සරතැසින් පෙළුණු ගිම්හානය නිමාකරමින් සිහිල් වර්ෂාවෙන් මහ පොළොව තෙමා ගහකොළ සතා සීපාවන් නිවා සනහන්නේ වස්සාන ඍතුවේ දී ය. කෙලෙස් ගිමනින් පීඩිත අනවරාග්‍ර සසර සැරිසරමින් පැමිණි සත්වයන් අතුරින්, බුද්ධෝත්පාද යුගයක මිනිස්ලොව ඉපදීමට පින තිබූ, තථාගත ධර්මශ්‍රවණයෙන් ගිහි දිවියට සමු දී පැවිදි දිවියට පත් වීමට පින තිබූ පිනැතියන් බොහොමයක් විවේකීව ශ්‍රමණ ගුණ දම් පුරා සදහටම නිවී සැනසී ගියේත් මෙවැනි ම වූ පින්බර වස්සාන සමයන්හි දී ය.

අංග, මගධ, කාසි, කෝසල ආදී සොළොස් මහා ජනපදයන්ගෙන් යුතු ඒ ජම්බුද්වීපයේ එකල විසූ ආජීවක, පරිබ්‍රාජකාදීන්, ශ්‍රමණයින් සාමාන්‍යයෙන් වැසි සාරමස එක් තැනක වාසය කිරීම සිරිතයි. අපගේ ශාස්තෘන් වහන්සේ සම්බුදු බව ලබා ප්‍රථම දම් දෙසුම වදාරා පස්වග ශ්‍රමණයන් වහන්සේලා සමග බරණැස ඉසිපතන මිගදායෙහි දී ප්‍රථම වස් කාලය ගත කළ සේක.

කලක් යන විට ඇතැම් භික්ෂූහු වස් කාලයෙහි ද චාරිකාවේ වැඩියහ. ගිම්හානයේ දී එකල මෙන් ම මෙකල ද ඉන්දියාව අතිශයින් වියළි දේශගුණයකට බඳුන් වෙයි. නිල් තණකොළ බිඳක්වත් ඇහැ නොගැටෙන පරිදි වියළී ගොස් මංමාවත් දූවිල්ලෙන් පිරී, හමන වියළි කර්කශ සුළඟින් දූලි වලාවන් හැම දිග පැතිර යන පරිසරයකට වැටෙන වැස්ස හැමදෙන ප්‍රිය කරත්. නොබෝ කලකින් පොළොවෙන් මතු වන ළාතණ දකින වැසියන් එයට ප්‍රිය කරයි. වියළි පිදුරු බුදිමින් අතිශය අපහසු කාලයක් ගෙවූ සිව්පාවුන් පිනා ගිය සිතින් නිල් තණ බුදියි. ඒකීන්ද්‍රීය ජීවීන් යැයි ගහකොළ ගැන සිතන එකල දඹදිවවැසි මිනිසුන් ඒ තණ ගහක් පෑගීමටවත් අකමැති වෙයි. ඒ බොහෝ කලකට පසු දැකීමට ලැබුණු නිසාවෙනි. වස්සානයේ චාරිකාවේ වඩින භික්ෂූන් දුටු ඔවුහු මෙසේ පැවසූහ.

“‍කථං හි නාම සමණා සක්‍යපුත්තියා හේමන්තම්පි ගිම්හම්පි වස්සම්පි චාරිකං චරිස්සන්ති, හරිතානි තිණානි සම්මද්දන්තා, එකින්ද්‍රියං ජීවිං විහේඨෙන්තා, බහූ ඛුද්දකේ පාණේ සංඝාතං ආපාදෙන්තා?…”‍

“‍කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ හේමන්තයෙහිද ගිම්හානයෙහිද වස්සානයෙහිද නිල් තණ මඩිමින්, ඒකීන්ද්‍රීය ජීවීන් වෙහෙසවමින්, බොහෝ කුඩා ප්‍රාණීන් විනාශයට පමුණුවමින් චාරිකා කරත් ද?…”‍

“අරුත්බර දහම් නොදෙසූ අන්‍යාගාමිකයෝ පවා වැසි කල එක් තැනක සිත් අලවා වසත්. කුරුල්ලන් පවා කැදලි තනා ඒවායේ ඇලී වසයි.

