ඉවසීම තරම් මිනිසාට සෙත සලසන අන්‍ය ගුණයක් නැති තරම් කීවොත් එය නිවැරදියි. එතරම් ම මේ ඉවසීමේ ගුණය සත්වයාට මහා යහපතක් සලසනවා. ඉවසීම නිසා ම තමන්ගේ ජීවිතය ජයගත්ත අය කොයිතරම් ඉන්නව ද? යහපත් සියලු දේ උදා කර ගැනීමේ සේද මාවත ඉවසීම ම යි. ඒක මහා අවාසනාවක්! ඉවසිය යුතු තැන නොඉවසපු නිසා දුක, ශෝකය උරුම කර ගත්ත ජීවිත කොයිතරම් ද? ඉවසිය යුතු තැන නොඉවසපු නිසා සිර ගෙවල්වල කම්බි කූරු ගණන් කරමින් පසුතැවෙන ජීවිත කොයිතරම් ද? ඉවසිය යුතු තැන නොඉවසපු නිසා ස්වාමියා බිරිඳ ඈත් වෙලා දරුවන්ට දෙමාපියන් අහිමි වෙලා ඒ ඒ අත විසිරිලා ගිය පවුල් ජීවිත කොයිතරම් ද? ඉවසිය යුතු තැන නොඉවසපු නිසා දුර්ලභව ලැබුණු මිනිස් ජීවිතය පවා අහිමි කර ගත්ත අය කොයිතරම් ද? මේ විදිහට ඉවසිය යුතු තැන නොඉවසපු නිසා ජීවිතවලට හිමි වුණ දුක් කරදර විපත්… කියා අවසන් කරන්නේ කෙසේ ද? එතරම් ම ඉවසීම නැති ජීවිතවලට මහා දුක් ගොඩක් උරුම වෙනවා.
“මම තව විනාඩියක් ඉවසුවා නම්… තව විනාඩි පහක් ඉවසුවා නම්… තව දවසක් ඉවසුවා නම්… අද මට මේ දුක නෑනේ… මේ විපත නෑනේ…” කියලා ඉවසන්න බැරි වුණ එක ගැන පසුතැවි තැවී සුසුම් හෙළන ජීවිත කොයි තරම් ද? නමුත් තවම ප්‍රමාද නෑ… අද ඉඳලා කෙනෙක් ඉවසීම පුරුදු කළොත් ඔහුට සැනසීම ලැබෙනවා කියන එක ඒකාන්තයි.
ඉවසීම බුද්ධකාරක ධර්මයකි
බෝසතාණන් වහන්සේලා සම්බුද්ධත්වය පිණිස පුරන පාරමිතා අතර එක් පාරමිතාවක් තමයි ඉවසීම. දීපංකර පාදමූලයේ දී විවරණ ගත්ත අප මහා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස මා පිරිය යුතු ගුණදහම් මොනවා ද කියලා නුවණින් විමසද්දී…, ඉවසීමේ ඇති වටිනාකම හොඳින් තේරුම් අරගෙන තමන් ම තමන්ට මෙසේ අවවාද කරගත්තා.
“එම්බා සුමේධ, පාරමී පුරන නුඹට සිහිනෙකින්වත් නොසිතන ආකාරයේ දුක් කරදරවලට මුහුණ දෙන්ට සිදුවනු ඇත. ඒ හැම අවස්ථාවක ම සිත කැළඹීමකට පත් නොකරගෙන සිත, කය, වචනය රැකගෙන ඉවසීම ම බලය කරගෙන වාසය කළ යුතුයි. දැඩි සීතල, දැඩි උණුසුම, පිපාසය, කුසගින්න, මැසි මදුරු පීඩා ආදිය ඉවසීමෙන් ම දුරු කළ යුතුයි. අනුන් විසින් තොප වෙත එල්ල කරන අභූත චෝදනා නින්දා, අපහාස, ගැරහුම්, අවලාද, දුෂ්ට වචන ඉවසිය යුතු ය. දරුණු වූ මාරාන්තික වූ කායික දුක් ඉවසිය යුතු ය.”
සියලු බුදුරජාණන් වහන්සේලා ශ්‍රමණයන්ගේ උතුම් ම තපස ලෙස හැඳින්වූ ඒ ඉවසීම (ඛන්තී පරමං තපෝ තිතික්ඛා) අප මහා බෝසතාණන් වහන්සේ පෙර ජීවිතවල විශ්මිත ලෙස පුරුදු කළ ආකාරය ජාතක කතාවල අපට මුණගැසෙනවා.
නොඉවසීමේ ආදීනව
නොඉවසුවොත් අපට පාඩු විඳින්න සිද්ධ වෙන අවස්ථා පහක් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළා.
බොහෝ දෙනාට අප්‍රිය අමනාප වෙනවා.
නපුරු කෙනෙක් වෙනවා.
පසුතැවෙන කෙනෙක් වෙනවා.
එයා මැරෙන්නේ සිහි මුළා වෙලා.
මරණින් මත්තේ දුගතියේ ඉපදෙනවා.
ඉවසන කෙනාට ආනිශංස පහක් ලැබෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.
බොහෝ දෙනාට ප්‍රියමනාප වෙනවා
නපුරු කෙනෙක් වෙන්නෙ නෑ. අහිංසක කෙනෙක් වෙනවා.
එයාගේ ජීවිතේ පසුතැවෙන දේවල් වෙන්නෙ නෑ.
සිහි මුළා නොවී මරණයට පත් වෙනවා.
මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා.
(දුතිය අක්ඛන්ති සූත්‍රය, අං. නි. 3)
ඉවසීම නිවටකමක් ද?
සමහර විට අපගේ ජීවිතවලත් අන් අය බණිද්දී… අභූත චෝදනා කරද්දී… අසාධාරණකම් කරද්දී… සිත වෙනස් කරගන්නේ නැතුව ඉවසපු අවස්ථා නැතුව ම නෙවේ. නමුත් ධර්මය නොදන්න අඥාන උදවිය එය ගුණයක් විදිහට නොදැක මේ නිහඬව ඉන්නේ භයට, බැරිකමට කියලා හිතාගෙන තව තවත් රිද්දවනවා.
එවැනි අවස්ථාවල බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක් කොහොමද හිතන්න ඕනි?
දවසක් දෙවියන් අතරයි, අසුරයන් අතරයි යුද්ධයක් ඇති වුණා. යුද්ධයෙන් දිනපු දෙවිවරු වේපචිත්ති අසුර නායකයාගේ අත්, පා, ගෙල දිව්‍ය බන්ධනයකින් බැඳලා දිව්‍ය සභාවට අරන් ආවා. සුධර්මා දිව්‍ය සභාවට ඇතුළුවෙන පිටවෙන සක්දෙව් රජුන් ව දකින වාරයක් පාසා වේපචිත්ති අසුර රජු පරුෂ වචනයෙන් බණින්ට පටන් ගත්තා. මෙත් සිතින් ම වසන, ඉවසීමේ ගුණ ඇති සක්දෙව් රජු නිහඬව ම සිටියා. මෙය දුටු මාතලී දිව්‍ය පුත්‍රයා අහනවා…,
“අපගේ සක්දෙව් රජුනි…, මේ වේපචිත්ති කියන පරුෂ වචන ඉවසාගෙන ඉන්නේ භයේ ද? නැත්තම් දුබලකමකට ද?”
“මාතලී…, මම මේ ඉවසන්නේ භයටවත්, දුර්වලකමකටවත් නෙවෙයි. නුවණැත්තෙක් විදිහට මං මොකටද මෝඩයෙක් එක්ක හැප්පෙන්න යන්නේ…?
සතුරා තරහෙන් ඉන්නකොට තමන් හොඳ සිහියෙන් සංසිඳිලා ඉන්නවා නම් මං හිතන්නේ ඒක තමයි බාලයා ව මේච්චල් කරන්න තියන හොඳම ක්‍රමය…”
“වාසව දෙවිඳුනි…, ඒ වුණාට අඥාන බාලයා හිතන්නේ මොහු මට බයෙන් ඉවසනවා කියලයි. ඒක හිතට අරගෙන ඉවසන කෙනා ව තව තව පීඩාවට පත් කරනවා. ඒ නිසා නිහඬව සිටීම ඉවසීමේ ඇති දෝෂයක් කියලයි මම දකින්නේ.”
“මාතලී… මොහු මට භයෙන් ඉවසන්නේ කියලා අඥාන බාලයා හිතුවත් එකයි, නැතත් එකයි. පිහිට තියෙන්නේ උතුම් ගුණධර්මවල ම යි. ඒ නිසා ඉවසීමට වඩා උතුම් දෙයක් නම් නෑ.
යමෙක් බලවත් කෙනෙක් විදිහට ඉඳගෙන දුබලයෙකු විසින් කරන කියන දේවල් ඉවසනවා නම් ඒක තමයි උතුම් ම ඉවසීම. දුබල කෙනා තමන්ගේ දුබලකම නිසා කොහොමත් ඉවසනවා. අඥානයා කොච්චර බලවත් වුණත් ඉවසීම ඒ සියලු බල පරාක්‍රම ඉක්මවා යනවා.
අනිත් අය තරහා ගත්තම අපි තරහා ගත්තොත් ඒකේ පාඩුව අපිට ම යි. අනිත් අය තරහෙන් පිච්චෙද්දී තමන් තරහා ගන්නෙ නැත්තන් එයා තමයි ජය ගැනීමට දුෂ්කර වූ ක්‍රෝධ යුද්ධය ජයගන්නේ.
මාතලී… තමාගෙත්, අන් අයගෙත් යහපත පිණිස ඉවසන කෙනා ව මෝඩයෙක් විදිහට දකින්නේ ධර්මය දන්නේ නැති අය.”
(වේපචිත්ති සූත්‍රය, සං. නි. 1)
ඉවසීමට සීමාවක් තිබේ ද?
සමහර අවස්ථා තියෙනවා ‘තවත් නම් ඉවසන්න බෑ…’ කියලා හිතෙනවා. එහෙම හිතුණා කියන්නේ ඔබ ම ඔබේ ඉවසීමට සීමාවක් පනවා ගත්තා. ඉවසීමට සීමාවක් පැනවුණ ගමන් අපිට නොදැනී ම ඉවසීමෙන් ලැබෙන සැනසීමටත් සීමාවක් පැනවෙනවා. ටිකක් ඉවසුවොත් ඔහුට ටිකක් සැනසීම ලැබෙනවා. ගොඩක් ඉවසුවොත් ඔහුට ගොඩක් සැනසීම ලැබෙනවා. කෙළවරක් නැතුව ඉවසුවොත් කෙළවරක් නැතුව නිදහස ලැබෙනවා. එහෙනම් ඔබ සැනසීමෙන් ජීවත් වෙන්නෙ කොපමණ කාලයක් ද කියලා තීරණය වෙන්නෙ ඉවසීමට ඔබ පනවා ගන්නා සීමාව මතයි. නමුත් සියලු දෙනාම කැමති මුළු ජීවිත කාලෙම සැනසීමෙන් ඉන්ටයි. එහෙනම් ඔබ පුරුදු කර ගත යුත්තේ කුමක්ද? කෙළවරක් නැතුව ඉවසීම යි.
ඔබ දන්නව ද ඉවසලා ඉවසලා බැරි ම තැන ගන්න තීරණය ගොඩක් අය හිතන්නේ ගත්ත නිවැරදි ම තීරණය කියලයි. ඒ ගත්ත තීරණය නිසා ලැබෙන දුක් විපාකවලට මූණ දෙනකොට හිතෙනවා ‘අනේ… මම තව ටිකක් ඉවසුවා නම්.’ කියලා. එහෙනම් ඔබ ඉවසලා… ඉවසලා… අන්තිමට අතහැරලා තියෙන්නෙ කොතැන ද? ඉවසිය යුතු ම තැන නොවෙයි ද?
ඉවසලා… ඉවසලා… බැරි ම තැන කියපු වචන නිසා අද කීදෙනෙක් තරහා වෙලා ඉන්නව ද? වෛර ක්‍රෝධ සිත්වල පිහිටුවාගෙන පළිගන්න තැනට පත් වෙලා ඉන්නවා ද? ඉවසලා… ඉවසලා… බැරි ම තැන රණ්ඩු සරුවල්වලට ගිය නිසා අත් පා අහිමි වූ ජීවිත කොයි තරම් ද? ඉවසලා… ඉවසලා… බැරි ම තැන දික්කසාද වෙලා අලුතින් පටන් ගත්ත විවාහ ජීවිතයේ ඇති දුක් ටික කාට කියන්ට ද? ඉවසලා ඉවසලා බැරි ම තැන නඩුහබ කියන්ට ගිය නිසා නිකරුණේ ගිය වියදම් ටික, නැති වුණ වටිනා කාලය නැවත කෙසේ ලබන්ට ද? ඉවසලා… ඉවසලා… බැරි ම තැන නොඉවසපු නිසා තිබුණ දුක් කරදර පීඩා අර්බුද ප්‍රශ්න වැඩි වුණා මිසක් අඩු වුණේ නම් නෑ. එහෙනම් ඉවසිය යුතු ම තැන කොතැන ද? ඉවසලා ඉවසලා බැරි ම තැන.
කළ යුත්තේ කුමක්ද?
ඉස්සෙල්ලා ම ඉවසීමේ ගුණයට ආස කරන්න.
ඉවසීමෙන් ලැබෙන ලාභයත්, නොඉවසීමෙන් ලැබෙන පාඩුවත් නුවණින් විමසලා ඉවසීමේ වටිනාකම තේරුම් ගන්න.
ඉවසීමේ උතුම් ගුණය කවුරු හෑල්ලුවට ලක් කළත් ගණන් ගන්න එපා.
ඉවසිය යුතු ම තැන හඳුනා ගැනීමට දක්ෂ වන්න.
කෙළවරක් නැති සැනසීමට කැමති නම් ඉවසීමට සීමාවක් තියා ගන්න එපා.
අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ආකාරයට සුගතියටත්, නිවනටත් උපකාරී වන මේ උතුම් ගුණය ඇති කර ගන්න අප හැමෝටම වාසනාව ලැබේවා!
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි
Recent Comments