ගොඩබිම වෙසෙන සතුන් අතරේ විශාලතම මොළය පිහිටා තිබෙන්නේ අලිඇතුන්ටයි. සාමාන්‍යයෙන් අලිඇතුන් සැලකෙන්නේ ඉතා හැඟීම්බර සත්වයන් ලෙසටයි. එකිනෙකා අතරත් ඉතාමත් හොඳ අන්තර් සම්බන්ධතාවයන් පවත්වන මේ සත්වයින් බොහොම සමාජශීලීයි. එමෙන් ම බුද්ධිමත්. තමන් සිටින වටපිටාවට පහසුවෙන් ම අනුගත වෙන්නටත් ඔවුන්ට පුළුවන්. ඒ විතරක් නෙමෙයි; මතක ශක්තිය අතිනුත් ඔවුන් සිටින්නේ බොහොම ඉහළ මට්ටමක…
නන්දිමිත්ර සහ කණ්ඩුල
මතක ශක්තිය ඉහළ නිසා තමන්ට දැක්වූ ආදරය ගැන සේ ම අනාදරයන් ගැනත් ඔවුන් මතක තබා ගන්නා බවත්, ඒ අනුව ප්‍රතිචාර දක්වන බවත් ජනප්රවාදයේ කියැවෙනවා. ගාමණී අභය රජුගේ මංගල හස්තියා වුණු කණ්ඩුල හස්තිරාජයා ව සුරා බී හුන් නන්දිමිත්ර යෝධයා විසින් දළ යුගලයෙන් අල්වා බිම හිඳවූ බවත්, තමනට කළ මේ අවමානය මතක තබා ගනිමින් ඒ ඇතා කවර හෝ අවස්ථාවක් එළඹි විට නන්දිමිත්ර යෝධයාට පහර දීම පිණිස රවුම් ගලක් ගෙන තම කොපුලෙහි රඳවා තබාගෙන දිගු කාලයක් සිටි බවත් සද්ධර්මරත්නාවලියේ සඳහන්.
රට එක්සේසත් කළ මහා යුද්ධයේ දී එළාර රජුගේ විජිතපුර බලකොටුව බිඳ දමන්නට කළ උත්සාහයේ දී කණ්ඩුල ඇතු පිටට බිඳ වැටෙන්නට ගිය මහා ප්රාකාරයක් නන්දිමිත්ර යෝධයා එක අතකින් තල්ලු කර දමා ඇතා බේරා ගත් බවත්, ඒ මොහොතේ ඇතුගේ සිතේ නන්දිමිත්‍රයන් ගැන තිබූ ක්‍රෝධය පහව ගිය නිසා යෝධයා ඉදිරියේ ම තම කොපුලේ වූ ගල එළියට විසි කළ බවත් කියැවෙනවා.
සංස්කෘතිකවත් ඉහළ තැනක්…!
සිහි කල්පනාව, හොඳ මතකය සේ ම පුදුම ඉවක් ද ඇති මේ සත්වයන් විශේෂ චර්යා රටාවන්ගෙන් යුතුයි. දුරාතීතයේ පටන් ම අලිඇතුන් සැලකුනේ රාජකීයත්වයෙන්. සක් දෙවිඳුටත් හස්තියෙක් සිටිනවා. දිගු දළ අටක් ඇති, කුඹු දහසයක් ඇති ඓරාවණ තමයි ඒ හස්තියා. සිව් මහා දිවයිනට ම ධාර්මික ව අධිපති බව දරන චක්‍රවර්තී රජුටත් හස්ති රත්නයක් පහළ වනවා. මහා රජවරුනට පවා හස්ති වාහන තිබී ඇති බව ඉතිහාසයේ දැක්වෙනවා. අලිඇතුන් සහිත පෙරහැර සංස්කෘතියක් චිරාත් කාලයක් පුරා අප රටේත් පැවත එනවා. සෙංකඩගල දළදා මැදුරේ විරාජමානව වැඩවෙසෙන ශ්‍රී සර්වඥ වාම ශ්‍රී දළදා වහන්සේ උදෙසා වාර්ෂික ව පැවැත්වෙන පෙරහැර මංගල්‍යය මේ අතර ප්රමුඛයි.
අලිඇතුන්ගේ සහජ ගතිශෝභාවන් ඉක්මවා යන, ඔවුන් පවා දමනයට පත් කරලන මුනි ගුණ අසිරිය ගැන යළිත් සිතන්නට ශ්‍රී බුද්ධ වර්ෂ 2569 දළදා පෙරහැර මංගල්‍යයේ දී අපට අවස්ථාව සැලසුනා…
මුනි පුදට එන දළ ඇතුන්…!
මේ පෙරහැර මංගල්‍යයේ දී අප මුනිඳුන්ගේ ධාතූන් වහන්සේලා දෙතිස්නමක් වැඩවෙසෙනා සධාතුක පෙරහැර කරඬුව මංගල හස්තිරාජයා පිට වැඩමවනු ලබන්නේ දෑල ආරක්ෂක හස්තිරාජයන් දෙදෙනෙකු ද සමඟ යි. පැය ගණනාවක් පුරා මඟ දෙපස රැස්ව නෙත් අයා බලා සිටින සියලු දනගේ නෙත් සනසන, සිත් පිනවන, බුද්ධාලම්භන ප්‍රීතිය උපදවන මනස්කාන්ත දසුන නම් විචිත්‍ර පූජා මධ්‍යයේ දෑල ඇතුන් පිරිවරා මංගල හස්තිරාජයා යෙදෙන මේ මනෝරම්‍ය ගමනයි.
අපගේ ශාස්තෘන් වහන්සේ පාරමී පූරණය කරමින් පැමිණි බෝසත් ජීවිතය තුළ දළ ඇතෙකු ව ඉපිද උතුම් වූ සර්වඥතා ඤාණය පතා දළ දන් දුන් අයුරු අප ජාතක පාලියේ කියවා තිබෙනවා. එසේ, දළ ඇතුන් ව ඉපිද දළ දන් දී බුදු බව පැතූ මහා මුනිවරයාණන් වහන්සේ සම්බුදු බවට පැමිණ බුදු කිස නිම කොට පිරිනිවන් වැඩි කල්හි ශේෂ වූ ධාතූන් වහන්සේලා දළ ඇතුන් පිට වැඩමවා තථාගතයන් වහන්සේට මහා පූජෝපහාරයන් සිදු කිරීම සුදුසු වූ දෙයක් ම යි.
පෙරහැර අතරමඟ විරසකය
දහස් සංඛ්‍යාත ජනීජනයා රොද බැඳ ගත් මංමාවත් මතින්, විසිතුරු නැටුම් ගැයුම් වැයුම් මධ්‍යයේ, කොප්පරා පන්දමින් ආලෝකවත් වූ මඟක අලිඇතුන් හීලෑ කොට ගෙන යාම භාරදූර කර්තව්‍යයක්. ඒ ඒ දවසේ ඒ ඒ අලිඇතුන් පෙරහැරේ ගමන් කරන ස්ථානය පවා තීරණය කෙරෙන්නේ උදෑසන පටන් දහවල් කාලය තෙක් ම ඒ සතුන්ගේ හැසිරීම්, ප්‍රතිචාර දැක්වීම් මැනැවින් නිරීක්ෂණය කිරීමෙන් පසුවයි. පෙරහැරේ වගකීම් සහගත ම කාර්යභාරය වන සධාතුක කරඬුව වැඩමවීම පිණිස මෙසේ තෝරා බේරා යොදා ගත් මංගල හස්තිරාජයා, ඔහුගේ දෑල ආරක්ෂාවේ හුන් හස්තිරාජයෙකුගේ පහර දීමකට ලක් වුණේ 2013 වර්ෂයේ දී…
එදා මංගල හස්තිරාජයා ව සිටියේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ රජු ලෙසින් පිළිගැනෙන ‘ඉන්දිරාජා…’ ඒ කුඹල් පෙරහැරේ දී ඉන්දිරාජාට පහර දුන්නේ ‘කළු ඇතා’ නමින් ප්‍රකට, ඒ දවසේ ඉන්දිරාජා ඇතුගේ වම්දෑලේ හුන් මාලිගාවේ ඇත් පන්තියේ ම ‘බුරුමරාජා…’ ස්වභාවයෙන් ම දඟකාර සහ දඩබ්බර ස්වභාවය ඇති ඇතෙකු ලෙසින් ප්‍රකට ඉන්දිරාජා සධාතුක කරඬුව දරාගෙන බුරුමරාජාගේ පහර දීම ඉවසා සිටියා. කිසිදු ප්‍රතිප්‍රහාරයක් එල්ල කළේ නැහැ. ඔහුගේ දකුණුදෑලේ හුන් (මේ වන විට ජීවතුන් අතර නැති) වෑවලදෙනියේ රාජා හස්තියාත් කලබල වුණේ නැහැ. සිදු වූ එකම වෙනස නම් ඒ මොහොතෙන් පසු පෙරහැර ගෙවදින තුරු දෑල ඇතුන් නොමැතිව ඉන්දිරාජා සධාතුක කරඬුව වැඩමවීම යි.
යළිත් දෙදෙනා එක මඟක…
එක ම ඇත් පන්තියේ වෙසෙන මේ ඇතුන් දෙදෙනාගේ විරසකය පසුකාලීන ව හුවමාරු වුණු වීඩියෝ දර්ශන ඔස්සේත් කථාබහට ලක් කෙරුණා. ඔවුන්ට එකිනෙකා සමීපයෙන් ගමනේ යෙදෙන්නට සිදු වුණු අවස්ථාවල දී ඔවුනගේ චර්යා රටාවල යම් යම් වෙනස්කම් ද දකින්නට තිබුණා. බුරුමරාජාගේ පාදයක ඇති වූ ආබාධයක් නිසා ඔහු පෙරහැර රාජකාරීන්ට යොදා ගැනුනේත් අඩුවෙන්. කලකට පසුව, මෙවර දළදා පෙරහැර මංගල්‍යයේ දී යි වසර දොළහකට එපිට අතීත සිදුවීමත් යළිදු සිහි ගන්වමින් ඉන්දිරාජා මංගල හස්තිරාජයා සධාතුක කරඬුව වැඩමවද්දී බුරුමරාජා හස්තියා දෑල ආරක්ෂකයා ලෙසින් වම්දෑලට ම පැමිණියේ…
පසුගිය ජූලි තිස් වෙනි දින පැවැත්වූ ශ්‍රී බු. ව. 2569 පළමු කුඹල් පෙරහැර මංගල්‍යයේ සමාරම්භයට හෝරා කිහිපයකට පෙර එදින කරඬුව රාජකාරිය ඉන්දිරාජාට භාර කෙරුණු බවත්, වම්දෑලේ බුරුමරාජා ගමන් කරනා බවත් දළදා මාලිගාවේ මාධ්‍ය අංශය නිවේදනය කළ මොහොතේ ඔවුනට සිදු වූ වැරදීමක් ද කියාත් සිතුවිල්ලක් මසිතෙහි උපන්නේ මේ දෙදෙනාගේ ප්‍රකට විරසකය දන්නා නිසාත්, විරසකයන් මතකයේ තබා ගැනීමට මේ සත්ව විශේෂය සහජයෙන් ම නැඹුරු වන බව දන්නා නිසාත්… එහෙත්, ඔවුන් පළමු කුඹල් පෙරහැරේ රාජකාරිය මැනැවින් ඉටු කළා… එපමණක් නොවෙයි…, හතරවන කුඹල් පෙරහැරේදීත්, පළමු වන සහ තුන් වන රන්දෝලි පෙරහැරවලදීත් ඉන්දිරාජා මංගල හස්තිරායාගේ වම්දෑල රාජකාරිය ඉටු කරනු ලැබුවේ බුරුමරාජා හස්තිරාජයා ම යි…!
ඒ වනාහී මුනි අසිරිය යි!
හික්මවන්නට එතරම් ම පහසු නැති, පෙර විරසකයන් ද ඇති, ආවේගශීලී සහජ ගතිශෝභාවන් ද ඇති මේ දළ ඇතුන් දෙපළ ඒ සියල්ල ඉක්මවාලූ සංයමයකින් පැය කිහිපයක් පුරා එක්ව පෙරහැරේ සුවිසල් ම වගකීම ඉටු කරනු දකිද්දී ලොව දමනය කළ අප මුනිඳාණන්ගේ අසිරිය යළි යළිත් අපට සිහි වුණා…
අනන්ත සසරේ පවා අපගේ ශාස්තෘන් වහන්සේ බොහෝකොට, නිතර නිතර අන් අය සමඟි කරවීමෙහි යෙදී තිබෙනවා. බිඳී ගියවුන් සමඟි කළා පමණක් නොවෙයි; සමඟි වූවන්ගේ සමඟිය වැඩි කිරීමට කටයුතු යොදා තිබෙනවා. සමඟියට ම පසසා තිබෙනවා.
සමඟියෙහි ම ගුණ කියා තිබෙනවා. සසරේ බොහෝකොට පිරූ මේ ගුණයේ මහිමය නිසා ම අවසන් සිරුරු දරාගෙන මනුලොව වඩින කල්හි ඒ පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ පිහිටන මහා පුරුෂ ලක්ෂණ ද්විත්වයක් තිබෙනවා. එනම්; සතලිසක් දත් ඇති බවත්, දත් අතර විවර නැති බවත්… ඒ අනුහසින් මුනිරජුන්ගේ පිරිවර ද සමඟිසම්පන්න වනවා… මේ මහා පුරුෂ ලක්ෂණ ද්විත්වය උරුම වූ උතුම් දළදා වහන්සේ උදෙසා කෙරෙන පූජෝපහාරයක් වෙනුවෙන් තිරිසන්ගත සතුන් පවා විරසකයන් පසෙකලා සමඟිසම්පන්න ව එකතු වීම ඒ ශාස්තෘන් වහන්සේගේ ම අසිරිය නොවන්නේ ද…!
ඒකාන්තයෙන් ම අපගේ මුනිරජුන් දමනය වූ සේක! සියලු ලොව දමනය කළ සේක! ලෝසතට සෙත සලසන සේක! උන්වහන්සේ සමීපයෙහි දමනය වී බුදු පුදට එක් වූ මේ හස්තිරාජයන් සහිත ඒ සියලු අලිඇත් පරපුරටත්, පෙරහැර මංගල්‍යයට එක් වූ සහ උපකාර කළ සියලු දෙනාටත් අපමණ පින් සිදු වේවා! ඒ සියල්ලෝ ද සම්බුදුරජුන් වඩින මඟ බල බලා නේත්‍රා පූජාවන් සිදු කළෝ ද ඒ පින් අනුමෝදන් වන්නෝ ද සුවපත් වෙත්වා! සමඟියෙහි ගුණ දකිත්වා! සමඟි සම්පන්න ව සැප ලබත්වා!
අමා නිවනින් නිවී සැනසෙත්වා!
සටහන – උදුලා පද්මාවතී
Recent Comments