මේ ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් ඇයි මෙසේ චාරිකාවේ හැසිරෙන්නේ?” යැයි කියමින් දොස් නගන මිනිසුන්ගේ වචන ඇසූ භික්‍ෂූහු එය ශාස්තෘන් වහන්සේට සැළ කොට සිටියහ.

“‍අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං”‍

“මහණෙනි, වස්සාන සමයෙහි වස් එළඹෙන්නට අනුදනිමි.” යි අපගේ භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ සේක.

වස් එළඹීම් කෙතෙක් ද?

“‍ද්වේමා භික්ඛවේ වස්සූපනායිකා: පුරිමිකා, පච්ඡිමිකාච. අපරජ්ජුගතාය ආසාළ්හියා පුරිමිකා උපගන්තබ්බා. මාසගතාය ආසාළ්හියා පච්ඡිමිකා උපගන්තබ්බා…”‍

“මහණෙනි පෙරවස් එළඹීම, පසුවස් එළඹීම යැයි මේ වස් එළඹීම් දෙකකි. ඇසළ පුන්පොහෝ දිනට පසු දින (අව පෑළවියෙහි) පෙර වස් එළඹිය යුතු ය. ඇසළ පුන්පොහෝ දිනට මසක් ඉක්ම ගිය කල්හි පසුවස් එළඹිය යුතු ය…”‍

මෙසේ අනුමත වූ වස් වාසය සමඟ යෙදුණු ප්‍රායෝගික හේතූන් නිසාවෙන් අපගේ ශාස්තෘන් වහන්සේ විසින් පැනවූ විවිධ ප්‍රඥප්තීනුත්, කලින් සඳහන් විස්තරයත් සියල්ල විනය පිටකයේ මහාවග්ගපාලියේ වස්සූපනායිකක්ඛන්ධකයේ පැහැදිලිව සඳහන් වේ.

අනිවාර්යයෙන් ම හිසට මනා සෙවණක් ඇති සුදුසු සෙනසුනක වස් වැසිය යුතු ය. ගස් බෙනවල, රුක් මුල් වැගිරෙන සෙවණවල, එළිමහන්වල, සොහොන් කුටිවල, කුඩයක සෙවණ යට, අන්‍ය තීර්ථකයින් ඇතැම්විට වාසයට ගන්නා විශාල සැලි තුළ වස් වාසය නොකළ යුතු ය. තමාට ආරාධනා කළ විට එය පිළිගත් සෙනසුනෙහි ම විශේෂ අනතුරක් නැති නම් වස් වාසයට එළඹීම භික්‍ෂුවකගේ සිරිතයි. වස් සමාදන් වූ දින පටන් පවාරණ දිනය දක්වා ඒ භික්‍ෂුව යම් හේතුවක් නිසා ඒ ආරාමයෙන් බැහැරට වඩින්නේ නම් යා යුත්තේ ‘දින හතක් තුළ නැවත මෙහි ම පැමිණෙන්නෙමි’යි, සත්තාහකරණියෙනි. එම පිළිවෙත බිඳීම ආපත්තියකි.

වස් වසන කාලය තුළ භික්ෂූන් වහන්සේලා සිය ප්‍රතිපත්ති මග පිරීමට වෙහෙසී ප්‍රතිවේධයන්ට පත් වීමට උත්සාහ කරති. ඒ කාලසීමාවේ ආරාමයට පැමිණ භික්ෂූන්ට උපස්ථාන කොට, ධර්මශ්‍රවණය කොට, ඒ දහම් මග අනුගමනය කොට වෙනදාට වඩා පින් කුසල් පිරීම ගිහි උවසු උවැසියන්ගේ සිරිතයි. ඇතැම් විට උපාසක උපාසිකාවන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම්වල දී භික්‍ෂූන්ගේ ආශීර්වාදය ලබා ගැනීමට සිය නිවෙස් වෙත වඩින ලෙස ඇරයුම් ලදහොත් එයට ද
භාග්‍යවතුන් වහන්සේ අවකාශ ලබා දී තිබේ. ආරාධනයක් ලද කල්හි පමණක් වැඩිය යුතු ය. ඒත් සත්තාහකරණියෙනි. භික්‍ෂු, භික්‍ෂුණී, සික්ඛමානා, සාමණේර, සාමණේරි, මව, පියා යන හත් දෙනා වෙත යම් යම් හේතුකාරණා මත අනාරාධිතව වුව ද වැඩීමට මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සේක.

යම් හෙයකින් ඇසළ පුන්පෝ දිනට පසු දින පෙරවස් වැසීමට නොහැකි වූ භික්‍ෂූන් පසුවස් වැසිය යුතු ය. පෙරවස්වැසි භික්‍ෂූන් වප් පුන්පොහෝ දා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම සිදු කරයි. එයත් වත් පිළිවෙත් සමුදායකින් යුතු විනය පැනවීමකි. ඉන්පසුව ඉල් පොහොය දක්වා එන මාසය චීවර මාසයයි. ඒ මස තුළ කඨින පින්කම් සිදු වේ. බුදු සසුන හරි අසිරිමත් ය. හැම දෙයක් ම ඉතා සංවිධිත ය. අර්ථාන්විත ය. අවිහිංසාවාදී පුණ්‍ය පිළිවෙතෙහි කෝෂ්ඨාගාරය බුදු සසුනයි. මෙසේ පසුවස් සමාදානය නිකිණි පුන්පොහෝ දින සමඟ යෙදේ.

නිකිණි පුන්පෝ දා තවත් වැදගත්කමෙකි. එය ප්‍රථම සංගීතිය හා බැඳුනකි. අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩි පසු, දින හතකින් ආදාහන පූජෝත්සවය යෙදිනි. ආරණ්‍යවාසී ව ශිෂ්‍ය භික්‍ෂූන් සමඟ වැඩ සිටි අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩින තුරු චිතකය ගිනි ඇවිලු‍ණේ නැත. වඩින අතරමග එක් රුක් මුලක නතරව සිටින කල්හි බුදුරදුන් පිරිනිවි බව අසා සුභද්‍ර නම් මහලු‍ පැවිද්දා, “‍අප ඒ මහා ශ්‍රමණයාගෙන් මනාව මිදුණා. දැන් අපට මේක කැපයි, මේක අකැපයි කියමින් පනවන්නට කිසිවෙක් නෑ. එනිසා ශෝක කරන්න එපා. හඬන්න එපා.”‍ යයි අභද්‍ර වචන පැවසී ය. එය ඇසූ අපගේ මහා කස්සප මුනිඳුන් ධර්ම සංගායනාවට අදිටන් පිහිටවීය.

“‍හන්ද මයං ආවුසෝ ධම්මඤ්ච විනයඤ්ච සංගායාම පුරේ අධම්මෝ දිප්පති ධම්මෝ පටිබාහීයති. පුරේ අවිනයෝ දිප්පති විනයෝ පටිබාහීයති. පුරේ අධම්මවාදිනෝ බලවන්තෝ හොන්ති, ධම්මවාදිනෝ දුබ්බලා හොන්ති. පුරේ අවිනයවාදිනෝ බලවන්තෝ හොන්ති, විනයවාදිනෝ දුබ්බලා හොන්තී ති.”‍

“‍එහෙයින් ඇවැත්නි; අපි අධර්මය බැබළීමටත් ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්මවාදීන් බලවත් වීමටත් ධර්මවාදීන් දුබල වීමටත් පෙර, අවිනයවාදීන් බලවත් වීමටත් විනයවාදීන් දුබල වීමටත් පෙර, ධර්මය ද විනය ද සංගායනා කරම්හ!” යි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වදාළහ.

අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වන විට රහත් වී නැත. සංගායනාවට රහතන් වහන්සේලා තෝරා ගනිද්දී අනඳ තෙරුන්ටත් ඉඩක් තබා, වීර්ය කිරීමට අනුශාසනා කළහ. අනෙක් භික්‍ෂූන් රජගහනුවර වස් නොවිසිය යුතු බවට සම්මත විය.

මහා කාශ්‍යප මුනිඳුන් ප්‍රධාන හාරසිය අනූනවනමක් ෂඩ් අභිඥාලාභී චතුපටිසම්භිදාලාභී නිකෙලෙස් මුනිවරු වස් වැසූ සේක. ඇසළ පුන්පෝ දිනට පසු දින වස් වසා “‍ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් බිඳුණු, පැළු‍ණු තැන් පිළිසකර කිරීම වර්ණනා කරන ලද්දේ ය. එහෙයින් අපි පළමු මාසය තුළ කුටි සෙනසුන් පිළිසකර කරගෙන මධ්‍යම මාසයෙහි රැස්ව ධර්මය ද විනය ද සංගායනා කරන්නෙමු.”‍ යි සියලු‍ සංඝයා ඒකමතිකව එකඟ වූ සේක.

“අථ ඛෝ ආයස්මා ආනන්දෝ ස්වේ සන්නිපාතෝ, න ඛෝ මේතං පතිරූපං යෝහං සේඛෝ සමානෝ සන්නිපාතං ගච්ඡෙය්‍යන්ති, බහුදේවරත්තිං කායගතාය සතියා වීතිනාමෙත්වා රත්තියා පච්චූසසමයං නිපජ්ජිස්සාමීති කායං ආවජ්ජේසි. අප්පත්තං ච සීසං බිම්බෝහනං, භුමිතෝ ච පාදා මුත්තා, ඒතස්මිං අන්තරේ අනුපාදාය ආසවේහි චිත්තං විමුච්චි. අථ ඛෝ ආයස්මා ආනන්දෝ අරහා සමානෝ සන්නිපාතං අගමාසි.”

“එකල්හි, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ; හෙට රැස්වීම ය. මම සේඛ වූයේ ම රැස්වීමට යන්නේ නම් එය මට නිසි නොවේ යැයි රාත්‍රියෙහි බොහෝ වේලාවක් කායගතාසතියෙන් වාසය කොට රාත්‍රිය පහන් වන වේලාවෙහි හාන්සි වන්නෙමි’යි කය ඇල කළහ. හිස ද කොට්ටය වෙත නොපැමිණියේ ය. පාදයෝ ද පොළොවෙන් මිදුණාහ.

මේ අතරෙහි සිත උපාදාන නොකොට ආශ්‍රවයන්ගෙන් මිදුණේ ය. ඉන්පසු ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ රහතන් වහන්සේනමක් ලෙස රැස්වීමට වැඩි සේක.”

(චුල්ලවග්ගපාලි පඤ්චසතිකක්ඛන්ධකය, සංගීති නිදානය)

මෙලෙස නිකිණි පුන්පෝ දා අලු‍යම අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ අරහත් බවට පත් වූ සේක. දැන් රජගහනුවර පන්සියනමක් රහතන් වහන්සේලා වැඩ සිටිති. ඉන්පසු පළමු ධර්ම සංගායනාව අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේත්, ආනන්ද මහරහතන් වහන්සේත්, උපාලි මහරහතන් වහන්සේත්, අනුරුද්ධ මහරහතන් වහන්සේත් ප්‍රමුඛ රහතන් වහන්සේලා සමඟ ආරම්භ කොට සත් මසකින් නිම කළහ. තථාගත ධර්ම විනය, නවාංග ශාස්තෘ ශාසනය, සම්බුදු සසුන මැනවින් සුරක්ෂිත විය. ඒ පින්බර සිදුවීමට මූලික ඇරඹුම වූයේ අද වැනි පුන්පොහෝ දිනකයි.

මෙවැනි අරුත්බර වැදගත්කම්වලින් පිරුණු මේ සුපින්බර නිකිණි පුර පසළොස්වක පොහෝ දා පින්වත් ඔබ සැමට ප්‍රතිපත්තිය පෙරට ගත් ආමිස ප්‍රතිපත්ති යන දෙයාකාරයේ ම පින් කුසල් පිරෙන පින්බර පොහෝ දිනයක් වේවා!

තෙරුවන් සරණයි!