මේ කාලයේ බොහෝ දෙනෙක් වගේ මමත් සසර ගමන ගැන කිසි භයක් නැතිව තමයි හිටියේ. නමුත් අහම්බෙන් එක්තරා දවසක නිරයේ විස්තර ගැන ධර්ම දේශනයක් අසන්නට ලැබීම නිසයි මගේ ජීවිතය වෙනස් වුණේ. මම තවම පාසල් යන වයසේ ඉන්නේ. ගම කොළඹ කිට්ටුව. කල්‍යාණමිත්‍ර ඇසුර ලැබෙනකම් ම මමත් ධර්මය අධර්මය, පින් පව් ගැන හරියට ම දැනගෙන හිටියේ නෑ. තිසරණය ගැන, සීලය ගැන දැනගෙන හිටියේ නෑ.

ඉතින් පාසල් යන වයසේ දී ම මට මේ ධර්මය අසන්ට ලැබුණ නිසාත්, ඒ ධර්මය ගැන ඇති වූ පැහැදීම නිසාත් මට ගොඩක් දේවල් අත්දකින්න ලැබුණා. මගේ ජීවිතයේ පුදුම සහගත අත්දැකීමක් ලැබුණ සිදුවීමක් තමයි පසුගිය කාලයේ සිරිපා වන්දනා කළ ගමන. ඇත්තටම තෙරුවන් සරණ ගිහින්, සීලයක පිහිටලා, පැහැදීමෙන් ම සිරිපා වන්දනාවට ගියොත් මොන තරම් අසිරිමත් දේවල් අත්දකින්න ලැබෙනව ද කියල මේ ලිපිය කියවන විට ඔයාලට තේරේවි.

පසුගිය පෙබරවාරි මාසයේ දිනක මම මගේ යාළුවාත් සමඟ කඩුවෙල සිරිපා විහාරය වැඳ සමන් දෙවියන්ටත් පින් දී සිරිපා පද්මය වැඳීමේ අදහසින් හැටන් බලා යන දුම්රි‍යට ගොඩ වුණා. අපි උතුම් සීලයක් සමාදන් වෙලා තමයි ගමන ගියේ. අපි සමඟ තොරතුරු කතා කළ අම්මා කෙනෙක් මෙහෙම කීවා.

“‍පුතේ, මම අවුරුදු ගණනක් මේ දුම්රියේ හැටන්වලට යනවා. ඒත් අද වගේ සෙනග නැතුව පහසුවෙන් ගිය දවසක් මට මතක නෑ. හරි පුදුමයි.‍

සිරිපාදෙට මේ දවස්වල හොඳට ම වහිනවා.”‍

අපි සිරිපා පද්මයේ විස්තර කථා කරමින් හැටන්වලට ආවා. පසුව නල්ලතන්නියටත් පැමිණියා. නල්ලතන්නියේ සිට ඉහළ කඳු මුදුන දෙස බැලූ මා හට නෙතට කඳුළු‍ පුරවමින් භාග්‍යවතුන් වහන්සේ සිරිපා වැඩි ගමන සිහිපත් වුණා. යමෙක් ශ්‍රද්ධාවෙන් සිරිපා වඳින්න එන්නේ නම් ඔවුන් ව පුළුන් රොදක් සේ කඳු මුදුනට රැගෙන යන බවට සමන් දෙවිඳුන් වූ පොරොන්දුව ද මතක් වුණා. ‘ඇත්තෙන්ම භාග්‍යවතුන් වහන්සේ අපට කොතරම් අනුකම්පා කළ සේක් ද? කොතරම් අපට සැප සම්පත් ලැබුණත් බුදු සිරිපා වඳින්න තබන පියවර කොතරම් උතුම් ද? දුරු කතර ගෙවාගෙන සීතලේ යන මේ ගමන සැබැවින්ම හිස් ගමනක් නොවේ. ඇස් දෙකෙන් දකින දේවල් අතරින් බුදු සිරිපා දැකීම මොන තරම් ශ්‍රේෂ්ඨයි ද…’ මසිතට නැගුණා.

මේ මොහොතේ මම සමන් දෙවිඳුන්ගේ පොරොන්දුව සිහි කරමින්, ශ්‍රීපාද පද්මයේ ආනුභාවය ද සිතමින් මෙසේ අධිෂ්ඨානයක් ඇති කර ගත්තා.

“‍ඉදින් මම සැබැවින්ම තෙරුවන් සරණ ගිය සිල්වත් වූ උපාසක කෙනෙක් බව සත්‍ය නම්, සමන් දෙවියන්ගේ පොරොන්දුව සත්‍ය නම්, මේ යන ගමනේ දී අපට වෙහෙසක් නොවේවා! සීතලෙන් පීඩාවක් නොවේවා! වැඩිහිටියන් නොමැතිව යන මේ ගමනේ දී අපට කරදරයක් නොවේවා! සුවසේ ම සිරිපා පද්මය රිසි සේ වන්දනා කරන්න ලැබේවා!”‍

අපගේ බුදු සමිඳුන් පන්සාලිස් වසක් පුරාවට ගල් බොරලු‍ පිරි මාවත්වල පාවහන් ද නැතිව වැඩියේ ලෝකානුකම්පාවෙන් ම යි. ඊට උපහාර පිණිස අපිදු පාවහන් ගලවා ගමන ඇරඹුවා. අසල තිබූ බෝධියට පැන් පුදා සීත ගඟුලෙන් පැන් පහසු වුණා. සුදු ඇඳුම් ඇඳගෙන සියලු‍ අඩවි භාර දෙවිවරුන්ට පින් දුන්නා. ඉදිකටුපාන ළඟින් ඇති කැලෑ පාරෙන් එරත්න පාරට යද්දී ඒ මාර්ගයේ කිසිදු මනුෂ්‍යයෙක් හිටියේ නෑ. මහා අන්ධකාරය සමඟ පසුපසින් යමෙක් එන හඬ නම් ඇසුණා. අප බොහෝ සෙයින් බිය වුණත් පිරිත් කියමින්, ශ්‍රීපාද පද්මයට ජීවිතය පුදමින් ගියා. පසුව හමු වූ ස්වාමීන් වහන්සේනමක් අපට කීවේ, “‍පුතා ඔය පාරේ කොටියෙක් ඉන්නවා.”‍ කියලයි. අහෝ! අපට අනතුරක් නොවූයේ සිරිපා පද්මයේ අනුහසින් ම යි. කිසිදු වෙහෙසකින් තොරව අපි කඳු මුදුනට ම ගියා.

සිරිපා මුදුනට පැමිණි විට අසිරිමත්, අද්භූත දෙයක් දුටුවා. සිරිපා පද්මයට ඉහළ අහසේ හඳත් තරුත් පෙනෙයි. වටේට ම වැහි වලාකුළු පිරී විදුලි කොටයි. සිදු වූ දේ දැනගත්තේ පසුවයි. එදා සිරිපා කන්දට හැර සෙසු සියලු‍ ප්‍රදේශවලට ධාරාණිපාත වර්ෂා ඇද හැළී තිබුණා. ඇත්තෙන්ම සිරිපා පද්මයේ ආනුභාවය ආශ්චර්යයි. බුදු කරුණාවේ මහිමය පුදුම සහගතයි. සමන් දෙවියන්ගේ පොරොන්දුව සත්‍යයක් ම යි. තිසරණ සරණේත්, සීලයේත් ආනුභාවය සත්‍යයක් ම යි. අපට වැස්සෙන් කිසිම බාධාවක් වූයේ නෑ. සිරිපා පද්මය පැදකුණු කර වැඳීමට එතැන සිටි පොලිස් මාමාගෙන් අවසර ඉල්ලු‍වා.

“‍මාමේ අපි ආවේ ගොඩක් දුර ඉඳලා තනියම සිරිපා වඳින්න. අපිට හත් වතාවක් පැදකුණු කරල වඳින්න අවස්ථාවක් දෙන්න පුළුවන් ද?”‍

“‍පුතා හත් වතාවක් නෙවෙයි, දහස් වතාවක් වුණත් වන්දනා කරන්න අවසර දෙනවා.”‍

අහෝ! ලැබුණු පිළිතුරින් අපි සතුටින් පිනා ගියා. සාදු! සාදු!! භාග්‍යවතුන් වහන්සේ මහා කාරුණික වන සේක. එදා රාත්‍රී 12 සිට උදේ 5 වෙනතුරු එක දිගට සිරිපා පද්මය පැදකුණු කරමින් සිත් සේ වන්දනා කළා. බුදු ගුණ කීවා. පිරිත් කීවා. කොපමණ වාරයක් වන්දනා කළේදැයි සිතා ගත නොහැකි තරම්. එදා සිරිපා වන්දනා කරන විට අපි සීතලට පොරවා සිටි ජැකට් ගැලෙව්වේ ශ්‍රීපාද පද්මයට ගෞරවය පිණිසයි. හරිම ආශ්චර්යයි, අපිට එදා සීතල දැනුනේ නෑ. සීතලේ ම පීඩාවක් නැතිව පැය පහක් පුරාවට වන්දනා කළා. සිරිපා පද්මයේ අසිරිය දැක දැක ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව සුවසේ ම වන්දනා කළා. අපට සුවසේ වැඳීම පිණිස පොලිස් මාමා නිදා සිටි අය ද ඉවත් කරමින් මාර්ගයේ ඉඩකඩ පවා හදලා දුන්නා. අවසානයේ ඔහු එතන සිටි පිරිසට කීවේ මෙවන් දෙයක්.

“‍බලන්න මේ ළමයි දිහා, මං මෙච්චර කාලෙකට දැකල නෑ මේ වගේ ගෞරවයෙන් සිරිපා වඳින ළමයි. මේ විදිහට තමයි වඳින්න පුරුදු වෙන්න ඕන. පුතාලා ඔයගොල්ලෝ මේ රටට ම ආදර්ශයක්.”‍

අහෝ! අපි ඒ හැම දෙයක් ම දැන ගත්තේ අසපුවෙන්. කල්‍යාණමිත්‍ර ඇසුර නිසා තමයි හරියට තෙරුවන් සරණ යන හැටි දැනගත්තේ. සිල් රකින හැටි දැනගත්තේ. වඳින පුදන විදිය, පුද පූජා තියන විදිය දැනගත්තේ. ඒ විතරක් ම නෙමෙයි; සසරේ භයානකකම, පිනේ වටිනාකම, මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභකම මේ හැමදේම දැනගත්තේ අසපුව නිසා ම යි.

එදා කෝච්චියෙන් ආපසු එද්දී තවත් දෙයක් සිදු වුණා. අපේ දුම්රිය මැදිරියට නැති වූ දුරකථනයක් සොයමින් පිරිසක් පැමිණියා. එක්වර ම රැක් එක උඩ තිබූ බෑගයකින් දුරකථන නාදයක් ඇහුණා. ඒ දුරකථනය එළියට ගත් දුම්රිය නිලධාරියෙක් මේ බෑගය කාගේදැයි විමසුවා. ඇත්තෙන් ම ඒ මගේ බෑගය යි. සිදු වී ඇති දෙය මා දන්නේ නෑ. නමුත් එය මාගේ බව කීවේ මා සොරකමක් නොකළ බැවින්. ඉතින් අවට සිටි හැමෝම මා දෙස බැලු‍වේ මා හොරෙක් යන හැඟීමෙන්. මේ වෙලාවේ මට එක්වර ම සිරිපා පද්මය සිහි වුණා. මා වරදක් නොකළ බව භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක! අසිරියකි, මොහොතකින් දුරකථනයේ හිමිකාරිය පැමිණියා.

“‍තාත්තා, මේ මල්ලි හොරෙක් නෙමෙයි. මං වැරදීමකින් තමයි මගේ බෑගය යැයි සිතාගෙන මේ බෑගයට ෆෝන් එක දාලා තියෙන්නේ. අනේ මල්ලි අපහසුතාවයක් වුණා නම් සමාවෙන්න.”‍

අහෝ! බුදු සිරිපා පද්මයේ ආනුභාවය තමයි මේ. පුදුම සහගතයි. සම්බුදු සිරිපා සිහි කළ පමණින් ම පිහිට සැලසෙනවා. බිය තැතිගැනීමක් පැමිණි විට තථාගතයන් වහන්සේ ව සිහි කරන්න යැයි කීම මොන තරම් සත්‍යයක් ද? බුදු සමිඳුන් සිහි කළ පමණින් ම බිය තැතිගැනීම නැතිවෙන බව මා අත්දුටුවා. ඉතින් මේ ලිපිය කියවන ඔයාලට මම කියන්නේ, මට මේ හැම ලාභයක් ම ලැබුණේ කල්‍යාණමිත්‍ර ඇසුර නිසා. අපි අවංකව ම ධර්මය විශ්වාස කරනවා නම්, පිහිට ලැබෙනවා ම යි. අපිට තියෙන්නේ විශ්වාසයෙන් ධර්මය ජීවිතයට ගළපා බලන්න ම යි. තුනුරුවන්ට ජීවිතේ පුදලා, ශ්‍රද්ධාවෙන් ධර්මය පුරුදු කළොත් පිහිට ලැබෙන හැටි ඔයාලට ම අත්දකින්න පුළුවන් වේවි. හැම දෙනාට ම මුනි සිරිපා පද්මයේ පිහිටයි!

“දහසක් ලකුණැති සම්බුදු සිරිපා
සුන්දර පද්මය මුනිඳුගේ පිහිටා
පින් කර ගන්නට සරණේ පිහිටා
දොහොත් මුදුන් දී වඳිනෙමු සිරිපා”

මෙත්සර යහම්පත්.