තම ගාස්තුව කෝට්කමිස සාක්කුවේ දමාගත් නොතාරිස්වරයා “යන්නං” යැයි කීවේ ය. පිළිතුරක් දෙනු වෙනුවට මුදලිමාන කළේ ඔහු දෙස රවා බැලීම පමණකි. මහල්ලාගෙන් ඉඩම මිලයට ගත් තරුණයා ද “යන්නං” කියාගෙනම නොතාරිස්වරයා සමඟ නිවසින් පිට විය.

“ඉඩම් කියන්නෙ අපේ පරම්පරාවේ ලේ මස් ඇට නහර. අපි ජීවත් වෙලා ඉඳිද්දිම උඹලා අපේ රීරිමාංශ විකුණාගෙන කනවා.” මුදලිමාන කෝපයෙන් යුතුව කීවේ තම දෙවැනි පුතාට ය.

“ඉඩම් දිහා බලබල දුක් විඳින්න කියල ද මට කියන්නේ? මේක මට දුන්නට හිතින් අල්ලගෙනනේ දීලා තියෙන්නේ.” චන්ද්‍රභානු ද කීවේ තරමක කෝපයෙනි.

“විකුණගෙන කන්න නෙවේ ඉඩම් දුන්නේ. මේවා රැක බලා ගනී කියලා.” එවර මහල්ලා අඬන්නට විය. චන්ද්‍රභානු මව සොයා ගියේ ය.

“අම්මවත් තාත්තට තේරුම් කරලා දෙන්න මට මේ ගමේ ඉඩම් තිබිලා වැඩක් නැහැ කියලා. මං ගේකට මාසෙකට රුපියල් විසිදාහක් ගෙවනවා. අනිත් එක තාත්තගේ මේ විකාර පවිත්‍රට දැන ගන්න තියන්න එපා. අන්න තාත්තලා! ඉඩම් අරන් දුන්නා ආයේ මුකුත් කතා නැහැ.”

“උඹට දැන් ඒ පැත්ත ලොකු වෙලා තියෙනවා වෙන්න පුළුවන්. තාත්තා ඔය හිතේ අමාරුවට කියන දේවල් ඒ හැටි ගණන් ගන්න එපා.”

“අම්මා තාත්තට හපන්. මං ආයේ මේ පැත්ත පළාතේ එන්නෑ. හැමදාම මට තමා පවුලේ වෙනස්කම් වුණේ.” චන්ද්‍රභානු යන්නට ආපහු හැරුනේ ය.

“කාලා පලයං.” මව කීවේ ආයාචනාත්මක ලෙසිනි. චන්ද්‍රභානු නතරව කෑම මේසය දෙස බැලුවේ ය.

“තාත්තා?”

“අද කන එකක් නෑ. ඒ මිනිස්සු ඔය ඉඩම්වලට තිබුණේ පුදුම ආදරයක්. සීයා තාත්තට හපං. මම හිතන්නේ එයාගෙ ජීවිතේ නම් වැඩි කාලයක් ගෙවිලා ගියේ උසාවිවලයි, ඉඩම් කන්තෝරුවලයි. මං නං හිතුවෙ ම උසාවියක ම මැරෙයි කියලා.” මව කීවේ චන්ද්‍රභානුගේ කෝපය සංසිඳුවන අදහසිනි.

“නඩු කිය කිය එකතු කරලා අපිට ඉතුරු කරලා මැරිලා ගියා. අඩු තරමින් අපි තුන්දෙනාගේ මූණුවත් දැකලා නෑනේ සීයා. තාත්තට මේවා තේරුම් කරලා දෙන්න.” චන්ද්‍රභානු කීවේ සංවේගයෙනි.

මුදලිමාන ඒ වෙද්දී සිටියේ කෑම කාමරයේ උළුවස්ස ළඟ ය. පුතුගේ කථාව ඔහුට ඇසුණත්, “උඹ අත්තිවාරම් කපන්න හිතන් ඉන්නේ කවදද?” යැයි ඇසුවේ ආදරයෙනි.

“තාම දිනයක් නෑ. පවිත්‍රගේ අම්මා දිනයක් බලලා දේවී.” චන්ද්‍රභානු කෑම පිඟාන දෙස බලාගෙනම කීවේ පියාගේ මුහුණ දෙස බැලීමට ඇතිව තිබූ ලැජ්ජාව නිසාවෙනි.

“නැකත බලලා විතරක් මදි බහිරව පූජාවක් නම් තියන්න ම ඕනේ. ඕවා වෙන්දේසි ඉඩම් වුණාට පරණ ඉඩම්. අයිතිකාරයෝ ඇති ඕන තරම්.”

“අම්මගේ කථාව හරි. මාත් මේ බයේ ඉන්නේ අද රෑට සීයා ඇවිත් මගේ බෙල්ලත් මිරිකයි ද කියලා, තෝ පරම්පරාවේ ඉඩම් විකුණුවා නේද කියලා…” චන්ද්‍රභානු තුළ පියා ගැන ඇති වූයේ බලවත් අනුකම්පාවකි. ඔහු කෑම නවතා පියා දෙස බැලුවේ දයාබර ලෙසිනි.

“තාත්තා සීයට කියන්න මගේ බෙල්ල මිරිකන්න කියලා.”

“සීයා පුතාගේ බෙල්ල මිරිකන එකක් නෑ. නමුත් ඉඩම ගන්න දරුවට ඉන්න දේවි ද කියලා තමා මට නම් සැක.” මවගේ කථාවෙන් චන්ද්‍රභානු තුළ ද කිසියම් වෙනසක් ඉපදුණි.

“උඹේ මඟුල් ගේ කීවේ නෑ කියලා ගමෙන් භාගයකගේ හිත හොඳ නෑ. අයියා රට ගියා. උඹත් ගමෙන් යනවා. මල්ලි මොනවා කරයි ද දන්නේ නෑ. අපිට ගමේ උන්ව තරහා කරගන්න බෑ. මඟුල නොකී උන්ට අත්තිවාරම දාන එක නම් කියන්නම ඕනේ.” මුදලිමාන කීවේ ස්ථිර හඬිනි. ඊට විරුද්ධව කිසිවක් කියන්නට තරම් ශක්තියක් චන්ද්‍රභානුට නොවිණි.

“කීයක් විතර ඉන්නව ද?”

“හැටක් විතර.” චන්ද්‍රභානුට කෑම ද එපා වූ නමුත් දෙමාපියන්ට වෙනසක් නොපෙන්වා සිටීමට ඔහු සමත් විය. චන්ද්‍රභානු මහගෙදරින් පිට වුණේ නොසන්සුන් හැඟීමෙනි. ඔහු පදිංචිව සිටින්නේ කුලී නිවසක ය. ගේ හදන්නේ පවිත්‍රාට දෙමාපියන් අරන් දුන් ඉඩමේ ය. ගේ හදන්නට සල්ලි හොයාගන්නේ පියා තමන්ට දුන් ඉඩම විකුණලා ය. මොනවා කරන්නත් අත ඇත්තේ ලක්ෂ විස්සක මුදලකි. මඟුල් උත්සවය ගැනීමට දෙදෙනාම බැංකුවලින් ගත් ණය තව අවුරුදු හතරක් ගෙවිය යුතුව ඇත. බඩු මිල අහස උසට නැග ඇත.

චන්ද්‍රභානු නිවසට ඇතුළු වූයේ බලවත් වෙහෙසකාරී බවක් සමඟිනි. පවිත්‍රා ඉදිරියට පැමිණ ස්වාමියාව පිළිගත්තේ ආදරයෙනි.

“ඉඩමේ වැඩේ හරි නේද?” පවිත්‍රා ඇසුවේ නොඉවසිල්ලෙනි. චන්ද්‍රභානුගේ හිතට තරමක තරහක් ඉපදුණ ද ඔහු ඉවසුවේ ය.

“වැඩේ නම් හරි. නමුත් ඉතින් ලක්ෂ විස්සට කරන්න තියෙන වැඩ කන්දරාව මතක් වෙද්දි තමයි බය.”

