ඔබටත්, මටත්, අපි කොයි කාටත් තිබෙන පොදු ගැටලුව නම් ඒකාන්ත වශයෙන් සැපයක් නොලැබීමත්, දිගින් දිගට ම පාහේ දුකට උරුමකම් කීමත් ය. මේ ලෝකයේ සියලු දෙනාගෙන් ම විමසා බැලුවහොත් ‘ඔබ වඩාත් කැමති සැප විඳින්නට ද නැත්නම් දුක් විඳින්නට ද’ කියා, ඒ සියලු දෙනාම පාහේ දෙන පිළිතුර ‘සැප විඳින්නට කැමති ය, දුක් විඳින්නට අකමැති ය’ කියා ය. එහෙත් අපි කවුරුත් එසේ දුක් නොවිඳ සැප විඳින්නට කැමති වුවත් අපිට නොලැබෙන්නේ ම එය නොවේ ද? එයට හේතුව සත්වයා කර්මය දායාද කරගෙන සිටීමය. සසර සැරිසරා යන සත්වයාට යහපත් පැත්තට ජීවිතය හරවා ගන්නට ඉතාමත් කලාතුරකින් අවස්ථාව ලැබෙන නමුත් 99% කටත් වඩා ජීවිතය වරදින්නයි ඉඩකඩ සැකසී තිබෙන්නේ. එය තේරුම් ගත යුත්තේ මෙසේ ය.

දිනක් අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිය සිල මතට පස් ස්වල්පයක් ගෙන භික්ෂු සංඝයාගෙන් මෙසේ අසා වදාළ සේක. “පින්වත් මහණෙනි, ඔබට පෙනෙනවා ද? මේ මාගේ නියසිල මත තිබෙන පස් ද වැඩි? මහ පොළොවේ තිබෙන පස් ද වැඩි?” “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, නිය සිල මත ඇති පස් ඉතාම ස්වල්පයකි. මහ පොළොවේ පස් ම යි ඉතාම වැඩි.” “පින්වත් මහණෙනි, මේ වගේ තමයි මැරෙන සත්වයන්ගෙන් ආයෙමත් මනුස්ස ලෝකයට එන්නේ නිය සිලට ගත් පස් ටික වගේ ඉතා ම සුළු පිරිසයි. දෙව්ලොව යන්නේ ඉතා.ම සුළු පිරිසයි. මහ පොළොව වගේ විශාල පිරිසක් නිරයේ උපදින්නේය.

මහ පොළොව වගේ පිරිසක් තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ උපදින්නේය.”

එසේ නම් බලන්න, ඉතාම සුළු පිරිසකට නේද සැප ලබන්න අවස්ථාව හිමි වෙන්නේ? බොහෝ පිරිසකට ඒ අවස්ථාව අහිමි වී යයි. මෙයට ඇති ප්‍රධාන ම හේතුව කුමක්ද? මෙයට ඇති ප්‍රධාන ම හේතුව වනාහී කරන ලද ඇසුරයි.

මේ ලෝකයේ ආශ්‍රයන් දෙකක් ඇත්තේ ය. ඉන් එක ඇසුරක් අතිශයින් ම භයානක ය, දුකට මුල් වන්නේ ය. බිය උපදවන්නේ ය. එය වනාහී, අසත්පුරුෂ ඇසුර හෙවත් පාපමිත්‍ර සේවනය යි. අනිත් ඇසුර වනාහී යහපත් ය. දුක් දුරු කරවන්නේය. භය තැතිගැනීම් නැති කර සැප උදා කරන්නේය. කුමක්ද ඒ සොඳුරු ඇසුර? එය වනාහී, සත්පුරුෂ ඇසුර හෙවත් කල්‍යාණමිත්‍ර සේවනය යි. එසේ නම් නිය සිල මතට ගත් පස් ස්වල්පයක් වගේ පිරිසක් නම් මනුලොව දෙව්ලොව උපදින්නේ, ඉතාම සුළු පිරිසකට නේද ඒ උතුම් සත්පුරුෂ ඇසුර ලැබී ඇත්තේ? මහ පොළොව වගේ පිරිසක් මැරී උපදින්නේ නිරය, ප්‍රේත, තිරිසන් ලෝකය ආදී සතර අපායේ නම් ඒ සියලුදෙනාට ම අහිමි වූයේ කුමන ඇසුර ද? ඒ සත්පුරුෂ ඇසුර නොවේ ද? ලැබුණේ කුමන ඇසුර ද? අසත්පුරුෂ ඇසුර නේද?

අපගේ ශාස්තෘන් වහන්සේ උතුම් අංගුත්තර නිකායෙහි ඇතුළත් දේශනාවක මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, යම් කිසි භයක් උපදිනවා නම්, ඒ සෑම භයක් ම උපදින්නේ බාලයාගෙනි. ප්‍රඥාවන්තයාගෙන් නොවේ. යම් කිසි උවදුරක් උපදිනවා නම් ඒ සෑම උවදුරක් ම උපදින්නේ බාලයාගෙනි. ප්‍රඥාවන්තයාගෙන් නොවේ. යම් කිසි විපතක් උපදිනවා නම් ඒ සෑම විපතක් ම උපදින්නේ බාලයාගෙනි. ප්‍රඥාවන්තයාගෙන් නොවේ.”

මේ බුද්ධ ශාසනයේ උතුම් මාර්ග ඵල ලබන්නට පින් තිබූ අජාසත්ත රජුට එය අහිමි වී ගියේත්, පිය රජු මරා ආනන්තරීය පාපකර්මය ද රැස්කොට කල්පයක් නිරයේ පැසෙන ආකාරයේ කර්මයක් රැස් වූයේත් දේවදත්ත නමැති පාපී අසත්පුරුෂයාගේ ඇසුර නිසා ම ය.

මේ ඇසුරේ ඇති භයානක බව දන්නා නිසා ම ය අපගේ භාග්‍යවතුන් වහන්සේ උතුම් මංගල සූත්‍රයේ “අසේවනා ච බාලානං” – අසත්පුරුෂ බාලයාව ඇසුරු නොකිරීමත්, “පණ්ඩිතානං ච සේවනා” – නුවණැති සත්පුරුෂයන් ව ඇසුරු කිරීමත්, “ඒතං මංගල මුත්තමං” – උතුම් මංගල කරුණු ලෙස පෙන්වා වදාළේ.

ඉතින් සසර ගමනක යන අපිට ස්ථිර රැකවරණය තිබෙන්නේ මනා කොට තිසරණයෙහි ස්ථිරව ම පිහිටපු දවසට ය. එතෙක් අප සියලු දෙනාම නිවනට යොමු වුණු පිරිසක් ලෙස නොව, සසරට යොමු වුණු පිරිසක් ලෙසයි සැරිසරා යන්නේ. එසේ යන අපට නිතරම මුණගැසෙන දෙයක් වන්නේ මේ අසත්පුරුෂ ඇසුර යි. එය මුණගැසෙන තාක් අපට ලැබෙන්නේ මෙයයි. එනම්, විපතක් ම යි. භයක් ම යි. උවදුරක් ම යි. මක්නිසා ද යත්, එබඳු ඇසුරකට වැටුණු කෙනාට කිසි කලෙක දන් දීමට, සිල් රැකීමට හෝ ගුණ ධර්මයන්ගේ දියුණුවක් කරා යාමට අනුබලයක් නොලැබෙන නිසා ය. ඔහුගේ ඇසුරින් අපට ලැබෙන දායාදය නම් කාය දුෂ්චරිතය යි.

වචී දුෂ්චරිතය යි. මනෝ දුෂ්චරිතය යි. ඔය විදිහට දායාදය හිමි කර ගත් කෙනා මරණින් මතු නිරයේ හෝ ප්‍රේත ලෝකයේ හෝ තිරිසන් ලෝකයේ හෝ අසුර ලෝකයේ හෝ උපතක් කරා ගොස් අනන්ත අප්‍රමාණ දුක් දොම්නස් උරුම කර ගනු ලබන්නේය. සසරෙහි ඇති මේ බිහිසුණු ස්වභාවය දකින නුවණැති තෙමේ “දුකින් නිදහස් විය යුත්තේය.. දුකින් නිදහස් විය යුත්තේය…”

යන කරුණ ම තරයේ සිතට ගෙන ධර්මයේ ම හැසිරිය යුත්තේය. එමෙන් ම සිහි කළ යුතු අන් කරුණක් ද ඇත. එනම් අපගේ භාග්‍යවතුන් වහන්සේ උතුම් සංයුත්ත නිකායේ සඳහන් දේශනාවක මෙසේ වදාළ සේක. “අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ, පුබ්බා කෝටි න පඤ්ඤායති, අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං” “පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය අවසන් නොවන ගමනකි. ආරම්භක කෙළවරක් දැක්ක නොහැකි දෙයකි. අවිද්‍යාවෙන් වැසුණ, තණ්හාවෙන් බැඳුණ මේ සත්වයන් සුගති දුගතිවල සැරිසරමින් යන මේ ස්වභාවය ආරම්භක කෙළවරක් දැක්ක නොහැකිය.”

එසේ නම් මේ සසර ගමන මෙතනින් පටන් ගත්තා, මෙතනින් නිමා වෙනවා කියා සොයන්නට නොහැකිය. නමුත් අපට හිතෙන්නේ ම අනිකකි. එනම්, මේ අපගේ පළමු ජීවිතය කියා ය. සැබැවින් ම ඒ අපි සසර ගමන ගැන සැබෑ තතු නොදන්නා නිසා ය. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. “පින්වත් මහණෙනි, බොහෝ කලක් මුළුල්ලේ ඔබ විසින් මව් මිය ගිය දුක නිසාත්, අමනාප දේ සමඟ එක්වීමෙනුත්, මනාප දෙයින් වෙන් වීමෙනුත් හඬා වැළපෙද්දී ඔබේ නෙතින් වැගිරුණ යම් කඳුළක් වේ නම් ඒ කඳුළුමයි ඉතාමත් වැඩි. සතර මහා සාගරයේ ජලය නම් නොවේ… ඒ වගේ ම පියාගේ වියෝවේ දී, සහෝදරයාගේ වියෝවේ දී, සහෝදරියගේ වියෝවේ දී, දරුවන්ගේ වියෝවේ දී හඬා වැළපෙද්දී ගලා ගිය කඳුළු වෙන් වෙන් වශයෙන් ගත් කල සතර මහා සාගර ජලයට වඩා වැඩි ය.”

තවත් වරෙක අප භාග්‍යවතුන් වහන්සේ වදාළේ හරි අපූරු කාරණයකි. “අප මේ සසරේ කුකුළන් වී ඉපදුණ වාරවල බෙලි කැපුම් කා මරණයට පත් වෙද්දී ගලා ගිය රුධිරය ම යි වැඩි. සතර මහා සාගරයේ ජලය නම් නොවේ.”

එපමණ ප්‍රමාණයක රුධිරයක් ගලා යන්නට නම් සතුන් කී කෝටියක් මරා දැමිය යුතු ද? ඒ ප්‍රමාණය සංඛාවකට ගත නොහැකි ය. එසේ නම් මෙසේ පැමිණි ගමනේ එක් තිරිසන් යෝනියක ඉපදුණ වාරවල කී වතාවක් මැරුම් කන්ට ඇති ද? එපමණක් නොව, එළුවන්, බැටලුවන්, ඌරන්, ගවයන් ආදී සතුන් වී ඉපදුණ වාරවල එලෙසට රුධිරය හළමින් අපි මරණයට පත් වුණෙමු. ඒ අතර අප මනුලොවටත් පැමිණි අවස්ථා බොහෝ ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, දීර්ඝ කාලයක් මුළුල්ලේ පර ස්ත්‍රීන් සොයා යන සොරුන්ව සිටිය දී හිස ගැසුම් පහර කද්දී ගලා ගිය යම් රුධිරයක් ඇත් ද එය ම යි වැඩි. සතර මහා සාගර ජලය නම් නොවේ…” එමෙන් ම මං පහරන සොරුන් වෙලා, ගම් පහරන සොරුන් වෙලා ඉපදුණ අවස්ථාවල දී ද එසේ ම සිදු විය. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ තවත් වරෙක වදාළේ එක් පුද්ගලයෙක් කල්පයක් තුළ මනුලොව ඉපදෙන වාරවල දී ඒ ඇටසැකිල්ල පොළොවට පස් නොවී ඉතිරි වුවහොත් ඒ ඇටසැකිලි ගොඩ වේපුල්ල පර්වතය තරම් ම විශාල වන බවයි.

උන්වහන්සේ වදාළ තව මෙබඳු කරුණක් ද ඇත. එනම්, මේ මනුස්ස ආත්මයක් ලබනවා යන්න අතිශයින් ම කලාතුරකින් සිදු වන එකක් බවයි. එසේ නම්, ඒ දුර්ලභ මිනිසත්භාවය ම එක් කල්පයක් තුළ කොපමණ ලබලා ද?

එයින් පසක් වන්නේ කල්පයේ ඇති දීර්ඝ බවයි. මෙබඳු කල්ප සිය දහස් ගණනක් නොව අසංඛෙය්‍ය ගණන් අතීතයට ගොස් හමාර ය. ඒ වගේ ම මෙතෙක් ආ ගමනේ අප කොතෙක් වාර ගණන් මනුෂ්‍ය ජීවිත ලබලා ද? ඒ හැම එකක් ම අප වරද්දාගෙන නොවේ ද? සසර සැරිසරා යද්දී අප බොහෝ විට සැරිසරන්නේ සතර අපාය තුළ ම යි. නිරයෙන් ප්‍රේත ලෝකයට, ප්‍රේත ලෝකයෙන් තිරිසන් ලෝකයට, තිරිසන් ලෝකයෙන් නැවත නිරයට මේ ආදී වශයෙන් සතර අපාය තුළ ම කැරකි කැරකී යද්දී අතිශයින් ම කලාතුරකින් ය මනුලොවට හෝ දෙව්ලොවට පැනගන්නේ. එයත් ටික කලකට පමණි. නැවත එයින් චුත ව සත්වයා පුරුදු ගමන ම යන්නේය. මොහොතක් සිතා බලන්න මෙසේ පැමිණි සසර ගමන ගැන… අප මෙතෙක් පැමිණ තිබෙන්නේ හඬ හඬා නොවේ ද? ලේ වගුරුවමින් නොවේ ද? අනන්ත දුක් අනුභව කරමින් නොවේ ද? තිසරණයේ මනාකොට පිහිටන තාක්, එයට ම දිවිපුදා වාසය කරන තාක් මේ ගමන නවත්වන්නට කාට නම් හැකි වේ ද? මෙය කළ හැක්කේ බුදු සසුනක පමණි. එම නිසා සසර දුකට භය නුවණැති තෙමේ ‘දුකින් නිදහස් විය යුත්තේය… දුකින් නිදහස් විය යුත්තේය…’ යන කරුණ ම තරයේ සිතට ගෙන තුනුරුවනට දිවි පුදා සසරේ ඇති ආදීනව ම සිහිකොට වීරියෙන් ධර්මයේ හැසිරිය යුත්තේ ය.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.