මීට වසර 2614කට පෙර ලොවට සම්මා සම්බුදු යුගයක් උදා වූවා. ඔක්කාක රාජ පරම්පරාවෙන් පැවත එන ශාක්‍ය වංශයේ කපිලවස්තුපුර රාජධානියේ කිරුළ හිමි කුමරුන් ව උපන් සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ රාජ මාලිගය ද සියලු රාජ සම්පත්තීන් ද හැරපියා, ජරා මරණ දුකින් පිරී ගත් ජීවිතයේ විමුක්තිය සාධනය කරනු පිණිස අබිනික්මන් කොට, පුරා සය වසක් ඝෝර තපස් ද රැක අවසන වෙසක් පුන් පොහෝ දිනෙක ගයාවේ වජිරාසන බිම වැඩ හිඳිමින් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළේ පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස උපදවා ගනිමින්…

පළමු වැඳුම සම්බුදුරජුන්ටයි!

උන්වහන්සේ දෙවියන් බඹුන් මරුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව තුළ සම්මා සම්බුදු භූමියෙහි ප්‍රතිඥා දෙන කල්හී උන්වහන්සේ හා සම වූ අන් කිසිදු පුරුෂ වීරයෙකු තුන්ලෝකයෙහි ම දක්නට වූයේ නැහැ. ඒ අසමසමයන් වහන්සේ හතලිස් පස් වසරක් පුරා අනන්ත වූ සම්බුදු ඤාණයන්ගෙන් යුතු ව, විශිෂ්ට වූ අනුශාසනී ප්‍රාතිහාර්යයෙන් පරිපූර්ණ ව ලෝසතට සසර දුකින් නිදහස් වන ආර්ය වූ මාවත පෙන්වා වදාළා.

පෙරත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වූ අසිරිය, උන්වහන්සේලා ධර්ම රාජ්‍යයන් ගොඩනැගූ අයුර, තමන් වහන්සේලා විසින් ම දහම් අවබෝධ කරනා පසේබුදුරජාණන් වහන්සේලාගේ යුගයන් පිළිබඳ සේ ම අනාගත බුදු පසේබුදු උතුමන්ගේ පහළ වීම් පිළිබඳ ව ද ඒ සම්බුදු මුව මඬලින් වදාළ නිසා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව අතිශය කලාතුරකින් පහළ වන අසිරිමත් පුරුෂෝත්තමයන් වහන්සේලා අතර එක් මහා පුරුෂයෙකු වන බව දෙව්මිනිස් ලෝසත දැනගත්තා. තමන් හා සම වූවන් ලෝකයේ නොමැති බව ගාම්භීරත්වයෙහිලා සලකන, තමන් හුවා දක්වන, අනුන් හෙළා දකින දෙව්මිනිසුන් අතර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් ම, වැසී ගිය අතීත බුද්ධ රාජ්‍යයන් ගැනත්, මතු පහළ වන බුද්ධ රාජ්‍යයන් ගැනත් ලෝකයට හෙළිදරව් කළ බව නම් සත්පුරුෂ ගුණ ශෝභාවක් ම යි. ඒ උත්තම සත්පුරුෂ ගුණ යුතු සම්බුදුරජාණන් වහන්සේට මාගේ වන්දනාව වේවා!

දෙවන වැඳුම අනුබුදුරජුන්ටයි!

මෙයින් වසර 2333කට පෙර, ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනයේ දී තථාගත අනුජාත පුත්‍ර වූ මහ මිහිඳු මහරහතන් වහන්සේ සදහම් දායාදය රැගෙන මේ ලක්දිවට වැඩම කොට වදාළා. සම්මා සම්බුද්ධ ශාසනය පිහිටන පින්බිම වීත් සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ කිසිත් නොදැන හුන් ලක්දිවවාසීන් වෙත අහස් ගමනින් වැඩම කොට, රාජ්‍යයෙහි කිරුළ හෙබවූ දෙවනපෑතිස් නරනිඳුන් හට ‘තිස්ස’ යන නාමයෙන් ම අමතා තමන් වහන්සේගේ ආනුභාවය ප්‍රකට කළ – එපමණක් ද නොව එකල දඹදිව සොළොස් මහජනපද ඒකච්ඡත්‍ර කොට කිරුළ දරන ධර්මාශෝක අධිරාජයාගේ පුතු ද වූ ඒ අනුබුදුරජාණන් වහන්සේ පළමු කොට පවසා වදාළේ ශාස්තෘන් වහන්සේ පිළිබඳ ව යි.

“සමණාමයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා”
“මහරජුනි, අපි වනාහී ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයන් වෙමු…”

තමන් හුවා දක්වන, අනුන් හෙළා දකින දෙව්මිනිස් ලෝකයේ ඒ අනුබුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව ම අගතැන්හි වඩා හිඳුවමින් අප වෙත ධර්ම දායාදය තිළිණ කොට වදාළා.

එපමණකින් ද නොනැවතී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා දැකීම ශාස්තෘන් වහන්සේ දැකීමක් ලෙසින් ප්‍රකට කරවා සර්වඥ ධාතූන් වහන්සේලා පුදා නිර්වාණගාමී පුණ්‍ය සංස්කාරයන් උපදවා ගන්නට ඉඩහසර විවර කොට වදාළා. දිවමන් මුනිඳු ලෙසින් සලකා වැඳපුදා පින් රැස් කර ගන්නට උතුම් බෝරජාණන් වහන්සේ ලක්දිව භාරකාරයාණන් වහන්සේ බවට පත් කෙරුණේ ද ඒ අනුබුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා අනුවයි.

තමන් ව ප්‍රකට කරගන්නට ඕනෑ තරම් අවස්ථාව තිබියදීත් ශාස්තෘන් වහන්සේ ව ම ප්‍රකට කරලීම නිකෙලෙස් උත්තමයන්ගේ ගුණ ශෝභාවක් ම යි. දෙවනුව, ඒ ගුණ ශෝභාවෙන් යුතුව වැඩ වෙසෙමින් ලක්දිව එකලු කළ මිණි පහන වූ අපගේ ආදි ගුරුදේවෝත්තම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ වන්දනාව වේවා!

තෙවන වැඳුම ගුරු දෙවිඳුන්ටයි!

මෙයින් වසර 26කට පෙර ‘ගෞතම සම්බුද්ධ ශාසනය බබළවන පිරිසක් බිහි වේවා!’ යන පුණ්‍ය චේතනාව පෙරදැරි කොටගෙන තැබූ මුල්ගලක් වටා ගොඩනැගුණු සොඳුරු පුණ්‍ය තීර්ථය තුළ ලක්ෂ සංඛ්‍යාත ජනීජනයා සරණ සීලය කෙරෙහි ප්‍රසන්න සිත් ඇත්තවුන් බවට පත් වූවා. ‘මහමෙව්නාව’ නම් වූ ඒ ධර්මායතනය තුළ එදත්, අදත් එක සේ ම දෙව්මිනිස් ලෝකයාට ඇසුන සොඳුරු ධර්මාවවාදයක් මා සිතෙහි පිළිරැව් දෙනවා. “සම්බුදුරජාණන් වහන්සේ ව සරණ යන්න, ධර්මය ද සංඝයා ද සරණ යන්න.” නම් වූ ඒ උතුම් ධර්මාවවාදය මහමෙව්නාව මුල්කොට ගත් ධර්ම ප්‍රචාරක මෙහෙවර තුළ අපගේ ගුරුදේවෝත්තමයන් වහන්සේගේ හඬින් ම කොපමණ නම් වාර ගණනක් දෙව්මිනිස් ලෝකයා හට ඇසෙන්නට ඇති ද! නිසැකව ම ඒ අපමණ වාර ගණනක් වන්නට ඇති…!

පින් මඳකමෙන් වියැළෙමින් හුන් මිනිසුන් හට මහමෙව්නාව පැන්තොටක් වූයේ ඒ නිසයි. දහසකට ආසන්න සුපේශල ශික්ෂාකාමී සංඝයා වහන්සේලා, අනගාරික මෑණියන් වහන්සේලා, ලක්ෂ සංඛ්‍යාත උවසු උවැසියෝ සරණ සීලයෙහි පිහිටා දහම් මඟ පුරුදු කරන්නට වීරිය ඇරඹුවේ ඒ පැන්තොටෙන් සැනසෙමින්. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසා වදහළ, අනුබුදු මහ මිහිඳු මහරහතන් වහන්සේ දායාද කොට වදහළ, යුග යුග ගණනින් ආර්ය වූ ලාංකේය සඟ පරපුර විසින් දිවි දෙවැනි කොට නිර්මල ව ආරක්ෂා කොට වදහළ පිරිසිදු බුද්ධ වචනය ම අපට හුරුපුරුදු බසින් පහදා දෙමින් අපගේ ගුරු දෙවිඳුන් ඇරඹූ ශාසනික මෙහෙවර නිසා කොපමණ නම් දෙනෙකුගේ නෙත්, පමණ කළ නොහැකි තෙරුවන් ගුණයනගේ නාමයෙන් තෙත් වන්නට ඇති ද! නිසැකව ම ඒ ගණන අපමණයි!

මහමෙව්නාව නිසාවෙන්…, කොපමණ වාර ගණනින් ලක්දිව ද දඹදිව ද බොහෝ රටවල ද පුණ්‍යභූමි සිසාරා මිහිරි සරින් තෙරුවන් ගුණ රැව් නැගෙන්නට ඇති ද! කොපමණ වාර ගණනින් තෙරුවන්

ගුණ ම සිත සිතා, තෙරුවන් ගුණ ම කිය කියා, තෙරුවන් ගුණ ම පුද දෙමින් වන්දනාමාන සිදු කෙරෙන්නට ඇති ද! දන් දුන්, සිල් සමාදන් ව ආරක්ෂා කළ, බණ ඇසූ, භාවනා කළ, කෙලෙස් තවන්නට වීරිය කළ, කුසල් දියුණු කරන්නට උත්සාහවත් වූ වාර ගණන කොපමණ නම් වන්නට ඇති ද! සර්වඥයන් වහන්සේ උදෙසාත්, අනුබුදුරජාණන් වහන්සේ උදෙසාත්, අරහත් මුනිවරයන් වහන්සේලා උදෙසාත් සෑ රජාණන් වහන්සේලා ද වෙහෙර විහාර ද ඉදි කරන්නට කොපමණ නම් ගල් ගඩොල් වැලි අතින් අතට යන්නට ඇති ද! කොපමණ නම් වාර ගණනින් දෑත් නළලට තබා සැදැහැයෙන් ඉපිළ ගිය සිතින් වැඳ වැටෙන්නට ඇති ද! දෙව්මිනිසුන් කොපමණ නම් පින් කරන්නට ඇති ද! නිසැකව ම ඒ ගණන අපමණයි…!

අප ඇස්පනාපිට දුටු පරිදි නින්දාවන් හමුවේ නොසෙල්වී, ප්‍රශංසාවන් හමුවේ උදම් නොවී ශාස්තෘන් වහන්සේ ව ද අපට ශාස්තෘන් වහන්සේ හා සම වූ අනුබුදුරජාණන් වහන්සේ ව ද තථාගත ශ්‍රී සද්ධර්මය ද සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහරහත් පරපුරෙන් පැවත එන ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය ද සරණ යන්න යැයි, මනා කොට සරණෙහි පිහිටා රැකවරණ සලසා ගන්න යැයි කියමින්, ලියමින්, මනරම් කවි ගී ගාථා පබඳමින්, සෑය බෝධි මණ්ඩප විහාරාරාම ආදී සියල්ල ම තමන් වහන්සේ විසින් ම සොයා බලා උපදෙස් දී නිමවමින් මේ සා ශාසනික බැබළවීමක් කරනා උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ යි…! සම්බුදුරජුන් ජීවමාන ව වැඩ විසූ යුගයෙන් ඈතට ඈතට යමින් සිටිනා කලෙකත් අප හමුවේ මේ විද්‍යමාන වන්නේ ඒ එක ම එක සත්පුරුෂයාණන් වහන්සේ, අපගේ ශාස්තෘන් වහන්සේ පනවා වදහළ – අනුබුදුරජාණන් වහන්සේ අපට දායාද කොට වදහළ සත්පුරුෂ කල්‍යාණ වැට නොසිඳ දෙව්මිනිස් ලෝකයා සුවපත් කරන අසිරිය යි!

තෙවනුව… තමන් හුවා දක්වන – අනුන් හෙළා දකින දෙව්මිනිසුන් අතර, තිසරණය ම සරණ කොට සිරසෙහි දරා ගන්නට කියා දුන් ඒ සත්පුරුෂ ගුරු දෙවිඳුන්ට මාගේ වන්දනාව වේවා!

“පින්වත් ආනන්ද, මේ සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන් ම පවතින්නේ කල්‍යාණමිත්‍ර ඇසුර මතයි…”

– භාග්‍යවතුන් වහන්සේ –

සටහන – උදුලා පද්මාවතී.