වලාකුළු රහිත නිල් අහස දෙස ඔහු යළිත් හිස ඔසවා බැලුවේ ය. දෑස් නිලංකාරව යන දීප්තියකින් හාත්පස ඒකාලෝක කරමින් පෙරදිග අහසේ හිරු මඬල නැග එමින් තිබිණ. වැහි වලාකුළක් දැකීම අපේක්ෂාව වූ නමුත් මේ සරත් කාලයේ එවැන්නක් දැකීම දුර්ලභ බව ඔහු නොදැන සිටියා ද නොවේ. හිරු නැග එත්ම මෙතෙක් පරිසරය වසාගෙන සිටි මීදුම් පටලය අතුරුදහන් විය. අවට භූමියේ තැනින් තැන ඇති වියළී ගිය තණ පඳුරු මීදුම් පින්නෙන් මඳක් තෙත්ව තිබිණි.
අව්වට පිළිස්සී ගිය කාලවර්ණ සමකින් ද කෙසඟ සිරුරකින් ද යුතු හේ තම තාවකාලික නවාතැන වූ පිදුරු සෙවිලි කොට කටුමැටි ගසා භාග බිත්ති බැඳ තිබූ කුඩා ගෙපැලින් එළියට පැමිණියේ ය. පේන තෙක් මානයේ පැතිර ගිය අඹ වනයයි. ඔහු මේ අඹ උයනේ මුරකරුවා ය. මේ සුවිසල් අඹ උයනේ හිමිකරු වූ තම ස්වාමියා පෙර දිනයේ ද පැමිණ අලුතින් සිටවූ අඹ පැළ ගැන සැලකිල්ලෙන් සොයා බලන්න යැයි තමාට කළ අවවාදය ඔහුට යළිත් සිහි විය. මේ දුගී මිනිසා තම අඹු දරුවන් පෝෂණය කළේ අඹ වනය රැකීමෙන් ලැබෙන වැටුපෙනි.
ඊට සරිලන සේ අවංකව තම සේවය ඉටු කරන හේ අලසයෙක් නොවේ. එක ම ගැටළුව මේ ග්‍රීෂ්ම කාලයේ පැළවලට දැමීමට වතුර සොයා ගැනීම ය. වැසි කාලයට අඹ වනය හරහා ගලා යන දොළ පහර ද සිඳී ගොස් ඇත. අඹ වනයේ ඇතුළට වන්නට ළිඳක් තිබෙන නමුත් එහි ද ජලය ඇත්තේ ගැඹුරු පතුලේ ය. කෙසේ නමුත් ඒ උල්පත් ජලය පිරිසිදු ය. සීතල ය. ඔහු පැන් පරිභෝග කළේ ද ඒ ළිඳෙන් ය. අවසානයේ දී ළිඳේ ජලය ම අරපිරිමැස්මෙන් පාවිච්චි කරමින් එයින් ම අඹ පැළවලට ද වතුර දැමීමට ඔහුට සිදු විය.
මෙදින ද හේ සුපුරුදු පරිදි ළිඳෙන් වතුර ඇද තරමක් විශාල මැටි කළයකට පුරවා කර තබා ගෙනවිත් අඹ පැළවලට දිය වත් කළේ ය. හිමිදිරි උදෑසන කාලය අවසන් වූයේ ඔහු ව ඒ කාර්යයෙන් වෙහෙසට පත් කරවමිනි.
මධ්‍යහ්නය උදා විය. අහසේ මුදුන් වූ හිරුමඬල සිය තෙද රැසින් මුළු මිහිතලය උණුසුම් කරමින් සිටියේ ය. දහවල් ආහාරය ගත් ඔහුට නිදිමත දැනිණි. අඹ උයන හරහා හමා එන සුළඟ නොවන්නට මේ දැඩි හිරු රශ්මිය විසින් තමා දවා හළු කරනු ඇතැයි විටෙක ඔහුට සිතිණ. පැන් පානය කළ හේ මිදුලේ අඹ ගස යට තිබූ ලෑලි බංකුව වෙත පියනැගුවේ මඳ වේලාවක් විවේක ගැනීමේ අටියෙනි. වනය හරහා කහ පැහැ පීත්ත පටියක් සේ දුර ඈතට විහිද ගිය මාවත දැඩි සූර්ය තාපයෙන් ගිනියම්ව තිබුණි. පාරේ ඈතින් පැහැදිලි ජල කඳක් සේ චලනය වන මිරිඟුව දෙස ඔහු හිස් බැල්මෙන් ඔහේ බලා සිටියේ ය.
හදිසියේම මිරිඟු දිය අතරින් මතු වන රන් කඳක් වන් දසුනකින් තිගැස්සුන මිනිසා හිඳ සිටි තැනින් වහා නැගිට්ටේ ය. දෑස් නිලංකාරව යන සූර්ය රශ්මිය අතරින් විමසිල්ලෙන් එදෙස බැලූ ඔහුට කෙමෙන් කෙමෙන් සමීප වන ඒ රුව හඳුනාගත හැකි විය. මනාව සුපිපි ඇහැළ මල් කළඹක් සේ රන් පැහැයෙන් දිදුලන ඡවි වර්ණයෙන් යුතු මනමෝහනීය පෞරුෂයකින් හෙබි දේහධාරී වූ ඒ ශ්‍රමණ රුව දුටු පමණින් ම ඔහුගේ සිත පිනා ගියේ ය. සන්සුන් ඉඳුරන් ඇතිව, බිමට යොමු කළ නෙතින් යුතුව, ශාන්තව පියවර තබමින් සෙමෙන් සමීප වන ශ්‍රමණ රූපයට ඔහුගේ නෙත් ඇලී තිබුණි. තද අව්රශ්මියෙන් පරිසරය ගිනියම්ව ඇති මේ දහවලේ මේ ශ්‍රමණයන් වහන්සේ කුඩයක් හෝ පාවහන් යුවලක් රහිතව වඩින අයුරු දුටු මිනිසාගේ සිත කම්පා වී ගියේ ය.
තවත් සිටි තැන නොරැඳුනු ඔහු පාරේ ඉදිරියට දිව ගියේ ය. යටි පතුල් දැවෙන්නට වූ නමුත් සිතේ ඇති වූ ප්‍රීතිය විසින් ඒ කායික පීඩාව යටපත් කරනු ලැබී ය. රන් ප්‍රතිමාවක් බඳු ඒ ශ්‍රමණ රුව ඉදිරියේ හේ වැඳ වැටුණේ ය. මෙත් කරුණාවෙන් සිසිල් වී ගිය නෙත් සඟලින් ඔහු දෙස බැලූ ඒ සොඳුරු ශ්‍රමණයන් වහන්සේ මඳ සිනා නැගූ සේක.
“ස්වාමීනි… ආර්යන් වහන්ස, මට අවසර… නුඹ වහන්සේගේ ශරීරයට ඉතා වෙහෙසකර බව පෙනේ. මා කෙරෙහි අනුකම්පා කොට මොහොතකට අර අඹ රුක් සෙවණට වැඩම කොට දාහය නිවාලනු මැන. ගමන් විඩා දුරු කොට වඩිනු මැනව.”
රාග, ද්වේෂාදී සකල ක්ලේශයන් ප්‍රහාණය කොට නිවී සිහිල් වී ගිය සිතක් දරා වැඩ සිටි ඒ ශ්‍රේෂ්ඨ ශ්‍රමණයන් වහන්සේ අන් කවරෙකුවත් නොව සුගත තථාගත ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශ්‍රමණ පුත්‍රයාණෝ ය. සම්බුදුරජුන්ගේ ධර්ම චක්‍රය ඒ අයුරින් ම පවත්වන ධර්ම සේනාධිපතීන් වහන්සේ ය. තථාගතයන් වහන්සේ හැර තුන්ලොවෙහි නුවණින් අගතැන්පත් මහා ප්‍රාඥයන් වහන්සේ ය. අසීමිත ගුරු ගෞරවය, ශාස්තෘ ගෞරවය, ඉවසීම, නිහතමානී බව, කෘතගුණ දන්නා දකිනා බව ආදී පමණ කළ නොහැකි අනේක ගුණයන්ගෙන් සමන්විත සත්පුරුෂ උත්තමයන් වහන්සේ ය. සකල ජම්බුද්වීපයේ පමණක් නොව දෙව් බඹුන් අතර ද ඉර හඳ සේ සුපතල දස දෙස ගුණ සුවඳින් සුවඳවත් කළ, සාරි බ්‍රාහ්මණියගේ පුත් හෙයින් ‘සාරිපුත්ත’ යන නාමයෙන් ප්‍රසිද්ධ උපතිස්ස නම් වූ මහා මුනිවරයාණෝ ය.
පැතිර ගිය කරුණා සිතින් ඔහුගේ අහිංසක ඇරයුම නිහඬව ම පිළිගත් සැරියුත් මුනිදුන් දුහුවිල්ලෙන් වැසී ගිය ඒ රන්වන් සිනිඳු පායුග තබමින් අඹ රුක් සෙවණට වැඩි සේක. දොහොත් මුදුන් දී වැඳගෙන ගරු බුහුමන් සහිතව නැවි නැවී උන්වහන්සේ පසුපසින් පැමිණි මිනිසා, “ස්වාමීනී, ආර්යයන් වහන්ස, මෙහි වැඩ හිඳින සේක්වා…!” යි අඹ රුක් සෙවණේ තිබූ ලෑලි බංකුවට දෑත ම දිගු කොට පෙන්වමින් පැවසීය. සාරිපුත්ත මුනිඳුන් එහි වැඩහුන් සේක. දරා ගත නොහැකි සතුටකින් යුතුව සිටි අහිංසක මිනිසා ගැහෙන හදින් ම, වෙව්ලන දෑතින් ම යළිත් මේ ශ්‍රේෂ්ඨ ශ්‍රමණයන් වහන්සේට වන්දනා කළේ ය.
මේ රජගහනුවර මගධේශ්වර බිම්බිසාර නිරිඳුන් සහිත රාජරාජ මහාමාත්‍යයාදී සම්භාවනීයන්ගේ පිදුම් ලබන රාජ සුපූජිත වූ ද ගිහි කල ධනධාන්‍යන්ගෙන් ආඪ්‍ය උසස් බ්‍රාහ්මණ වංශික කුල කුමාරයෙක් වූ ද මේ මහෝත්තමයන් වහන්සේ හීන කුලයක උපන් තමා වැනි අසරණ දුගියෙකුගේ ඇරයුම පිළිගෙන දැන් තමා ඉදිරියේ ම වැඩ සිටින සේක. මේ ඇදහිය හැකි ද? මෙය සිහිනයක් නොවන බව සැක හැර දැනගන්නට ඔහු තම දෑස ද පිසදා බැලී ය.
ඊළඟට කළ යුත්තේ කුමක්දැයි වටහා ගන්නට සිහි එළවා ගත නොහුන මිනිසා ඇසිපිය නොහෙළා ඒ ස්වර්ණ කදම්බයක් සේ දිදුලන රුව දෙස බලා සිටියේ ය. නීලවර්ණ නෙත්යුග පහත හෙළා, දමනය කළ ඉඳුරන් ඇතිව වැඩ සිටින මේ උතුම් භික්ෂුවගේ අද්භූත ශාන්ත බව ඔහුගේ සිත මවිතයට පත් කළේ ය. දෙවුර වසා පොරවා සිටි චීවරය දහදියෙන් තෙත්ව ඇති බවත්, රන්වන් සිරුරේ මුතු සේ දිලෙන දහදිය බිඳුත් ඔහු දුටුවේ ඒ මොහොතේ ය.
ශ්‍රමණයන් වහන්සේට පවන් සැලිය යුතු යැයි සිතක් උපන් නමුත් නිරන්තරයෙන් හමා යන වියළි සුළඟ අඹ ගස් අතරින් පැමිණෙන විට මුදු සිහිලක් සහිතව හමන බැවින් ඒ මොහොතේ වළඳන්නට පැන් ටිකක් පිදිය යුතු යැයි ඔහුට සිතිණි. හේ දිය පිරුනු කළය ළඟට දිව ගියේ ය. ඒත් සමඟ ම හදිසියේ සිතට පැමිණි අදහසකින් මෙහෙයවන ලදුව පැන් බඳුනක් ගෙන යළිත් සාරිපුත්ත මුනිඳුන් වෙත දිව ආවේ ය. පැන් පුදා රන්වන් පා යුග ළඟ වැඳ වැටුණේ ය.
“ස්වාමීනි ආර්යයන් වහන්ස, ඉදින් ඔබ වහන්සේ නහනු කැමති සේක් නම් ළිඳෙන් දිය ඇද පැන් පහසු කරවන්නෙමි.”
ඔහුට පින් දී සීත පැන් වළඳා පිපාසය සංසිඳවා ගත් දයානුකම්පිත වූ සාරිපුත්ත මුනිඳුන් මිනිසා ව සතුටට පත්කරමින් ඇරයුම පිළිගෙන මඳක් ඈතින් තිබූ ළිඳ ළඟට වැඩි සේක. සන්සුන් ව, තමන් වහන්සේ පොරවා සිටි සිවුර ගලවා දූවිලි ගසා දමා මඳ පවනේ වියළෙන්නට දැමූ ඒ ශ්‍රමණෝත්තමයන් වහන්සේ අඳනය පිටින් අසල රුක් සෙවණක් යට තිබූ කුඩා ගල්තලාවේ වැඩහුන් සේක. ප්‍රීතියෙන් පිනා ගිය මිනිසා ළිඳෙන් වතුර අදිමින් ඒ වීතරාගී මුනිඳුන්ව පැන් පහසු කළේ ය. රන් කැඩපතක් සේ බබළන ඒ පින් සිරුර තෙමාලමින් මිහි මතට වැටෙන ජලය අලුත් අඹ පැළ කරා ගලා ගියේ ය.
පිරිසිදු සීත පැන්වලින් කය සනසා ගත් මුනිඳුන් සිවුර ඇඳ පොරවා පාත්‍රය ද ගෙන තමන් වහන්සේට උපස්ථාන කළ අහිංසක මිනිසාට පුණ්‍යානුමෝදනා කොට යළි මඟට වන් සේක. තමාට පිටුපා වඩින මහානුභාව සම්පන්න ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේ දෙස සතුටු කඳුළින් බොඳ වූ දෑසින් බලා සිටි මිනිසා යළිත් දොහොත් මුදුන් දී වන්දනා කළේ ය. ගිහි දිවියේ අනේක දුක් කම්කටොලු මැද දුක සේ අඹු දරුවන් පෝෂණය කරමින් ජීවත් වූ මේ දිළිඳු මිනිසාගේ සිතට සිසිලස දනවන එක ම එක මතකය ලෙස මේ සිදුවීම ඔහුගේ හද පතුලේ තැන්පත් විය. කාලය ගත වීමෙන් ඔහුගේ ආයුෂ අවසන් ව තිබුණි. ලෙඩ ඇඳේ එකතැන් වූ මේ වයෝවෘද්ධ මිනිසාට තම දුර්වල කයින් තදබල වේදනාවක් දැනෙන්නට වූ නමුත් හද පතුලේ තැන්පත් ව තිබූ මතකයක පුණ්‍යාවර්ජනාව විසින් ඒ වේදනාව යටපත්ව සිතට ශාන්ත සුවයක් දැනී ගියේ ය. එය නිදහසේ විඳිනු රිසියෙන් ඔහු තම යටට ගිලී ගිය අඳුරු නෙත් සෙමෙන් පියා ගත්තේ ය. මොහොතකින් ආශ්වාස ප්‍රශ්වාස නැවතුණි. නිවැසියන් නැඟූ විලාපයෙන් අවට වාතලය දෙදරා ගියේ ය. එසැණින් යළි ඔහු නෙත් හැරියේ ය. විස්මයකි! ඔහු සිටියේ තාවතිංස දෙව්ලොව නන්දන උයනේ ය.
ඒ මහේශාක්‍ය වූ, මහානුභාව සම්පන්න වූ මහා ඍද්ධිමත් වූ දේවපුත්‍රයෙකු ලෙසිනි.
යෝ ච වස්සසතං ජන්තු
අග්ගිං පරිචරේ වනේ
ඒකඤ්ච භාවිතත්තානං
මුහුත්තමපි පූජයේ
සා යේව පූජනා සෙය්‍යෝ
යඤ්චේ වස්සසතං හුතං
යම් පුද්ගලයෙක් මහ වනයක ඉඳගෙන සියක් අවුරුදු මුළුල්ලේ ගිනි පූජාවන් කර කර ඉන්නවාට වඩා සිත දියුණු කරගත් එක රහතන් වහන්සේ නමකට මොහොතක් පුද පූජාවන් කළොත්, අවුරුදු සියයක් මුළුල්ලේ කරන අර ගිනි පූජාවට වඩා මොහොතකට කළ මේ පූජාවයි ශ්‍රේෂ්ඨ වන්නේ.
ධම්මපදය – සහස්ස වර්ගය
Recent Comments