“ස්වාමීනි, සේරිවාණිජ ජාතකයේ මාගේ මිත්‍ර ව සිටි ඔබවහන්සේ ‘මට ලැබිය යුතු ධනය මගෙන් පැහැර ගත්තා’ යන දුර්මතයෙන් සංසාරෙට මහා භයානක වෛරී බන්ධනයක් හදා ගත් බව ක්‍රෝධයෙන් අන්ධ වූ මට වැටහුණේ නෑ. අනේක ජාතිවල දී ඔබවහන්සේට විරුද්ධවාදීව හානි කළේ ඒ සංසාරගත දෝෂය නිසා බවත් ඒ කිසිම ජාතියක දී මට තේරුනේ නෑ. මහා ගුණවත් වූ පින්සාර වූ ඔබවහන්සේට සතුරුකම් කිරීම නිසා බොහෝ ජාතිවල මා ගුණයෙන් පිරිහී ගියා. ඒත් ඔබවහන්සේ මුණ නොගැහුන අනේක ජාතිවල දී තුනුරුවන් විෂයේ මා අපමණ පිනුත් රැස් කළා. සීලාදී ගුණ පිරුවා. මේ ගෞතම බුදු සසුනේ අතිශය කීර්තිමත්, ස්නේහයේ ස්වර්ණ හස්තය වූ මාගේ නැගණිය වන යශෝධරාවන් ගැන සකල ශාසනය පුරාම යශෝරාවය පැතිරෙද්දී, සදාකල් සිව්වනක් පිරිස මුවින් මුව ‘ශාපලත් අසත්පුරුෂයා, පවිටා’ කියා ප්‍රසිද්ධ වූ ඔබවහන්සේගේ මහා සතුරා විරුද්ධවාදියා ලෙස සුපතල දේවදත්ත මමයි.
බාල කාලයේත් යම් යම් අමනාපකම් ඇති වුණත් කපිලවස්තුවේ දී යමා මහ පෙළහර දැකලා ආනන්දාදී සහෝදරයන් සමඟ ඔබවහන්සේ ළඟ පැවිදි වුණේ ශ්‍රද්ධාවෙන්මයි. යශෝධරාගේ කැපකිරීම් කොතරම් නිවැරදි ද කියා මා සිතූ වාර අපමණයි. ඔබවහන්සේ ගැන මහත් ගෞරවයක්, ආදරයක් ඇතිවමයි මං නිවන් පතාගෙන සීල සමාධි ප්‍රඥාව වැඩුවේ. ඔබවහන්සේගේ දෙසූ නිමල දහම කරුණාවෙන් දේශනා කරද්දී මිනිසුනට, ධර්ම සේනාධිපතීින් වහන්සේ පවා මිනිසුන් අතර මා වර්ණනා කළා.
මා නොසිතූ විරූ අයුරින් මගේ සිත වෙනස් වුණා. ඍද්ධි බලත් ලබලා, විශාරද ධර්ම කථිකයෙක් වෙලා, ලාභ සත්කාරයෙන් අගතැන්පත් වෙද්දි ඒ හෙණ සක මා හිස මත ම වැටුණු බව මට වැටහුණේ නෑ.
සවණක් ඝන බුදු රැස් විහිදුවාගෙන එදා වීදිය දිගේ ඔබවහන්සේ වඩිද්දි, මිනිස්සු යස ඝෝෂා කරද්දි මගේ දීන හිත… ඉරිසියාවෙන් මිරිකිලා ගියා. සසර පුරුද්දකට බව මට වැටහුණේ නෑ. ඔබවහන්සේට සම වෙන්ට මට සිතුණේ ඇයි ද මා දන්නේ නෑ. ඔබවහන්සේගේ යසස මට ගන්නට සිතුණේ ඇයි ද මං දන්නේ නෑ…
ස්වාමීනී ඇත්තටම මා අසත්පුරුෂ වුණා… ධර්මය අධර්මය කරන්ට, විනය අවිනය කරන්ට, ලාභ සත්කාර සාරය කරගෙන ශ්‍රේෂ්ඨ ශාස්තෘන් වහන්සේට පවා හිංසා කරන්ට මගේ සිත රළු වුණා. දුෂ්ට වුණා. නිවන් පතා ආ පින්වන්තයන් නොමඟ යවන්ට කූට උපක්‍රම යෙදුවා. අජාසත් ධර්මයෙන් පහදවාගෙන ලාභ සත්කාර උපදවාගෙන අජාසත් ලවා පීතෘ ඝාතනය කෙරෙව්වා. මාත් ආනන්තරීය පාප කර්මය කරගත්තා.
ආශ්චර්යයි, ස්වාමීනි..! ආශ්චර්යයි..!
සර්වඥ වූ ඔබවහන්සේ මේ හැමදේම දන්නා සේක. මා වෛර බැන්ද තැන දන්නා සේක… මා පැවිදිව සංඝයා බිඳවන බව, මා ඔබවහන්සේට දෙන දුක් ගැහැට බුදුනෙතින් දුටු සේක. බුදු කරුණාව පුදුමයි!
මාගේ ස්වාමීනී… මට මෙතරම් කල් ගියා… කල්ප පහක් පුරා ම නොතේරුණු ඔබවහන්සේගේ ගුණය තේරුම් ගන්නට මෙතරම් ප්‍රමාද වුණා. අද මේ මරණ මංචකයට වැටෙන තුරු… බැරි වුණා සිහි උපදවාගන්ට. පුදුමයි… මට ඔබවහන්සේගේ කරුණාව ගැන.
මා බුදු සසුනට කරන මහා කැළල දැක දැක, දැන දැන මාගේ ස්වාමීනි, මා පැවිදි කළේ ඇයි? බුදු සසුනක් පුරාවට ගැරහුම් ලබන අසත්පුරුෂ මා පැවිදි කළේ ඇයි ස්වාමීනි? මෙතරම් ඔබවහන්සේට ඊර්ෂ්‍යා කරද්දී… ඇතුන් රා පොවා එවද්දී, දුනුවායන් එවද්දී, සංඝයා බිඳුවද්දී රාහුලයන්ට සේම ස්නේහයෙන් මා දෙස බැලුවේ කෙසේ ද ඔබවහන්සේ..? මගේ ඉරණම දැන් ලියැවී අහවර වුණත්, මට තවමත් පිහිටක් තියෙන්නේ ඔබවහන්සේ ළඟ ම විතරයි.
අනේ, ස්වාමීනී, මං දන්නවා… කවුරු නැතත්… මට ඔබවහන්සේ සමාව දෙනවා… අනේ, මට සමාවෙන්න. මට දැන්වත් නිවැරදි වෙන්න ඕන. මට මේ සංසාරගත වෛරයෙන් නිදහස් වෙන්න ඕන. මේ නීච සංසාරෙ මට එපා. මට පිහිටවෙන්න ස්වාමීනී.
ඔව්… මං එනවා ඔබවහන්සේ සොයාගෙන, මං එනවා. සිරිපා වැළඳගෙන සමාව අරන් මැරෙන්න කලින් මං ඔබවහන්සේ දිවි පුදා සරණ යනවා…”
සිරිපා වැළඳ සමාව ගන්ට පිනෙන් තොර වූ දෙව්දතුන් ජේතවනය පේන නොපෙනෙන දුරදි පොළොව පැළී ගිනිදැලින් වෙලී නිරයට ඇද වැටුණේ මෙසේ බුදු සරණ හද පුරා වැළඳ ගනිමිනි.
දේවාති දේවං නරදම්මසාරථී
සමන්තචක්ඛු සතපුඤ්ඤලක්ඛණං
පාණේහි බුද්ධං සරණං උපේමි
“දෙවියන්ට අග්‍ර දෙවි වූ, ජනයා දමනය කිරීමෙහි නායක වූ, සියල්ල දක්නා ඇස් ඇත්තා වූ, සතපුණ්‍ය ලක්ෂණයෙන් සොබමන් වූ අග්‍ර පුද්ගල බුදුරජාණන් වහන්ස, මම් ඔබවහන්සේව පණ ඇති තෙක් සරණ යමි!”
හේ ගෞතම බුදු සසුනෙහි ශ්‍රද්ධාවෙන්, සීල, සමාධි, ප්‍රඥාව වැඩූ පින් බලෙන් හා දිවිහිමි කොට බුදු සරණ ගිය පින් බලෙන් මෙත් බුදු සසුනට පෙර පහළ වන පසේබුදු යුගයෙහි නිරයෙන් ගොඩවිත් ‘සට්ඨිස්සර’ නමින් පසේබුදු වන්නේ ය.
ගෞතම සසුන පුරා ම අසත්පුරුෂ නාමය ම ඇසූ දේවදත්තයන් මතු අසත්පුරුෂ ධාතුව අභිබවා සරණ ලත් බලයෙන් පිරිපුන් සත්පුරුෂ භූමියේ පිහිටා ලෝකයට උතුම් පින් කෙතක්ව ගෞතම ශ්‍රාවක දෙව් බඹුන්ගෙන් පවා පිදුම් ලබනු ඇත. ඒ උත්තම පසේබුදුරජාණෝ අමෘත නිවන සාක්ෂාත් කිරීම නිසා සියලු කර්ම ගැටවලින් නිදහස් වී පරම උපේක්ෂාවට පත් වූ සිතින් ඒ සසර දෙස බලා කෙලෙස සිතාවිදැයි කෙලෙස් සහිත අප කෙසේ සිතමු ද?
කලෙක සිටුවරු කලෙක රජවරු
සිඟාකත් තැටිකබල් අතගෙන
කලෙක දහමට නිගා දෙන්නෝ
දහම දැක සැනසෙති අමාවෙන්
පවිටු අසත් දන කලක මෙළෙක් වී
වඩිත් වඩිත් සත්පුරුෂ බුදුන් වෙත
මෙවන් සත මනින්නට
තුලාවක් කොයින්ද?
නැත මිණුම් දණ්ඩක් ද…
සසර බැඳුණු ගැට – අවුල් වියවුල් දෙස බලා
එය පිවිසවා හදට – දොම්නසක් උපදනු කුමට?
දැක මේ මිනිස් සිත – මිනිය නොහැකි වග
පතුරවා සම මෙත – ලබත් මැදහත් සිත
දනිව් මිනිසුනේ – මුව ඇති තෙක් දොඩන
කඩු කිණිසි සම වදනින් – සත් ගුණ වනසන,
සත් දනන් නම් ඔබට
වෛර නොබඳනා වග
ඔබේම පමාවෙන්
ඔබ ම දුක් විඳිනු ඇත
සරණ ලබනා දින
සකල දුක් වියළෙනු ඇත..!
මහමෙව්නා අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments