කඳු හෙල් තැනිතලා ගස් කොළන් තෙමාලමින්, ගිරි දුර්ග පවා නහවමින් රැස් දහරා විහිදෙන්නේ නැගෙන සඳමඬලින් පරිසරයට සෞම්‍ය වූ සිසිලසක් එක් කරමින්. නැගෙන සඳ දෙස කවුළුවෙන් බලා සිටිනා ඔහුට කල්පනා වුණා… ‘ඕ… පසළොස්වක පොහොය වෙන්න ඕන…’ පෙරදා… උපෝසථ සිල් සුරැකි අයුරු, මල් සුවඳ රැගෙන විහාරයට යන අයුරු, දහම් පද අසනා අයුරු, මනෝභාවනීය සඟරුවන ඇසුරු කරන අයුරු, දන් පැන් පුදන අයුරු සිහියට නැගුණා… ‘සඳ පායනවා… බැස යනවා… ඉර නැගෙනවා… ඉර බසිනවා… දහවල ගෙවෙනවා… රැය උදා වෙනවා… යළි දිවා කල… යළි රාත්‍රිය… කාලය ගෙවි ගෙවී, ආයුෂ ගෙවි ගෙවී ගතවෙන මේ ජීවිතය මොනතරම් අස්ථීරයි ද?’
මේ සිතුවිලි ඇති වුණේ කිරුළු දැරූ රජ කෙනෙකුගේ සිතේ… ඔහු මේ පිටත බලා සිටින්නේ රාජ මන්දිරයක සඳලුතලයේ සිට නොවේ. සීමැදුරු කවුළුවකින් ද නොවේ. සිපිරිගෙයක කවුළුවකින්. මේ මගධේශ්වර සේනිය බිම්බිසාර නිරිඳුන්. දැන් කලක් තිස්සේ දිවා රෑ ගෙවෙන්නේ මේ සිරකුටිය තුළ.
එකල මොනතරම් රාජශ්‍රීයෙන් යුක්තව, පංච කකුධ භාණ්ඩ සහිතව, ස්වර්ණාභරණයෙන් සැරසී මංගල හස්තිරාජයා පිට නැගී නුවර ප්‍රදක්ෂිණා කළේ ද… රාජකීය පිරිස් මැති ඇමතිවරු, අන්තපුර බිසෝවරු, රටවැසියන්… ඒ රජසිරි කිසිවක් අද නෑ. සියල්ල අහිමි වෙලා. කවුරුත් නැති පාළු සිරකුටියක තනිවෙලා… හැම දෙයක් ම සිහින සිත්තම් සේ බොඳ වී ගිහින්. ආදරයෙන් හැදූ වැඩූ තම පුතාගෙන් ම මෙවන් බියක් හට ගනීවී යැයි රජු කිසි දිනක සිතුවේ නෑ. පෙර රජවරු තම පුත් කුමරුවන්ව නිසි කල එන තෙක් රටින් පිටුවහල් කොට තැබූ අයුරු සම්බුදුරජුන් විසින් පහදා දුන් නමුත් එකල තමා සෙනෙහෙන් වැඩුණු සිතින් දරු සුරතල් බල බලා සිටි ආකාරය ද සිහිපත් වුණා.
දෑස් කෙවෙනි බොඳවී කඳුළැලි රූරා වැටුණා. දෙකොපුල් තෙමාලමින්, සිපිරි ගෙය තෙමාලූ කඳුළු දහරා කොතෙක් ද? හඬන්නට තවත් කඳුළු නැහැ. හෙළන්නට තවත් සුසුම් නැහැ.
මියගිය අතීතයේ වැළලුණු මතක සටහන් අතරෙන් සදා ජීවමාන කිසිදා නොමියෙන රන්, රිදී, මුතු, මැණික්, දියමන්ති පරයන – මිල කළ නොහැකි අත්‍යුදාර සැනසිලිදායක සිතිවිලි පෙළක් ගලා ආවා. කඳු මුදුනින් ඇරඹී, ගම්බිම් තෙමාලමින්, ගස් කොළන් සුවපත් කරමින්, කෙත්වතු සරු කරමින්, පරිසරයට සිසිලස දෙමින් ගලා ගලා යන සුනිල නිමල දිය දහරක් සේ වූ සොඳුරු සිතිවිලි දැහැනක නිමග්න වුණා.
