ඇගේ ගෙය අසල මගේ දෙපා නැවතිණි. මීට මසකට පෙර වෙසක් පෝයට ඇගේ කුඩා පැලේ බෞද්ධ කොඩියක් ලෙළදුන් තැන අද සුදු කොඩියක් එසවී ඇත. ඈ මිය ගොසින් ද? පහන් පැලේ බුදු පහන දැල්වී නැත. එකත් එකට ම ඇය මිය ගොසිනි.

කුසුමාවතී, කුසුමා, කුසුමක්කා, කුසුමම්මා, අතරට රතුහැට්ටකාරි ඈ ඇමතූ ඇමතුම් ය. ගමේ ගොඩේ කොයි කවුරුත්…

ඇය වැඩිම උනොත් අඩි හතර හමාරක් උස විය හැක. කළු ය. කෙට්ටුත් නැත. මහතත් නැත. කොණ්ඩය මැදින් පීරා පිටුපස ගෙල වැසෙන සේ බඳින ඇගේ මුහුණේ සිනහව අව්‍යාජ ය. එනිසා ම ප්‍රසන්න ය. බුලත් විටක් කටේ නොතියා, ලෝභ නැතිව හිනාවෙන ඇගේ දත් දෙපළ සුදු ය. ලස්සන ය.

කණු සිටවා වරිච්චි බැඳ මැටි ගසා සිංහල උළු සෙවිළි කළ ඇගේ නිවස කුඩා ය. සිරියාවන්ත ලස්සනක්, ගමේ කිසි ගෙදරක නැති පිරිසිදු බවක් ඇගේ නිවසේ හැමදාමත් රැඳුණි. ඒ සියල්ලට වඩා ඇගේ දුප්පත් නිවසේ වූ විශේෂත්වය වූයේ කොයි කාටත් එහි ආගන්තුක බවක් නොවීම ය. ළෙන්ගතු උණුහුමක් හැමදාමත් ඒ නිවසේ කාහටත් වෙනසක් නැතිව දැනුණි.

ගෙට ම තිබුණේ කුඩා ඇඳක්, පුටුවක් හා කුඩා මේසයකුත්, අල්මාරි භාගයකුත් පමණි. ඒ බඩු ටිකත් නිවසට වැඩිතරම් වුවත් පිළිවෙළත්, පිරිසිදුකමත් නිසා ගෙතුළ සිර වීමක් නොදැනේ. දුම්මැස්සක් සහිත කුඩා කුස්සියකිනුත්, ඉදිරිපසින් අඩි පහක් පමණ පළල කුඩා පියස්සකිනුත් යුතුව ඇගේ කුඩා නිවස ඉදිව පැවතුණි.

නිවසට වම්පසින් මිදුලේ තනිව නැඟී සිටි ඇටඹ ගස හැරුණ කල ඇගේ වත්ත පුරාම නොයෙක් වර්ගයේ මල් පිපෙන ගස් වවා තිබුණි. සේපාලිකා, රෑ මනමාලි, පොකුරු රෝස, සමන්පිච්ච, ගැටපිච්ච, සුදු රතු කහ අරලිය ඒ අතර කැපී පෙනුණි.

‘කුසුමලතා’ මෙයට වසර හැට අටකට පෙර දෙමාපියන් ඈට තැබූ නම ය. උපතින් බෞද්ධ වූ ඇය රදා කුලයේ (කුලීනයන්ගේ රෙදි අපුල්ලන කුලයේ) උපන් අතර ඊට අදාළ දුප්පත්කම් උපන්දා සිට ම ඈ පිරිවරා ගති. තුනේ ශ්‍රේණියෙන් අධ්‍යාපනය හමාර කළ ඈ එතැන් සිට දෙමාපියන්ට රෙදි ඇපිල්ලීමට උදව් කළා ය.

කුසුමලතා කුසුමා වුණේ (සැමියා ඇමතූ නම) වයස අවුරුදු දහනවයේ දී ය. රබර් කැපූ – කුරුඳු තැලූ පියසේනත්, කුසුමාත් පවුල් කෑවේ පස් අවුරුද්දකි. දරුවන් නැති කුසුමාට හරහට හිටියේ ද ගැහැනියක් ම ය.

“‍ඔය වඳ ගෑනිව අතහැරල වෙන කසාදයක් කරගනිං. වයසට යනකොට මොකෙක් හරි දරුවෙක් ඉන්නෙපා නේද වතුර ඩිංගිත්තක් හරි පොවන්න.”‍ නැන්දම්මා නිතර නිතර කීවේ පියසේනට ඇසෙන්නට ය. කුසුමාට රිදෙන්නට ය.

“‍අම්ම කියන එකක් කරන්න. මට ඔය කථාව අහල තිත්ත වෙලයි තියෙන්නෙ.”‍ කුසුමා කීවේ හිත හදාගෙන ය.

“‍ඔයා?”‍

“‍මම පාඩුවෙ ඉන්නවා.”‍ පියසේනත්, කුසුමාත් එසේම කළහ. බලාගෙන ගියාම ඒ විදිහත් නරක නැත. කුසුමාට තේරුනේ පසු කාලයේ දී ය. පිනට දහමට නැඹුරු වූ විට ය. ගෙයයි ඉඩමයි තමාට දී පිටගම් ගිය පියසේනට ඈ හැමදා සෙත් පැතුවා ය.

“‍කුසුමක්ක තමයි දිනුවැං දිනුවෙ. ළමයි ඉඳලත් බෑ නොයිඳත් බෑ. ළමයි මත්තෙම නැහිල අන්තිමට අපිට මෙලොවත් නෑ. පරලොවත් නෑ.”‍ පෝයටවත් නිදහසක් නැති අහල පහළ දරුවන් හදන අම්මලා ඈට නිතර නිතර කියති. ශෝකයකුත්, සතුටකුත් නැති සිතින් කුසුමක්කා සිනාසෙයි. ඔවුන්ගේ කටයුතුවලට පහසුවක් පිණිස පුළුවන් උපකාරයක් කරයි.
“‍කුසුමක්කෙ පුළුවන් නම් අපේ ළමයව බලල දෙනව ද? අපි මාසෙට ගාණක් දෙන්නම්. උදේ දවල් කෑම එක්ක.”‍

“‍අනේ මන්ද මං වඳ ගෑනි. මට පුළුවන් වෙයි ද ළමයි බලන්න.” ‍ඈ කීවේ චකිතයෙනි. ළයෙහි උපන් දරු සෙනෙහස නැතුව නොවේ.

“අනේ විකාර. මං තුන වෙනකොට එනවා. සති අන්තෙ නිවාඩු. කුසුමක්කා තරම් අපිට විශ්වාස කෙනෙක් වෙන නැහැ ඒකයි.”

ඉනික්බිති, වඳ ගැහැනියක ලෙස බැහැර කළ ඇය වසර තිස් අටක් ම දරුවන් දහ දොළොස් දෙනෙකුට කුසුමම්මා වූවා ය. සමහර දාක ඇගේ දෙතනේ කිරිත් එරුණි. ඈ මහලු වන විට ගමේ දරුවන් වැටක් ඈව රැක සිටියාහ.

ඇගේ හිතේ මිස අතේ යහමින් කිසිත් නොතිබිණි. ගතේ බොහෝ විට දැවටී තිබුණේ කහ මල් වැටුණ කොළපාට චීත්තයත්, අත් බෝරිච්චි කරපු රතුපාට හැට්ටයත් ය. සරදමට නොවුණත් ආදරේට වගේ කවුරුත් ඈට රතුහැට්ටකාරී ද කියා ඇමතූහ. ඇයට තරම් කාලය ගමේ කාටවත් නොතිබුණි. ඈ ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා ය. ජීවිතය පිරිමසා ගනිමින් පින් කළා ය. බණ ඇසුවා ය. කාටකාටත් කළ හැකි උපකාර කළා ය. හැමදේටම වඩා සතුටින් සිටියා ය.

“කුසුමම්මා, කොහොමද හැම තිස්සෙම සතුටින් ඉන්නෙ. මමත් ආසයි.”‍ දිනෙක මම ඇසීමි.

“ගොඩක් ආසාවල් බලාපොරොත්තු නැතුව ඉන්න. ඒක තමයි රහස.”‍ ඈ කීවේ සිනාසෙමිනි.

“ඉතිං ඒ දේවල්නෙ අපිව ජීවත් කරවන්නෙ. උත්සාහවත් කරන්නෙ.”‍ මා කීවේ මගේ හැඟීම ය. මා සිතා උන් ආකාරය ය.‍

“නෑ. ඒ දේවල් තමයි අපිට දුක අරගෙන එන්නෙ. ආස කරනව නම් නිවනට ම ආස කරන්න. බලාපොරොත්තුවක් තියාගන්නව නම් නිවන ම බලාපොරොත්තු වෙන්න. එතනින් මෙහා හැම දෙයක් ම අපිට ඉතුරු කරන්නෙ දුකක්.”‍ ඈ කී සත්‍යය එදා මට ඒ අයුරින් ම නොවැටහිණි. නමුත් ඈ ජීවත් වූයේ ඒ හැඟීම් ඇතිව බව මම විශ්වාස කරමි. කුසුමම්මා නිවනට ම නොගිය බව සත්‍යයකි. ඒත් ඈ ඒ මාර්ගයේ පියවරක් හෝ තැබූ බව මම හැමදේටම වඩා විශ්වාස කරමි.

ගමේ සෑය හදන්න වළ කපනදාත් කුසුමම්මා මූලිකව කටයුතු කළා ය. මුල්ගල් නොවුණත් බැඳුණ අනෙක් හැම ගලක් ම වගේ ඇගේ දෑතින් ස්පර්ශය ලද්දේ ම විය. ගල් ගෙනත් බාන විට හෝ සෑයට දෙන විට හෝ අතුරන විට ඈ නිරතුරු එහි විය. සෑයේ කොතට රුපියල් දහසක් දුන් ඈ රන් කරඬුවට පැලැඳ සිටි කරාඹු ජෝඩුව පූජා කොට කරපිංචා නැටි දෙක පැලැන්දා ය.

“මගේ තනි කැමැත්තට මේ වෙහෙරට නමක් දැම්ම නම් මම දාන්නෙ කුසුමලතා ය කියල.”‍ නායක හාමුදුරුවෝ කීවේ අවංකව ම ය. ගමේ වෙහෙර තැනූ ඈ තමාගේ නිවන සදාගත්තේ එසේ ය.

බෝධියේ රන් වැටට ඇති හැකි අය රන්කණු පූජා කරද්දී ඈ සාධුකාර දෙමින් පින අනුමෝදන් වෙවී බෝ මළුව ඇමදුවා ය. දවසක් දෙකක් නොව අඛණ්ඩව වසර දොළහක්… ඇය ගැන නොපැහැදුණ කෙනෙක් නැත. කුසුමම්මා හැමෝටම ප්‍රිය වූවා ය.

“අපි පෝයට සිල්ගන්න එන්නත් කොයිතරම් නම් වීරියක් කරන්න ඕන ද කුසුමෙ. එහෙව් එකේ උඹ කරන මේ දේ (හැමදාම ඇමදීම) අපිට හිතාගන්නත් බැරි තරම්.”‍ කෙනෙක් දෙන්නෙක් නොව කිහිප දෙනෙක් ම කුසුමම්මාට කියා ඇත.

“උඹ මහන්සි වෙනව, දුක් විඳිනව වැඩියි කුසුමෙ.”‍ සමහරු කීවේ කුසුමම්මා ගැන අනුකම්පාවෙනි.

“මේක මොන මහන්සියක් ද දුකක් ද අක්කෙ මේ මහන්සිය මීට වඩා ලොකු වෙහෙසකින්, දුකකින් මාව නිදහස් කරවනව නම්.”‍ කුසුමම්මා පිළිතුරු දෙන්නේ සතුටිනි.

“අපි හැමෝම උදේ හිටන් රෑ වෙනකම් මොනව හරි දේකට ඔට්ටු වෙවී මහන්සි වෙන අය. අනෙක් අයට මහන්සි වෙලා අවසානෙ ඉතිරි වෙන්නෙ පීඩාවක්, තරහක්. මට ඉතිරි වෙන්නෙ පිනක්, සතුටක්.”‍ ඈට තිබූ පළල් සිත ගමේ අන් අයට නොතිබුණි. තුනට ගිය කුසුමම්මා ජීවිතය උගත්තේ කොහොම දැයි මට සිතුණ වාර අනන්ත ය.

“සමහර දේ ධර්මයෙන්. සමහර දේ ජීවිත අත්දැකීම්වලින්.”‍ මා ඒ ගැන විමසූ දිනෙක කුසුමම්මා දුන්නේ එවන් පිළිතුරකි.

“ඉතින් අපිත් බණ අහනවනෙ. අත්දැකීම් ලබනවනෙ.”‍ මම කීවෙමි.

“ඒ ගැන නුවණින් හිතන්නත් ඕන.”‍

මම ‘එසේ කරන්නෙමි’ යි අදිටන් කර ගත්තෙමි. එතෙක් මට ඊට වෙලාවක් තිබුණේ නැත. නොවේ, මා වෙලාවක් සෙව්වේ නැත.

කුසුමම්මාට ගමේ කවුරුත් උපකාර කළේ කැමැත්තෙනි. අවසන් වසර අට තුළ ඈ රැකියාවක් පිණිස කිසිවක්ම කළේ නැත.

“මැරෙන්න කලින් පුළුවන් දෙයක් කරගෙන මැරෙන්න ඕන.”‍ ඈ එයින් අදහස් කළේ හැකි තරම් පින් කිරීම ය.

“ජීවත් වෙන්නෙ?”‍ මා ඇහුවේ විහිළුවට මෙනි.

“ලැබිච්ච දේකින්.”‍ කුසුමම්මා ද කීවේ සැහැල්ලු‍වෙනි. කොතෙක් ලැබුණත් ලැබෙන හැමදේම ගන්නා පුරුද්දක් ඈට නොතිබුණි. මා මුදල් දුන් වාර කිහිපයක දී ම ඈ ඒවා ප්‍රතික්ෂේප කළේ අඩුපාඩුවක් නැතැයි පවසමිනි.

“අරගෙන පිනක් දහමක් කරගන්න.”‍ මම කීවෙමි.

“පින් කරන්න සල්ලි ම ඕනෙ නැහැ සුදු මහත්තයා.”‍ ඈ කීවේ ඇත්ත ය. ඈ එසේ ම කළා ය.

“මට පුරුදු කරන්න හොඳ දෙයක් කියන්න.”‍ මම කීවෙමි. මඳක් කල්පනා කළ කුසුමම්මා “අත් හැරීම.”‍ යි කීවා ය. මට පුදුම සිතුණි.

“රැස් කරන්න?”‍

“පින.”‍ ඕ එක්වර ම කීවා ය. කුසුමම්මා සිතූ ආකාරය පුදුම සහගත ය. ක්‍රියා කළ ආකාරය එසේ ම විය. එහෙයින් ඈ අපූර්ව ගැහැනියකි. විශ්මිත ගැහැනියකි.

ගැහැනු පිරිමි වයස් භේදයකින් තොරව කවුරුත් කරන්නේ පාපය පුරුදු කිරීමත්, දේපළ වස්තුව රැස් කිරීමත්‍ ය. එහෙත් කුසුමම්මා…

මගේ නැවතුණ දෙපා ඇගේ වසා දමා තිබෙන කුඩා නිවස දෙසට යන්නට මට බල කරයි. මගේ හිතේ බියක් නැත. ජීවත් ව සිටිය දී කාටවත් බියක් නොදුන් කුසුමම්මා මරණයෙන් පසු කිසිවෙකුට බියක් නොදෙන බව මම දනිමි. මම සෙමෙන් සෙමෙන් පියවර තබා වත්තට ඇතුල් වීමි.

මෙයට දින විස්සකට පෙර මා රැකියාවට පිටත් ව යද්දී කුසුමම්මා සිටියේ මේ වත්තේ මල් ගස්වලට වතුර දමමිනි.

“කුසුමම්මා වතුර දානවද උදෙන් ම?”‍ මම ඈ අසලට යමින් ඇසුවෙමි.

“මල් පිපෙන්න කිට්ටුයිනෙ සුදු මහත්තය. වතුර නැති වුණොත් මල් ලොකුවට පිපෙන්නෙ නෑ.”‍ ඕ කීවේ කාර්යය නවතා ය.

“මං වැඩට යනවා. අද ටිකක් පරක්කුයි.”‍ කියූ මම හැමදාමත් වගේ මා කුඩා කල හැදූ වැඩූ බව සිහිකර කුසුමම්මාට වැන්දෙමි. කවදාවත් මා නොදුටු කඳුළක් ඇගේ දෙනයන මම එදා දුටුවෙමි.

“ඇයි මේ?”‍ මම ඇසුවෙමි.

“මම උපන් දා ඉඳලම ගොඩක් දේ අහිමි වුණ කෙනෙක්. ඉගෙනීම. මිනිහ. දරුවෙක්. ඥාතීන්. ඒත් මට දැන් ගමක් ඉන්නවා. මට කිසිදෙයක් අහිමි වෙලා නැහැයි කියලයි දැන් හිතෙන්නෙ. අරන් ආවට වැඩි දෙයක් මං අරන් යනවා.”‍ ඈ කීවේ උපන් කඳුළු පිටි අත්ලෙන් පිස දමමින් සිනාසෙමිනි. මම ඈ දෙස නොබලා වත්ත පුරා නෙත් යැවීමි. ඇත්ත ය. කොයි ගහෙත් මල් පොහොට්ටු මෝරා ඇත්තේ ය.

මට එදා කුසුමම්මා අවසන් වරට හමුවූ තැන මම නතර වීමි. ඈ අද එතන නැත. එදා මෙන් මම වත්ත පුරා නෙත් යැවීමි. ඇගේ මරණින් පසුව ඇගේ වත්තේ මල් පිපී ඇත.

නිමි.

චන්දන එස් කුමාර