මා මීට මාස කීපයකට ඉහත රැකියාව සඳහා නතර වී සිටියේ කොළඹ නගරයේ ම තදාසන්න ප්‍රදේශයක ප්‍රධාන මාර්ගයක් අයිනේ අයිනේ තිබූ බෝඩිම් කාමරයක යි. එහි දිවා රාත්‍රී දෙකේ ම ගමන් කරන වාහනවල ඝෝෂාව මදුරුවන්ගේ ශබ්දයටත් වඩා කනට හොඳට ම හුරු යි. කලබලකාරී පරිසරයක සිටිද්දී තියෙන නොයෙක් ශබ්දවලින් නම් අඩුවක් නෑ.
උදේ නැගිටින විට බිරිඳ තේ එකක් හදාගෙන ඇවිත්. මූණ කට සෝදාගෙන තේ එකත් බීලා ටී. වී. එක දාගෙන පත්තරවල විස්තර අහන ගමන් දවසේ සුපුරුදු වැඩ ටික පටන් ගන්නවා. දවස තිස්සෙ ම වැඩ කරලා බයික් එකට නගින්නේ පුළුවන් තරම් ඉක්මනට බෝඩිමට යන්න බලාගෙන. දවස පුරා වෙහෙසී බෝඩිමට එන මම නගරයේ සුපුරුදු ශබ්ද අතරේ ම නින්දට වැටෙනවා.
කාලෙකට පස්සේ තරමක ගස් කොළන් තියෙන නිදහස් තැනකින් තව බෝඩිමක් හම්බ වුණා. ලයිට්, වතුර, මාර්ග පහසුකම් වගේ ම හැම අතින් ම මෙතන නම් දාහෙන් සම්පතක්. හරි ම නිස්කලංක පරිසරයක්. ළඟ අහල පහළ ඉන්න අයත් ගුණ යහපත්. පෝය දවසට දහ පහළොස් දෙනෙක් එකතු වෙලා සිල් සමාදන් වෙන්න යනවා. දාන මානවලටත්, බෝධි වන්දනාවලටත් ඉඳ හිට සම්බන්ධ වෙනවා. අපේ ගෙදර වගේ ම මේ පරිසරයත් හොඳට හුරු පුරුදුයි.
ඒත්…. ටික දවසක ඉඳලා අල්ලපු ගෙදර ජයසිංහ මහත්තයා හවසට බොන්න පටන් අරන්. ඒකට ම හරියන යාළුවො ටිකකුත් එකතු වෙලා. මහ රෑ ඉස්සර කරපු හපන්කම් කිය කියා හිතට එන එක එක දේවල් කියවනවා. උදේට වැඩට යනකොට අපේ මූණ බලන්නත් ලැජ්ජයි. සමහර විට වෙරි මරගාතේ කරපු කියපු සමහර දේවල් දන්නවා ඇති කියලා හිතනව ද දන්නේ නෑ. කොහොම වුණත් මේ යාළුවන්ගේ එකතුව නිසා එන සද්දේ මට මහා වදයක්. දවස් ගාණක් ඉවසගෙන හිටියා.
අද රෑත් සුපුරුදු විදියට ම සාදය පටන්ගෙන. මටත් නින්දක් නෑ. දැන් මධ්‍යම රාත්‍රියත් පහු වෙලා. මම දොර ඇරගෙන එළියට බැස්සා. තාප්පය අයිනට ගියා.
“මේ ජයසිංහ මහත්තයා, අනික් ගෙවල්වල මිනිස්සු නිදාගන්නේ නැද්ද? මොකක්ද මේ කරදරේ? කංකරච්චලේ බෑ..”
මගේ හඬත් සමඟ ජයසිංහ මහත්තයත් එතන හිටිය යාළුවොත් නිහඬ වුණා. ඒ අතර එක කටකාර බේබද්දෙක් හඬ අවදි කළා.
“ඕන්න උපාසකයා, ඒකට මොකද පෝයට සිල් ගන්නවා. කෝ ඔහේගේ මෛත්‍රිය? මෛත්‍රිය තියෙනවා නම් ඔහොම කෑ ගහනවායැ.”
බීමතින් වුණත් ඒ කියපු වචන මගේ හිසට ගැසූ පහරක් සේ දැනුණා. මේ සිහි විකල් වූ අය සමඟ සිහි කල්පනාව ඇති මම හැප්පෙන්නෙ මොකටද? අනික් එක අනුන්ට ඇඟිල්ල දිගු කරනවට වඩා තමා ගැන බලාගන්න එකනේ හොඳ. ආපසු කාමරයට ගිය මම විසිරුණු මනස සන්සිඳුවාගෙන සිදු වූ දෙය විමසන්නට වුණා.
ඇත්තටම මම කලින් සිටි බෝඩිමේ කෙතරම් සද්ද තිබුණත් ඒ ගැන වගක්වත් නෑ. නමුත් මෙතන පොඩි සද්දයත් විශාල ව දැනුණා. මහ ඝෝෂාව අතරේ තිබෙන ශබ්දයකට වඩා නිහඬ පරිසරයක තිබෙන කුඩා ශබ්දයත් මහා විශාල ව දැනෙනවා. හරියට දැලි කුණු ගෑවුණු ඇඳුමක තවත් කුණු ටිකක් ගෑවුනා කියලා ඒ ගැන අවදානයක් නෑ. ඒ ඇඳුමේ කොහොමත් කුණු ගෑවිලා තියෙන්නේ. නමුත් පිරිසිදු සුදු ඇඳුමක කුණු පැල්ලමක් ගෑවුනොත් ඒක වෙනම පේනවා. ඒ ඇඳුම පිරිසිදු නිසා. මේ සමඟ ම සංයුක්ත නිකායේ ‘වන සංයුත්තයට’ අයත් උතුම් දේශනාවක් මතක් වුණා.
ඒ දිනවල එක්තරා භික්ෂුවක් කොසොල් ජනපදයේ වන ලැහැබක වාසය කළා. එදා ඒ භික්ෂුව පිණ්ඩපාතයෙන් පස්සේ පොකුණකට බැහැලා එහි පිපී තිබුණ නෙළුම් මලක සුවඳ ඉම්බා. ඒ වෙලාවේ පොකුණේ තවත් පසෙක එක් තාපසයෙක් නෙළුම් අලත් ගලවනවා. මලුත් කඩනවා.
මේ භික්ෂූන් වහන්සේ දුටු ඒ වන ලැහැබට අරක් ගත් දෙවියෙකුට ඒ භික්ෂුව ගැන අනුකම්පා හිතුණා. සෙත සලසන්නට කැමති වුණා. සංවේගය ඇති කරවන්නට කැමති වුණා. ඒ භික්ෂුව ළඟට ගිහින් ගාථාවකින් මෙසේ පැවසුවා.
“නිදුකාණන් වහන්ස, වතුරේ හටගත් ඔය නෙළුම ඔබට කවුරුත් දුන්නේ නෑ. නමුත් ඔබ ඒක ඉම්බා. ඒකත් එක්තරා හොරකමක්. මේකෙන් ඔබ සුවඳ හොරෙක් වෙනවා.”
(භික්ෂුව) – “ඉතිං මං ඒ මල ගෙනියන්නේ නෑනේ. කඩන්නෙත් නෑනේ. දුර ඉඳලා ඉම්බේ. එහෙම එකේ සුවඳ හොරෙක් කියලා කියන්නේ මොන දේකින් ද?
යම් කෙනෙක් නෙළුම් අල ගැලෙව්වට, නෙළුම් මල් කැඩුවට ඒ අපිරිසිදු ජීවිකා ඇති තවුසන්ට සුවඳ හොරා කියලා කියන්නෙ නැත්තේ ඇයි?”
(දෙවියා) – “ඒ පුද්ගලයා අපිරිසිදු ක්‍රියාවෙන් වෙළිච්ච කෙනෙක්. ඔහුගේ ජීවිතේ (අත දරුවන් වඩාගෙන සිටිනා) කිරි අම්මගේ ඇඳිවතේ මල මූත්‍ර තැවරුණා වගේ. එබඳු අය ගැන මගේ කතාවක් නෑ. නමුත් ඔබට නම් මේ ගැන කියන්ට ඕන.
උපක්ලේෂ නැති කෙනෙකුට, නිතර ම පිරිසිදු බව ම සොයන කෙනෙකුට අස් ලෝමයක අග ගෑවුනු පොඩි වරද පවා වලාකුළක් වගේ ලොකුවට පේනවා.”
ඒ භික්ෂුව ඒ දෙවියා විසින් සංවේගයට පත් කරවීමෙන් සංවේගයට පත් වුණා.
ධර්ම සේනාධිපති වූ, ප්‍රඥාවෙන් අග්‍රේෂ්වර වූ, ශ්‍රාවක සංඝරත්නයට පරමාදර්ශය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ උදානය බලන්න.
“පාපී ආසාවන් තියෙන, හීන වීර්යය තියෙන, සද්ධර්මය දන්නෙ නැති, සද්ධර්මයට ආදර ගෞරව නැති කිසි කෙනෙක් සමඟ මා කවරදාකවත් එක් නො වෙම්වා! ඒ උදවියත් සමඟ එකතු වීමෙන් ලෝකෙට සිදුවන යහපත කුමක් ද?
එහෙත්… යම් කෙනෙක් බොහෝ කොට සද්ධර්මය දන්නවා නම්, නුවණ තියෙනවා නම්, සිල්වත් නම්, සමාධිමත් සිතකින් යුක්ත නම්, සිත සන්සිඳුවීමෙහි යෙදෙනවා නම්, අන්න ඒ උත්තමයා මාගේ හිස මත වැඩ සීටීවා!
නිධානයක් මතු කරලා පෙන්වනවා වගේ, දුටු වරද පෙන්වා දෙන, වරදට ගර්හා කරන, ඥානවන්ත උතුමන් ව යි ඇසුරු කරන්න ඕන. ඥානවන්ත උතුමන් ඇසුරු කරන කොට යහපතක් මිස අයහපතක් නම් සිද්ධ වෙන්නේ නෑ…!”
මේ උතුම් දහම් සිතුවිලි අපට ද උතුම් සත්පුරුෂ ඇසුර පිණිස ම වේවා!
සටහන – එච්. එම්. ඩී. අනුරාධ දේශප්‍රිය
Recent Comments