බස් රථයේ කවුළුවෙන් එපිට බැලීමි. ඔහුට ඉණ දක්වා ම දෙපා නැත. එවිට මා ශ්‍රීපා වන්දනා කළ පාද වීතිහාර පින මට සිහි විය. දෙපා නොතිබුණේ නම්… ඉදිරියට ඇදෙද්දී පන්සලේ ජය ශ්‍රී මහා බෝ රජුගේ සිනිඳු බෝපත් ලෙලෙන රුව නෙත සනසන්නට වී. සානුකම්පිත සිතැත්තෙක් සුදු සැරයටියක් අතැති තරුණයෙකු කහ ඉරෙන් එතෙර කරවී ය. අනේ, ඔහු කෙසේ නම් මේ සොඳුරු බෝ රජු දකින්ට ද? මා අත තිබූ දහම් පොත දෙස මම නෙත් අයා බැලීමි. නෙතු නොතිබුණා නම්..? ඒ මීළඟ බස් නැවතුම ය. කඳට ළං වූ ඉතා කුඩා වකුටු අත් දෙකක් ඇති යෞවනයෙකු සිඟමනේ යයි… ඉදිරි ම අසුනේ වැඩ සිටි හිමිනමට වඳින්නට දෑත් එක් කරන්නට ඔහු කළ වෑයම ව්‍යර්ථ විය! මේ දෑතින් කෙතරම් පින් කළෙම් ද..? මම දෑත් දෙස බැලීමි. දෑත් නොතිබුණේ නම්…?

යළි ගමන ඇරඹිණ. මම සෙමෙන්, මිහිරි සරින් බුදුගුණ ගීයක් මිමිණුවෙමි. පිටුපසින් සිටි කිසිවෙක් මා උරහිසට තට්ටු කොට හස්ත විකාර කොට කිසිවක් කීවා ය. ඈ ඉතා සුන්දර ය. ඈ කීමට වෙර දැරුවේ… “‍ඉස්සර මටත් ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඔපරේෂන් එකක් නිසා කථා කරන්න බැරුව ගියා.”‍ කියා ය. අහෝ… කෙතරම් බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ සෑ-බෝ මළුවෙහි රැව්දෙවා ඇත්තෙම් ද? ගොළුව උපන්නෙම් නම්….?

සබඳ… මේ අතපය… දෙසවන්… දෙනෙත්… සිතේ කයේ බලය ආදී ජීවිතයට සම්බන්ධ සියල්ල අහිමි වී සොඳුරු ජීවිතය අඳුරු වන මොහොත… ඊළඟ මොහොත විය නොහැකි ද..? ඊට පෙර මේ ජීවිතයෙන් මනා ප්‍රයෝජනය ගත යුතු නොවේ ද? ‘ඇවිද්ද පය දහස් වටී’යැ කියත්. නමුත් සරාගී සිතින්… ද්වේෂයෙන්… මිසදිටු මත දරා තබන පියවරක කවර වටිනාකමක් ද? කවර සැප විපාකයක් ද?

“‍සර්වාභරණයෙන් සැරසූ අශ්වයන්, හස්තීන්, කන්‍යාවන් සිය ගණන් ලැබුණ ද බුදුරජුන් දක්නට යන පියවර ඉදිරියේ ඒවා සොළොස් කලාවෙන් එකකුත් නො අගී.”‍ සියලු ලෞකික ලොව්තුරු සැප උපදවන පියවරක් වන බැවිනි.

චන්දපදුමා දේවී පෙර ජීවිතයේ සංඝයාගේ දාන ශාලාව පුරා එහෙ මෙහේ අනලස්ව ඇවිදිමින් සංඝයාගේ අඩුපාඩු සොයා බැලූ පිනෙන් දෙපතුල්හි පියුම් ලකුණු හා සඳ ලකුණු ලද්දී, පිසූ බත අවසන් නොවන ඉර්ධි ලද්දී ය.

චණ්ඩපජ්ජෝත රජු පෙර ජීවිතයක දාස ව – පසේබුදු රුවනකට කල්වේලා ඉක්ම යන්ට පෙර, කැකෑරෙන අව්වේ පිච්චෙමින් වේගයෙන් දිව ගොස් දන් පිදූ අනුහසින් හිරු රැස් සේ තේජස් වී ව, කිසිවෙකුට නැති අධිවේගී සත්ව වාහන පහක් ලැබී ය.

දෙපා පණ නැතිව යන්ට පෙර, අහිමි වන්ට පෙර, රෝගී වන්ට පෙර, ඈත දුර ගොස් සෑ රජාණන් වහන්සේලා, බෝධීන් වහන්සේලා වැන්ද මැනව. සඟරුවනට උවටැන් කළ මැනව. ‘වෙහෙස යැ’ කියා නොපසුබට වුව මැන. තම ශ්‍රමය, දෑත දෙපයේ වෙහෙස තුනුරුවන් උදෙසා අනලස්ව දන් දී මහා නිධානයක් තැන්පත් කළ මැනව.

දෑතින් කළ හැකි වැඩ බොහෝ ය. පින් ද පවු ද බොහෝ ය. දෑතෙන් ලබන මනා ප්‍රයෝජනය කිම?

නිරයට නියමව සිටි චණ්ඩාල ස්ත්‍රිය බුදුරදුන් හට අංජලීකර්ම කොට දෙව්ලොව උපන්නා ය. දෑත් නැති බකමූණු තෙමේ පියාපතින් නමස්කාර කොට මතු පසේබුදු බවට බිජු වපුළේ ය. එක්තරා තාපසාරාමයක තාපසියක් ව වැසිකිළි සේදූ පිනෙන් ඈ මතු ඉතා සොඳුරු දෑත් ලද්දී, ඒ දෑත ඇයට ධනය උපදවන උල්පත බවට පත් විය. එක්තරා සන්නාලියෙක් මිනිසුන්ට දන්සැල තිබෙන දිශාව අත දිගුකොට පෙන්වූ පිනෙන් මතු දෙවි ව ඉපිද, රස පහක් වෑහෙන ඇඟිලි ඇති, සිතූ පැතූ සම්පත් මැවිය හැකි හස්තයක් ලද්දේ ය.

ඉදින්, දෑත් අහිමි වන්නට පෙර, දෑත පණ සිඳෙන්නට පෙර, අකර්මණ්‍ය වීමට පෙර දෝත සිරස මුදුනේ තබා තුනුරුවන් වැන්ද මැනව… හෙට දෑත් ඔසවන්ට පණ නැති විය හැකි බැවිනි. දෑත වෙහෙසා තුනුරුවනට උපස්ථාන කළ මනා ය. බෝපත් ඇහිඳ, පරමල් ඉවතලා පුණ්‍යභූමි පිරිසිදු කළ මනා ය. දෑත් කකියන තුරු ගල්, වැලි ඇද… සෑ – බෝධි මණ්ඩප ඉදි කළ මනා ය.

නිදිවරා වෙහෙස නොබලා ශ්‍රමය දන් දුන් මනා ය. දෑත් වැඩ කරන තුරු බුදුගුණාදිය ම අකුරු කරමින් පන්හිඳ ද පිනට ම නතු කළ මැන.

සබඳ, දණ නමා හිස බිමලා දෝත පියුමක් කොට පසඟ පිහිටුවා වැඳීමට මැලි වනු කිම? අපි සසරේ බොහෝ නීච මිනිසුන්ට ගැතිකම් කළෝ වෙමු. අපට ම සතුරුකම් කළවුන්ට බලයට යටත් වී මෙහෙ කළෙමු. කළ අල්ප ගරු සත්කාරය පවා මතු කල්ප වෘක්ෂයක් සේ සැප දෙන උත්තම තුනුරුවනට ගැති නොවී… දණ නොනමා… හිස නොනමා… කාට නම් බුහුමන් කිරීම මහත්ඵල වේ ද?

කිම… මේ නිරෝගී දෑසින් ලබන සැබෑ ඵලය සොඳුරු රූ පට නැරඹීම ම ද? ප්‍රියයන් දෙස බලා සිටීම ද? ප්‍රිය රුව ම අප්‍රිය ව දුක් ගෙනදෙන ලොව… මේ දෑස කෙසේ නම් තෘප්තිමත් කරන්ට ද? දෑස් නොහකුළුවා ඍජුව ප්‍රිය ඇසින් සියල්ලන්ට සංග්‍රහ කළ පිනෙන් අප මහා සිදුහත් බෝසතුන් නීල නිල්වන් විසල් සොඳුරු නෙත් ලද සේක… සොඳුරු බුදු රුව දැක සතියක් පුරා නෙත් දල්වා බලා හිඳ එපිනෙන් සිහරජාණෝ ද මතු අරහත්වය ලද්දාහු… මරණ මංචකයේ දී බුදු රැස් දැක සිත පැහැදවූ පිනෙන් මට්ටකුණ්ඩලී දරු තෙම දෙව්ලොව ඉපිද පසුව සෝවාන් ඵල ලැබී ය.

නෙත ගැටෙන උතුම් දසුන් නෙත් පිරිසිදු කරන්නේ ය. කරුණා මෛත්‍රිය ගලන නෙත පවා පින් පුරවන්නේ ය. අනුත්තරීය දර්ශනයෝ නිවන දක්වා ලෞකික ලොව්තුරු සැප සලසත්. එහෙයින් නෙත් පුරා සෑ, බෝධි, ප්‍රතිමා වහන්සේලා, ධාතු කරඬු, සඟරුවන ආදී උතුම් දසුන් දැක බලා ගත මැනව. හදවතේ කෙලෙස් සෝදා හරින, ජීවිතාර්ථය ලබා දෙන උතුම් බුදු බණ ලියැවුණු දහම් පුස්තක කියවීමෙන් දෑසෙහි ඵල නෙළිය යුතු ම ය. දෑස් බොඳව යන්නට පෙර වහ වහා දහම් සාගරයේ නේත්‍රයන් පිහිනන්ට හැරිය යුතු නොවේ ද?

මිහිරි ගී වින්දනය ම සවන්පත්හි අගය ලබන්නේ ද? විටෙක ඒ වින්දනය වෙහෙසකින් ද නිස්සාරව කාලය කා දැමීමෙන් ද අවසන් වේ. අසත්‍ය… පරුෂ වදන්… කේළාම්… දේශපාලන කථා… විහිළු… ඇනුම්බැණුම් ද සවන් කරා පාවී එත්. එයින් කවර සෙතක් ද? කවර සුඛ ඵලයක් ද?

කුකුළන්, ගෙම්බන්, මුවන්, ගොනුන්, වවුලන් ආදී අරුත් නොවැටහෙන තිරිසනුන් පවා දහම් ස්වරයෙහි සිත් පහදවා මරණින් මතු දෙව්ලොව ඉපිද මගඵල ලද්දා නොවැ! කෝටි ගණන් නිවනින් සැනසුණ දෙව්මිනිසුන් වනාහී සදහම් ඇසුවෝ ම ය. එනිසා, ජීවිතය වරදින් මුදවා, දියුණුව සලසා, සුඛද්වාර විවර කර ගත්තෝ සදහම් ඇසුවෝ ය. දෙව්ලොව පවා මනුලොව බණ ඇසූ දෙවිවරු ම සෙසු දෙවිවරු අතර මහේශාක්‍ය වෙත්. ඇසූ ත්‍රිපිටක ධර්මය දරා ගත් දුසිල් භික්ෂුව පවා තමාගෙන් ධර්මය උගන්නා සෙසු අරහත් භික්ෂූන්ගෙන් පවා වැඳුම් ලබන තරමින් වෙන ඇසූ කවරක් නම් ආනුභාව සම්පන්න වේ ද?

පිරිත් ඇසූ සැණින් රෝ දුක් උවදුරු සන්සිඳෙයි. බුදුගුණ ඇසූ පමණින් සිත කෙලෙස් සන්සිඳෙයි.

දහම ම අසන දෙය අතර අග්‍ර වේ. සවන් මියෙන්ට පෙර, දුබල වන්ට පෙර ඒ සදහම් පේ වී ඇසිය යුතු නොවේ ද?

ලොව හිනස්සවමින්, තොරතෝංචියක් නැතිව මුව ඇති තාක් දෙඩීම කථන හැකියාවේ ඵලය ද? ඉන් වන සෙත කුමක් ද?

කසුප් බුදු සසුනේ බොහෝ කල් ජනයාට දහම් දෙසූ පින් බෙලෙන් සන්තති අමාත්‍යයෝ රජ ඇඳුමින් අරහත්වය ලැබුවාහු ය. පෙර භවයක බුදු නුවණට පැසසූ පිනෙන් සැරියුත් මුනිඳුන් ප්‍රඥාවෙන් අග්‍රේෂ්වර වූහ. එසේ බුදුගුණට පසසා නිවන් දුටුවෝ අපමණ ය. කොටින්ම පෙර පසේබුදුන් රැකීමට බුර බුරා මග සැලසූ පිනෙන් බලු‍ පෝතකයා ද මතු යොදුන් දුර හඬ ඇති ඝෝෂක දෙව් පුත් ව, මනුලොව ද සොඳුරු ගම්භීර මහා හඬ ඇති ඝෝෂක සිටාණන් ව මහා සැපත්, ධර්මාවබෝධයත් ලද්දේ ය. සත්‍ය වචනයෙන්, මිහිරි වදන් බිණීමෙන් දෙව්ලොව ගියාහු කොපමණ ද? එහෙයින්, මුවට පණ ඇති තාක්, සත්‍ය මිහිරි වදන් ම බිණිය යුතු ය. හඬ නගා බුදුන් වැන්ද මනා ය. සාදු හඬ දෙව්ලොව දක්වා නැංවුව මැනව.

සබඳ, ‘කායජීවිත දෙකෙහි අපේක්‍ෂා අතැර වීරිය වඩා ලබන අමෘත සුඛය වෙනුවෙන්… කාය ජීවිත දෙක තුනුරුවනට ගැති කොට, ‍මා හට අද දවසේ කුමක් කළ හැකිදැයි සිතා සියල් මැලිකම් පසුබෑම් පසෙකලා එක සිතින් සුපහන් ව පිනෙහි කුසලෙහි අප්‍රමාදී ව නිරත වන්නට සිහිනුවණ අප තුළ සදා පවතීවා!’ යි අවසන පතමි.

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.