‘ඔව්… මට මතකයි මගේ යොවුන් විය. එකල සම්බුදුරජාණන් වහන්සේනමක් පහළ වේවි යන කතාබහ දසත පැතිරී ගොස් තිබුණා. මගේ හිතේ පැතුමක් තිබුණා යොවුන් වියේ ම රජ වෙන්නට. එය සඵල වූවා. ලොව්තුරු පැතුම් හතරක් එයට එක් වුණා. සම්බුදුරජුන් පහළ වූ විට මගේ රාජය්‍යට වැඩමවා ගන්න ඇත්නම්, ඒ සම්බුදු බණ පද අසන්නට ඇත්නම්, සරණ යන්නට ඇත්නම්, ඒ සම්බුදු දහම අවබෝධ කරගන්න ඇත්නම්… අසිරියක් මැ යි! ඒ පැතුම් එලෙසින් ම ඉටු වුණා.
අතීතයේ සුන්දර පින්බර මතක ආවර්ජන තුළ නිමග්නව සිටි බිම්සර නිරිඳුගේ දෑස් සතුටින් ප්‍රීතියෙන් දිලිසෙනවා. කඳුළැලි සිඳී ගියා. වෙහෙස නිවී ගියා. සිත ඔද වැඩී ගියා. කය ම ප්‍රීතියෙන් පිනා ගියා. මෙලොවට කලාතුරෙන් පහළ වන පරමෝත්තම අසමසම අප්‍රති පුද්ගල අසහාය අති ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේව මට සරණ යන්නට ලැබුණා.’ එකෙණෙහිම දෝත සිරසේ තබා ගිජුකුළු පව්ව දෙසට හැරී වන්දනා කළා. බොඳ වෙවී වියැකෙමින් යන තාවකාලික ජීවිතය ගැන සිතන්නට පටන් ගත්තා.
‘අසිරියක්මැයි සම්බුදු සමිඳුනේ… මේ ගෙවන දිවිය සැබැවින් ම නිස්සාර, නැසෙන, වැනසෙන, වසඟයට ගත නොහැකි දෙයක් ම යි. බිජු වැපිරූ විට අස්වැන්න ලැබෙන සෙයින් තමන් කරන දෙය දෑවැද්ද කරගෙනයි ඉන්නේ. මේ සත්‍යය වදාළ බුදුරජාණන් වහන්සේ භව සයුරෙන් එතෙර වුණානෙ.
සැබැවින්ම මහද සුවඳ කුටියේ වැඩ සිටින සම්බුදුරජුන් පරම නිකෙලෙස්. පිරිසිදු සිත් මල ගුණෙන් නුවණින් පිරිපුන් කළ දෙව් මිනිසුන්ගේ පිදුම් ලබන්නට සුදුසුයි. සිවුසස් දහම තම නුවණින් ම අවබෝධ කළා. මේ ඉපදෙන දිරන, ලෙඩ වන, මැරෙන, සෝසුමින් වෙළුණු දුක් සහිත බව අවබෝධ කළානේ. දුකට හේතුවන, යළි උපතට ගෙන යන තණ්හා ජාලය මුළුමනින්ම සිඳ දැමුවානේ. තණ්හාව නැත්තටම නැති කරමින් දුක්ඛ නිරෝධය අත්දුටුවානේ. දුක් දුරුකරන ප්‍රතිපදාව වන අරි අටගි මඟ වැඩුවානේ. කිසිවෙකු හා සම නොවන අති විශ්මිත වූ කාය බලය හා චිත්ත බලයකින් යුතු මගේ ශාස්තෘන් වහන්සේ අනේක වූ ඥාන සම්භාරයකින් යුක්තයි.
දිවැස් නුවණ, ඉර්දිවිධ නුවණ, පෙර ජීවිත දකින නුවණ, සත්වයන්ගේ චුතිය උපත දකින නුවණ, ආසවක්ඛය නුවණ උපදවා ගත්තානේ. අනාවරණ ප්‍රඥා ඇතිව ඒ අනන්ත අපරිමිත ඥාන සම්භාරයට අනුව හැසිරෙන රටාව සිත් ගන්නාසුලුයි. රාජකීය කාම සැපත පවා අත්හැරියා. සිරුරට දුක් දී විමුක්තිය හොයන මඟ බැහැර කළා. අද අති සුන්දර වූ නිවන් මඟ සොයාගෙන ඒ නිවන් මඟේ වඩිමින් අමා නිවන පසක් කළා. අසිරිමත් අද්භූත සම්බුදු ජීවිතය ගැන සිතත් ම සතුට උපදිනවා.
මේ අනන්ත විශ්වය පුරා විහිදුණ දෙව්ලොව බඹලොව මනුලොව නාලොව ආදී ලෝක පමණක් ද නොව ඇස, කන, නාසය, දිව, කය, මනස නම් වූ ලෝකයද මැනවින් අවබෝධ කර ඒ සියලු ලෝක වලින් නිදහස් වුණානෙ.
දඬු මුඟුරු, අවි ආයුධ, රළු වචන, හිංසා පීඩා මගින් සත්වයින් මෙල්ල කරන ලෝකයේ ඒ කිසිවකින් තොරව මෙත් කරුණා බලයෙන් ඉඳු පෙළහර පාමින් ආදේශනා පෙළහරින් සිවුසස් දහම් විස්තර ලෙස පවසමින් දුර්වච වූවෝ සුවච බවට පත්කරවා දහමේ පිළිසරණ ලබා දුන් අයුරු හරි අගේ… පුරිසදම් සාරථීන් අතර අනුත්තරයි.
සාදු! සාදු! සාදු! මිනිසුන් පමණක් නොව දෙවියන් ද බඹුන් ද සියලු නුවණැත්තෝ සරණ යත් ම යි සම්බුදුරජුන් ව…
අවබෝධ කළ නිවන් මඟ, ඒ උතුම් දහම මැනවින් ම වදාළනේ. සිල් සුවඳ, නුවණ වඩන අයුරු… මගඵල ලබන අයුරු, සතර අපා දුක් විඳින අයුරු, නිවන අත්දකින අයුරු වදාළ මාගේ සම්බුදුරජුන් බුද්ධ ගුණෙන් බැබළෙනවානේ.
සසර පුරාවට පිරූ ගුණ දහමේ අනුහසින්, රැස් කළ පිනේ ආනුභාවයෙන්, කිසිවෙකුට සම කළ නොහැකි අසමසම රූසිරි දරන්න වාසනාවන්ත වුණානේ.
ගුණදම් සයුරක් බඳු ය අප මුනි රජුන්, හිරු මඬල සඳ මඬලට වඩා අතිශය ප්‍රභාවත් ප්‍රඥාලෝකයෙන් බබළනවා. ගලා හැළෙන සිසිල් කරුණාවෙන් සත්වයන් තෙමාලන්නේ මගේ සම්බුදුරජුන්. භගවා ගුණෙන් දිලෙනවා.’
සම්බුදු ගුණ සිහිකරත් සිහිකරත් ම බිම්සර නිරිඳුන්ගේ සිත ප්‍රීතියෙන් ප්‍රබෝධවත් වුණා. කය පුරා ඒ ප්‍රීති ප්‍රමෝදය පැතිර ගියා. ඈත වඩින ශාස්තෘන් වහන්සේගේ රුව රජුගේ දෑසට දිස් වුණා. දෑත නළලේ තබා යළි යළිත් පසඟ පිහිටුවා වන්දනා කළා.
‘ජීවිතයේ සත්‍යය පහදා දුන්නානේ මගේ සම්බුදුරජාණන්…’ යළි සිර මැදිරිය පුරා සක්මනේ යෙදෙමින් ප්‍රීතිමත් සිතින් බුදුගුණ සිහි කළා. තිසරණය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් සිටින නිරිඳු තමන් සුරකින නොකැඩුණු, සිදුරු නැති, පළුදු නැති, කැළැල් නැති, පිරිසිදු සීලය ගැන සතුටු වුණා. සංස්කාරයන්ගේ බිහිසුණු බව, අනාත්මය සිහි කළා.
එක්වර ම බිහිසුණු රුවක් මතු වුණා. රතුවතක් හැඳ, රතුවතක් පොරවා, තියුණු උල් ආයුධ අතැතිව සිටින රෞද්‍ර පෙනුමැති වධකයාගේ දසුනයි මේ… “මට සමාවෙන්න.. මේ රාජ අණ.” ඔහු දැඩි ස්වරයෙන් පැවසුවා. කනෙහි ගැටී වාතලයට මුසු වුණ හඬ, නෙත ගැටුණු රුව බිම්සර නිරිඳු නුවණින් විමසුවා. සංස්කාරයන් හටගෙන නැසී යන අයුරු නුවණින් දකින්නට මනස යොමු කළා. සැණෙකින් වධකයාගේ තියුණු ආයුධවලින් තියුණු උල් පහරවල් යටි පතුල්වලට එල්ල වුණා. පතුල් පැළීමෙන් වෑහෙන රක්තවර්ණ රුධිර ධාරාවන් සිරමැදිරිය පුරා ගලා ගියා. සිපිරිගෙයි බිම ලෙයින් තෙත් වී ගියා.
‘ආ… මේ කයට දුක් සහගත පහසක්. මේ ශරීරය අනිත්‍යයි. අනිත්‍ය නිසා ම දුකයි. මගේ කියා, මම කියා, මගේ ආත්මය කියා කෙසේ ලබන්න ද… පහස විඤ්ඤාණය අනිත්‍යයි… දුක් සහගත ස්පර්ශය, දුක් සහගත විඳීම…, ඒකාන්තයෙන්ම මේ සියල්ල අනිත්‍යයි. දුකයි. අනාත්මයි. කෙසේ නම් වසඟයේ පවත්වන්න ද? පැළුණු යටි පතුල්වලට ලුණු ගොරකා දමලා… මහා දැවිල්ලක්… දරුණු වේදනා අතරින් පවා බිම්බිසාර නිරිඳු සම්බුදුරජුන් ව සිහි කළා.
‘මගේ ශාස්තෘන් වහන්සේ වදාළේ ප්‍රාණය නිරුද්ධ කරන තරමේ තියුණු කර්කශ වේදනා ඉවසන්න කියලානේ. ඇත්තෙන්ම සංසාරේ කොතරම් දුක් සහගතයි ද? මේ ඉපදෙන මැරෙන සසර ගමන නවතාලන්නට දහම දෙසුවේ ඒ නිසානේ. දෙපැත්තේ මිට ඇති කියතකින් දරුණු හොරු විසින් මේ ශරීරය ඉරා දමද්දී පවා තරහ සිතක් ඇති කරගතහොත් ඔහු බුද්ධානුශාසනාව කරන කෙනෙක් නොවේ. මගේ පුතේ, අජාසත්ත… නුඹ ගැන මට අමනාපයක් නෑ. මේ සසරේ ගමන් කිරීමේ විපත ම යි. දෝෂය ම යි.’ සිත තුළ බුරබුරා නැගෙන සිතිවිලි දහරාව දහම තුළ සුරැක ගන්නට බිම්සර නිරිඳුන් සමත් වුණා. තිලොව දිනූ, සව්සතට සෙත සලසන මුනිරජු යළි යළි සිහියට නැගුණා. අතිශය කටුක දුක් පීඩා මැද තලා පෙළා පොඩිකර නොගත් සිත් මල දම් කිරණින් නැහැවී ගියා. ඔපවත් වූ සිත් මලින් දහම් සුගන්ධය විහිදී ගියා.
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments