පින්වත් යොවුන් දූ දරුවනේ,
ඔය වචනේ ඔබට නුහුරු නෑ. ඕනතරම් මේ සමාජේ ඔය වචනේ අහන්න ලැබෙනවා. මොකද ඉවසීමට අදක්ෂ බොහෝ දෙනෙක් ‘ඉවසුවා කියලා මොනවද ලැබෙන්නෙ?’ කියලා තමයි තමන්ගේ ඉවසීමක් නැතිකම ප්‍රකට කරන්නේ.
නමුත් මේ ලිපිය නම් ඔබට ඉවසීම පිණිස ආශීර්වාදයක් වේවි! මේ ලිපිය ආදර්ශයක් කරගෙන ඔබ ඉවසීම හදාගත්තොත්, ඒ ඔබේ ඉවසීම ඔබේ මුළු ජීවිතයටම ඒකාන්තයෙන් ආශීර්වාදයක් වෙනවාමයි!
ඉතින් වෙනදා වගේම ආරාධනා කරනවා ඔබට බොහොම සෙනෙහසින් “ඉවසීමට ආසාව ඇති කරගෙන, ඉවසීමෙන් මේ ලිපිය අවසන් වන තෙක්ම ඉදිරියට යන්න” කියලා. ඔබට ‘ඉවසුවාම මොනවද ලැබෙන්නේ’ කියලා තේරුම් ගන්න පුළුවන් වේවි!
නිවටයෙක් කියලා හිතයි…
ඔව්! ගොඩක් අය හිතන්නේ ඉවසුවොත් ලැබෙන්නේ නිවටකම කියලනේ. ‘අපි ඉවසන්න ගියොත් ඒක අපේ නිවටකම කියලා හිතාවි, බැරිකම කියලා හිතාවි, බියගුලුකම කියලා හිතාවි, අදක්ෂකම කියලා හිතාවි’ කියලා අවිචාරවත් අදහසක් මේ සමාජේ පැතිරෙනවා. ඒකට අවිචාරවත් කියලා කියන්නේ ඒ කියන අදහසේ බරපතළකමවත් නොහිතා තමයි ඇතැමුන් ඒක කියන්නේ.
ඉවසීම නිවටකමක් නම් මහා පුළුවන්කාරකම කියන්නේ ඉවසීමක් නැතිකම ද? ඉවසීම බැරිකමක් නම් මහා හැකියාව ඉවසීම නැතිකම ද?
ඉවසීම බියගුලුකමක් නම් නිර්භීතකම කියන්නේ ඉවසීමක් නැතිකම ද? ඉවසීම අදක්ෂකමක් නම් මහා දක්ෂකම ඉවසීමක් නැතිකම ද?
ඔය විදිහට හොඳ නුවණින් විචාරය කර ගන්නකොට තමයි වැරදි අදහස්වල තිබෙන හිස් බව තේරෙන්නේ. ඒ නිසා ‘ඉවසන්නා නිවටයෙක්’ කියලා ඔබේ හිතේ දශමයක් හෝ අදහසක් තිබ්බා නම් මෙතැන් පටන් එය නැති කරගන්න. ඒ උදෙසා නුවණැත්තන් ඉවසීම රැකගැනීම පිණිස දැක්වූ මේ අදහස ඔබට ඉතාම වටීවි!
කාමං මඤ්ඤතු වා මා වා – භයා ම්‍යායං තිතික්ඛති
සදත්ථ පරමා අත්ථා – ඛන්ත්‍යා භිය්‍යෝ න විජ්ජති
“මෙයා මේ ඉවසන්නෙ මට භයෙන් ය කියලා, කෙනෙක් හිතුවත් කමක් නෑ, නැතත් කමක් නෑ. උතුම් යහපත නම් තමා තුළ යහපත් ගුණධර්ම ඇතිකර ගැනීමයි. ඉවසීමට වඩා උතුම් දෙයක් නෑ.”
(වේපචිත්ති සූත්‍රය – සං. නි.)
සුන්දරත්වය හදන සුන්දරත්වය…
ඇත්තෙන්ම ඉවසීම ගැන තේරුම්ගන්න තියෙන්නේ එය සුන්දරත්වය හදන සුන්දරත්වය කියලයි. ඒක තේරුම් ගන්න මේ විදිහට.
ඔන්න දක්ෂ ගල් වඩුවෙක් කටුවයි මිටියයි අරගෙන නිකම්ම නිකං ගලකින් යම්කිසි සුන්දර ප්‍රතිමාවක් නිර්මාණය කරනවා. ලෝකයට පෙනෙන්නේ නිකං ඔහේ තිබුණු ගලක් දැන් සුන්දර ප්‍රතිමාවක් වෙලා තියෙනවා විතරයි. ඒ ප්‍රතිමා නිර්මාණය කරපු කලාකරුවා විතරයි. සියලු ප්‍රශංසා ලැබෙන්නෙත් නිර්මාණයට හෝ කලාකරුවාට විතරයි. ඒ කලාකරුවාටවත් තමා තුළ තිබුණු ඉවසීම කියන සුන්දරත්වය නොතිබුණා නම් තමාට මේ වගේ නිර්මාණයක් කරන්න ලැබෙන්නේ නෑ කියලා තේරෙන්නේ නෑ.
මේ උපමාව ඇසුරෙන් හිතද්දී අපිට කියන්න පුළුවන් නේද,
හිත්පිත් නැති ගලක්
– කලක් ඉවසීමෙන් හැඩ කොට
– ගලකුත් සුන්දර කළා නම්
සජීවී මිනිස් සිතක්
– කලක් ඉවසීමෙන් හැඩ කළොත්
– ඒ සිත මොනතරම් සුන්දර වේවි ද
යමෙකුගේ සිත සුන්දර වුණොත්
– ඒ සුන්දර සිතැත්තා
– සුන්දර මිනිසෙක් නොවේවි ද!
ඉවසුවොත් බොහෝ දෙනෙක්ට ප්‍රිය වෙනවා…
එකට ඉන්න අයට ප්‍රිය මනුස්සයෙක් වෙනවා කියන කරුණ මේකප් ආදියෙන් හදාගන්න පුළුවන් එකක් නොවේ. ධනයකින් බලයකින් හදාගන්න පුළුවන් එකකුත් නොවේ. ‘අනේ ඔයාලා මට ප්‍රිය වෙන්නකෝ’ කියලා ඉල්ලලා ගන්න පුළුවන් දේකුත් නොවේ. නමුත් ඔබේ ඉවසීමට පුළුවන් ඔබට බොහෝ දෙනෙක්ට ප්‍රිය බව ලබාදෙන්න.
බුදුරජාණන් වහන්සේ මේ බව දේශනා කළේ අක්ඛන්ති සූත්‍ර දේශනාවල දී. ඉවසුවොත් ලැබෙන පළමුවෙනි ප්‍රතිලාභය විදිහටයි බුදුරජුන් (බහුනෝ ජනස්ස පියෝ හෝති මනාපෝ) බොහෝ ජනයාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා කියන මේ කරුණ පෙන්වා දුන්නේ. අපි තමන් ගැනම හිතුවොත් අපි වුණත් ගොඩක් ප්‍රිය කරන්නේ අපිත් එක්ක යම් ඉවසීමකින් කටයුතු කරන අයට නේද? කිසි ඉවසීමක් නැති අයට අපිත් අකැමැතියි නේද? ඉතින් ඒ නිසා ඔය කරුණ මුල්කරගෙනත් ඔබ ඉවසන්න.
ඉවසුවොත් වැරදි අඩු වෙනවා…
(න වජ්ජබහුලෝ හෝති) ජීවිතවල වැරදි බහුල වෙන්නේ නෑ. ඒ තමයි දෙවැනි ආනිශංසය. අපි කාගෙත් ජීවිත ගැන ආපසු හැරිලා බලද්දී පෙනේවි ජීවිතේ වැරදුණු තැන් බොහෝමයක් වැරදුණෙත් ඉවසීම නැතිකම නිසා කියලා.
ඉවසීම නැති කෙනාට වතාවක් දෙවතාවක් වැරදිලා නවතින්නේ නෑ. ඉවසීම නැති තාක් යළි යළිත් වෙන්නේ වරදින එකමයි. ඒ නිසා ජීවිතේ වැරදි අඩුවෙන්න නම් ඉවසීම වැඩි කරගන්න.
ඉවසුවොත් පසුතැවිලි වෙන්න සිදුවෙන්නේ නෑ…
වැරදුණු කෙනෙක්ට අනායාසයෙන්මයි පසුතැවීම එන්නේ. ‘අයියෝ මට අර දේ නොකරන්න තිබුණා. අර වචනේ නොකියා ඉන්න තිබුණා. අර විදිහේ තීරණයක් නොගෙන ඉන්න තිබුණා’ ආදී වශයෙන් පසුතැවීම හිත දවාගෙන එනවා. ඒ කියන්නේ වැරදි බහුල කෙනෙක්ට පසුතැවිල්ලත් බහුලයි. ඉතින් එබඳු ජීවිතේ මොනතරම් නම් වෙහෙසකර වේවි ද!
ඒ නිසාමයි ඉවසීමේ ආනිශංස ලෙස බුදුරජුන් (න විප්පටිසාරී හෝති) හිත විපිළිසර වෙන්නේ නෑ කියලා වදාළේ. ඒ කියන්නේ පසුතැවෙන්න වෙන්නේ නෑ. ඉවසීමෙන් කටයුතු කරද්දී වරදිනවා අඩුයි. ඒ නිසාම තමන් කරපු කියපු දේවල් ගැන, ඉවසීමෙන් ගත්ත තීරණ ගැන සතුටක්මයි උපදින්නේ. පසුතැවීම් නැති වෙලා යනවා.
ඒ නිසා පසුතැවෙමින් වෙහෙසෙන පීඩාව විඳින්න අකමැති නම් පසුනොතැවෙමින් සැනසෙනු පිණිස ඔබත් ඉවසන්න.
ඉවසුවොත් වෛර අඩු වෙනවා…
(න වේරබහුලෝ හෝති) වෛර අඩු බවත් ඉවසීමේ ආනිශංසයක්. ඉවසීමක් නැති කෙනාට යන යන තැන හැදෙන්නේ ම වෛරක්කාරයෝ. අවසානේ තමන්ට වෛර කරන පිරිස බහුල කරගෙන ගත කරන්ට වෙන්නේ පීඩාකාරී ජීවිතයක්. හතුරු උවදුරුත් වැඩි වෙනවා. නමුත් ඉවසීමේ සුන්දරත්වය ජීවිතේ හදාගත්තොත් ඒ කෙනාට වෛර අඩුවෙන්න පටන් ගන්නවා. ඉවසීම නිසාම පිරිසගේ ප්‍රිය බව ඇතිවෙලා මිතුරෝ ගොඩාක් හැදෙනවා. සතුරු පිරිස් පවා මිතුරුකම් කරන්න පටන් ගන්නවා.
ඉවසුවොත් රෞද්‍ර වෙන්නේ නෑ…
වෛරක්කාරයෝ ගොඩාක් හැදෙනකොට හැමතිස්සෙම හිතේ තියෙන්නේ පටිඝයක්. ගැටීමක්. ඒ ගැටුණු හිත නිසාම තමාටත් නොදැනී රෞද්‍ර අදහස් එන්න පටන් ගන්නවා. ඒ වගේ දේවල් ඇතැම් විට දලුලා ගිහින් භයානක ඛේදවාචක වෙන අවස්ථා අපි මොනතරම් නම් අතීතේ ඉඳලාම මේ සමාජ තලය තුළ අසා තිබෙනවා ද?
ඉවසීමෙන් කටයුතු කරන කෙනෙක් හදිසියේ කිපුණත් එයා ඉවසීමෙන් ම තමන්ව පාලනය කරගන්න නිසා රෞද්‍ර බවට තියෙන ඉඩ ගොඩාක් අඩු වෙනවා. (න ලුද්දෝ හෝති) රෞද්‍ර කෙනෙක් වෙන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ ඉවසීම ගැන ආනිශංසයකුත් ඉස්මතු කළා.
ඉවසුවොත් මරණාසන්න වෙද්දිත් ආරක්ෂිතයි!
ඔය කරුණු පහ ලැබෙනවා නම් ඒක මේ ජීවිතේ ගත කරද්දී කෙතරම් සුව සහනයක් ද! තමන්ව ඇසුරු කරන බොහෝ දෙනෙක්ට ප්‍රිය නම්, වෛරක්කාරයෝ අඩු නම්, වැරදි සිදුවෙනවාත් අඩු නම්, පසුතැවිල්ලත් නැති නම්, රෞද්‍රකමකුත් නැති නම් ඒක ජීවිතේට විශාල පහසුවක්. ඔය විදිහට ජීවත් වෙලා ඉවසපු කෙනෙක් මරණාසන්න වෙද්දී (අසම්මූළ්හෝ කාලං කරෝති) සිහි මුළා නොවී කලුරිය කරනවා කියලත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා.
අපි හැම දෙනෙක්ම මේ ජීවත් වෙන්නේ යම් දිනෙක මිය පරලොව යන්නමනේ. නොමැරෙන කිසි කෙනෙක් මේ ලෝකේ නෑනේ. මරණය කල් ඇතිව දැනුම්දීලා එන්නෙත් නෑනේ. ඒ නිසා අපි වෙනුවෙන් අපිට හදාගන්න තියෙන අත්‍යාවශ්‍යම ආරක්ෂාවක් තමයි මරණයේ දී සිහි මුළා නොවීම කියන්නේ. ඉතින් ඒක හදාගන්න නම් කරන්න තියෙන්නේ ඉවසීම පුරුදු කර ගැනීමයි.
ඉවසුවොත් පරලොවත් සුවපත්…!
(කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති) මේ මිනිස් සිරුර බිඳිලා මිය පරලොව යද්දී සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා කියලත් බුදුරජාණන් වහන්සේ ඉවසීමේ ආනිශංස දේශනා කොට වදාළා.
කෙනෙක් තරුණ කාලේ ඉඳන්ම බොහෝ ධනය උපයලා, ඒවා ආරක්ෂිතව තැන්පත් කරගෙන මහා ධනවතෙක් වුණත්, මරණ මොහොතේ ඒ සියලු ධනය අහිමියි. ඒ ධනයෙන් සුගතිය හදාගන්නත් බෑ. මහා බලවතෙක් වුණත් මරණ මොහොතේ බලයත් අහිමියි. බලයෙන් සුගතිය හදාගන්නත් බෑ. විෂය දැනුම ගොඩක් තිබීමත් මරණ මොහොතේ අහිමියි. අනෙක් ශිල්ප දැනුමකිනුත් සුගතිය හදාගන්න බෑ. නමුත් ඔබේ ඉවසීමට පුළුවන් ඔබව සුගතියට අරගෙන යන්න. ඒ නිසා ඔබ ධනයන් අතරේ මහා ධනයක් වූ ඉවසීමෙන් ධනවත් වෙන්න. බලයන් අතරේත් ප්‍රබල බලයක් වූ ඉවසීමේ බලයෙන් ඔබ බලවත් වෙන්න. ඉවසන්න. ඉවසීමෙන් සුවපත් වෙන්න.
ඉවසුවොත් ලැබෙන්නේ ඔය දේවල්. ඉතින් ඔබ ඒ දේවලට ආසා නම්, ඒ දේවල් වටිනවා කියලා හැඟෙනවා නම්, ඔබට කරන්න ගොඩාක් දේවල් නෑ. ඉවසීම නම් වූ එකම එක දේ කරන්න. ඔබ හැම දෙනාට ඉවසීම පිණිස අවශ්‍ය සිහියත්, නුවණත්, වීරියවන්තකමත් උපදීවා!
තෙරුවන් සරණයි!
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments