ගොඩක් වෙලාවට අපේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා අපට තියෙන කටයුතුවලට ඒ ඒ අවස්ථානුකූලව, ඊට ගැළපෙන, අපි දන්න අපට හිතවත් අය උදව් කරයි කියලා. ළඟින් ඉඳියි කියලා. ඇත්තටම ඒකේ ලොකු වරදක් පේන්න නෑ. හේතුව මේ ජීවිත ගමන තනියම ගෙවන එක දුෂ්කර නිසා. අපට එකිනෙකාගෙ උදව් උපකාර ඕන. හැබැයි ඕනවට වඩා උදව් උපකාර බලාපොරොත්තු වෙන්න ගියොත් එතන ප්‍රශ්නයක්. මොකද මේ හිත තමන්ට දෙයක් ලැබෙනවා නම් අන්න ඒ ලාභයට හරිම කැමතියි. ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසා වලින් යට වුණු සිත අසත්කාර අසම්මාන ඉදිරියේ ගැටීම සිද්ධ වෙනවාමයි. අඩුම තරමින් ළඟින් ගිය කෙනෙක් හිනාවෙන්නෙ නැතිව ගියොත්, දැක්කෙ නැතිව අහක බලන් ගියොත් ගොඩක් අයගෙ හිත්වලට ඒවත් ප්‍රශ්න, ඇයි හිනාවෙන්නෙ නැතිව ගියේ, ඇයි අහක බලන් ගියේ කියලා. තමන්ට උදව් කරන්නෙ නැතිව වෙන කෙනෙකුට උදව් කළොත් හිතනවා ‘මට තමයි කාගෙන්වත් උදව් නැත්තෙ.’ කියල. අනිත් කෙනාට කරන උදව්ව අනුමෝදන් වෙන්න තරම් පොහොසත් හිතක් නෑ. එතරම් ම මේ හිත තමන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට නතු වෙලා, බැඳිලා, ආකර්ෂණය වෙලා. ඒක තමන්ට අනතුරක් කියල, මහා විනාශයක් කියල නොතේරෙන තරමට මේ හිත යට වෙලා.
මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා තමන්ට දුකක්, කරදරයක් වුණා ම උපකාරෙට ඉන්න අයගේ ආදරණීය වටිනාකම අමතක වෙනවා. ආදරණීය බැඳීම (සහෝදරකම්, නෑදෑකම්, යාළුකම්) අමතක වෙනවා. මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා දරුවන්ට දෙමාපියො, දෙමාපියන්ට දරුවො, සහෝදරයන්ට සහෝදරියො, නෑදෑයන්ට නෑදෑයො, යාළුවන්ට යාළුවො අමතක වෙනවා. තමන්ට ලැබුණොත් හොඳයි කියල හිතෙන් හිතාන හිටිය දෙයක් තමන්ගෙ දෙමාපියන්ට ලැබුණොත් සමහර දරුවන්ට ඒක දරාගන්න අපහසුයි. දරුවන්ට ලැබුණොත් සමහර දෙමාපියන්ට දරාගන්න අපහසුයි. සහෝදරයන්ට ලැබුණොත් සමහර සහෝදරයන්ට දරාගන්න අපහසුයි. ඒ වගේ ම තමයි සමහර නෑදෑයෝ, යාළුවෝ… ඇයි ඒ? තමන්ට ඒ දේ අහිමි වුණ නිසා.
ආයතනවල වුණත් එහෙමයි. ප්‍රධානියාගෙන් හා අනික් පාර්ශවවලින් ලැබී තිබුණ පිළිගැනීම, තත්වය රැකගන්න තමන්ගෙ අඩුපාඩු, වැරදි හංගනවා. නිහඬව ඉන්නවා. සමහර විට වෙනත් කෙනෙක් ඒවට අහුවෙනවා. තමන්ගේ වරදට වෙනත් කෙනෙක් අහුවුණ බව දැන දැන නිහඬව ඉන්නවා, තමන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අහිමි වෙයි කියල.
එතකොට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තමන්ට අහිමි වීම නිසා තමන්ගේ සිත, කය, වචනය අසංවර වෙනවා. අනුන්ගේ දේට ආශා කිරීම, ඊර්ෂ්‍යාව, තරහව ආදී මනසින් වන අකුසල් රැස්කර ගන්නවා. ප්‍රාණඝාතය, සොරකම ආදී කයින් වන අකුසල් රැස් කර ගන්නවා. බොරු කීම, කේළාම් කීම ආදී වචනයෙන් වන අකුසල් රැස්කර ගන්නවා. එකිනෙකා අභිබවා වචන කියවා ගන්නවා. රණ්ඩු කලකෝලාහල ඇති වෙනවා. තමන්ගෙ පිවිතුරු සීලය අමතක වෙනවා. ද්වේෂයේ ගිනිජාලා මතුවෙනවා. හීනෙකින්වත් හිතුවෙ නැති විදියට සියල්ල අවසන් වෙනවා. මේ ජීවිතෙත් දුක් විඳිනවා. පරලොවත් දුක් විඳවන දේවල් රැස් කර ගන්නවා. අවසානයේ ජීවිතේට ඉතුරු වෙන්නෙ මහා හිස් බවක්. කඩා වැටීමක්. පසුතැවීමක්. සෝ සුසුම් හෙළීමක්. විඳවීමක්. එතකොට ඒ හැම දෙයක්ම වුණේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වීම නිසා.
