ සේක. මේ ඒ සොඳුරු පරිවර්තනයේ අසිරිමත් සිද්ධි දාමයයි.
පෙර ‘අහිංසක’ නමින් සිටි තරුණයෙකු ගුරුවරයා කෙරෙහි ඉමහත් කීකරු බවින් ද යටහත් පහත් බවින් ද යුක්ත විය. ශිල්පයෙහි ද කෙළ පැමිණියේ ය. මෙත් කරුණා ගුණයෙන් ද සුපෝෂිත ය. ඊර්ෂ්‍යාකාරී ශිෂ්‍යයන්ගේ බස් ගෙන ඒ ආචාර්යවරයා ඔහු මරණ අදහසින් ඇඟිලි දහසක මාලයක් ගුරුපූජාවට ඉල්ලයි. අහෝ! ගුරුපූජාව කරන්නට ඔහු සූදානම් වූයේ තම ගුරුවරයාට අකීකරු වීමට අකැමති නිසාවෙනි. කෙතරම් ගුරු ගෞරවයක් ද!
කඩුවක් අමෝරා, ඇඟිලි දහසක මාලයක් ගතෙහි වෙළා ගත් ඔහු දැන් චණ්ඩ පුරුෂයෙකි. දුවන අශ්වයින්, මතැතුන් ලුහුබඳින, නොසේදූ දිගු කෙස් ඇති, වැවුණු රැවුලින් ගහණ වූ, රතුවන් නෙත් ඇති, ඔහුගේ අතේ වූ කඩුව දිලිසුණේ ය. බොහෝ මිනිසුන් කඩු පහරට පෙර මොහුගේ දර්ශනයෙන් ම ළය පැළී මිය යන්නට ඇතැයි සිතේ. ඔහුගෙන් මැරුම් කෑ ක්‍රෝධයෙන් මිය ගිය අය අමනුෂ්‍යයන් අතර කොතෙකුත් ඉපදුණත්, ඔවුන්ට කෙතරම් බලයක් තිබුණත්, අංගුලිමාලට නම් ළංවිය නොහැකි විය. මිය යන්නවුන්ගේ ඉෂ්ට දේවතාවෝ පවා අසරණ වූහ. ඔහුට විරුද්ධව නැඟී සිටීමට කිසිවෙකුටත් නොහැකි විය. ඔහුගේ අසීමිත බලය ගම් නොගම් කළේ ය. ජනපද අජනපද කළේ ය. කොසොල් රජු පවා චතුරංගනී සේනාව ම මෙහෙයවීය. ඒත් ‘අංගුලිමාල’ යන නම ඇසූ පමණින් හිස් ලූ ලූ අත ඔවුන් දුවන ලදුව ඩහදිය දැමූ, තොල කට වේළුණු, මර බිය ගත් කොසොල් රජු තනි විය.
මහා සේනාවක් වට කළ ද ඔහුට දමා ගසන හීයක් හෝ හෙල්ලක් හෝ අසිපතක් ඔහුට නොවැදුනේ ය. අංගුලිමාලයන් දියරකුසන් අරක් ගත් පොකුණෙන් පැන් පානය කළත් දියරකුසෝ නෙළුම් පතට මුවා වී සැඟවී සිටියහ. විෂ වෘක්ෂයන්ගේ ඵලවල විෂ බැස ගියේ ය. අංගුලිමාල ඒ ඵල අනුභව කළේ ය. මහා රාක්ෂසයන් වසන ගිරි ගුහාවල අංගුලිමාලයන් නිදාගනිද්දී ඒ යක්ෂයෝ ගුහාවෙන් බැහැරව ඈතට වී බලා සිටියහ. ඔවුන් බලවතුන් බව ඔවුන්ට ද අමතක විය.
වනයේ සිංහයන්, ව්‍යාඝ්‍රයන්, වලසුන් අංගුලිමාලයන්ගේ ඉව වැටී පාර මඟහැරී ය. විෂඝෝර සර්පයන් අංගුලිමාලයන්ගේ පයට පෑගෙද්දී නොසෙල්වී සිට අංගුලිමාලයන් ගිය පසු විදුලි වේගයෙන් උරගා සැඟවෙන්නට විය. ආකාශචාරී දෙවිවරු තම ගමන් මාවත් වෙනස් කරගත්හ.
එවන් බිහිසුණු අංගුලිමාලයන් දමනය කළ සේක් අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය. මේ ඉදිරියෙන් වඩින ශ්රමණයන් වහන්සේ අල්ලාගත නොහැකි ය යන සිත ඔහුට උපදින්නට යොදුන් තුනක් දුවන්නට සිදු විය. එක බණ පදයකින් පරණ පුරුදු සියල්ල ම අතහරින්නට තරම් ඔහු භාග්‍යවන්ත විය. මර හඬට, මර ළතෝනියට, කඳුළට, ජීවිතය ඉල්ලා කරන යාතිකාවට, කුඩා ළමුන්ගේ කෑ ගැසිල්ලට සංවේදී නොවුණ ඔහු එක බණ පදයට ජීවිතය ම මුළුමනින් ම වෙනස් කර ගත්තේ ය.
සැබැවින් ම අංගුලිමාලයන් විස්මිත ය! අහසේ හෙණ හඬ පැතිරුණි. මල් වැසි ඇදහැළුණේ ය. මහවනයේ මල් පිපී ගියේ ය. දෙව් බඹහු සාදුකාර දුන්හ. අහෝ මේ බුදු සසුනේ අසිරිය! ඒහි භික්ෂු පැවිදි උපසම්පදාවෙන් අංගුලිමාල තෙමේ පැවිදි උපසම්පදා වූයේ ය. බුද්ධානුභාවයෙන් කයට කසාවතක් පෙරවුණි. දෑතට පාත්‍රයක් ලැබුණි. දමිත සමිත පැවිදි රුවක් දිස් විය. ගුරු ගෞරවය දෙවා නිම කළ නොහැකි පරම ආචාර්යවරයා හමු විය.
අපගේ ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේ අපමණ අරහත් ගුණයෙන් බැබළුණු සේක. මහානුභාව සම්පන්න වූ සේක. තෙදවත් වූ සේක. බලවත් වූ සේක. භාග්‍යවතුන් වහන්සේගේ හදමඬලින් උපන් ඖරස පුත්‍ර වූ සේක. ධර්මයෙන් නිර්මිත වූ මහාශ්‍රාවක සඟරුවනක් වූ සේක. අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේ ඒකාන්ත වශයෙන් ම සුපටිපන්න වන සේක. උජුපටිපන්න වන සේක. ඤායපටිපන්න වන සේක. සාමීචිපටිපන්න වන සේක.
පිළිවෙළින් ලබන ලද මගඵල ඇති සේක. ආහුණෙය්‍ය වන සේක. පාහුණෙය්‍ය වන සේක. දක්ඛිණෙය්‍ය වන සේක. අංජලිකරණීය වන සේක. ලොවට උතුම් පින්කෙත වන සේක. මහා තෙද ඇති සේක. මහා බල ඇති සේක. පරම දයාලූ වන සේක. පරම අහිංසක වන සේක. සසර ඕඝයෙන් එතෙරට වැඩි සේක. ත්‍රිවිද්‍යාව ලද සේක. අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ගුණ ගඟ මහා පිරිතකින් පිරිත් වූ ආරක්ෂා ගඟුලක් වූ සේක. උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යානුභාවය ලොව සුවපත් කරන මහා පිරිතක් ම වන්නේ ය. එදා සිට අදටත් හෙටටත් මේ කල්පය පවතින තුරුත් උපදින උපදින දරුවාට ජීවය ලබා දෙන්නේ අංගුලිමාල පිරිත ය. කුස හොත් දරුවන්ගේත්, කුසදරු මව්වරුන්ගේත් මුනිවරයා අංගුලිමාල මහරහතන් වහන්සේ ම ය.
අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයට උපහාර පුදන සොඳුරු සෑය…
2019 මාර්තු 18 දින අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රීමත් ධාතූන් වහන්සේලා වැඩමවා සෑය ඉදිවන භූමියේ සොඳුරු මණ්ඩපයක වඩාහිඳුවා උතුම් අරහන්තක වන්දනාවක් සිදුකෙරුණි. සෑ භූමියේ පළමු පස් පිඩැල්ල කපමින් 2019 මාර්තු 29 වන දින භූමිය සැකසීම ආරම්භ විය. 2019 අප්‍රේල් 18 වන දින සෑ රදුන්ගේ මුල්ගල තැබීම සිදු විය.
හතරැස් කොටුවෙහි ශ්‍රී සර්වඥ ධාතූ නිධානය සිදු වූයේ 2020 මැයි 07 වන දින, එනම් වෙසක් පුන් පොහෝ දින දී ය. එම මස ම 16 වන දින සිදු වූයේ කොත් පැලඳවීමයි.
අංගුලිමාල මුනිඳුන්ගේ දහසක් ශ්‍රීමත් ධාතූන් වහන්සේලා නිධානය 2020 ජූලි 04 වන දින, එනම් ඇසළ පුන් පොහෝ දා මහමෙව්නාවේ සියලු පින්වත් සඟරුවනේ සහභාගීත්වයෙන් සිදු විය.
තව්තිසා දෙව්ලොව දෙවියන්ගෙන් වැඳුම් ලද අංගුලිමාල මුනිඳුන්ගේ උතුම් ධාතූන් වහන්සේලා අතරින් දහසක් ධාතූන් වහන්සේලා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ලැබී තිබිණි. පරම පූජනීය ගුරු දෙවිඳුන් සිදු කළ සත්පුරුෂ දහම් සේවාවට ලැබුණු ත්‍යාගයකි එය. එය මිහිමඬලට ම ලැබුණු මහා ආශීර්වාදයකි. එදින රැස්ව සිටි 700 නමකට අධික මහ සඟරුවනේ සාදුකාරය මැද ඇසළ පුන් පෝදා රාත්‍රියේ උතුම් ධාතූන් වහන්සේලා සෑ ගැබෙහි වඩාහිඳවූ සේක. එම උතුම් ධාතූන් වහන්සේලාත්, සතරැස් කොටුවේ වැඩසිටින සර්වඥ ධාතූන් වහන්සේලා අටනමත් සමඟ අංගුලිමාල මහා සෑයෙහි ධාතූන් වහන්සේලා එක්දහස් අට (1008) නමක් වැඩ සිටින සේක. සෑ රජුන් අඩි 112ක පමණ උසකින් යුතු ය.
සැදැහැවත් ගිහි පැවිදි පිරිසගේ පින්බර දෑතින් නිර්මාණය වූ සුපින්බර සෑ රජුන් දෙස බලන්න. සැදැහැති තෙලි තුඩින් පිළිම වහන්සේලා ජීවමාන වී ඇති අයුරු බලන්න. සජීව ලෙස දිස්වන වන පියස, පැන් පොකුණු, කඳු හෙල් ඒ වටා සිතුවම් වී ඇති අයුරු බලන්න. මහා තෙද ඇති, මහා බල ඇති, ආශීර්වාදය පැතිරුණ අංගුලිමාල සෑ රජුන් දෙස බලන්න. ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් වනාහී අපගේ ගුරු දෙවිඳුන් ගෞතම බුද්ධ ශාසනය තුළ මනුෂ්‍ය වර්ගයාට ලබා දුන් මහානීය දායාදයකි. එසේ ම ශ්‍රද්ධාවේ අපූරු ප්රාතිහාර්යයකි. මේ උතුම් විහාර කර්මාන්තයට මුල් වී මෙහෙ කළේ මහ සඟරුවන වීම විශේෂයකි. මෙලෙස උතුම් ධාතූන් වහන්සේලා වඩාහිඳුවීමෙන් සුපූජනීයත්වයට පත් සෑ රජුන් කෙරෙහි පිනැත්තෝ පහන් සිත් ඇති කරගනිත්වා!
සොඳුරු බෝ මළුව මඳ පවන් සලන්නාක් වැනි ය. ඈත පෙනෙන දිය පිරි වැව සිසිල ගෙනෙන්නේ ය. සුදුවන් වතින් සැරසුන ජනයා සිරස නමා වඳිද්දී සෑ මළුවට සමන් කුසුමන් ඉසින ලද්දාක් වැනි ය. ඇසෙනා සාදු නද කල්පයක දුක් අඳෝනා දුරු කරත් ම ය.
තැනින් තැන කියනා අඟුල්මල් පිරිත සැබැවින් ම දුක් දුරු කරන මහ පිරිතක් ම ය. ගුරු දෙවිඳුන්ගේ උතුම් ධර්ම දානය නිසා ම ලැබුණු දායාදයක් බැවින් සෑ මළුව පුරා දහම් හඬ ම ඇසෙත් ම ය.
කළගුණ දන්නා, ගුරු ගෞරවයෙන් පිළිවෙතෙහි යෙදෙනා, වරදින් නැගී සිටිනා, අහිංසක සිත් ඇති අයට මේ උතුම් මහා සෑය නොමියෙන පින්බර ගුරු ඇසුරක් ම ය. අප හට දහම කියා දුන් අපගේ ගුරු දෙවිඳාණෝ, සැමදා සරණ දෙන්නට, අපි තනි නොකරන්නට, සෙනෙහසින් ම, මහා තෙදවත්, මහා බලවත්, මහා සෑයක් කළාහු ය. අඟුල්මල් මහා සෑ රජුන් යම්තාක් පවතී ද ඒ තාක් අපගේ ගුරු දෙවිඳු අප ළඟ ම ය. සත්පුරුෂ ගිහි පැවිදි පිරිස ගුරු ඔවදන් සිහි කරමින් සෑ රජුන් පුදනු ඇත. කුස දරු මව්වරුන් ද දරුවන් පතනා අය ද අමනුෂ්‍යයන්ගෙන් බැට කෑ අය ද රෝ දුකින් පෙළෙන අය ද වරදින් නැගී සිටින අය ද පින් කැමැත්තෝ ද නිරතුරු සෑය වඳිනු ඇත. ශ්‍රී අඟුල්මල් මහා සෑ රජුන් කල්පයක් පවතින මහ පිරිතක් ම වේවා! මිනිසුන්ගේ දුක් ගිනි නිවන රසඳුනක් ම වේවා! අඳුරු සිත් පහන් කරන පහන් ටැඹක් වේවා! නිවනට අපව කැඳවා යන සොඳුරු යානාවක් වේවා!
ස්ථූප වන්දනාවේ ආනිශංස
අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිද්දී තථාගත ශ්‍රාවකයන් උදෙසා ස්ථූප කරවීමේ අර්ථය ගැන මෙසේ වදාළ සේක.
“ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගතයන්ගේ ශ්‍රාවක තෙමේ ස්ථූප තනවා පිදීමට සුදුසු වෙයි ද? ‘මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ගේ ශ්‍රාවකයාගේ ස්ථූපය යැ’ යි ආනන්දයෙනි, බොහෝ ජනයෝ සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති. ආනන්දයෙනි, මෙකරුණ නිසාවෙන් තථාගතයන්ගේ ශ්‍රාවක තෙමේ ස්ථූප තනවා පිදීමට සුදුසු වෙයි.”
(මහාපරිනිබ්බාන සූත්‍රය – දී. නි. 2)
ඒ අනුව සතර අපාය මහගෙදර කරගනිමින් කර්මය දායාද කරගත් මිනිසුන්ට සුගති රැකවරණය සලසාලීම මෙලෙස ධාතු ස්ථූප කරවීමේ අරමුණ යි. ස්ථූප කරවීමට උපකාර කළ අය ද මලින් පහනින් සුවඳින් පුදා පහන් සිත් ඇති කරගත් අය ද මහත්ඵල මහානිශංස පුණ්‍ය ධර්මයෝ රැස්කර ගන්නාහ. ලෞකික ලෝකෝත්තර සැපය උදාකරවන මහානීය වස්තුව ස්ථූප රාජයාණෝ ම ය. ඒ නිසා මෙලොව පරලොව සැප කැමැතිව සසර දුක් කෙළවර කරගනු කැමැති පිනැත්තෝ පහන් සිතින් උතුම් ධාතු ස්ථූප වඳිමින් පින් රැස්කර ගනිත්වා! ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් වඳිමින් පුදමින් අංගුලිමාල මහරහතන් වහන්සේගේ අනන්ත ගුණ කඳට ආසා කරත්වා! ඒ ගුණධර්ම පුරුදු කරන්නට ආශීර්වාද ගනිත්වා! උතුම් සරණේ පිහිටෙන් සැනසෙත්වා! මේ ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් කරවීමේ අරමුණ යි.
අපගේ ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ මෙලොව පරලොව වශයෙන් බොහෝ දෙනාට විස්මිත පිහිට පිළිසරණ සලසා දෙන සේක. ඉතා ඉක්මනින් මෙතරම් සොඳුරුව සෑ රජුන් ඉදිකිරීමත්, තව්තිසා වැසි දෙවියන් වඳින ලද උතුම් ධාතූන් වහන්සේලා ම නිධන් වීමත් කෙතරම් භාග්‍යයක් ද! අපගේ පරම පූජනීය ගුරු දෙවිඳු ළඟින් ම සිට මෙතරම් අවවාද දෙමින්, සතුටු වෙමින්, අපමණ කැපවීමකින් කළ වෙනත් සෑයක් නැති තරම් ය. ගුරු දෙවිඳුන්ගේ අවවාදයට පිටින් කළ කිසිදු වැලි කැටයක තරම් කටයුත්තක් මෙහි නැත. එනිසා ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් තුනුරුවනේ ආශීර්වාදය මෙන් ම ගුරු දෙවිඳුන්ගේ ආශීර්වාදය ද ලැබෙන මහා සෑයකි. මක් නිසා ද යත්; ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් කරවූයේ ‘බොහෝ දෙනාට මෙලොව පරලොව පිහිටත් පිළිසරණත් සෙතත් ශාන්තියත් ආරක්ෂාවත් සැලසේවා!’ යන අවංක අදහසින් ම බැවිනි.
2025 වෙසක් පුන් පොහෝ දින උතුම් අංගුලිමාල මහා සෑ රජුන්, හේවිසි මණ්ඩපය, පූජා මණ්ඩපය, සෙවණ මණ්ඩප සමඟින් ධර්ම ශාලා පරිශ්‍රය ද සහිතව දෙව් මිනිසුන්ගේ වන්දන මානන පිණිස ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය පැවැත්වේ. ශතාධික සංඝරත්නයට සංඝගත දක්ෂිණාවක් පවත්වා, සෑ රජුන් උදෙසා හේවිසි නාද පූජා, දඬු වැට පහන් සහිත ආලෝක පූජාවන් පවත්වා සසුනට පිදීමේ මහා පින්කම සිදු කෙරේ. ඒ නිමිත්තෙන් වෙසක් පුන් පොහෝ දින දසදහසක් සැදැහැවතුන් උපෝසථ ශීලයේ පිහිටුවා සදහම් වැඩසටහන ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් සිදු කිරීමට නියමිත ය. පසු දින වන්දනාවේ පැමිණෙන විසි පන්දහසක් සැදැහැවතුන් උදෙසා බත් දන්සලක් පැවැත්වේ. පින් කැමැත්තෝ සතුටු සිතින් මේ පින්කම්වලට සහසම්බන්ධ වී සෑ රදුන් වැඳ පුදා අපමණ පින් රැස් කර ගනිත්වා!
අපගේ ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේ යම් දහමක් අවබෝධ කළ සේක් ද අප විසින් රැස් කළ සියලු පින් බලයෙන් ඒ උතුම් ධර්මය අපට ද අවබෝධ වේවා!
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments