පිටතින් නිහඬ, ඇතුළතින් නලියන පකුධ නවාතැනට ආවේ වේගවත් ගමනෙනි. “මේ මඟුලෙත් ඉවරයක් නැහැ. හැමතිස්සෙම බුරු බුරුව…” වැටෙන සිහින් සිරිපොද තියුණු ඊතල ලෙසින් සලකා ඔහු වැස්සට බැණ වැදුණේ ය. කබල් ලීදොර තල්ලු කරගෙන නවාතැනට ඇතුළු වූ ඔහුට අසංවර ව, දැඩි නින්දක පසුවූ ගුත්තික ව දැක සිය සිතුවිලි පාලනය කරගැනීම අසීරු විය. නිහඬ බව මොහොතක දී බිඳුණි.

“අඩා නැගිටපන් අපි ඔක්කොම විනාශයි.” පකුධගේ වචන තුළ ඔහුගේ හදවත වෙළාගත් ශෝකයත්, හිතේ ඇවිළෙන ආවේගයත් එක තරමටම ගැබ්ව තිබුණි.

ගුත්තික අවදි විය. එහෙත් පකුධ ව දැක අලස හැඟීමෙන් ආයෙම ඇස් වසාගත්තේ නිදන්නට ය. පකුධගේ කෝපය ඇවිළිණි.

“වල් ඌර නැගිටපන් අපි විනාශ වෙලා ඉවරයි.” පකුධ ගුත්තිකගේ දකුණු බාහුව තදින් මිරිකාගෙන පැවසී ය. ක්ෂණිකව නැගී සිටි ගුත්තික පකුධ දෙස හෙළුවේ වල් අලි බැල්මකි.

“උස්සලා පොළවේ ගහනව තෝව.” ගුත්තික කීවේ කෝපයෙනි. ඔහුගේ තියුණු දෑස් පකුධව බියට පත් කළේ විය.

“රෙද්ද හදාගන්.” පකුධ කීවේ ඉවත බලා ගනිමිනි. ගුත්තික ගිලිහී තිබූ ඉනේ සළුව හැඳගත්තේ ය. තමා කලබල වූවා වැඩි බව ඔහුට සිතුණි.

“මට යකා නැග්ගා. මොකද වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා වාඩිවෙයං.”

“රටට වෙන්න පුළුවන් නරක ම දේ වෙලා. මහරජ්ජුරුවෝ පරදේසක්කාරයන්ට යටත් වෙලා.” පකුධ කීවේ ඇඳේ වාඩිවෙමිනි. ඔහුව වෙව්ලන්නට විය. ගුත්තික කලබල විය.

“වෙන්න බැරි දෙයක්. කොහෙදි ද? කාට ද?” ගුත්තික ඇසුවේ නැගී සිටිමිනි. බඹයකටත් වඩා උස ඔහුගේ යෝධ සිරුර පකුධ ව ආයෙම බියට පත් කළේ ය.

“මිස්සක පව්වෙදි. දඹදිවින් ආව ශ්‍රමණයො ද සන්නාසියො ද කියල කට්ටියක්ලු.” පකුධ කීවේ තරමක් සැකයෙනි. ගුත්තිකට පකුධ අවබෝධ විය.

“උඹ දැක්ක ද? කාගෙන් හරි අහගත්ත බේගලයක් ද?”

“මං දැක්කෙ නැහැ. ඒත් නගරෙ හැමතැන ම කථාව. දැක්ක උන් ඉන්නවා.” ගුත්තික පකුධ දෙස වඩාත් විමසිලිමත්ව බලා “තොට ඇහිච්ච දේ කියහං.” යැයි කීවේ ය. පකුධ කියන්නේ සම්පූර්ණ සත්‍යයක් ම නොවන බව ඔහුගේ පූර්ව නිගමනය විය.

නැන්දම්මගේ වැරදි කියන්නට සූදානම් වන ලේලියට, බිරිඳට සවන් දෙන යහපත් ස්වාමියෙකු මෙන් ගුත්තික පකුධ දෙස ඉවසීමෙන් බැලී ය.

ගුත්තික කතා නොකළේ ය.

“තා බෙරිහන් දුන්නේ සෝණවත්ථුවේ (සෝණ යකු වෙනුවෙන් ඉදි කළ දේවාලෙ) යකදුරා වගේ නේද? මොකද කට වැහුනේ?”

“විහිළුවට ගන්නෙපා. ගොඩබිමෙන් ඇවිල්ලත් නෙවෙයි. මුහුදෙන් ඇවිල්ලත් නෙවෙයි.”

“ඒ කියන්නෙ ඇවිදගෙන ඇවිල්ලත් නෙවෙයි. නැව් නැගලා ඇවිල්ලත් නෙවෙයි. එහෙනම්?”

පකුධ සිය දකුණත වටයක් කරකවා ඇඟිලි තුඩු ඇඳ මත තබා, “මෙහෙම. උඩින් – ආකහෙන්.” යැයි පැවසී ය.

“උඩින්. කී දහක් ද?” ගුත්තික ඇසුවේ පකුධ ව විශ්වාස නොකරමිනි.

“මුලින් එක්කෙනයි. ටික වෙලාවකින් තව හයදෙනෙක් මතු වෙලා.”

“ඔක්කොම හත්දෙනා ද?” ගුත්තික ඇසුවේ සිනාසෙමිනි.

“ඔව්.” පකුධ කීවේ අමනාපයෙනි. තරහෙනි.

“මට තොරතුරු ලැබිලා තිබුණේ අද මහ රජ්ජුරුවෝ එක්ක හතලිස්දාහක් දඩයමේ යනවා කියලා. උඹ කියන්නේ ඒ ඔක්කොම ඉඳින්දි මහරජ්ජුරුවෝ හත් දෙනෙකුට යටත් වුණා කියලා ද?” රාත්‍රි නගරාරක්ෂක ගුත්තික පකුධගෙන් ඇසුවේ අවඥාවෙනි.

“ඔව්. ආරංචි විදිහට මහ භයානක මන්තරකාරයොලු.”

“ඒක නම් වෙන්න පුළුවන්. නැතුව කොහොමටවත් අනුරාධපුරයට ඇතුළු වෙන්න බැහැ.” පකුධට පහසුවක් දැනුණි. එහෙත් ගුත්තික සිය පූර්ව නිගමනයෙන් බැහැර නොවී ය.

“මහරජ්ජුරුවන්ට මතුරල තියෙන්නේ අලි මන්තරයක් කියලයි ආරංචිය. වාමනිකා, උච්චා කාළාරිකා, උච්චා කණේරුකා කියන මහබල සම්පන්න ඇතින්නියන්ගේ නමින්. අන්තිමට මහ රජ්ජුරුවොයි, සෙනඟ ඔක්කොමයි මන්තරකාරයෝ කියපු තුනක් සරණ ගිහින් පහක් සමාදන් වෙලාලු.” පකුධ තුළ යටපත්ව ගිය කෝපය යළි ඇවිළිණි. ගුත්තික තුළ පළමුවරට තිගැස්මක් ඇති විය.

“රජා නැසුණ කියන්නේ අපිත් නැසුණ.” පකුධ කීවේ සිය දෙකලවාවලට දෑතින් ගසා ගනිමිනි. ඔහුට ජනෙල් කවුළුවෙන් බැස යන බටහිර හිරු පෙනුණි.

“රජා පරදේසක්කාරයන්ගේ පදේට නටනකොට ඒ තාලෙට අපිවත් ඉබේට ම නැටවෙනවා.” ඔහු ආයෙම කීවේ ය. ගුත්තික නිහඬවම කල්පනා කරන්නට විය.

“අපේ යක්ෂ දේවතාවුන් වහන්සේලත් පැනල යන්නැති මන්තරවලට බයේ. මන්තරකාරයෝ උන්වහන්සේලටත් විරුද්ධයි කියල තමයි ආරංචිය.” පකුධ කීවේ සංවේග-යෙනි. අනතුරුව ඔහු සිනාසෙන්නට විය. එය උමතු උන්මාද සිනහවකි. ගුත්තිකගේ සිත කැළඹිනි.

“වෙන මොනවද ආරංචි?” පකුධ කතා කළේ නැත.

“අලි මන්තරකාරයෝ නම් අලි අල්ලන්න ආවා වෙන්නැති.” ගුත්තික කීවේ පකුධ ව කතා කරවන අදහසෙනි.

“උඹට ඔල්මාදෙ ද. දන්නව ද නායක මන්තරකාරයා කවුද කියලා?”

“මං කොහොමද දන්නේ?” ගුත්තික කීවේ ඉවසීමෙනි. පකුධ ව තරහ කරගෙන බැරි ය. පකුධ බේගල් ඇද බාන්නෙකු ද නොවේ.

“දඹදිව මහරජාගේ පුත්කුමාරයාලු. රජවරු අල්ලන්නේ රජවරුන්වයි, රටවලුයි මිසක් අලිඇතුන්ව ද?”

“තා බේගල් ඇදබානවා.” ගුත්තික කීවේ තම සිතම නොවේ. ඔහු පකුධට රැව්වේ ය. පකුධ ගුත්තිකට විරිත්තුවේ ය.

“තව උඹ ම කියපං පිටදේසක්කාරයෝ රටට රිංගන්නෙ අපිට ආදරේට ද මේක හූරගෙන යන්න ද කියලා. ඔය කොයි කාගෙත් අනුකම්පාව භූමිකම්පාවක් වෙන්න වැඩි කාලයක් යන්නෑ.” පකුධ කීවේ සංවේගයෙනි. ගුත්තිකට එය ප්‍රතික්ෂේප කිරීම අසීරු ලෙස දැණුනි.

“මහරජ්ජුරුවෝ හෙට මාලිගාවට වඩින්න කියලත් ආරාධනා කරල. ඔන්න මන්තරේ රඟේ. හෙට මොනවයින් මොනව වෙයි ද දන්නෑ.”

“සරණෙකුයි, සමාදානෙකුයි ගැන කිව්වේ මොකද්ද?” ගුත්තික ඇසුවේ සංයමයෙනි.

“සරණෙ ගැන නම් නිච්චියක් නැහැ. සමාදන් වෙලා නම් තියෙන්නේ දිවි තිබෙන තුරාවට ම පරපණ නසන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වැරදි කාමසේවනය කරන්නේ නැහැ, බොරු බේගල් ඇදබාන්නේ නැහැ, සුරා බොන්නේ නැහැ කියලා. ඒකට කියන්නේ සිල් පද පහ, පන්සිල් කියලා. මං මේ කල්පනා කළේ ඔය පහ නොකර රජ්ජුරුවන්ට කොරන්න වෙන කාරියක් ඉතුරු වෙනව ද කියලා. අනෙක ඉතිං ඔය පහ නොකර රජකම් කරලත් මොකටද. ඔය ටික කරන්නනේ රජ වෙන්නෙ.”

“තා කතා කරන්නේ කේන්තියෙන්.”

“උඹට වගේ කැක්කුමක් මට රජ්ජුරුවෝ ගැන නැහැ. කාර්ය කළා. වැටුප් ගත්තා.” ගුත්තික කථා කළේ නැත.

“මහරජ්ජුරුවෝ වරද්ද ගත්ත තැන තමයි තමන් රජවෙච්ච දවසෙ පහළ වුණ වස්තුව දඹදිව රජාට තෑගි බෝග විදිහට යැව්ව එක. මට තෑගි විදිහට මෙච්චර වටින දේ එව්ව නම් රටේ කොච්චර ඇති ද කියලා හිතාන තමයි රාජ කන්‍යාවක් කියලා ඔත්තුකාරියකුත් එක්ක රාජාභිෂේකයට කලමනා එව්වේ. ඕන රජෙකු ව විනාශ කරන්න එක ගෑනියෙකුට පුළුවන්. හරියට ම ඔත්තුව දීලා.” පකුධ ආයෙම පැවසී ය. “ගෑනුන්ගේ පදයට නටන කොයි රජත් විනාශයි.”

“තා කාලා නිදා ගනිං. මං රාජකාරියට ගියාම ඇත්ත නැත්ත දැන ගන්නම්.” ගුත්තික කීවේ ඇඳෙන් නැගී සිටිමිනි.

“මොක උණත් ඔය සිල්පහ කියන එක නම් මට බැහැ.”

“ඒක නම් ඉතිං මටත් අමාරුයි.” ගුත්තික කීවේ පකුධගේ අදහසට එකඟ වෙමිනි.

පකුධ වෙතින් දැනගත් දේට අමතර දෙයක් රාජකාරී සඳහා නැගෙනහිර දොරටුවට ගිය ගුත්තිකට දැනගැනීමට නොලැබිණි. සිල් පහ රැකීමට කිසිවෙකුත් කැමති නැති බව කළ කතාබහෙන් දැන ගත් ගුත්තික එය රාජ ආඥාවක් වුවහොත් කුමක් කරන්නේදැයි සිතමින් වෙහෙසට පත් විය.

“මොක කළත් බොරු නොකිය ඉන්නේ කොහොමද?” ඔහු තමාගෙන් ම ප්‍රශ්න කරගත්තේ ය.

උදෑසන ගුත්තික නවාතැනට එන විට පකුධ රජවාසලේ රාජකාරිය සඳහා පිටත්ව ගොස් තිබුණි. කෑම ගැන නොසිතූ ගුත්තික ඇඳෙහි හාන්සි වූයේ ‘හෝරාවකට, දෙකකට පසුව රජවාසල පැත්තේ යන්නෙමි’ යන අදහසිනි. ගුත්තිකට තදින්ම නින්ද ගියේ ය. හිරු මුදුන් හෝරාවේ පකුධ ම පැමිණ ඔහු අවදි කළේ විය. “තා මේ වෙලාවේ?” අවදි වූ ගුත්තික පකුධගෙන් ඇසුවේ කුමක් හෝ විශේෂිත දෙයක් සිදුව ඇති බව විශ්වාස කරමිනි.

“රට ම යටත් වීගෙන යනවා. මන්තරකාරයෝ මාලිගාවට ආවා. පෙරේතයෝ ගැනයි, දෙවිවරු ගැනයි, තව මොකක්ද හතරක් ගැනයි කියලා මැතිරුවා. මැතිරුවා ම තමයි. මහානාග රජ්ජුරුවන්ගේ අනුලා බිසවයි, ස්තිරියාවො පන්සියයකුයි දපනේ වැටුනා. ඊළඟට නගර වැසියන්ට මතුරන්ට රජවාසලේ ඇත් ගාල සුද්ද කරනවා. ඒ මන්තරයට අහුවෙන්න කලින් මං පැන ගත්තා.” පකුධ කීවේ නගරයෙන් ද පලා යෑමට සූදානම් වන ලෙසිනි.

“යමන් රජවාසලට ගිහිල්ලම බලමු.” නැගී සිටි ගුත්තික කීවේ ඉනේ සළුව තදට අඳිමිනි. “මට බැහැ.” පකුධ මුරණ්ඩු ලෙස පැවසී ය. “වර යන්න.” ගුත්තික කෙසඟ පකුධවත් ඇදගෙන ම නවාතැනින් එළියට බැස්සේ ය.

පකුධවත් ඇදගෙන ම ගුත්තික ඇත්හලට ඇතුල්වන විට මහින්ද මහරහතන් වහන්සේ නගර වැසියන්ට ධර්ම දේශනය ආරම්භ කළා පමණි. වාඩිවෙන්නට තැනක් නොවුණෙන් ඔවුන්ට සිටගෙන ම සිටින්නට සිදු විණි.

“ඕක තුන්පාරක් කියලා තමයි පටන් ගන්නේ. සමහරුන්ට ඕක ඇහුණ ගමන් සිද්ධි වෙනවා.” නමස්කාර පාඨය ඇසූ පකුධ ගුත්තිකට කීවේ ‘මෙතනින් පැන ගමු’යි කියන්නාක් මෙනි. ගුත්තික සෙලවුණේවත් නැත.

ආගන්තුකයන් ගැන පකුධගේ ආකල්පය සම්පූර්ණයෙන් ම වැරදි බව ගුත්තිකට ඉක්මනින් ම තේරුනි. සිදුවීම් පෙළක් තම වැරදි අදහස සනාථ කිරීම පිණිස පකුධ මනාව ගෙත්තම් කොට තමාට පැවසූ බව තේරුම් ගත් ගුත්තික, පකුධගේ අල්ලා සිටි අත අත්හැර දේශනාව කෙරෙහි සිත රැඳවී ය.

මෙතෙක් නොඇසූ විරූ අද්භූත දේවල් ඔහුට ඇසෙන්නට විය.

පින් – පව්, කුසල් -අකුසල්, සුගතිය- දුගතිය, සංසාර දුක – දේවදූතයෝ, තෙරුවන – සිල් පද තමා මෙතෙක් පින් කිරීම යැයි සැලකූ ගස් ගල් පර්වත යක්ෂ වන්දනා ආදිය වැරදි දේවල් බව ගුත්තිකට වැටහුණි. දස අකුසල් කරමින් තමා ද නිරය කරා යන වැඩපිළිවෙළේ නිරතව සිටින බව ඊටත් වඩා හොඳින් තේරුණි. තෙරුවන් සරණ යාම, සිල්පද (පන්සිල් පද) රැකීම පිහිටක් පිළිසරණක් පිණිස පවතින විසඳුම කරා ඇතුල්වෙන ද්වාරය බව ඔහුට හැමදේටම වඩා හොඳින් අවබෝධ විණි. ඔහු තුළ මෙතෙක් නොහටගත් අමුතු ප්‍රීතියක් ඉපදුණි.

“මොකද අමුතු වුණේ? දපනේ වැටුණ නේද?” ගුත්තිකගේ වෙනස හඳුනාගත් පකුධ ඇසුවේ රහසෙනි. සරදම් ලෙසිනි.

“තිසරණය නැතුව, පන්සිල් නොරැක රජකම් කළත් ඇති ඵලක් නැහැ බං. අන්තිමට නිරයේ වැටිලයි නවතින්නේ.”

“ඉතිං?”

“ඉතිං අද ඉඳල මමත් ඒ බුදුරජාණන් වහන්සේ ව සරණ යනවා. ධර්මයත් සරණ යනවා. ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. දිවි හිමියෙන් පන්සිල් රකිනවා.” ගුත්තික තිරසාර වූ උදාර හඬින් පැවසී ය.

කේශව ගංගානාත්.