මේ ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂුණී සංඝයා ශෝභමාන කරමින් වැඩ සිටි ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතරින් අගතැන්පත් වූ ඛේමා මහරහත් තෙරණින් වහන්සේ ගැනයි ඔබට අද සිත පහදවාගන්න ලැබෙන්නේ.

මීට කල්ප ලක්ෂයකට පෙර, තුන් ලෝකයටම අග්‍ර වූ, ධර්මයන්හි පරතෙරට පත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. එකල ඛේමා භික්ෂුණිය හංසවතී නුවර සැප සම්පතීන් පිරුණ සිටු කුලයක උපත ලැබුවා ය. එක් දිනක් ඒ මහා වීරයන් වහන්සේ වෙත ගොස් බණ අසා පැහැදී, තම දෙමව්පියන් ද කැමති කරවාගෙන බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට සත් දිනක් මුළුල්ලෙහි දන් දුන්හ. සත්වන දිනයෙහි අවසානයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පැණවතියන්ගෙන් අග පැමිණි භික්ෂුණියක් අග තනතුරෙහි පිහිටවූහ. එයින් ප්‍රමෝදයට පැමිණි ඇය බුදු සිරිපාමුල වැඳ වැටී “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, මට ද අනාගතයේ ලොව පහළ වන බුදුවරයන් වහන්සේනමක් හමුවේ මහා ප්‍රඥා සම්පන්න භික්ෂුණීන් අතරින් අග්‍රස්ථානය ලැබේවා!” යි ප්‍රාර්ථනා කළා ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඇගේ ප්‍රාර්ථනාව සමෘද්ධිමත් වනු දැක මෙයින් කල්ප ලක්ෂයක් ගිය කල ගෞතම නම් ශාස්තෘන් වහන්සේගේ ‘ඛේමා’ නම් ඖරස ශ්‍රාවිකාව වී අග තනතුරු ලබා ගන්නේ යැයි වදාළ සේක.

දිවි ඇතිතාක් පින් දහම් කොට මරණින් මතු තව්තිසා දෙව්ලොව උපත ලබා සදෙව් ලෝකයෙහි පමණක්ම සැරිසැරූ ඇය බොහෝ දිව්‍ය සැප සම්පත් ලැබුවා ය. යම් තැනක උපත ලැබුවා නම් සියලු ස්ථානයන්හි ඈ ඒ ඒ රජුන්ගේ මෙහෙසිය බවට පත් වූවා ය. බොහෝ කලකට පසුව මෙයින් අනූ එක්වන කල්පයෙහි මහා කාරුණික විපස්සී බුදුරජුන් ලොව පහළ වූ සේක. එකල්හි ඇය මනුලොව උසස් කුලයක උපත ලැබ ලෝකනාථයන් වහන්සේ වෙත එළැඹ ධර්මය අසා බුදු සසුනෙහි පැවිදි බව ලබාගෙන වසර දසදහසක් බඹසර හැසිර බහුශ්‍රැත වී දක්ෂ ධර්ම කථිකාවක් වී ඒ ආත්ම භාවයෙන් චුත වී තුසිත දෙව්ලොව උපත ලැබුවා ය.

මෙම භද්‍ර කල්පයෙහි ලොව පහළ වූ කෝණාගමන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ඇය බරණැස් නුවර එක්තරා වංශවත් කුලයක උපත ලැබුවා ය. තරුණ වියට එළඹී ඇය තථාගත ශ්‍රී සද්ධර්මය අසා තෙරුවන් සරණ ගිය උපාසිකාවක් වී ධනඤ්ජනී, සුමේධා යන මිතුරියන් දෙදෙනා සමග එකතුව ශෝභා සම්පන්න ආරාමයක් හා වෙහෙරක් කරවා භික්ෂු සංඝයා විෂයෙහි පූජා කළා ය. මෙසේ නොයෙක් පින්කම් කොට මරණින් මතු තව්තිසා දෙව්ලොව ඉපිද අප්‍රමාණ දෙව් සැප දෙව්සිරි රිසිසේ වින්දනය කොට කාශ්‍යප සම්මා සම්බුදුන් ලොව පහළ වූ කල බරණැස් නුවර කිකී නම් වූ කාසි රජුගේ දියණියන් සයදෙනාගේ වැඩිමහල් දියණිය වී උපත ලැබුවා ය. “සමණි” යන නමින් හැඳින්වූ ඇයට සමණ ගුත්තා, භික්ඛුණී, භික්ඛු දායිකා, ධම්මා, සුධම්මා හා සංඝදායිකා යනුවෙන් බාල සහෝදරියන් හය දෙනෙක් සිටියහ. මෙම සහෝදරියන් හය දෙනා මේ ගෞතම බුද්ධ ශාසනයෙහි පිළිවෙළින් උප්පලවණ්ණා, පටාචාරා, කුණ්ඩලකේශී, කිසාගෝතමී, ධම්මදින්නා යන රහත් තෙරණිවරු හා විශාඛා මහෝපාසිකාවයි. දිනක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මහා නිධාන සූත්‍ර දේශනාව කරනු අසා එය මැනවින් ප්‍රගුණ කළා ය. පැවිදි බව ලබා ගැනීමට පිය රජුගෙන් අවසර නොලැබූ නිසා වසර විසිදහසක් මුළුල්ලෙහි කුමරි බඹසර මැනවින් ආරක්ෂා කොට මරණින් මතු තව්තිසා දෙව්ලොව ඉපිද ගෞතම බුද්ධ ශාසනයෙහි මදුරට සාගල නුවර මද්ද රජුගේ දියණිය වී උපත ලැබුවා ය. ඇය උපන් කෙණෙහිම ඒ නුවර නිර්භයට පත් වූ නිසා ඇයට “ඛේමා” යන නාමය ලැබුණි. ඉතාමත් මනස්කාන්ත සුන්දර රූප ශෝභාවකින් යුතු වූ ඇය තරුණ වියට පත් වූ විට බිම්බිසාර රජුට මෙහෙසිය කොට දුන්හ. බිම්බිසාර රජතුමා සෝතාපන්න ඵලයට පත්ව සිටි නමුත් ඛේමා බිසව, බුදුරජුන් රූපයෙහි දොස් පවසති යි අසා බුදුරජුන් හමුවට නොගොස් තමන්ගේ රූපයෙන් මත් වී සිටියා ය. බිම්බිසාර රජතුමා ඇය කෙරෙහි අනුකම්පාවෙන් ඇය බුදුරජුන් හමුවට යැවීම සඳහා උපායකින් යුතුව වේළුවනෙහි සුන්දරත්වය කවියන් ලවා ගායනා කරවී ය. ඛේමා බිසව බුදුරජුන් ගන්ධ කුටියෙහි නොමැති වේලාවක් බලා එහි සුන්දරත්වය දැකීමට ගියා ය. වේළුවනෙහි සුන්දරත්වය බලමින් ගන්ධකුටියේ භාග්‍යවතුන් වහන්සේ නැතැයි සිතා ගිය නමුත් දුටු දෙයින් ඇය විස්මයට පත් විය.

උදාවන හිරු මඬල සේ බබළන දෙතිස් මහා පුරුෂ ලකුණු ඇති මහත් වූ බුද්ධශ්‍රීයෙන් යුතුව සර්වඥරාජෝත්තමයන් වහන්සේ වැඩ සිටියහ. උන්වහන්සේගේ සමීපයෙහි දෙවඟනක් බඳු සුන්දර ස්ත්‍රියක් පවන් සලමින් සිටිනු දක්නට ලැබිණි. එය දුටු ඛේමා බිසව මේ නර ශ්‍රේෂ්ඨයා මා සිතූ තරම් රූක්ෂ නැතැයි සිතුවා ය. රූප මදයෙන් මත්ව සිටි ඇය සිතාගෙන සිටියේ තමාට වඩා සුන්දර තැනැත්තියක් මෙලොව නැති අයුරිනි. නමුත් ඒ කාන්තා රූපය දැක මෙසේ සිතුවාය. අහෝ! මෙවැනි රූපයක් මගේ මේ දෙනෙතින් කිසි කලෙක දැක නැත. තමන් වහන්සේ විසින් නිර්මිත වූ ඒ ස්ත්‍රී රූපය කෙරෙහිම ඛේමා බිසවගේ සිත බැසගෙන ඇති බව දුටු නරදම්මසාරථී වූ භාග්‍යවතුන් වහන්සේ ටිකෙන් ටික එම ස්ත්‍රී රූපය ජරාවට පත් කොට අවසානයේ ජරපත් මැහැල්ලක් වී බිම ඇදගෙන වැටෙන සේ ඉර්ධියක් කළහ.

මෙය දුටු ඛේමා බිසව රූපය කෙරෙහි අතිශයින් ම කලකිරීමට පත් විය. ඛේමා බිසවගේ සිත රූපය කෙරෙහි කලකිරුන බව දුටු භාග්‍යවතුන් වහන්සේ “පින්වත් ඛේමාවනි, රෝගාදියෙන් ආතුර වූ, කෙස්, ලොම්, නිය, දත් සම, මස් ආදී දෙතිස් මහා කුණපයන්ගෙන් බෙහෙවින් අපවිත්‍ර වූ, කුණු වන, සැරව උතුරන, වැගිරෙන, මෝඩයන් විසින් අගෙයි යයි පසසමින් ඇලීගැලෙන මේ නිසරු කය දෙස සිහිනුවණින් බලන්න.” යැයි වදාරා ‘යේ රාගරත්තානුපතන්ති සෝතං’ යන ගාථා රත්නය දේශනා කොට මහා නිධාන සූත්‍රය දේශනා කළ සේක. එකෙණෙහිම සෝවාන් ඵලයට පත් ඛේමා බිසව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටී සමාව අයැද සිටියා ය. භාග්‍යවතුන් වහන්සේගෙන් සමාව ලැබූ ඇය රජ මැදුරට ගොස් බිම්බිසාර රජුගෙන් අවසරගෙන බුදු සසුනෙහි පැවිදි බව ලැබුවා ය. ඛේමා තෙරණිය අඩ මසක් ගිය කල්හි පහන් සිලක් අරමුණු කොට විදර්ශනාව වඩා රාගාදී සකල ක්ලේෂයන් ප්‍රහාණයට පත් කරමින් සතර පටිසම්භිදාලාභී මහරහත් උත්තමාවියක් බවට පත් වූහ.

එක් දිනක් කොසොල් රජතුමා ඛේමා මහරහත් තෙරණියගෙන් ගැඹුරු දහම් කරුණු විමසූ අවස්ථාවේ එතුමියගේ ප්‍රඥා මහිමයෙන් ඒ සියලු කරුණු පහදා දුන් සේක. පසුව පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේගෙන් ද විමසූ අවස්ථාවේ ඛේමා රහත් තෙරණිය දුන් පිළිතුර ම ලබා දුන් සේක.

මෙය ඇසූ කොසොල් රජතුමා ඇඳිලි බැඳගෙන “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මෙය නම් ආශ්චර්යයකි! පෙර දින මම මේ ප්‍රශ්න ඔබවහන්සේගේ ශ්‍රාවිකා දියණියක් වන ඛේමා තෙරණියගෙන් ඇසුවෙමි. එතුමියගේ පිළිතුරු දීමත්, භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුරු දීමත් කිසිදු වෙනසක් නැතැ.” යි පවසා සිටියේ ය.

පසුව භාග්‍යවතුන් වහන්සේ “ඒතදග්ගං භික්ඛවේ, මම සාවිකානං භික්ඛුනීනං මහාපඤ්ඤානං යදිදං ඛේමා.”

“මහණෙනි, මාගේ මේ ශාසනයෙහි මහා ප්‍රඥා සම්පන්න භික්ෂුණීන් අතරින් ඛේමා රහත් තෙරණිය අග්‍ර වන්නේ යැ” යි වදාරමින් ඛේමා මහරහත් තෙරණිය අග්‍රස්ථානයේ තැබූ සේක.

එක් දවසක් එක්තරා රුක් මුලක දහවල් කාලය ගත කරමින් සිටින ඛේමා උත්තමාවිය ළඟට පවිටු මාරයා තරුණයකුගේ වේශයෙන් පැමිණ “ඛේමාවෙනි, ඔබ බොහෝම ලස්සන තරුණ ළඳකි. මම ද තරුණයෙක්මි. මෙහි එන්න. අපි පස්කම් සැප විඳිමින් වාසය කරමු.” ය කියා සිටියේ ය. මේ පවිටු මාරයා බව දැන ගත් ඛේමා රහත් තෙරණිය මෙසේ පිළිතුරු දුන් සේක. “ ඒයි මාරය, නිතර රෝග හටගන්නා, වහා බිඳිල යන මේ කුණු ශරීරය ගැන මං පිළිකුලෙන් ඉන්නෙ. ලැජ්ජාවෙන් ඉන්නෙ. කාම තණ්හාවේ මුල් පවා නැති කරලයි මං ඉන්නෙ. කාමයන් කියන්නෙ විස පොවපු ආයුධ වගේ දෙයක්. පංච උපාදානස්කන්ධ කියන්නෙ මස් වැදලි වගේ දෙයක්. ඔබ ඔය කාමරතිය කියන දේ මට දැන් අරතියක්. හැම දෙයක් ගැන ම ඇති තණ්හාව නැති කරල දැම්මා. ‘අවිද්‍යාව’ නම් අන්ධකාර කෙලෙස් කඳ බිඳල දැම්මා. මාරය, අන්න ඒ විදිහටයි මේ ගැන දැනගන්ට ඕන. මාරය, මේ කරුණෙන් නැසුණේ ඔබයි. මෝඩ ජනතාව නැකත්වලට වැඳ වැඳ, වනාන්තරේ ගිනි දෙවියන් ව පුදාගෙන සත්‍ය තත්වය නොදැක පිරිසිදු බව සොයමින් ඉන්නවා. නමුත් මං වන්දනා කරන්නෙ පුරුෂෝත්තම බුදු සමිඳාණන්ටයි. මං ශාස්තෘ ශාසනය අනුගමනය කරන, සියලු දුකින් නිදහස් වුණ කෙනෙක්.” ඛේමා මහරහත් උත්තමාවියගේ මේ ගාථා ධර්මයන් ඇසූ පවිටු මාර තෙමේ ඛේමා භික්ෂුණිය තමන් හඳුනාගත්තා යැයි දුකට පත්ව නොසතුටු සිතින් යුක්තව එතැනම අතුරුදහන් විය.

එක් දිනක් අපගේ මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරන සමයේ දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා බොහෝ දෙවි දේවතාවුන් සමඟ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ වැඳ නමස්කාර කොට ගෞරව දක්වා ධර්මය ශ්‍රවණය කරමින් සිටියේ ය.

එකල්හි තථාගත අග්‍රශ්‍රාවිකා ඛේමා රහත් තෙරණින් වහන්සේ තථාගතයන් වහන්සේ බැහැ දැකීමට අහසින් වැඩම කරන කල්හි දුරදීම භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳුන් ප්‍රධාන දිව්‍ය පිරිසට දහම් දෙසනු දුටු සේක. මෙය භාග්‍යවතුන් වහන්සේ දැකීමට සුදුසු වෙලාව නොවේ යැයි සිතා ඈත අහසේ සිටම බුදුරදුන් දෙසට හැරී දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කොට ආපසු හැරී වැඩම කළ සේක. සක්දෙවිඳුන් මේ දැක මෙසේ ඇසී ය. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දැන් ඈත සිටම අහසේ සිට වැඳ නමස්කාර කොට වැඩම කළ තෙරණිය කවුද?”

“පින්වත් දේවේන්ද්‍රය, ඒ ඔබ දුටුවේ මාගේ අග්‍රශ්‍රාවිකාව වන ඛේමා නම් වූ භික්ෂුණියයි.” “ස්වාමීනි, එතුමිය නොපැමිණියේ කුමක් නිසා ද?”

“පින්වත් දේවේන්ද්‍රය, ඇය එසේ කළේ ඔබ මෙහි දහම් අසමින් සිටි නිසයි. තමා මෙහි පැමිණියොත් බාධාවක් වේය යන අදහසිනුයි. පින්වත් දේවේන්ද්‍රය දැනගන්න, ඒ භික්ෂුණිය මහා ප්‍රඥා සම්පන්නයි. එසේම මඟ නොමඟ ගැන හොඳින් දනී. මහානුභාව සම්පන්නද වෙයි.” යනුවෙන් වදාළ සේක.

අප භාග්‍යවතුන් වහන්සේ වදාළේ පැවිදි ශ්‍රාවිකාවන්ට මිනුම්දණ්ඩ වන්නේ ඛේමා මහරහත් තෙරණියත්, උප්පලවණ්ණා මහරහත් තෙරණියත් බව ය. මේ ගෞතම බුද්ධ ශාසනය භික්ෂුණී සංඝයා ශෝභමාන කරමින් වැඩසිටි, බොහෝ දෙව්මිනිසුන්ට කලණමිතුරියක් වූ, නිකෙලෙස් හදමඬලක් දරා වැඩ සිටි, පැණවතියන් අතර අගතැන්පත් වූ ඛේමා මහරහත් උත්තමාවිය භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම විනය බබුළුවා පිරිනිවන් පෑමට සුදුසු කාලයෙහි අනිත්‍යභාවයට පත් වූහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙන් උපන් ඕරස දියණියක් වූ, ෂඩ් අභිඤ්ඤාලාභී, සතර පටිසම්භිදාලාභී වූ, බුදු සසුන නමැති මහා විලෙහි පිපුණු සුවඳ හමන සුදෝසුදු නෙළුමක් බඳු අපගේ ඛේමා මහරහත් උත්තමාවියට නමස්කාර වේවා! ඒ නිකෙලෙස් මුනිවරිය යම් නිවනක් අවබෝධ කළා ද ඒ උතුම් නිවන අපට ද අවබෝධ කරගන්න ලැබේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.