අපගේ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත ශාස්තෘන් වහන්සේ දේශනා කොට වදාළා,
“දාරුණෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ කටුකෝ ඵරුසෝ අන්‌තරායිකෝ අනුත්‌තරස්‌ස යෝගක්ඛේමස්‌ස අධිගමාය.”
“පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. නපුරු දේවල්. කොටින් ම ඵරුෂ දේවල්. කොටින් ම අනුත්තර වූ අරහත්වය අවබෝධ කිරීමටත් අනතුරුදායක යි.”
(දාරුණ සූත්‍රය, ලාභ සත්කාර සංයුත්තය, සං. නි. 2)
ඇත්තෙන්ම රැකියාව මුල්කරගෙන වේවා, පවුල මුල්කරගෙන වේවා, දරුවන් මුල්කරගෙන වේවා ඔබේ ජීවිතේ ඇති වුණ ප්‍රශ්න දිහා මොහොතක් ආපසු හැරිලා බැලුවොත් ඒ බොහොමයක් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ ඔබට ලැබිලා තිබුණ, එහෙම නැත්නම් ලැබෙමින් තිබුණ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට හානි වෙයි කියල හිතේ ඇතිවුණ බයට ප්‍රතිකර්ම හොයන්න ගිහින් කියලා ඔබට වැටහේවි. තමාට ඉහළ වේවා, පහළ වේවා කාගෙන් හරි බැණුම් අහලා තමන්ගේ නමට හානියක් වෙයි කියල ඇතිවුණ බයට, එහෙම නැත්නම් යම් සිදුවීමක් වෙනව නම් තමන් පිළිබඳ ගොඩනැගිලා තිබෙන ප්‍රතිරූපෙට හානි වෙයි කියලා ඇතිවුණ බයට. ඒ විදියට වුණොත් නම් තමන්ට ලැබෙන දේ නැතිවෙනවනේ කියල ඇතිවුණ බයට.
මේ ආදී හිතේ ඇතිවුණ බයට විසඳුම් හොයන්න කථා කරලා, ක්‍රියා කරලා ඇතිවුණ ප්‍රශ්න බොහොමයක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වීම නිසා ම යි ඇතිවන්නේ. ආයතනික වශයෙන් වුණත් එහෙම ම යි. වෙනත් ආයතනයක් දියුණු වුවහොත්, ඒ වටා පිරිස එකතු වුවහොත් තමන්ට තමන්ගේ ආයතනයට තැනක් නැතිවෙයි කියල ඇතිවුණ බයට විසඳුම් හොයන්න ගිහින් ඇතිවන ප්‍රශ්නත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වීම නිසා ම යි.
ඡවි සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා.
“දාරුණෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ. ලාභසක්‌කාරසිලෝකෝ භික්ඛවේ ඡවිං ඡින්‌දති, ඡවිං ඡෙත්‌වා චම්‌මං ඡින්‌දති, චම්‌මං ඡෙත්‌වා මංසං ඡින්‌දති, මංසං ඡෙත්‌වා නහාරුං ඡින්‌දති, නහාරුං ඡෙත්‌වා අට්‌ඨිං ඡින්‌දති, අට්‌ඨිං ඡෙත්‌වා අට්‌ඨිමිඤ්‌ජං ආහච්‌ච තිට්‌ඨති.”
“පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳගෙන යනවා. සිවිය සිඳගෙන ගිහින් හමත් සිඳගෙන යනවා. හම සිඳගෙන ගිහින් මසුත් සිඳගෙන යනවා. මස් සිඳගෙන ගිහින් නහරත් සිඳගෙන යනවා. නහර සිඳගෙන ගිහින් ඇටත් සිඳගෙන යනවා. ඇට සිඳගෙන ගිහින් ඇටමිදුලුවල කා වැදිලයි තියෙන්නේ.”
ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එතරම් ම අපේ ජීවිත වලට කා වැදිලා. ‘මට ම ලැබේවා, මට ම ලැබේවා’ කියල තමා ගොඩක් අයට හිතෙන්නේ. අනිත් කෙනෙකුට, ආයතනයකට යමක් ලැබෙනවට කැමති නෑ. අනිත් කෙනෙකුගෙ, ආයතනයක දියුණුව සැපය අනුමෝදන් වෙන්න බැරි තරම් හිත් දීන වෙලා. දුප්පත් වෙලා. කිලිටි වෙලා. ඒ තමන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට හානි වෙයි යන තැති ගැනීම නිසා. සතුටු සිතින් උපේක්ෂා සහගත සිතින්, නොසැලෙන අකම්පිත සිතකින් අනිත් කෙනාගෙ දියුණුව දරා ගත නොහැකි තරමට හිත් පරාජය වෙලා. සසර ගමනේ ඒ අය පරාජය වෙලා. නින්දා, අපහාස, චෝදනා, රණ්ඩු, කලකෝලාහල, අනවින, කොඩිවින, හදි හූනියම්, සියල්ල ම පැරදුන හිත්වල සංකේත. ඒ සියල්ලම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වීම නිසා.
රිදී කැබලි පිරවූ රන් තලියක් උදෙසාවත්, රන් කැබලි පිරවූ රිදී තලියක් උදෙසාවත්, රන් පිළියෙන් පිරුණු මහ පොළොව උදෙසාවත්, ජීවිතය පිණිසවත් දැන දැන බොරු කීවෙ නැති කෙනා පස්සෙ කාලෙක ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වෙලා එයට යටවූ සිතින් දැන දැන බොරු කියනවා කියලා ශාස්තෘන් වහන්සේ වදාළා. හුදෙකලාවේ සිටින යම් කෙනෙකුගේ සිත තමා මෙන් ම හුදෙකලා වූ රූප රාජිණියක් ළඟ සිටියදී පවා එයින් ඔහුගේ සිත යට නොවුණත් ඔහුගේ සිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වෙලා යනවා කියලා ශාස්තෘන් වහන්සේ වදාළා.
“යම් භික්ෂුවක් තමාට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන ආශ්වාදයක් ලබන්නට ගියොත්, කැමති වෙන්නට ගියොත්, ඒ භික්ෂුව ඇම ගිලපු කෙනෙක්. දුකට පැමිණුන කෙනෙක්. විනාශයට පත් වුණ කෙනෙක්. මාරයා විසින් කැමති දෙයක් කළ හැකි කෙනෙක්.” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ බළිස සූත්‍රයේ දී දේශනා කොට වදාළා. ඇත්තෙන්ම මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සිහියෙන් තොරව භුක්ති විඳින්න ගියොත් ඒක ඒ කෙනාගෙ පිරිහීම ම යි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා, දේවදත්තට තමා වනසා ගැනීම පිණිස ම යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ වුණේ. පිරිහීම පිණිස ම යි පහළ වුණේ. සොඳුරු උපමාවලින් වදාළා, කෙසෙල් ගස, උණ ගස, බට ගස පීදෙන්නේ තමාව වනසා ගැනීම පිණිස ම යි. වෙළඹකගේ කුසේ කොටළුවෙකුට දාව උපන් අශ්වතරිය ගැබ් ගන්නේ තමාව වනසා ගැනීම පිණිස ම යි. අන්න ඒ විදියට ලාභ සත්කාර තුළින් අසත්පුරුෂයා වැනසෙනවා කියලා ශාස්තෘන් වහන්සේ වදාළා.
ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා, “තස්‌මාතිහ භික්ඛවේ ඒවං සික්‌ඛිතබ්‌බං. උප්‌පන්‌නං ලාභසක්‌කාරසිලෝකං පජහිස්‌සාම. න ච නෝ උප්‌පන්‌නෝ ලාභසක්‌කාරසිලෝකෝ චිත්‌තං පරියාදාය ඨස්‌සතීති. ඒවං හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බන්‌ති”
“ඒ නිසා පින්වත් මහණෙනි, හික්මෙන්නට ඕන මේ විදිහටයි. අපි නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැර කරනවා. අපට ලැබිල තියෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට අපගේ හිත යටවෙන්නට දෙන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්නට ඕන.”
(ලාභ සත්කාර සංයුත්තය, සං. නි. 02)
ඒ නිසා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්හි ආදීනව දැන ශ්‍රාවකත්වය තුළ හික්මෙමු.
“නගරං යථා පච්චන්තං – ගුත්තං සන්තරබාහිරං
ඒවං ගෝපේථ අත්තානං – ඛණෝ වෝ මා උපච්චගා
ඛණාතීතා හි සෝචන්ති – නිරයම්හි සමප්පිතා”
“ඇතුළතත්, පිටතත් හොඳින් ආරක්ෂා සංවිධානය කරපු, දුර පළාතක තියෙන නගරයක් වගේ තමන්ගෙ ජීවිතය ද වරදට වැටෙන්ට නොදී රැකගන්ට ඕනෙ. මේ උතුම් අවස්ථාව ඔබට නම් මඟ හැරෙන්ට එපා! මේ උතුම් අවස්ථාව ඉක්ම ගියොත්, නිරයේ වැටිලා ශෝක කරන්ට වෙනවා.”
(නිරය වග්ගය, ධම්මපදය)
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments