ඉස්සර ගැමි වහරේ කතාවක් තිබුණා “දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියලා…” ඕවා ඉස්සර මිනිස්සු කිව්වේ කට කහනවට නෙවෙයි. තේරුමක් ඇතිවයි. මේ කාලෙට ඕක වැඩිය ගැළපෙන්නේ නෑ. මොකද අද තාක්ෂණය දියුණුයි. ඒ නිසා අපි පොඩ්ඩක් ඕක මේ විදියට වෙනස් කර ගනිමු, “දැන ගියොත් තිසරණේ, නොදැන ගියොත් සතර අපායේ.” කියලා. මේ කාලේ හරි හරියට Youtube බණ පිරිලා. ඉතින් මනුස්සයෙක්ගේ මොළේ අවුල් නොවී තිබුණොත් පුදුමයක්.

නමුත් ඒ කාලේ ගැමියෝ මෙහෙමත් කිව්වා, “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.” කියලා. හැබැයි ඒ බවක් නම් පේන්නේ නැති ගානයි. හැමතැනම තියෙන්නේ අවුල් ජාලයක්. අහන්නන් වාලේ අහලා, දුවන්නන් වාලේ දුවන බවක් වත්මන් සමාජයේ සුලබයි. හරියට අර තල් වනේ හිටපු හාවා බෙලි ගෙඩියක් තල් අත්තට වැටෙනකොට, “අනේ අපොයි. මෙන්න ලෝකය පෙරළීගෙන එනවෝ.” කියලා දුවන්න ගත්තම කැලේ ඉන්න සත්ව සනුහරේම කිසි දෙයක් ගැන නොසොයා දුවන්න ගත්තා වගේ. උන්ගේ වාසනාවට එදා මහා බෝධිසත්වයෝ සිංහරාජයෙක් වෙලා හිටපු නිසා බේරුනා. අද ඉතින් ඔය Youtube බණ අහල මොළේ කොලොප්පං කරගන්න අය කොයි විදිහට බේරගන්න ද කියලා හිතන්න අමාරුයි.

ඉතින් මේ ලිපියෙන් අද කියන්න යන්නේ කොයි කාටත් ඉතාම වටිනා උපදේශයක්. මෙකල සමාජ මාධ්‍යජාලා බහුල නිසා ධර්මයේ නාමයෙන් අධර්මය සමාජගත වීම විශාල වශයෙන් සිදුවනවා. ඕනෑම වැරදි මතයක් ඉක්මනින් පැතිර යනවා. ඒක වළක්වන්නට අසීරු කටයුත්තක්. සැබෑ රත්තරන්වලට සමාන දෙයක් ආපු ගමන් සැබෑ රත්තරන්වල වටිනාකම නැති වෙලා යනවා. එලෙසින්ම ධර්මයේ නාමයෙන් අධර්මය සමාජගත වීමෙන් සැබෑ දහම වේගයෙන් අතුරුදහන් වී යනවා. අද අපි හිතනවටත් වඩා වේගයෙන් ඒ කරුණ සිදුවෙමින් පවතිනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රධානතම අරමුණ සසරක සිරවී සිටින සත්වයන් ඉන් නිදහස් කිරීම; එනම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවීමයි. අධර්මයට කිසි දිනෙක එය කළ නොහැක්කක්. නමුත් බොහෝ දෙනෙක් Youtube බණ අහල අධර්මය පසුපස දුවන්නේ සැබෑ රත්තරන් කියලා හිතාගෙන. එහෙත් ඒ බොහෝ දෙනෙක්ට ලැබිලා තියෙන්නේ ව්‍යාජ රත්තරන්. ධර්මය සහ අධර්මය හරියට තේරුම් නොගත්තොත් ඔවුන් විශාල කරදරයක වැටෙන බව නම් කිව යුතුයි. ඒකයි මුලින්ම සඳහන් කළේ, ‘දැන ගියොත් තිසරණේ. නොදැන ගියොත් සතර අපායේ.’ කියලා. මේ කාලේ බොහෝ දෙනෙක්ට සැබෑ ධර්මය පිළිබඳ පැහැදිලි නිරවුල් අවබෝධයක් නෑ. ඒ නිසාමයි නොයෙක් අවුල් සහගත මතවල පැටලී යන්නේ. ඉතින් ඒ නිසා මේ කියා දෙන ක්‍රමවේදය තුළින් ඔබට බාල රත්තරන්වලට අහු නොවී ඉන්නට පුළුවන් වේවි. සැබෑම රත්තරන්වලින් සැරසෙන්නත් පුළුවන් වේවි.

උණු කිරිබත් ගිල්ලා වගේ…

දැන් ඔබ ඕන තරම් Youtube එකෙන් වේවා, රූපවාහිනියෙන් වේවා ධර්මය අහනකොට කියවනකොට ගිහි වේවා, පැවිදි වේවා කවුරුන් හෝ වේවා ඔබට මෙහෙම කියන්නට පුළුවන්. “සම්මුඛා මේතං ආවුසෝ භගවතෝ සුතං, සම්මුඛා පටිග්ගහිතං”, මම මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේමයි අහගත්තේ. ඉදිරියේදීමයි පිළිගත්තේ. (මේ කාලේ භාග්‍යවතුන් වහන්සේ නැති නිසා ත්‍රිපිටකයෙහි මෙහෙමයි සඳහන් වෙන්නේ කියන්න පුළුවනි.) “අයං ධම්මෝ” මේක තමයි ධර්මය. “අයං විනයෝ.” මේක තමයි විනය. “ඉදං සත්ථුසාසනන්ති.” ශාස්තෘ ශාසනය කියන්නේ මේකටයි කියලා. යම්කිසි කරුණක් ඉස්මතු කරාවි. එහෙම කීවට පස්සේ ඔබ ඒ වචනේ එකපාරටම “නේව අභිනන්දිතබ්බං” සාදු සාදු කියලා සතුටින් පිළිගන්න එපා. ඒකට හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ඇසුවත් සමහරවිට ඒ කෙනා ඇහුවේ වැරදියට වෙන්න පුළුවන්. ඇහුණේ වැරදියට වෙන්න පුළුවන්. හරියට අහගත්ත දේ තමන් තේරුම් ගත්තේ වැරදි ක්‍රමයකට වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි කීව කරුණු වැරදියි කියලා පස්සේ තේරුම් ගත්තොත් ඔබට ඒ වචනේ ප්‍රතික්ෂේප කරන්නට බැරි වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ ඔබත් වැරදි දහමක අනුගාමිකයෙක් වෙනවා. ඒක හරියට උණු කිරිබත් ගුලියක් කටට ගත්තා වගේ. රස්නෙ නිසා ගිලගන්නත් බෑ, එළියට දාන්නත් බෑ. ඒ නිසා කවුරු කීවත් කොහොම කීවත් එක පාරට නම් ඒ වචන ගිලින්න එපා.

උණු හින්ද බොන්නත් බෑ… කිරි හින්දා අහක දාන්නත් බෑ…

ඊළඟ කරුණ තමයි දේශකයා කියපු දේ පොල්ලෙන් ගැහුවා වගේ එක පාරටම “නප්පටික්කෝසිතබ්බං” ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා. ප්‍රතික්ෂේප කරන්න යන්න එපා කියන්නේ එයා පස්සේ ඉතාමත් වැදගත් ධර්මයක් කියන්න ඉඩ තියෙනවා. ඉතින් ඔබ හදිසි වෙලා ප්‍රතික්ෂේප කළොත් ඒ ලැබෙන්නට තිබූ මිහිරි ධර්මය ඔබට අහිමි වෙන්නත් පුළුවන්. මොකද ඔබට ඔහුගෙන් නැවත යමක් ඉගෙන ගන්න තියෙන අවස්ථාවත් අහිමි වෙනවා වගේම ඔහුට මූණ දෙන්නත් බැරි වෙනවා. හරියට උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා අහක දාන්නත් බෑ වගේ. මේ කියන කටයුතු දෙකටම හොඳ ඉවසීමක් අවශ්‍යමයි. හොඳින් ඇහුම්කම් දීමේ පුරුද්දකුත්, නිහතමානී බවත් තිබිය යුතුයි. එහෙනම් බණ අහනකොට ඔබ හොඳට මතක තියාගන්න. එකපාරටම ගිලින්නත් එපා. එකපාරටම ප්‍රතික්ෂේප කරන්නත් එපා. දෙකෙන් ම මහත් අලාභයක් වෙන්න පුළුවන්. අනික තමයි ඒ විදිහට කටයුතු කළොත් කාත් සමඟවත් කිසිම ගැටුමක් ඇති වෙන්නෙත් නැහැ. අමනාපවීම්, සිත් රිදවීම් ඇතිවන්නෙත් නැහැ. කෙලෙස් හටගන්නෙත් නෑ.

තව කට්ටිය තව තව දේවල් කියයි

මේ කාලේ භාග්‍යවතුන් වහන්සේ නෑ. නමුත් ත්‍රිපිටක බුද්ධ වචනය ඉස්මතු කරන්න පුළුවන් වැරදි විග්‍රහ සහිතව. එහෙම නැත්නම් තව අය මේ විදිහට කියයි. මං මේ කරුණ ඉගෙන ගත්තේ අසවල් පන්සලේ, අසපුවේ, විහාරේ ඉන්න මහ තෙරුන් වහන්සේලා ප්‍රමුඛ උතුම් සංඝයා වහන්සේලාගෙන් කියලා හරි, අසවල් ආවාසයේ ඉන්න මහා උගත් පණ්ඩිත, ප්‍රසිද්ධ ධර්ම විනය දන්න මහ තෙරුන් වහන්සේලාගෙන් කියලා හෝ අසවල් තැන ඉන්න අසවල් TV එකේ Youtube එකේ ලස්සනට බණ කියන ප්‍රසිද්ධ, මහා උගත්, පණ්ඩිත ස්වාමීන් වහන්සේගෙන් කියලා. ඔන්න ඔය ඕන ක්‍රමයකට, කොයි විදිහේ හරි කෙනෙක්ගෙන් ඇහුවා කීවත් ඒ අය මොන තරම් හැඩට බණ කිව්වත් මොන තරම් ප්‍රසිද්ධ වුණත් එයාලට subscribers කොපමණ හිටියත්, views, likes කොපමණ තිබුණත් ඒ කිසිම වචනයක්, කතාවක් එක පාරටම පිළිනොගෙන, ප්‍රතික්ෂේප නොකර හොඳින් නිහඬව සිහියෙන් අහගෙන ඉන්න. හදිස්සි වෙන්න එපා. ඔබ දැකලා ඇති පාරවල්වල මෙහෙම බෝඩ් ගහලා තියෙනවා. හදිස්සි නම් හෙමින් යන්න, (Slow than never) කියලා. අන්න ඒ නිසා ඒක තමා මෙතෙන්ටත් අවශ්‍ය. හදිසි වෙලා වේගෙන් යන්න ගත්තොත් මේ දැන්වීමත් ඔබට මුණගැසේවි. ‘වේගය මරු කැඳවයි.’

මෙන්න ඔබගේ අවස්ථාව

පළමු පියවර

දැන් ඔන්න ඔබට වටිනා කටයුත්තක් තියෙනවා. ඒ තමයි කවුරුන් හෝ වේවා කියූ ධර්මය, ඉතා හොඳින් නිහඬව අහගෙන ඉගෙන ගන්න. මතක තියාගන්න. ‘මෙතන පෙළ කියන ලදී. මෙතන තමයි අර්ථය කිව්වේ. මෙතන අනුසන්ධි කියන ලදී. මෙතන පූර්ව අපර ගැළපීම කියන ලදී.’ වශයෙන් මනාව අවබෝධ කරගන්න. මොකද රත්තරන් කියලා දුන්න එකේ බාල රත්තරන් තියෙන්න පුළුවන්. ව්‍යාජ රත්තරන් වෙන්නත් පුළුවන්. රත්තරන් ඇත්තේම නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳම තනි රත්තරන් වෙන්නත් පුළුවන්. ඉතින් ඕක එක පාරටම හොයන්න බෑ. ගල ගාලා බලන්න වෙනවා. නැත්නම් අදාළ පරීක්ෂණයක් කරන්න ඕනි. ඒකට ඔබ දක්ෂ රන්කරුවෙකු වෙන්න වෙනවා. නැත්නම් හොඳ රත්තරන් ටික අහිමි වෙලා යාවි. එක්කෝ බාල රත්තරන් අරගෙන හූල්ලමින් ඉන්න වේවි.

දෙවන පියවර

ඒ ආකාරයට ඉගෙන ගත් දෙය “සුත්තේ ඕතාරේතබ්බානි” මනා කොට සූත්‍රයේ බහා බැලිය යුතුයි. “විනයේ සන්දස්සේතබ්බානි” විනයේ මනා කොට සසඳා බැලිය යුතුයි. ඒ කියන්නේ ඔබ ඉගෙන ගත්ත ධර්මය සූත්‍ර දේශනාවට ගැළපෙනවා ද කියලා බලන්න ඕනි. එලෙසින්ම විනය හා සැසඳී යනවා ද කියලා බලන්නත් ඕනි. මේක තමයි අසීරු ම කටයුත්ත. ඔබ තුළ ඉතා නිරවුල් දහම් දැනුමක් නොමැති වුණොත් හරි දේ වැරදියටත්, වැරදි දේ හරි ලෙසත් ගන්න පුළුවන්. එහෙම වුණොත් නම් විශාල කරදරයක වැටෙන එක වළක්වන්න බැරි වෙයි. කමක් නෑ. ඔබට ලොකු දහම් දැනුමක් නැති වුණත් මේ කියන ටික ඉතාම හොඳින් තේරුම් ගන්න පුළුවන් නම් ඔබට වරදින්න තියෙන ඉඩකඩ අඩු වෙනවා.

සැබෑම ධර්මය සහ විනය මෙයයි.

සෑම අර්බුදයක ම මුල ධර්මය-අධර්මය, විනය-අවිනය නිවැරදිව තේරුම් නොගැනීමයි. ඔබ සරලව තේරුම් ගන්න, සූත්‍රය වශයෙන් අදහස් කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. එහෙනම් සූත්‍රයෙහි බහා බලන්න යැයි පැවසුවේ ඒ ඉගෙන ගත්ත දෙය චතුරාර්ය සත්‍යය තුළට දමන්න පුළුවන් ද කියන එකයි. මක්නිසාද යත් සියලු ධර්මයන් පවතින්නේ එම ආර්ය සත්‍යය තුළ ම යි. ඉන් බාහිරට කිසිදා යන්නේ නෑ. විනය හා සැසඳෙනවා ද කියා බලන්න කීවේ රාග, ද්වේෂ මෝහ නැසීම පිණිස ඒ කරුණ හේතු වෙනවාදැයි විමසා බැලීමටයි.

එහෙම නම් මොන විදිහේ කෙනෙක් වුණත් මොනතරම් ප්‍රසිද්ධ, උගත්, පණ්ඩිත කෙනෙක් කොයි ආකාරයට කීවත් ඒ කියපු දෙය දුකට අයිතිත් නැත්නම්, දුකේ හට ගැනීමට අයිතිත් නැත්නම්, දුක් නැති කිරීමට හෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති වෙන එකකුත් නෙවෙයි නම් රාග, ද්වේෂ, මෝහ නැති කරන්න හේතු වෙන දෙයකුත් නෙවේ නම්, ඔබ ඉතාම පැහැදිලිව තේරුම් ගන්න ඒ කිව්වේ අධර්මයක්. අවිනයක් බව. දැන් ඔබට පුළුවන් ඒ අදහස බැහැර කරලා දාන්න. එලෙසින්ම ඔහුගේ වචනය චතුරාර්ය සත්‍යයට ඉතා හොඳින් ගැළපී යනවා නම්, රාග, ද්වේෂ, මෝහ නැති කරන්න උපකාර කරනවා නම් එය තමයි සැබෑම ධර්ම විනය. ඒක ඉතා සතුටින් පිළිගන්න. දරා ගන්න. පුරුදු කරන්න.

මේ විදිහටත් තේරුම් ගන්න

මේ ක්‍රමයටත් ඔබට පුළුවන් සැබෑම ධර්මය හඳුනාගන්න. මේක භාග්‍යවතුන් වහන්සේ වදාළේ උපාලි මහරහතන් වහන්සේට.

“උපාලි තෙපි යම් ධර්මයක් දරන්නේ ද ඒ ධර්මය ඒකාන්තයෙන් ම සසර කලකිරීම පිණිස පවතී ද නොඇල්ම පිණිස පවතී ද දුක් නැසීම පිණිස පවතියි ද එකල්හි උපාලි ඒකාන්තයෙන් ම නිශ්චයකට පැමිණිය යුත්තාහුය. ‘මෙය නම් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ම ය. විනය ම ය. මේ ශාස්තෘ ශාසනය.’ කියා ය.” එසේ නම් යමක් අසා සසරට ආසා කරනවා නම්, ඇලෙනවා නම්, දුක හට ගන්න හේතුවනවා නම් එය පැහැදිලිවම අධර්මයයි, අවිනයයි, ශාස්තෘ ශාසනය නොවේමයි කියා ඔබත් තේරුම් ගන්න. එය බැහැර කර දමන්න.

තවත් ඉතාම පැහැදිලි නිරවුල් ක්‍රමයක් ඔබට කියා දෙන්නම්. මෙය මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියට භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙසුමක්.

“ගෝතමිය, ඔබ යම් ධර්මයක් දන්නේ ද ඒ ධර්මය ම “විරාගාය සංවත්තන්ති නෝ සරාගාය” විරාගය පිණිස පවතිත්. සරාගය පිණිස නොපවතිත් ද,

“විසංයෝගාය සංවත්තන්ති නෝ සංයෝගාය” කෙලෙසුන් හා එක්නොවීම පිණිස පවතිත්. කෙලෙසුන් හා එක්වීම පිණිස නොපවතිත් ද,

“අපචයාය සංවත්තන්ති නෝ ආචයාය.” සසරින් මිදීම පිණිස පවතිත්. සසර ගමන පිණිස නොපවතිත් ද,

“අප්පිච්ඡතාය සංවත්තන්ති නෙඡ් මහිච්ඡතාය.” අල්පේච්ඡතාව පිණිස පවතිත්. අධික ආශාව පිණිස නොපවතිත් ද,

“සන්තුට්ඨියා සංවත්තන්ති නෝ අසන්තුට්ඨියා” – ලද දෙයින් සතුටු වීම පිණිස පවතිත්. ලද දෙයින් සතුටු නොවීම පිණිස නොපවතිත් ද,

“පවිවේකාය සංවත්තන්ති නෝ සංගණිකාය” – හුදෙකලා වාසය පිණිස පවතිත්. පිරිස සමඟ ඇලීම පිණිස නොපවතිත් ද,

“විරියාරම්භාය සංවත්තන්ති නෝ කෝසජ්ජාය” වීරිය ඇරඹීම පිණිස පවතිත්. කුසීතකම පිණිස නොපවතිත්.

“සුභරතාය සංවත්තන්ති නෝ දුභරතායාති” පහසුවෙන් පෝෂණය කිරීම පිණිස පවතිත්. දුක සේ පෝෂණය කිරීම පිණිස නොපවතිත්ද නම් ගෝතමිය ඒකාන්ත වශයෙන්ම දැනගන්න.

“ඒසෝ ධම්මෝ” – මේ ධර්මයයි.

“ඒසෝ විනයෝ” – මේ විනයයි.

“ඒතං සත්ථුසාසනන්ති” මේ ශාස්තෘ ශාසනයයි.

එහෙනම් ධර්ම විනය, ශාස්තෘ ශාසනය කියන්නේ මොකක්ද කියලා හරිම පැහැදිලිවම තියෙනවා. එහි අනුන්ගේ ඇදකුද නැහැ. වාදවිවාද නැහැ. නින්දා ගැරහීම් නැහැ. කාලීන බණ යැයි කියා දෙයක් ද නැහැ. අමුතු ආකාරයේ නොපැහැදිලි අරුත් ද නැහැ. එහි ඇත්තේ සසර දුකින් නිදහස් වීම පිණිස ම පවතින දහමක්. ඒ වගේම ධර්මය කියන්නා හුවාදැක්වීම් ගැන දැනගත යුතුයි. හෙළාදැකීම් ගැනත් දැනගත යුතුයි. එය දැනගෙන හුවා නොදැක්ක යුතුයි. හෙළා නොදැක්ක යුතුයි. ධර්මය විතරක් දෙසිය යුතුයි.

ඒ වගේම යමෙක් ධර්මය කියයි ද එම දෙසුමෙන් සිදුවිය යුත්තේ තමාව හුවා දැක්වීම නොව ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු වීමයි. ධර්මය ඉස්මතු වීමයි. කුමක් නිසා ද යත්, සියලු සුභාෂිත වචන භාග්‍යවතුන් වහන්සේගේ වන නිසා ය.

“යං කිඤ්චි සුභාසිතං සබ්බං තං තස්ස භගවතෝ වචනං අරහතෝ සම්මාසම්බුද්ධස්ස – යම්කිසි සුභාෂිතයක් ඇද්ද, ඒ සියල්ල භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ගේ වචනයි.” අනිත් සියල්ලෝම එනම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් යම් කෙනෙක් ඇත්ද ඒ හැම කෙනෙක්ම කරන්නේ “තතෝ උපාදායුපාදාය භණාමාතී” එයින් නැවත නැවත ගෙන අන් අයට පැවසීමයි. ලෝකයේ කිසිම කෙනෙකුට තවත් කෙනෙක්ට ධර්මාවබෝධය කරවිය නොහැකියි. යමෙකුට එය කළ හැකි නම් ඒ අන් කවරෙකුටවත් නොව භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා කෙනෙක් අරහත්වයට පත් වුව ද එය කළේ ද සාරිපුත්ත මහරහතන් වහන්සේ නොව භාග්‍යවතුන් වහන්සේමයි. එසේ නම් මෙකල බණ කියන අය ගැන සිතන්නට දෙයක් ඇත්තේම නැහැ.

ඔබට ප්‍රඥා මාත්‍රයක් හෝ තිබේ නම් දැන් සියල්ල පැහැදිලි විය යුතුයි. එසේ නම් ධර්මය හොඳින් අහන්න, හරි වැරැද්ද තෝරා ගන්න, නිවැරදි දේ දරාගෙන වීරියෙන් නුවණින් හා සිහියෙන් පුරුදු කරන්න. එවිට ඔබට ද ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවි.

තෙරුවන් සරණයි!

ඇසුර: මහා පරිනිබ්බාන සූත්‍රය සහ අට්ඨකථාව – දී. නි. 02, උත්තර සූත්‍රය – අං. නි. 05, අරණ විභංග සූත්‍රය – ම. නි. 3, සංඛිත්ත ගෝතමියෝවාද සූත්‍රය – අං. නි. 05, නෙත්තිප්පකරණය, විනය පිටකය, ‘අච්ඡරිය මනුස්සෝ’ සදහම් ග්‍රන්ථය

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.