නේක තරාතිරම් – සමාජ මට්ටම්වලට බෙදී ගියේ නමුදු, අප සෑම සියලු දෙනා ම එක ම පොදු ලක්ෂණයක සංසාරික උරුමකරුවෝ වෙමු. එනම්, මහා තෘෂ්ණා පාසයෙන් සුළු දෙයටත් බැඳී අවිද්‍යා ඉන්ද්‍රජාලයේ මුළාවනසුලු බව ය.

සෑම මනසක ම ඇති මේ ස්නේහකාමීත්වය.. යම් යම් ජීවිතවල ප්‍රකට වුවත්, අප්‍රකට වුවත්, තෘෂ්ණාවෙන් නිදහස් වන තුරු ම එය කලින් කලට ජීවිතයට විවිධ මට්ටම්වලින් බලපෑම් කරමින් ජීවිතය හා බද්ධ ව පවතී. එබැවින්, සියල්ල දන්නා දක්නා සර්වඥයාණෝ වදාළෝ; “තණ්හා දුතියෝ පුරිසෝ” – ‘පුරුෂයාගේ දෙවැන්නා තෘෂ්ණාව ය.’ යනුවෙනි.

මව්පියන්ගේ පටන්, යහළු යෙහෙළියන්, සොයුරු සොයුරියන්, ස්වාමි-භාර්යාවන්, ගුරු-සිසුන්, ඥාතීන්, අසල්වාසීන්, පාලක-සේවකයන්… ආදී සියලු සබඳතා පමණක් නොව ගේ දොර ඉඩකඩම්, යානවාහන, පරිහරණය කරන ලේන්සුව දක්වා සියලු තන්හී… සියලු කල්හී… සියලු අයුරින් තෘෂ්ණාව රහසේ ම ක්‍රියාත්මක වන රඟ බලව! ඒ තෘෂ්ණා මූලයෙන් හටගන්නා කෙලෙස්වලින් ය අපව සසරේ ඒ මේ අත ඇද දමන්නේ.

ස්නේහය යන භාවය යමෙකු කෙරේ හද උපන් කල්හී…, එහි අපූර්ව සොම්නසක් උපදී. එයයි එහි ඇති ආශ්වාදය. එවිට, ස්නේහවන්තයන්ගේ රුව, හඬ, පහස, මතකය… ආදී සියල්ල ආශ්වාදයෙන් සතුටින් යළි යළි මෙනෙහි කිරීම නිසා හද පත්ලෙහි රාගානුසය වශයෙන් ඇල්ම බැස ගනී. පැලපදියම් වේ. අනුසය ධර්මයන් ක්‍රියාත්මක වන්නේ සත්වයා උපතක් කරා ගෙන යාමට ම ය. එහෙයින්, මෙසේ තැන්පත් වන ඒ ඇල්ම, ඒ ස්නේහවන්තයා උපනූපන් තැන තමා කරා ඇදී ඒමට හෝ තමා ස්නේහවන්තයා කෙරේ ඇදී යාමට හෝ හේතුභූත වන කාන්දම් බලය බවට පත් වේ.

යළි යළි ස්නේහවන්තයන් මුණගැසේ ය යන ප්‍රවෘත්තිය… කිම… ඔබට සුභාරංචියක් වී ද? සබඳ… එහෙත් මේ යළි යළි මුණගැසීම සිතන තරම් සුන්දර නැත. අර්ථවත් ද නොවේ.

මේ සිදුවීම දෙස බලන්න: සඟරුවනේ ඇසුරින් දහමේ හැසිරීම නිසා මාතිකමාතා උපාසිකාව අනාගාමී ව ලෞකික අභිඥාවන් ද ලැබුවා ය. ඉන්මතු ඈ සඟරුවනට දන් පුදන්නී සංඝයාගේ සිත් බල බලා, අවශ්‍යතාවයන් මැනවින් සපුරා සප්පාය වූත්, මනාප වූත් දන්පැන් පුදමින් උවැටැන් කළ නිසා බොහෝ භික්ෂූහු සුවසේ ම නිකෙලෙස් වූහ.

මේ බව ඇසූ නවක භික්ෂුවක් සම්බුදු අවවාද ඇතුව, සුගත් මුනිඳුන්ගේ අවසරයෙන් ඒ ගම්පියසට වැඩම කළ සේක. මේ නව යොවුන් භික්ෂුව එහි වැඩි මොහොතේ පටන් යමක් යමක් කැමති වෙයි ද ඒ ඒ දේ ම ලැබෙන්නට පටන් ගනී. සිතට නැඟෙන ආහාරපාන ම ය දානයට ලැබෙන්නේ. මාතිකමාතා දකිනු රිසි වූ කල්හි, ඈ ගිලන්පස රැගෙන සිතූ පරිද්දෙන් ම ආවා ය. ඈ සැබෑම මවකැ’යි සිතූ මුත්… භික්ෂුවගේ සිත කැළඹිණ. තම සිත දකිනා කෙනෙකුත් ළඟ ඉන්නෙම්දැයි මහත් ලැජ්ජාවට පත් වී බුදු සමිඳුන් සොයා ආපසු වැඩි සේක.

“භික්ෂුව, ඔබ එතැනට ම යා යුත්තේ ය. ඔබට සුදුසු ම තැන එතැන ම ය.”

ආපසු වැඩි භික්ෂුව, සිත දැඩි කළේ ය. නොහික්මුණු සිතුවිල්ලකට ඉඩ නොතැබුවේ ය. සුළු කාලයක් තුළ සව් කෙලෙසුන් නසා අරහත්වයට පත් වූ සේක. ‘මා හට අමා නිවන් මඟට උපකාරී වූ මේ අහිංසක මෑණියන් සසරෙත් මට උපකාරී ව ඉන්ට ඇතැ’යි කියා සිතා අතීතය විමසන්නට පටන් ගත් සේක.

මාතිකමාතාව මීට පෙර ආත්මභාව 99ක් පුරා සොර සැමියෙකුට බැඳි පෙමක් නිසාවෙන් ඇගේ ස්වාමියා වූ තමා ව ඝාතනය කළ බව දැක බොහෝ සංවේග විය.

“මා පුතු සුවසේ නිවන් මඟ වඩාදෝ…” කියා දිවැසින් බලන මාතිකමාතාවෝ මේ සිත්හසර දැක ‘අහෝ මා කිසිදා මුන්වහන්සේට හිතවත්ව නොසිටියෙමි දැ?’යි කියා බලන විට මින් සියවැනි පෙර ආත්මභවයේ සිය ස්වාමියා ව වෙනකෙකු ඝාතනය කරන්නට තැත් කරද්දී, තමා දිවි පුදා උහුව බේරාගත් බව දුටුවා ය. “ස්වාමීනී, සියවන ජීවිතය ද බලනු මැනවැ.” යි දිව කනට ඇසෙන සේ ඕ කීවා ය…

සබඳ… මෙයට ‘සසර’ හැර වෙන කුමක් කියන්ට ද? අවසාන ජීවිතයේ නිවන පිණිස බොහෝ උපකාරී වූ ඈ බොහෝ ජීවිත ගණන් ඔහුගේ සැඟවුණ වධකයා වූවා ය.
කලෙක ඈ ම ඔහුට දිවි පිදුවා ය!

අපි අපගේ හිතවතුන්ගෙන් එක ම චරිතයක්, ඒකාකාරී ගති ස්වභාවයක් අපේක්ෂා කරන්නෙමු. නමුදු, බලව… සසරක රහස… ආශ්වාදයෙන් මෙනෙහි කිරීමෙන් සිත බැඳී යාමෙන් තෘෂ්ණාවෙන් යළි යළි මුණගස්වද්දී… ද්වේෂය, මානය, ඊර්ෂ්‍යාව ආදී නේක අනුසය ධර්මයන් ද ඉස්මතු වන විට එක ම චරිතය විවිධ පැතිවලට විහිදී යන අයුරු…

කිමෙක්ද මේ පටලැවිල්ල? රාගය සේ ම සිතේ සියුම්ව ක්‍රියාත්මක වන ඊර්ෂ්‍යාව, මාන, ක්‍රෝධ ආදී අනේක අකුසල් ද යළි යළි ආශ්වාදයෙන් මෙනෙහි කරන, රහසේ මෙනෙහි කරන ස්වභාවය නිසා ඒ භාවයන් ද චිත්තාභ්‍යන්තරයේ පැලපදියම් වී සුදුසු පරිසරය ලද සැණින් යළි හිස ඔසවන්නට මාන බලන්නේ ම ය. මාර්ගඵලාවබෝධයකින් තොරව මේ අනුසය ධර්මයන්ගේ පදයට නොනටන්නේ, තමා ගැනත්, අනුන් ගැනත්, යහපත ම කැමතිව – තම ජීවිතය සිහිනුවණින් මෙහෙයවන සත්පුරුෂයෙකු ම පමණි. අවශේෂ පුහුදුන් ජනයා අනුසයන් විසින් හොරෙන් ම ගිල ගනී. එවිට තමාට ම තමා ව හඳුනාගත නොහැකි පරිදි, විවිධ නොසිතූ චරිත ලක්ෂණ මතු වේ. ඉදින්, අප එකිනෙකා ගැන ස්ථිර චිත්‍රයක් මවාගෙන එයට ම පෙම් බැඳ, එය ම පතා සිටීම කෙතරම් හිස් ද? අසාර ද? නිරර්ථක ද?

ඡද්දන්ත හස්තිරාජයාගේ ප්‍රිය මහේෂිකාවක් වූ චූල සුභද්‍රා නම් ප්‍රියාදර ඇතින්න මහා සුභද්‍රා මහේෂි ඇතින්න කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් අස්ථානයේ වෛර බැඳ, පසේබුදු රුවනකට දන් පුදා ඡද්දන්ත හස්තිරාජයාගෙන් පළිගන්නට හැකි උපතක් පැතුවා ය. ඒ අනුව, රජ බිසවක් වූ ඈ ඉතා සූක්ෂම උපක්‍රම කොට ඡද්දන්ත හස්තිරාජයා මරවා අනර්ඝ ජීව ඇත් දළ ගෙන්වා ගත්තා ය. දළ දුටු සැණින්… ‘අනේ මා කළ වරද! ඡද්දන්ත ඇත්‍ රජු මට කෙතරම් අවංකව පෙම් වැඩුවාදැ’ යි සිහි වී, එකල්හී ම සවණක් රැස් විහිදෙන දළ යුගල ළයෙහි රුවා හඬා වැටී සමාව අයදිමින් ම, දුකින් ම මියැදුණා ය. ඈ… ඒ ඡද්දන්ත ඇත්රජු සම්මා සම්බුදු වූ කල ඈ ඒ සම්බුදු සෙවණේ පැවිදි ව නිකෙලෙස් වූවා ය.

වරෙක ගෞතම සසුනේ මහා ශ්‍රාවක ධුර හොබවන බුදුපුත්වරු, මහ බෝසතුන් හා දසබෑරජුන් ව ඉපිද මුහුදු ක්‍රීඩා කරන්නට විය. රජවරුන් අතර වූ සුළු බහින්බස් වීමක් රණ්ඩුවකට පෙරළී එකිනෙකා මුගුරුවලින් පහර දී විනාශ වූවෝ… අනේක ජාතිවල දිවි දී ස්නේහයෙන් මුණගැසුණෝ…

ඒ ඔවුන් ම ය. මෙය සසරේ නිසරු බව හැර වෙන කුමක් ද?

වන මැද බිරිඳ හා යන තක්ක පණ්ඩිතයන් බිමහෙළා පහර දී, ගස් බැඳ මරණු පිණිස ගෙන ගිය, බෝසතුන්ගේ බිරිය පාවා ගත් සොරා ව සිටියේ බොහෝ ජාතිවල දිවිපුදා බෝසතුන්ට ස්නේහ වැඩූ ආනන්දයන් වහන්සේ ය.

සිතා ගත නොහැකි චරිත, මේ සිතා ගත නොහැකි සසරේ සිතා ගත නොහැකි චරිත රඟපාත්. ස්වාමියා-බිරිඳ, දරුවන්, මාපියන්, මිතුරන්-සතුරන්, ගුරු-සිසුන් මාරුවෙමින් උපතින් උපතට මේ වෙනස උපදවන්නේ සැඟව ක්‍රියා කරන ආශ්‍රවයන් නිසා ය. මේ ආශ්‍රව තිබෙනතුරු මේ මායාකාරී භවගමනේ නිමක් ද නැත. පිළිවෙළක් ද නැත. ඒ තාක් ම මිතුරන්ගේ සදාතනික මිත්‍රශීලී බවක් හෝ සතුරන්ගේ ස්ථීර වෛරයක් කෙසේ අපේක්ෂා කරන්න ද? කෙසේ ලබන්න ද? මන්දයත්, සැඟවුණ සංසාරික බන්ධන නොසිතූ මොහොතක තමාගේ ම සිත උඩුයටිකුරු කරන බැවිනි.

ඉදින් සබඳ, පෙනෙන්නේ අසාරය ම නොවේ ද? සසර බය ම ය… පතන ලෝකය නොලැබෙන, අදහාගත නොහැකි දේට මූණදීමට සිදුවන හිස් ගමනක පියසටහන් නොවේ ද භව රැල්ලෙන් මැකි මැකී යන්නේ..? “අලමේව සබ්බසංඛාරේසු නිබ්බින්දිතුං” “එනිසා, සියලු සංස්කාර කෙරෙහි අවබෝධයෙන් කලකිරීම ම යි වටින්නේ…”

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.