කෙනෙක් ගතකරන ජීවිතයට සමුදුන් විට, “ඔහු මැරුණා.” කියලා කියනවා. එය උපන් සත්වයාට උරුම පොදු ධර්මතාවයක්. කර්මානුරූප බව මත එය එකිනෙකා ඉදිරියට පැමිණෙන්නේ විවිධ අයුරින්. නිරි සතුන්, ප්‍රේතයින් ඒ ඒ පාපකර්ම ගෙවා දමා ඒ ලොවින් නොපෙනී යයි. තිරිසන් සතුන්, මිනිසුන් විවිධ ආපදා ලෙඩ දුක් උවදුරුවලට ගොදුරු වී සිරුර අත්හැර දමයි. දෙවියන් බඹුන් ආයුෂ හෝ පින අවසන් වීමෙන් දෙව්ලොවින් චුත වෙයි.
දෙව්ලොව ගැන අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ පරිපූර්ණ වූ කේවල සත්පුරුෂ භූමිය කියලයි. මින් වසර 2569කට පෙර අපගේ ශාස්තෘන් වහන්සේ දිවමන්ව වැඩසිටි සොඳුරු යුගයේ බොහෝ දෙවිවරු ධර්මය අවබෝධ කළා. ඇතැම් දෙවිවරු දෙව්ලොවින් චුතව මනුලොවට පැමිණ සසර දුකින් නිදහස් වී ගියා. තවත් බොහෝ දෙනා ශාස්තෘ සම්පත්තියේ පිහිටා රැකවරණ සහිතව නැවත දෙව්ලොව ගියා.
එක්තරා දිනක දී අපගේ තිලෝගුරු මුනිරජුන්ගේ නිල්මහනෙල් මල් සුවඳ හමන සම්බුදු මුවමඬලින් බ්‍රහ්මස්වරය විහිදී ගියේ මෙසේයි.
“පින්වත් මහණෙනි, යම් දිනෙක දෙවිවරු චුතවෙන්න ආසන්න වෙත් ද නිමිති පහක් පහළ වෙයි.
දෙවිවරු පැලඳ සිටින මල් මාලා මැලවී යයි. දිව්‍ය සළුපිළි කිලිටි වී යයි. කිහිලිවලින් දාඩිය ගලයි. දිව්‍ය සිරුරේ පැහැය අඩු වී යයි. තම දිව්‍ය විමානයේ සිත නොඇලෙයි.
මෙය දකින දෙවිවරු ඔහුව නන්දන උයනට කැඳවාගෙන යයි. මෙබදු සැනසිලි වදන් පවසයි.
‘පින්වත, ඔබ සුගතියට යන්න. උතුම් ලැබීම ලබන්න. උතුම් ලැබීම ලබලා ඒකෙ හොඳින් පිහිටන්න’…”
දෙව්ලොව පින අවසන් වූ දෙවියාට දෙවිවරු එදා සුගතිය කියා පැවසුවේ මිනිස් ලොවටයි. උතුම් ලැබීම යැයි පැවසුවේ තථාගත ශ්‍රී සද්ධර්මය කෙරෙහි ඇති කර ගන්නා ශ්‍රද්ධා ලාභයටයි. ඒ ශ්‍රද්ධාව ඔහුගේ සිත තුළ පිහිටලා මුල් බැසගෙන ස්ථාවර වෙලා තියෙන කොට ලෝකයේ කිසිම ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයා විසින් හෝ ලෝකයේ වෙන කවුරු විසින් හෝ ඔහුගේ ඒ ශ්‍රද්ධාව නැති කරලා දාන්න බැරි නම්, එය තමා උතුම් ලැබීම ලබලා එහි ‘ඉතා හොඳින් පිහිටීම’ කියලා කියා පැවසුවේ.
ඒ වගේ ම කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය අතහරින්න. අනේක වූ පාපී අකුසල් අතහරින්න. කයෙන් වචනයෙන් බොහෝ කුසල් කරගන්න. සිතින් අප්‍රමාණ වූ මෛත්‍රී සහගත කුසල් කරන්න. මතු යහපත සලසාලන බොහෝ පින් කරන්න. දන් දෙන්න. අනිත් මිනිසුන්වත් තථාගත ධර්මය කියලා දීලා අමා නිවන් මඟෙහි සමාදන් කරවන්න. මෙබදු බොහෝ පින් කර කුසල් වඩා දෙව්ලොවට නැවතත් පැමිණෙන්න.
බලන්න, මොන තරම් සොඳුරු සත්පුරුෂ සමාගමක් ද? මොන තරම් කාරුණික අනුග්‍රහයක් ද? මඳක් සිතා බලන්න. අපේ මනුලොව මිය යන්න පණ අදින කෙනෙකුට උරුම වන ඉරණම? එනමුත් සොඳුරු සත්පුරුෂ භූමිය තුළ දෙව්ලොවින් චුතවෙන්න ආසන්න දෙවියෙකුට ලැබෙන අනුකම්පාව..!
කම් නැත. කෙසේ වුවද අපි සියලු දෙන දැන් මිනිසුන් වෙමු. සංසාර රංග මණ්ඩලයේ මනුලොව වේදිකාවේ විවිධ ජවනිකා රඟ දක්වමින් සිටිමු. පැමිණියේ කොහි සිටදැයි දැනුමක් නොමැති මුත් යම් දිනක මේ වේදිකාවෙන් බැස වෙනත් වේදිකාවකට ගොඩ විය යුතු වෙමු.
අසිරිය නම් එය නොවේ. දිව්‍ය නේත්‍රයට මනුලොව දිස් වූ ඒ උතුම් ශාස්තෘ සම්පත්තිය අපට ද ලැබී තිබීම ය. ජීවමාන බුදුරදුන් නැති වුව ද ධර්මයත්, විනයත්, පූජනීය වස්තූනුත්, ආර්ය මහා සංඝරත්නයත් තවමත් දිවමන් ව වැඩ සිටීම ය. එය සැබැවින්ම දුක් ගැහැට පිරි මේ මනුලොවින් මිදී මුළුමනින්ම පිරිපුන් සත්පුරුෂ භූමියට පියනගනු කැමැත්තවුන්ට දිව්‍ය ද්වාරය දිස්වීමක් බඳුයි.
එනමුදු ඒ දිව්‍ය ද්වාරය යාදිනියෙන්, ප්‍රාර්ථනාවෙන් විවර නොවන්නක්. තෙරුවන් සරණෙහි පිහිටා, ශාස්තෘන් වහන්සේ පුදමින්, ධාතූන් වහන්සේලාට බෝධීන් වහන්සේලාට උපස්ථාන කරමින්, තථාගත ශ්‍රී සද්ධර්මය අසා දරා නුවණින් විමසමින්, දන් දෙමින් අන් අයව ද දානයෙහි, පිනෙහි, කුසලයෙහි සමාදන් කරවමින් යමෙක් වාසය කරයි ද ඒ සොඳුරු සත්පුරුෂ භූමියේ ස්වර්ණ ද්වාරයෙහි යතුර ඔහු අතට පත්වෙනු ඇති. ශාස්තෘ සම්පත්තිය සිරසේ දරාගෙන දහම් මනසිකාරයෙන් යුතුව ශ්‍රාවක සඟරුවනට අවනතව ඔහු යන ඒ ගමන ඒකාන්තයෙන් ම අමා නිවනින් කෙළවර වන්නක් ම යි.
සැබැවින්ම ස්වල්ප වූ හෝ නුවණක් අප සතුව පවතී නම් අප කැමති විය යුත්තේ අනතුරට නොව රැකවරණයට ය. අනතුර නම් සසරේ යළි යළි ඉපිද ඉපිද යන්නට වීමයි. ආරක්ෂාව නම් ඉන් මුදවාලන ත්‍රිවිධරත්නයේ සරණ තුළ මනාව පිහිටීමයි.
අපගේ ශාස්තෘන් වහන්සේ වරක් මෙසේ වදාළ සේක.
“ලොවෙහි ප්‍රශංසාවත්, වස්තු ලාභයත්, මරණින් මතු සුගතියත් කැමති නැණවතුන් විසින් සීලය ම යි රැකිය යුත්තේ…”
ඒ වගේ ම තමන් පව් නොකරන්න පුළුවන්. නමුත් ඇසුරු කරන්නේ පව් කරන අය නම් සිල්වතා ගැනත් පාපී රාවයක් පැතිරිලා යනවා. හරියට කුණු මාළු කෑල්ලක් කොළේක
එතුවා ම ඒ කොළෙත් ගඳ ගහනවා වගේ. ඒ වගේ ම ඒ පාපී ඇසුර දිගින් දිගටම පැවැත්වුවහොත් ඒ ඇසුරෙහි භයානකකම තමයි ටික ටික තමන්ගේ ගුණත් විනාශ වෙලා අර දුස්සීල ගති තමාටත් පිහිටන්න ගැනීම. හරියට විෂ පෙවූ ඊතලයක් හොඳ ඊතල ගොඩක දාලා තිබුණොත් අනිත් ඊතලවලත් විෂ තැවරෙනවා.
භාග්‍යවතුන් වහන්සේ වදාළා පව් තවරා ගන්න තියෙන භය නිසයි නුවණැත්තෝ පාපී ඇසුර බැහැර කළ යුත්තේ කියලා. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි තමා ව ඇසුරු කරන අයව නිරයට ගෙන යන එක.
නුවණැති අයව ඇසුරු කරන්න පටන් ගත්තම ඊට වෙනස්. තමන් තුළ කුමන දුර්වලතා තිබුණත් කීර්ති රාවයක් පැතිරී යනවා, ‘මේ කෙනා යහපත් අයගේ ඇසුරේ ඉන්න කෙනෙක්’ කියලා. හරියට සමන් මල් මිටක් කොළේක ඔතලා තිබ්බම කොළෙනුත් සුවඳ හමනවා වගේ ඒ ඇසුර නිසාම ඔහුත් යහපත් ගුණදහම් ඇති කෙනෙක් බවට පත් වෙනවා.
එපමණක් නොවේ, නුවණැති සත්පුරුෂ අය තමා ව ඇසුරු කරන අයව වරදින් වළක්වනවා. අඩුපාඩු කියලා දීලා සීලයේ පිහිටවනවා. යහපතෙහි කුසලයෙහි යොදවනවා. මෙලොවත් පරලොවත් දෙලොව ම යහපතට මඟ කියා දෙනවා. නුවණැති සත්පුරුෂයන් කැමති තමා ඇසුරු කරන අය සුගතියේ යනවා දකින්නයි. දුකෙන් අතමිදෙනවා දකින්නයි. ඒ තමයි සත්පුරුෂයින්ගේ සත්පුරුෂ දහම.
ඒ නිසා ඔබත්, මේ දස දහසක් ලෝක ධාතු අභිබවා අනන්ත සක්වළ පුරාවට පැතිර ගිය සම්බුද්ධ සුගන්ධයේ මිහිර විඳගන්න. මේ සොඳුරු සම්බුදු සසුනේ සීල සුගන්ධය ගත තවරා ගන්න. දහම් මනසිකාරය නැමැති මාලා දාමයන්ගෙන් සිත සරසා ගන්න. සත්තිස් බෝධි පාක්ෂික දහම් නැමැති දහම් ඖෂධ ටික ටික නමුත් පානය කරන්න. එවිට මේ බුදු සසුනේ දී ම මඟ ඵල නිවන නම් වූ ඒ අමා ඵල රස භුක්ති විඳීමට හැකිවනු නියතයි.
සසරගත ජීවිතවලට රැකවරණය සලසන දුර්ලභ ශාස්තෘ සම්පත්තියත්, සොඳුරු සත්පුරුෂ කල්‍යාණමිත්‍ර ආශ්‍රයත් අපගේ ජීවිත තුළින් ගිලිහී නොයේවා!
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments