ආදරය ගැන වැඩිපුර ඇහෙන – නිදහස ගැනත් වැඩිපුර ම ඇහෙන මාසයක් තමයි පෙබරවාරිය. ඒ හින්ද ම, ආදරයත් – නිදහසත් ගැන කථා කරන්න මේ කාලය හොඳ නිමිත්තක් සපයනවා.
ආදරයෙන් බැඳී යන යොවුන් සිත්වල මුල් බැසගත් අදහසක් තමයි ‘අපි දෙන්නෙක් නෙමෙයි; එක්කෙනෙක්.’ කියන එක. ‘එක සිත දෙතැනක නතර වෙලා’, ‘ඔබත් මාත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමු’ ආදී වශයෙන් ගී පදවැල්වල ලියැවුණේත් ඔය චිත්ත ස්වභාවය තමයි.
කාලයේ පහර කෑම…
එක ම පාටින් අඳින්න, එක ම රසයන් විඳින්න, එක ම විදිහෙ රුචි අරුචිකම් ගොඩ නගාගන්න බොහොම ඇපකැප වෙන කාලයක් තමයි ආදර සබඳතාවල මුල් කාලය. හැබැයි, ඔය සුන්දරත්වය ඒ තරම් කාලයක් පවතින්නේ නෑ. ඒක තමයි ජීවිත ස්වභාවය…
කාලයක් යද්දි… අර මුල් කාලයේ අමාරුවෙන් හරි ගළපාගෙන, ඉවසාගෙන, දරාගෙන, ඝට්ටනයන්ට ඉඩ නොදී මෘදු ව පවත්වාගෙන යන්නට උත්සුකවත් වූ සබඳතාවයට තවදුරටත් මුල් තැන දෙන්න බැරි වෙනවා. රැකීරක්ෂා කටයුතු, ආදායම් වියදම් කළමනාකරණය, ඉන්න හිටින්න තැනක් හදා ගන්න එක, දරුමල්ලන්ගේ කටයුතු, තමන්ගේ ම ලෙඩදුක් කම්කටොළු රාශියක් එක්ක නොයෙක් හැළහැප්පීම් සිද්ධ වෙද්දි තවදුරටත් ‘එකෙකු ලෙසින්’ හිතන්න අතපසු වෙන සහ නොහැකි වන කාලයක් ඔය කාටත් වගේ එළඹෙනවා. ඇත්තටම ඔය බොහෝ සිතුවිලි කාලානුරූපයි. කාලයේ පහර කෑමෙන් වෙනස් වෙන දේවල්.
මා ද ඔබ ම වන පර්යායක්…
හැබැයි… ඔය විදිහට සිදු වන කාලයේ පහර කෑම්වලින් පවා බාධාවක් සිදු නොවී, සැරයටියෙන් යනෙන තුරා පමණක් නොවෙයි; සසරෙන් එතෙර වන තුරාමත් අපට අප ගැන ‘එකෙකු’ ලෙසින් සිතන්නට පුළුවන් නොවරදින පර්යායක් ලෝකයේ තිබෙනවා…
මේ නොවරදින පර්යායට අනුව සිත මෙහෙයවමිනුයි අපගේ ශාස්තෘන් වහන්සේ සියලු දුකින් නිදහස් වන මඟ තමන්වහන්සේ විසින් ම අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ඒ ආකාරයෙන් හිත හැසිරවීමටයි ‘ආර්ය පර්යේෂණය’ කියා කියන්නේ. ආර්ය පර්යේෂණය ගැන කියා දෙන්නට පළමු සම්බුදුරජාණන් වහන්සේ ආර්ය නොවන පර්යේෂණය කෙබඳු ද කියා ලෝකයට හෙළිදරව් කළා.
සසරට බර අනාර්ය පර්යේෂණය
“පින්වත් මහණෙනි, ශ්‍රේෂ්ඨ නොවන දේ සොයා පර්යේෂණ කිරීම කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමාත් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදීමට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් ජරාවට පත් වෙවී ඉඳගෙන, ජරාවට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් රෝග පීඩාවලට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන, රෝග පීඩාවලට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් මරණයට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන, මරණයට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් ශෝක වන ස්වභාවයෙන් ඉඳගෙන, ශෝකයට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් කෙලෙසී යන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙස්වලට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා.”
සමාන වන තැන…
මේ විදිහට, තමා වැනිව ම ඉපදෙන ස්වභාවයට අයිති, දිරන ස්වභාවයට අයිති, රෝගී වන ස්වභාවයට අයිති, මැරී යන ස්වභාවයට අයිති, ශෝකය ඇති කරන, කෙලෙසී යන ස්වභාවයට අයිති දේවල් විදිහට භාග්‍යවතුන් වහන්සේ අඹු දරුවන්, දැසිදැස්සන්, එළු බැටළුවන්, ඌරන්, කුකුළන්, ඇතුන් ගවයන් අසුන් වෙළඹුන් රන් රිදී මිලමුදල් ආදී කොට ගත් පංචකාම ගුණයන් ගැන වදාළා. ඒ දේවල් සෙවීම ගැනයි භාග්‍යවතුන් වහන්සේ ‘ශ්‍රේෂ්ඨ නොවන දේ සෙවීම’ යනුවෙන් වදාළේ…
ඒක තමයි අප කවුරු කවුරුත් හැම දෙය සමඟත්, හැම අය සමඟත් සමාන වන – එකෙකු වන ආකාරය. මතක තබා ගන්න, “සච්චවාදිවචනං අනඤ්ඤථා” – “සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.” අප ආදරය කරන හැම කෙනාමත්, හැම දෙයමත් ඔය ස්වභාවයන් ඉක්මවා ගිහින් නෑ. කැමති පාට, කැමති රසය, කැමති පහස ආදියේ මොන මොන විදිහේ වෙනස්කම් ඇති වුණත් අප කා තුළත් ඉපදෙන, දිරන, ලෙඩ වන, මැරෙන, ශෝක වන, කෙලෙසෙන ස්වභාවයන් ඒ විදිහට ම පවතිනවා. මාත් ඔබත් එක ම තමයි.
නිදහසේ ආදරය කරන්න
ඉතින්… ඒ බව දැනගෙන ම ආදරය කරන්න. එහෙම ආදරය කරද්දී සිතට ලොකු නිදහසක් තියෙනවා. අපේ කැමැත්ත පරිදි පවත්වා ගන්නට කොහෙත් ම බැරි දේවල් එක්ක පොරබදන එක අඩු වෙලා යනවා…
විවිධ අවධීන්වල ජීවිතයේ යථා ස්වභාවයන් අප කරා එද්දී ඒවා එක්ක නොගැටී, ඒවාට කම්පා නොවී, මෙත් මුදිතා දයා කරුණා ඇතිව ඒවාට මුහුණ දෙන්නට එවිට පහසුයි. එකිනෙකාගේ අඩුපාඩු ඉවසා ගන්නට, ආස්වාදය ඉදිරියේ උදම් නොවන්නට එවිට පහසුයි. කොටින් ම, පෙරළී යන ලෝක ධර්මතා ඉදිරියේ නොපෙරළී යන ස්වභාවයක් උපදවා ගන්නට එවිට පහසුයි. නිදහසේ ආදරය කරන්නට පුළුවන්…
මං වගේ ම කෙනෙක් ඕන ද?
ඔය විදිහට හිතන්න පුරුදු වෙනකොට, අප සිදු කරනා මේ අනාර්ය පර්යේෂණය කෙරෙහි සිත බැසනොගන්නා යම් කලක් එළඹෙනවා. පිරූ පුණ්‍ය පාරමී සහිත වූ මහා බෝසතාණන් වහන්සේ අවසන් සිරුර දරාගෙන ‘සිද්ධාර්ථ ගෞතම’ නමින් මනුලොව ඉපිද භද්‍ර යෞවනයේ සිටිය දී ම ඒ යොවුන් සිත අනාර්ය පර්යේෂණයෙන් බැහැර වූ උතුම් අර්ථයක් කෙරෙහි නැඹුරු වුණා.
“පින්වත් මහණෙනි, එතකොට මං මෙහෙම හිතන්න පටන් ගත්තා. ඇත්තෙන් ම මමත් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදෙන ස්වභාවයට අයිති දෙයක් සොයන්නේ මොකට ද? මමත් ජරාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන, ජරාවට පත්වෙන දෙයක් සොයන්නේ මොකට ද? මමත් ලෙඩ වෙන, මැරී යන, ශෝක වෙන, කිලුටු වන ස්වභාවයෙන් ඉඳගෙන, ලෙඩ වෙන, මැරී යන, ශෝක වෙන, කෙලෙසෙන ස්වභාවයන්ට අයිති දෙයක් ම සොයන්නේ මොකට ද?”
වෙනස් කෙනෙක් – වෙනස් දෙයක්
මේ විදිහට අනාර්ය පර්යේෂණයේ නොබැසගත් මහ බෝසතාණන් වහන්සේගේ සිත එයින් නිදහස් වීම කෙරෙහි ම බැසගත්තා. උන්වහන්සේ මෙහෙම හිතුවා.
“ඒ නිසා, ඉපදෙන ස්වභාවයෙන් ඉන්න මම, ඉපදෙන ස්වභාවය ගැන ආදීනව අවබෝධ කරගෙන ඉපදීමක් නැති, අනුත්තර වූ, දුකින් නිදහස් වීම වූ නිවන සොයාගෙන යනවා…”
ඒ උත්තමාර්ථය සාක්ෂාත් කිරීම පිණිස සිද්ධාර්ථ ගෞතම බෝසත් කුමරු හොඳ තරුණ වයසේ දී, කළු කෙස් තිබෙන කාලයේ දී, සොඳුරු යොවුන් වයසේ දී, ජීවිතේ පළමු වයසේ දී කෙස් රැවුල් බාගෙන, කහට වස්ත්‍ර පොරවාගෙන ගිහිගෙයින් නික්ම පැවිදි වුණා. ආලාර කාලාම, උද්දක රාමපුත්‍ර ආදී ගුරුවරුන් සමීපයේ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය දක්වා ම සිත වැඩූ මුත් එය ද අවබෝධයෙන් කලකිරීමට, නොඇල්මට, දුක් නැති වීමට, කෙලෙස් සන්සිඳවීමට, විශේෂ ඤාණයට, ආර්ය සත්‍යය අවබෝධයට, සියලු දුකින් නිදහස් වූ නිවනට හේතු නොවන බව තේරුම් ගෙන ඒ ධර්මයන් කෙරෙහි ද කලකිරී හුදෙකලාවේ ම බවුන් වැඩුවා. තමන් වහන්සේ විසින් ම ආර්ය සත්‍යයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට ගනිමින් ඉපදීම රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම නම් වූ ඒ අමා නිවන අවබෝධ කරගත්තා. සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළා…!
ආදරයෙනුත් නිදහස් වෙන්න
උන්වහන්සේ ප්‍රිය – අප්‍රිය සෑම දෙයින් ම නිදහස් වුණා. රාගයටවත්, විරාගයටවත් නොඇලෙන උතුම් චිත්ත සන්තානයකින් යුතු වුණා. ග්‍රහණය වීම් සහිත ආදරයෙනුත් නිදහස් වුණා. සකල ලෝසත වෙත පතල මහා කරුණා නිධානයක් බවට, මහා මෛත්‍රී ප්‍රවාහයක් බවට, ලෝසතගේ සැප කැමති වන මුදිතා ගඟුලක් බවට, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සැප දුක යස අයස ආදියෙහි අකම්පිත බවට පත් වෙමින් ඉන්ද්‍රඛීලයක් සේ දෙව්මිනිස් ලෝකයේ මුදුනේ ම බැබළුණා…!
ඇත්ත ඇති සැටියෙන් දැකීම ම යි අන් අය, අන් දෙය සම සිතින් – සම මෙතින් දකින්නට අපට උපකාරක වන්නේ. ඇත්ත ඇති සැටියෙන් දැකීම ම යි කිසිවකට නොබැඳී නිදහස් වන්නට මඟ කියන්නේ… ඒ මඟ ලොවට විවර කළ සම්බුදුරජුන් ව සරණ ගිය ශ්‍රාවකයන් විදිහට අපිත් ලෝකයට නිදහසේ ආදරය කරමු… ආදරයෙනුත් නිදහස් වෙමු…!
(ඇසුර – අරියපරියේසන සූත්‍රය, ම. නි. 01)
සටහන – උදුලා පද්මාවතී.
Recent Comments