ලෝකප්‍රසිද්ධ නාට්‍ය රචකයෙකු වන විලියම් ෂේක්ස්පියර් වරක් කීවා, “මේ ලෝකය රඟමඬලකි. අපි එහි නළු‍වෝ වෙමු.”‍ කියල. ඔහුගේ කතාව හරියට ම හරි කියලයි හිතෙන්නේ… ඔබෙන් කවුරුන් හෝ ඇහුවොත්, “මේ ලෝකයේ ඉන්න හොඳ ම නාඩගම්කාරයා කව්ද?” කියලා… කුමක්ද ඔබ ඔහුට දෙන පිළිතුර? හිත ටිකක් කලබල වුණා නේද? ම්… Youtube එකේ බලන්න ද හදන්නෙ? වැඩක් නෑ මිත්‍රයා… ඒකේ නෑ… එතකොට Google එකේ? මට විශ්වාසයි. ඒකෙත් නෑ… හරි හරි මිත්‍රයා… කලබල නැතුව මේ ලිපිය කියවගෙන යමුකෝ… ඔයාට එයාව මුණගැසේවි.

අපේ මේ ජීවිතයේ දී අපට මුණගැසුන චරිත ගණන් කරන්නට ගියහොත් එය පහසු කටයුත්තක් නොවන බව නොකිවමනා ය. කෙනෙක් මවකගේ චරිතය, කෙනෙක් පියාගේ චරිතය, කෙනෙක් ධනවතෙක්, වෙසඟනක්, හොරෙක් ආදී වශයෙන් පමණ කළ නොහැකි චරිත ය. උපන් කිසියම් හෝ සත්වයෙක් සිටිත් ද ඒ සියලු‍ සත්වයන්ට ම කුමන හෝ චරිතයක් ලැබී ඇත. එසේම කලින් කලට එකම පුද්ගලයාට එකම ජීවිතයේ දී නොයෙක් චරිතවලට ජීවය දෙන්නට සිදු වන්නේ ය. ඒ සියලු‍ චරිත අබියස ඔබ මේ මොහොතේ චරිතයක් රඟ දක්වමින් සිටියි. එය සොම්නසින් වන්නටත්, දොම්නසින් වන්නටත් පුළුවන. නාට්‍යයක, චිත්‍රපටයක, නවකතාවක හෝ කෙටිකථාවක බොහෝ වෙලාවට තිබෙන්නේ එක් පුද්ගලයෙකුට එක් චරිතයකි. නමුත් සංසාරය නැමැති වේදිකාවේ අපට බොහෝ චරිත රඟ දක්වන්නට සිදු වූ බව අමතකව ගොස්‍ ය. ඒ නිසාවෙන් අපි, සමහර චරිත දැක පිළිකුල් කරමු. නින්දා අපහාස අවලාද නඟමින් ඒ චරිතය උපහාසයට ලක් කරමු. එසේම තවත් චරිතයක් දැක ඔවුනට සමීප වෙමු. ආසා කරමු. ඒ චරිතය වන්නට ප්‍රාර්ථනා කරමු. සතුටින් පිළිගනිමු. කිමද එසේ වූයේ?

අන් කිසිවක් නොව, සසරක රහස් නොදැනීම ය. නොපෙනීම ය. සිහිපත් නොවීම ය. අපගේ ශාස්තෘන් වහන්සේ මෙසේ වදාළ සේක. “පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනකි. ආරම්භක කෙළවර දැක්ක නොහැකි දෙයකි.”‍ “ අවිජ්‌ජානීවරණා සත්‌තා තණ්‌හාසංයෝජනා සන්‌ධාවන්‌තා සංසරන්‌තා සකිම්‌පි අස්‌මා ලෝකා පරං ලෝකං ගච්‌ඡන්‌ති. සකිම්‌පි පරස්‌මා ලෝකා ඉමං ලෝකං ආගච්‌ඡන්‌ති.” ‍“අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් ඉපදෙමින් මැරෙමින් යන මේ ගමනේ දී එක් වතාවක් මෙලොවින් පරලොව යනවා. තවත් වතාවක් පරලොවින් මෙලොවට එනවා.”‍

(දණ්ඩ සූත්‍රය – සං. නි. 02)

මෙවන් දිගු සසර ගමනක එන අප මිනිස් ලොව උපන් අනන්ත අප්‍රමාණ වාර ගණන්වල දී සමාජය පිළිගත් පියෙකු නොමැති උපතක් ලබා නින්දා අපහාස ලැබූ වාර ගණන මෙතෙකැයි කිව නොහැක. එවන් අතීතයක් හිමි අප තවත් මිනිසෙකුට ‘අවජාතක’ යැයි පවසා කෙසේ නින්දා කරන්නෙමු ද?

මිනිස් ලොව ඉපදුණ අනන්ත අප්‍රමාණ වාරවල දී, මන්දබුද්ධික උපතක් ලබා අපහාස උපහාසයන්‍ට ලක් වූ වාර ගණන මෙතෙකැයි කිව නොහැක. එවන් අතීතයක් හිමි අපි තවත් මිනිසෙකුට ‘පිස්සා’‍ යැයි පවසමින් කෙසේ නින්දා කරන්නෙමු ද? මිනිස් ලොව ඉපදුණ අනන්ත අප්‍රමාණ වාර ගණන්වල දී අපේ අකමැත්තෙන් ම අපව මුදලට අනාචාරයේ යොදවා, අසාධාරණ ලෙස නින්දා අපහාසයන්ට ලක් වූ වාර ගණන මෙතෙකැයි කිව නොහැක. එසේ අතීතයක් හිමි අපි ගැහැනියකට ‘ගණිකාව’ යැයි පවසමින් කෙසේ නින්දා කරන්නෙමු ද? මිනිස් ලොව ඉපදුණ අනන්ත අප්‍රමාණ වාරවල දී දුෂ්ට ක්ෂණයක් ලෙස මිථ්‍යාදෘෂ්ටික ඇදහිල්ලකට ලක් වී විවිධ පීඩා හිරිහැරයන්ට ලක් වූ වාර ගණන් මෙතෙකැයි කිව නොහැක. එවන් අතීතයක් හිමි අපි තවත් මිනිසෙකුට ‘මිථ්‍යාදෘෂ්ටිකයා’ යැයි පවසමින් කෙසේ නින්දා කරන්නෙමු ද? යම් නළුවෙක් සෑම භූමිකාවක් ම රඟන ප්‍රවීණයෙකු වන්නේ යම් සේ ද අප ද මේ අනන්ත සසරේ ඉපදෙමින් සෑම තරාතිරමක ම මිනිසුන්ගේ සෑම භූමිකාවක් තුළ ම ජීවත් වී ඇත. නමුත් තමා රඟපෑ චරිත සියල්ල ම සිහි කරමින් ප්‍රවීණත්වයට පත් වන නළුවෙකුට හාත්පසින්ම විරුද්ධ වූ, සියලු‍ චරිත අමතක කොට වත්මත් චරිතය තුළ රැඳෙමින් හීන මාන්නයට හෝ අධිමාන්නයට පත් වෙමින් සංසාරික උන්මන්තකයින් සේ කටයුතු කරමු.

චේතනාව නැමැති තෙලිතුඩින් කාලය හා අවකාශය අතර සිත කය වචනය මෙහෙයවා අපි විසින් ම එකී චරිත සියල්ල ම ලියා ගන්නෙමු. අපි එම චරිත සියල්ල ම සංසාරය නම් වූ රඟමඬලෙහි රඟ දැක්වූවෙමු.

අතිශයින් ම දීර්ඝ වූ මේ සසරෙහි අපි නොලියූ චරිත ඇතොත් බුදු, පසේබුදු, මහරහත්, බෝසත් වැනි ඉතා සුළු චරිත කිහිපයක් පමණක් ම ඉතිරි වී ඇත. අනෙක් සියලු‍ චරිත ම පාහේ අප බොහෝ විට රඟ දක්වා ඇත. ඉදිරියේ ද රඟ දක්වනු නියත ය. වත්මනේ යම් චරිතයක් දැක අප නින්දා අපහාස කරන්නේ නම් ඒ ඔබේ අතීත චරිතයකට ම කරන නින්දාවක් නොවේ ද? එසේ නොමැති නම් ඔබේ අනාගත චරිතයකට කරන නින්දාවක් නොවේ ද? කෙසේ නම් එසේ නොවේ යැයි පැවසිය හැකි ද? සමහර විට ඒ ඔබ නොවූවත් ඔබේ ම සංසාරික ඥාතියෙකි. පෙර ජීවිතයක මව, පියා, සැමියා, බිරිඳ විය නොහැකි ද? භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා නොවේද? “පින්වත් මහණෙනි, මේ සා දීර්ඝ කාලයක් තුළ යමෙක් මව් කෙනෙක් නොවූයේ නම් එබඳු එකම සත්වයෙක්වත් සොයා ගැනීම ලෙහෙසි නෑ.‍ එසේ ම පියා, සොහොයුරෙක්… සොහොයුරියක්… පුතෙක්… දුවක් නොවූයේ නම් එබඳු එකදු සත්වයෙක්වත් සොයා ගැනීම ලෙහෙසි නෑ.”‍ (අනමතග්ග සංයුත්තය). ඔබ, ඔබ දකින යම් චරිතයකට නින්දා අපහාස කරයි ද අවලාද නගයි ද ඇත්තෙන්ම එය කැඩපතට රැවීමක් බඳු ය. කැඩපත ඉදිරියට ගොස් අප යමක් කරයි ද කැඩපත තුළින් ද එය ම අපට කරන අයුරක් පෙනෙන්නේ ය. මක්නිසා ද යත් එහි තිබෙන්නේ ද ඔබේ රුවේ පිළිබිඹුව ම ය. කිම ද? ඔබ ඔබට ම රවන්නට තරම් උමතු වී ද? මේ ජීවිතයේ අපට නොයෙක් චරිත මුණගැසේවි. එකල්හි අප කටයුතු කළ යුතු අයුරු භාග්‍යවතුන් වහන්සේ මනාකොට පෙන්වා දුන් සේක. ඒ, “පින්වත් මහණෙනි, ඔබට දුකට පත් වූ දිළිඳු වූ විරූපී වූ අසරණයෙක් දකින්නට ලැබුණොත් මේ විදිහට නිශ්චයකට පැමිණෙන්න ඕන.‍ ‘අහෝ! මේ සා දීර්ඝ සංසාරයේ ගෙවූ කාලය තුළ අපිත් මේ විදිහේ දුක් අනුභව කරලා තියෙනවා නෙව.”‍

“පින්වත් මහණෙනි, ඔබට ඉතා සැපසේ සිටින, අලංකාර ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටින කෙනෙක් දකින්න ලැබුණොත් මේ විදිහට නිශ්චයකට පැමිණෙන්න ඕන. ‘අහෝ! මේ සා දීර්ඝ සංසාරයේ ගෙවූ කාලය තුළ අපිත් මේ විදිහේ සැප අනුභව කරලා තියෙනවා නෙව.”‍ වශයෙන් ය.

(දුග්ගත සූත්‍රය හා සුඛිත සූත්‍රය – සං. නි. 02)

ඇත්ත වශයෙන් ම සසරේ අප මෙතෙක් කළ එක ම දෙය නම් එකී සියලු‍ චරිතවලට ජීවය දෙමින් අවසන‍ “මහ පොළොව නම් වූ සොහොන් පිටිය පිරවීමයි”‍ – කටසි වඩ්‌ඪිතා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළේ, “එක ම කල්පයකින් එක් පුද්ගලයෙකුගේ ඇට ගොඩ (ඇට සැකිල්ල) එකතු කළොත් වේපුල්ල පර්වතය හා සමාන මහා ඇට ගොඩක් තිබෙන බවයි.”‍

(ඒක පුග්ගල සූත්‍රය – සං. නි. 02)

එසේ නම් පින්වත, නොයෙක් චරිත රඟ දක්වන නාඩගම්කරුවාට වසඟ නොවී අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ උතුම් කරුණ සිත්හි දරා එයට අනුවම ජීවිතය ගත කරත්වා!‍ “ යාවඤ්‌චිදං භික්ඛවේ අලමේව සබ්‌බසංඛාරේසු නිබ්‌බින්‌දිතුං, අලං විරජ්‌ජිතුං, අලං විමුච්‌චිතුන්‌ති”‍ “‍එම නිසා පින්වත් මහණෙනි, මේ හැම සංස්කාරයක් ගැන ම අවබෝධයෙන් යුතුව කලකිරෙන්න ම යි වටින්නේ. නොඇලෙන්න ම යි වටින්නේ, නිදහස් වෙන්න ම යි වටින්නේ.”

ඔබ සියලු‍ දෙනාටම සියලු චරිතවලින් සදහටම නිදහස් වන, බුදු පසේබුදු මහරහත් මුනිවරුන් නිවී සැනසී වැඩිය පරම සුන්දර වූ ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා…!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.