ලෝකයේ ජීවත්වන සෑම දෙනාට ම පාහේ විවිධාකාර වූ ප්‍රියමනාප බැඳීම් තිබේ. මිනිසුන්ට පමණක් නොව තිරිසන් සත්වයාට පවා අම්මා, තාත්තා, බිරිඳ, ස්වාමියා, දරුවන්, ඥාතීන්, හිත මිත්‍රාදීන් ලෙස නොයෙක් අයුරින් ඒ බැඳීම් අර්ථ ගන්වති. සජීවී වස්තු කෙරෙහි පමණක් නොව ගේ, දොර, ඉඩකඩම්, යාන වාහන ආදී අජීවී වස්තූන් කෙරෙහි ද මේ බැඳීම් හටගෙන ඇත. බැලූ බැල්මට මේ සෑම ප්‍රියමනාප බැඳීමක් තුළ ම දක්නට තිබෙන්නේ සැපයක්, සොම්නසක්, සතුටක් යැයි අපට සිතේ. නමුත් ඒ සැබෑම සත්‍යය නම් නොවෙයි. මේ සෑම ප්‍රියමනාප බැඳීමක් තුළ ම සැඟවී ඇත්තේ දුකයි. එහෙත් ඔබට තේරුම් ගන්නට නොහැකි වී ඇත්තේ ඒ තුළ දුක යටපත් කරවන අල්ප වූ ආශ්වාදයක්, සොම්නසක් තිබීමයි. ඒ තුළින් අතිමහත් දුක ඉතාම සූක්ෂ්ම ලෙස වසාගෙන තිබේ.

බැඳීමක් හටගන්නේ කැමැත්ත මුල් කරගෙන ය. අකැමති පුද්ගලයන්, වස්තූන් කෙරෙහි බැඳීම් හට නොගනිති. ඇතිවන්නේ ගැටීමකි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ “අතීත කාලයෙහි යම්කිසි දුකක් ඉපදුනා නම්, ඒ සෑම දුකකට ම කැමැත්ත මුල් වුණා. කැමත්තයි මූලික කාරණය වුණේ. දුකේ මුල වනාහී ආශාව යි. අනාගත කාලයේ යම් කිසි දුකක් උපදිනවා නම් ඒ සෑම දුකකට ම කැමැත්ත මුල්වනවා. කැමැත්තයි මූලික වෙන්නේ. දුකෙහි මුල වනාහී ආශාව ම යි” ලෙසිනි. එසේ නම් බැඳීම් තුළ තිබෙන්නේ මේ කියන ලද කැමැත්ත යි. කැමැත්ත යම් තැනක ද දුක ඇත්තේ එතැන ය. මෙය අසිරිමත් විග්‍රහයකි. බුදුරජාණන් වහන්සේ මේ ගැන විග්‍රහ කර නොදෙන්නට අප කෙසේ නම් මෙය තේරුම් ගන්නද?

ප්‍රියමනාප දේ තුළින් දුක හටගන්නා ආකාරය තවත් පහසුවෙන් තේරුම් ගැනීමට ‘විශාඛා සූත්‍රය’ ඉතා ප්‍රයෝජනවත් වෙයි.

දිනක් විශාඛා උපාසිකාව දහවල් කාලයේ තෙත වස්ත්‍රත්, තෙත කොණ්ඩෙත් ඇතිව භාග්‍යවතුන් වහන්සේ හමුවීමට පැමිණියා. එවේලෙහි උන්වහන්සේ ඇයගෙන් ඇසුවා “පින්වත් විශාඛා, ඔය තෙත් වූ කොණ්ඩය සහ තෙත් වූ වස්ත්‍ර ඇතිව මේ දවාලේ ඔබ කොහේ සිට එන ගමන් ද?” කියලා.

“ස්වාමීනී, මගේ ඉතා ම ප්‍රිය වූ මිණිබිරියක් කලුරිය කළා. ඒ නිසයි මම මේ දවල් කාලේ තෙත් වූ වස්ත්‍ර පිටින්, තෙත් වූ කොණ්ඩෙ පිටින් මෙහෙ ආවේ.”

“පින්වත් විශාඛා, මේ සැවැත් නුවර ගොඩක් මිනිස්සු ඉන්නවා. ඉතින් ඔබ කැමති ද ඒ තරමට ම ඔය වගේ තව දූ දරුවෝ, මුණුබුරු මිණිබිරියෝ ඉන්නවාට?”

“භාග්‍යවතුන් වහන්ස, මම හරි කැමතියි ඒකට. මේ සැවැත් නුවර ඉන්න මිනිසුන් ගණනට මට දූදරු මුණුබුරු මිණිබිරියෝ ඉන්නවා නම්.”

“පින්වත් විශාඛා, මේ සැවැත් නුවර එක දවසකට කී දෙනෙක් විතර මැරෙනවා ද?”

“ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා දහදෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා නවදෙනෙකුත් මැරෙනවා. සුවාමීනී, මේ සැවැත්නුවර දිනකට අටදෙනෙකුත් මැරෙනවා…..” මේ අයුරින් විශාඛා සැවැත් නුවර දිනකට හත් දෙනෙක්, සය දෙනෙක් ආදී වශයෙන් අවසානයේ “ස්වාමීනී, මේ සැවැත්නුවර දිනපතා එක්කෙනෙක් හරි මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර මිය යන මිනිසුන්ගෙන් හිස් වෙන්නෙ නෑ” යි විශාඛා උපාසිකාව පිළිතුරු දුන්නා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ,

“පින්වත් විශාඛා, එතකොට ඔබට මේ ගැන කොහොමද හිතෙන්නේ? ඔබට කවදාවත් පුළුවන් වෙයි ද, තෙත නැති වස්ත්‍ර ඇඳගෙන, තෙත නැති කොණ්ඩයක් ඇතිව ඉන්න?” කියලා.

මෙම ප්‍රශ්නය වෙනත් කෙනෙකුට නම් නිවැරදිව තේරුම් ගන්නට නොහැකි වෙන්නට පුළුවන්. නමුත් විශාඛා සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක්. ඇය ඒ මොහොතේ ම සියල්ල තේරුම් ගෙන,

“අනේ ස්වාමීනී, එහෙම නම් වෙන්නෙ නෑ තමයි. ස්වාමීනී, එහෙනම් මට ඔච්චර ගොඩක් දරු මුණුබුරන්ගෙන් නම් වැඩක් නැහැ” කියා පිළිතුරු දුන්නා.

ඉතින් සිතා බලන්න. ආර්ය ශ්‍රාවිකාවන්ට පවා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන තෙක් මෙකරුණ වටහාගැනීමට නොහැකි විය. අප කෙසේ නම් තේරුම් ගනීවි ද? මෙය ඒ තරමට ඉතාම සියුම් කාරණයකි.

ඒ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද වදාළ සේක. “පින්වත් විශාඛාවෙනි, යම් කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු සීයක් තිබුණොත් එයාට දුක් සීයක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රියමනාප වස්තු අනූවක් තිබුණොත් එයාට දුක් අනූවක් තිබෙනවා…..” මේ ආදී ලෙස පිළිවෙළින් වදාළ භාග්‍යවතුන් වහන්සේ අවසානයේ “යම් කෙනෙකුට ප්‍රිය මනාප දේවල් දෙකක් තිබුණොත් එයාට දුක් දෙකක් තිබෙනවා. යම් කෙනෙකුට ප්‍රිය මනාප එක් දෙයක් හෝ තියෙනවා නම් එයාට එක දුකක් හෝ තිබෙනවා. යම් කෙනෙකුට ප්‍රිය මනාප දේවල් එකක් වත් නැත්නම් එයාට එක දුකක්වත් නැහැ. ඒ අයට ශෝකය නැහැ. කෙලෙස් දූවිලි නැහැ. ඒ අයට කිසි වෙහෙසක් ඇතිවෙන්නේ නැහැ කියලයි මම කියන්නේ.” යනුවෙන් වදාළ සේක.

අපට සිතෙන්නේ මේ දහම් පර්යායට හාත්පසින් ම වෙනස් දෙයක් නොවේද? බොහෝ දරුවන් සිටිනවා නම්, බොහෝ ඥාතීන්, මිතුරන් ඉන්නවා නම්, බොහෝ දේපල, ඉඩ කඩම් තියෙනවා නම්, මොනතරම් සැපයක් ද කියා සිතන අපි කවුරුත් සිටින්නේ විශාල ම මුලාවක ය. මොහොතක් සිතන්න, තනියෙන් සිටින කෙනෙක් විවාහ වූ පසු ප්‍රශ්න ගැටළු අඩු ද වැඩි ද? විවාහ වූ අයට දරුවෙක් ලැබුණු පසු දුක අඩු ද වැඩි ද? එක දරුවෙක් සිටින අයට දරුවන් දෙදෙනෙක් ලැබුණා ම ප්‍රශ්ණ අඩු ද වැඩි ද? ඥාතීන් කිහිප දෙනෙක් සිටි කෙනෙකුට බොහෝ ඥාතීන් ලැබුණු පසු ප්‍රශ්න අඩු ද වැඩි ද? එක වාහනයක්, එක ගෙයක් තිබෙන කෙනාට තවත් වාහන කිහිපයක්, ගෙවල් කිහිපයක් ලැබුණු පසු ප්‍රශ්න, ගැටළු අඩු ද වැඩි ද? මේ සෑම ප්‍රශ්නයකට ම පිළිතුර නම් වැඩියි යන්න ම ය. දුටුවා ද සෑම බැඳීමක් සමග ම දුක නම් වූ ආගන්තුකයා ද පැමිණි ඇති බව. සැපයි සැපයි කියා එකතු කළ සියල්ලෙහි සැඟවුණු සතුරා දුක ම නොවේද?

“උපාතිධාවන්ති න සාරමෙන්ති

නව නවං බන්ධනං බ්‍රෑහයන්ති

පතන්ති පජ්ජෝතමිවාධිපාතකා

දිට්ඨේ සුතේ ඉතිහේකේ නිවිට්ඨා’ති.

“මේ සත්වයන් අසාර දේ පස්සෙමයි දුවන්නේ. ඔවුන්ට සාරවත් දෙයක් නම් ලැබෙන්නේ නැහැ. අලු‍ත් අලු‍ත් බන්ධනවලට ම යි බැඳී යන්නේ. පහන් දැල්ලට ඇදිලා යන පළඟැටියෝ වගෙයි. අසන, දකින හැම දේට ම ඔවුන් ඇදිලා යනවා.”

(උපාති සූත්‍රය – ඛු.නි. 1)

ආසාවන් පසුපස ම හඹායන අයට වෙන්නේ පළඟැටියන්ට වෙන දෙය ම ය. ප්‍රිය මනාප දේවල්, බැඳීම් අත්හැරීම තුලින් ම යි සැපය උදාකරගන්නට හැකි වන්නේ. නමුත් එය නම් ඉතා අසීරු දෙයකි. යම් කෙනෙක් කුඩා වූ ද මහත් වූ ද අඹු දරු ඥාති හිතමිත්‍රාදීන් ද දේපල ඉඩකඩම් ද අත්හැර පැවිදි වුවහොත් අන්න ඒ කෙනාට නම් අඹු දරු ඥාති හිතමිත්‍රාදීන් ද දේපල ඉඩකඩම් ද නිසා හටගන්නා ප්‍රශ්න නැත. ඒ හා සමග හටගන්නා දුක ද නැත. ඔහුට කිසි කෙනෙක්, දෙයක් සමග බැඳීමක් නැත. ‘අබ්භෝකාසෝව පබ්බජ්ජා’ පැවිදි ජීවිතය අහස මෙනි. ආකාශයට කිසි බැඳීමක් නැහැ. ඒ නිසා හරිම නිදහස්. එලෙසමයි පැවිදි ජීවිතයත්. රැකගන්නට කියා ප්‍රිය වස්තූන් නොමැත. ලැබෙන සිවුරක් පොරවාගෙන, ලැබෙන කුටියක සුවසේ වැඩහිඳ, ලැබෙන දානයක් වළඳා සුවසේ ජීවත් වෙති.

“සෝකපරිදේව මච්ඡරං

න ජහන්ති ගිද්ධා මමායිතේ

තස්මා මුනයෝ පරිග්ගහං

හිත්වා අචරිංසු ඛේමදස්සිනෝ

මම මගේ යයි කියා ගිජු වෙලා වසන්නේ
සෝක වැලපුම් මසුරුකම් බැහැර නොයන්නේ
එනිසාය මුනිවරුන් හැම බැඳුම් නසන්නේ
බියක් නැති නිවන් දැක තුටින් කල් ගෙවන්නේ

පතිලීනවරස්ස භික්ඛුනෝ

භජමානස්ස විවිත්තමාසනං

සාමග්ගියමාහු තස්ස තං

යෝ අත්තානං භවනේ න දස්සයේ

හුදෙකලාවේ උතුම් දිවි ගෙවන සමණ හට
විවේකය තිබෙන ගිරි ගුහාවල සිටින විට
තමා තුළ කිසි දුකක් නොමැති බව දකින විට
එක්වෙලා වසයි හේ දහම සමගින් එවිට

සබ්බත්ථ මුනී අනිස්සිතෝ

න පියං තුබ්බති නෝපි අප්පියං

තස්මිං පරිදේව මච්ඡරං

පණ්ණේ වාරි යථා න ලිප්පති

ලොවේ කිසිවක් කෙරෙහි තණ්හාව ඇති නොවන
මුනිඳු හට නැත කිසිත් කැමති අකැමති කරුණ
වැලපීම මසුරුකම ඔහු කෙරෙහි නොම ගැලෙන
දිය බිඳකි නෙළුම් කොළයේ නොරැඳ බිම වැටෙන

(ජරා සූත්‍රය – සුත්ත නිපාතය)

මේ අයුරින් ජීවත් වෙන්නට ඇත්නම් මොනතරම් සුන්දර ද! කොයිතරම් අපූර්වත්වයක්, නිදහසක් ඒ ජීවිත තුළ ගැබ්ව තිබේ ද! අසිරියක් ම ය.

එසේ නම් ඔබ මෙය හොඳින් තේරුම් ගන්න, ප්‍රිය වස්තූන් සමග පැමිණෙන ආගන්තුකයා දුක බවත් සැප ලැබෙන්නේ ප්‍රිය වස්තූන්ගෙන් දුරස්වී යන විට බවත්. එවිට ඔබට සුවසේ ජීවිත ගත කළ හැකිය. බැඳීම් අඩුවන තරමට ගිහි ජීවිත ද ඉතා පහසුවෙන් ගත කළ හැකිය.

“යේ කේචි සෝකා පරිදේවිතා වා

දුක්ඛා ච ලෝකස්මිං අනේකරූපා

පියං පටිච්ච පභවන්ති ඒතේ

පියේ අසන්තේ න භවන්ති ඒතේ”

මේ ලෝකයේ නොයෙක් ස්වරූපයෙන් ශෝක වැලපීම් දුක් ආදිය ඇති වෙනවා. ඒවා ඔක්කොම ඇති වෙන්නේ ප්‍රිය වූ දේවල් නිසා ම යි. ප්‍රිය වූ දේවල් නැත්නම් ඔය දුක් මොකවත් නැහැ.

“තස්මා හි තේ සුඛිනෝ වීතසෝකා

යේසං පියං නත්ථි කුහිඤ්චි ලෝකේ

තස්මා අසෝකං විරජං පත්ථයානෝ

පියං න කයිරාථ කුහිඤ්චි ලෝකේ”

ඒ නිසා යම් කෙනෙකුට ලෝකයේ ප්‍රිය වූ කිසි දෙයක් නැත්නම්, ඒ අය තමයි ශෝකයක් නැතුව හරි සැපෙන් ඉන්නේ. ඉතින්, කෙනෙක් පතනවා නම් ශෝක නැතිව, කෙලෙස් නැතිව ඉන්න, ඒ අය ලෝකයේ දුක් හැදෙන කිසි දෙයකට ප්‍රිය නොකර ඉන්න ඕන.

(විසාඛා සූත්‍රය – උදාන පාළි)

මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.