“මොන වැඩ කන්දරාවක් ද? ගේ හදා ගන්නවා මිසක.” පවිත්‍රා ඇසුවේ කලබලයෙනි. අසතුටෙනි.

“වෙන වැඩක් නෙවේ. ගෙයි වැඩ තමයි.” කියමින් කුඩා කුලී නිවසට ඇතුළු වූ චන්ද්‍රභානු දිගු සුසුමක් පිට කළේ හිතේ බර සැහැල්ලු කරන්නට මෙනි.

“අම්මා කියනවා බහිරව පූජාවක් කරන්න කියලා. මඟුල් ගේ නොකීව ගමේ නෑයන්ට කියන්න ඕනලු අත්තිවාරම් කපන එක. ඒක තාත්තගේ අදහසක්. ගමෙත් ඔක්කොම හැටක් විතර.” චන්ද්‍රභානු කීවේ පවිත්‍රා දෙස යටැසින් බලමිනි. ඇගේ මුහුණ හොඳටෝම අඳුරු වෙනු චන්ද්‍රභානු හොඳින් ම දුටුවේ ය.

“එහෙනම් ඉතින් අපේ පැත්තෙනුත් කියන්න වෙයි. මං නොකීවට අපේ නෑයොත් සෑහෙන්න තරහා උනා මඟුල් ගේ නොකීවයි කියලා. අපෙන් එකසිය විසිපහයි. ඔයාලගේ එකසිය හැත්තැ පහයි. එතනත් ඔයාලගේ අය තමා වැඩි වුණේ” පවිත්‍රා කීවේ අවනඩුවකි. චන්ද්‍රභානු නිහඬව සිටියා පමණකි.

“ප්ලෑන් එක අඳින එක පනස්දාහකට කර ගන්න පුළුවන් අරුණිගේ මහත්තයට කියලා. මගේ රත්තරං බඩු ටික බේර ගන්න ලක්ෂ හතරක් විතර ඕන වෙයි. එදාට දාන්නවත් මුකුත් තියෙන්න එපැයි.” පවිත්‍රා එය නම් කීවේ කටහඬ බාල කරමිනි.

“මේක දීලා මං අලුත් බයිසිකලයක් ගන්නයි හිතන් හිටියේ. ගිය ගිය තැන කැඩෙනවා.” චන්ද්‍රභානු කීවේ තම යතුරුපැදිය දෙස නොසතුටින් බලමිනි.

“කාට නොකීවත් මට මගේ ස්ටාෆ් එකට නම් කියන්න ම වෙනවා. එතන තිහයි.” පවිත්‍රා කීවේ ස්ථීර හඬිනි.

“ගමේ ගාන?” චන්ද්‍රභානු ඇසුවේ තමා උගුලකට සිර වී ඇති බව දන්නෙකු සේ යටහත් පහත් ලෙසිනි. “අම්මගෙන් අහලා කියන්නම්. ඔයාගේ ස්ටාෆ් එකට කියන්නත් ඕන ද?”
එවර පවිත්‍රාගේ වචන චාටු බසක ස්වරූපයක් ගන්නට විය.

“උන්ට නොකියා කොහොමද කට්ටිය දැනටමත් සෙට් වෙලා ඉන්නේ. උන්ට ඉතින් බොන්න කීවොත් තොවිල් ගෙදරක් හරි කමක් නෑ.” චන්ද්‍රභානු හිතට ධෛර්යය ගෙන කීවේ ය.

“වෙන්දේසි වත්තේ දැනටම ගෙවල් පහළොවක විතර පදිංචි වෙලා. ඒ අයටත් ඉතින් කියන්න එපැයි. ඔක්කොම එකතු උනාම දෙසීය නම් පනීවි.” පවිත්‍රා කීවේ ඇඟට පතට නොදැනීය.

“මිනිස්සුන්ට ඉන්න තැනක්?” චන්ද්‍රභානු අසා සිටියේ තමාගෙනි.

“හට් දෙක තුනක්වත් ගහන්න වෙයි. ගහක් කොළක් නැති කාන්තාරයක් වගෙයි. කොහෙ ඉන්න ද?” යි කියා පිළිතුරු දුන්නේ පවිත්‍රා ය.

“භානූ දැන්නේ මතක් වුණේ… දුවගේ මොන්ටිසෝරියට එන අම්මලා දහයකට දොළහකටවත් මතක් කරන්න ම වෙනවා. මිස්ලත් හතර දෙනෙක් ඉන්නවා.”

“නිවී හැනහිල්ලේ තව ටිකක් කල්පනා කරලා බලනවා අමතක වෙච්ච තව කවුරුහරි ඉන්නව ද කියලා.” යි කිවූ චන්ද්‍රභානු දෑස් තදින් පියා ගත්තේ ය.

නිවසට නැකැත් බැලීමට වියදම රුපියල් විසිදහසකි. බහිරව පූජාවට යකැදුරු ගාස්තුව ලක්ෂ එකහමාරකි. බඩුවලට වියදම රුපියල් ලක්ෂය පැන්නේ ය. පැමිණෙන පිරිසට සිටින්න අල්ලපු වත්තේ ගැසූ හට් තුනට වියදම රුපියල් හතලිස් පන්දාහකි. පවිත්‍රාගේ නෑදෑ පිරිස අසූවකි. අත්තිවාරම් කැපීමට ආරාධනා ලද පිරිස චන්ද්‍රභානුගේ කාර්යාල සගයන් හතලිස් දෙදෙනා සමඟ දෙසිය හතලිස් දෙනෙකි. නිවස පිහිටියේ නිවෙස්වලින් ඈත නගරයේ නිසා ආරාධිතයන්ට දහවල කෑම ගන්නේ කෑම වේලක් නවසියය බැගින් වූ කේටරින් සර්විස් එකකිනි. කෑමට වූ වියදම රුපියල් දෙලක්ෂ විසිපන්දහසකි. පවිත්‍රාගේ රත්තරං බඩු බේර ගන්න රුපියල් ලක්ෂ හතරක් ම වැය විය. අලුත් යතුරුපැදියට වියදම් කළ මුදල රුපියල් දෙලක්ෂ විසිදහසකි. අරක්කුවලට රුපියල් හතලිස් දහසක් වියදම් විය. පවිත්‍රාට ඉවසුම් නොදුන් නමුත් චන්ද්‍රභානු කීවේ ඒ ගානෙන් බේරුණ එක වාසනාවක් බව ය. කැවුම් කිරිබත් ආදියත් ඇතුළු අනෙකුත් දේවලට කළ වියදම රුපියල් තිස්දහසකි. අත්තිවාරම කැපීම සඳහා ඉඩම විකිණූ මුදලින් දොළොස්ලක්ෂ විසිදහසක් ම වියදම්ව තිබුණි.

සවල් දෙකකට අමතරව සීනි කිලෝ තුන්සීයකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණි. අත්තිවාරම් කැපීම කියා කළේ බේස් වළක් කපා මුල් ගල තැබීම පමණකි.

“සීනි ටික කඩේකට දුන්නත් විසි තිස්දහසකට වඩා ගන්න බෑ. මම මේ කල්පනා කළේ ගෙයි අත්තිවාරමේ වැඩවත් ඉවර කර ගන්නේ කොහොමද කියලා.”

රාත්‍රියේ දී චන්ද්‍රභානු පවිත්‍රාගෙන් ඇසුවේ දෑතින්ම හිස බදාගෙන කල්පනා කරමින් සිට ය.

“අතේ තිබුණ සල්ලිවලින් මිනිස්සුන්ට කවලා පොවලා සතුටු කරලා යැව්වා. අන්තිමට වුණේ ගහපු පදේකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ වගේ දෙයක් තමයි.” පවිත්‍රා ද පිළිතුරු දුන්නේ චන්ද්‍රභානුටත් වඩා කනස්සලු ලෙසිනි.

චන්දන එස්. කුමාර