පින්වත් යොවුන් දූ දරුවනේ,

ජීවිතේ ගෙත්තමක්. මේ මොහොතෙත් අපි එය ගොතමින් තමයි ඉන්නෙ. අපි එක එක්කෙනාගෙ ජීවිත ගෙත්තමේ ගෙත්තම්කරුවා අපිමයි. එය ලස්සන ගෙත්තමක් කරගන්නවා ද අවුල් ගෙත්තමක් කරගන්නවා ද කියන දේට සම්පූර්ණ වගකිවයුත්තා තමාමයි. නූල් අරගෙන ගෙත්තමක් ගොතන්න යම් කාලයක් ගත වෙනවා. ඒ කාලය ගත කරලා ගෙත්තමක් ඉවර කරද්දී, ගෙතුම පිණිස ගත්තු නූලුත් ඉවර වෙනවා. ලස්සනට ගෙතුවත් නූල් ඉවර වෙනවා. කැතට ගෙතුවත් නූල් ඉවර වෙනවා. අන්න ඒ වගේමයි අපේ ජීවිතේ සාර්ථකව කාලේ ගත කළත් ආයුෂ ඉවර වෙනවා. ජීවිතේ අවුල් කරගෙන කාලේ ගත කළත් ආයුෂ ඉවර වෙනවා. හරියට නූල් ඉවර වෙනවා වගේ. අපේ ජීවිත ගෙත්තම ගෙතීම පිණිස අපිට වෙන් වෙලා තිබෙන නූල තමයි ආයුෂය.

දැන් තමයි වෙලාව…

ඔයාල දැන් ජීවත් වුණ විදිහ ආපහු හැරිලා බැලුවත් මේ වනතෙක් ගොතපු ගෙත්තම බලාගන්න පුළුවන්. ඒ ගත වෙච්චි අවුරුදු ගාණක මුළු කාලෙම අපේ ආයුෂ තමයි ඉවර වුණේ. නමුත් අපි දන්නේ නෑ තව ඉදිරියට ජීවිත ගෙත්තම වෙනුවෙන් අපිට ආයුෂ නමැති නූල කොතරම් දිගට තියෙනවා ද කියලා.

අන්න ඒ නිසා දැන් තමයි වෙලාව. මේ මොහොත සාර්ථක කරගත්තොත් අපිට යම් කලක් ගිහින් සාර්ථක ජීවිත ගෙත්තමක් දැක ගන්න පුළුවන් වේවි. නමුත් දැන් අසාර්ථක වුණොත් අපිට යම් කලක් ගිහින් දකින්න වෙන්නේ අවුල් වුණ ජීවිත ගෙත්තමක්. තමාගේ ජීවිත ගෙත්තම අවුල් කරගන්නවා ද සාර්ථකව ලස්සන කරගන්නවා ද කියන දේ තම තමන් දැන්ම තීරණය කළ යුතුයි.

ඉතින් මේ අගනා උපමාවත් එක්ක ආරම්භ වෙන අද ලිපිය අවසානය තෙක් කියවන්න කියන ඇරයුමත් එක්කම ඔබට සෙනෙහසින් ආශීර්වාද කරනවා මේ ලිපියෙන් ලබා ගන්න නුවණින් යුතුව තමාගේ ජීවිත ගෙත්තම සාර්ථක කරගන්න ඔබට වාසනාව ලැබේවා!

සීලයෙන් පටන් ගන්න…

“මේ බුදු සසුනේ පුහුණු කරන්ට ඕනෑ සීලයමයි. මේ ජීවිතයේ දී හොඳට සිල් රැකගත්තොත් සියලු සම්පත් ලැබෙනවා. නුවණ තියෙන කෙනා සිල් රකින්ට ඕනෑ සැප තුනක් බලාගෙන. ඒ තමයි ප්‍රශංසාව, ධන ලාභය වගේම සුගතියේ ඉපදිලා සතුටු වීම. සිල් රකින කෙනාගේ සංවර ජීවිතය නිසා එයාට ගොඩක් හොඳ මිතුරන් ලැබෙනවා. ඒ වුණාට දුස්සීල කෙනා පාපී ක්‍රියා නිසා හොඳ මිතුරන්ගෙන් ඈත් වෙනවා.

මුලින්ම පිහිට වෙන්නෙ ශීලයයි. ශීලය කියන්නේ යහපත් ගතිගුණවලට අම්ම කෙනෙක් වගේ දෙයක්. සියලු ගුණධර්මවල ප්‍රමුඛයා ශීලයයි. එනිසා ශීලය පිරිසිදුව තබා ගන්ට ඕනෑ.”

සීලව නම් වූ උතුම් මහරහතන් වහන්සේ තමයි සීලය ගැන ඔය වටිනා කරුණු දේශනා කළේ. ජීවිතේ අතිශයින්ම සාර්ථක කරගත් රහතන් වහන්සේලා සාර්ථක ජීවිතයට පළමු පියවර විදිහට පෙන්වා දුන් සීලය ඔබත් ඔබේ ජීවිත ගෙත්තමට එකතු කරගන්න. දුස්සීලව චිත්ත සමාධියක් නැතිව ගත කරන අවුරුදු සියයකට වඩා සිල්වත්ව ධ්‍යාන වඩමින් ගත කරන එක දවස උතුම් කියලයි අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ජීවිතේට පිහිට ලබාදෙන පළමු කරුණ සීලයයි.

දහම් දැනුමත් උවමනයි…

මෙතෙක් ඉගෙනගත් කාරණා ටික පවා ඔයාලට දැනගන්න ලැබුණේ ධර්මය නිසා නේද? ඉතින් දහම් දැනුමේ වටිනාකම ගැන වැඩි විස්තර දැක්වීමක් උවමනා නෑ. දහම් දැනුම වැඩි වෙන තරමට ජීවිත ගෙත්තම හැඩ කරගැනීමට උවමනා දැනුමත් වැඩි වේවි. ඒ නිසා තමන්ට පුළුවන් තරම් සුන්දර දහම් දැනුමක් හදාගන්න. දහම් දැනුම ජීවිතේට පිහිට ලබාදෙන දෙවැනි කරුණයි.

ඇසුර ඉතාම වැදගත්…

හොඳ දහම් දැනුමක් ලැබෙන්න නම් හොඳ කල්‍යාණමිත්‍ර ඇසුරක් අත්‍යවශ්‍යයි. ජීවිතේක වෙනස්වීම පිණිස බලපාන ප්‍රධාන සාධකයක් තමයි ඇසුර. යහපත් ඇසුරක් ජීවිතේ යහපතට බලපානවා වගේමයි අයහපත් ඇසුර ජීවිතේ අයහපත් වීමට බලපාන්නේ.

ගොඩාක් සුන්දර ජීවිත ගෙත්තම් අසුන්දර වෙන්න බලපාන්නේ අයහපත් පාපී ඇසුරමයි. නමුත් අංගුලිමාල කියන දාමරික චරිතය සුන්දර මුනිවරයෙක් බවට පත් වුණේ බුදුරජුන්ගේ කල්‍යාණමිත්‍ර ඇසුර නිසා. අම්බපාලී, අඩ්ඪකාසී ආදී වෙසඟනුන් මුනිවරියෝ වුණේ බුදුසමිඳුන් නිසා. පටාචාරා, කිසාගෝතමී වැනි කඩා වැටුණු ජීවිත සැනසුමට පත් වුණේ බුදුසමිඳුන් නිසා.

කල්‍යාණමිත්‍ර ඇසුර වටිනා බව තේරුම් ගැනීමට මේ ටිකත් මදි ද. ඉතින් එනිසා ඇසුර යහපත් කරගන්න. කල්‍යාණමිත්‍ර ඇසුර ජීවිතේට පිහිට ලබාදෙන තුන්වැනි කරුණයි.

කියන දේ කරන්න ඕන…

ඒ කිව්වේ කීකරුකම. බුදුරජාණන් වහන්සේ සමීපේම කෙනෙක් හිටියත් එයා ළඟ කීකරුකම නැත්නම් ජීවිතේට කල්‍යාණමිත්‍ර ඇසුර සම්බන්ධ වෙන්නේ නෑ. ඒ නිසා ඉතාම වැදගත් දෙයක් තමයි කීකරුකම. අවුල් වුණ ජීවිත ලස්සන කරගත්ත හැමදෙනෙක් ළඟම තිබුණු සුන්දරත්වයක් තමයි කීකරුකම. ජීවිතේට පිහිට ලබාදෙන සතරවැනි ධර්මය කීකරුකමයි.

කම්මැලියෙක් වෙන්න එපා!

අපේ ජීවිතවලට තිබෙන ශාපයක් තමයි කම්මැලිකම. ඒක අපි අපිටම කරගන්න ශාපය. කම්මැලිකම නිසා දියුණු වුණ කිසිම කෙනෙක් මේ සක්වළේම ඇත්තේ නෑ. ඒ නිසා කම්මැලියෙක් වෙන්න නම් එපා! තමන්ගේ යහපත උදෙසා කරුණු කාරණා සොයාබලලා, ජීවිතේ හැම කටයුත්තක්ම පිළිවෙළකට කරන්න දක්ෂ වෙන්න. ඒ කම්මැලි නැතිකම ජීවිතේට පිහිට ලබාදෙන පස්වැනි කරුණයි.

සාර්ථකත්වයට කැමති වෙන්න…

බොහෝ දෙනෙක්ට තමන්ගේ ජීවිතේ සාර්ථක කරගැනීමේ අවංක කැමැත්තක් නෑ. බහුතරයක් කරන්නේ තමන් කාලකන්නියෙක් කියලා හිතාගෙන කාලේ නාස්ති කරගැනීමයි. ඇතැම්මු සාර්ථක වෙන අයට ඉරිසියා කරමින්, බොරු කතා හදමින් ඉන්නවා. ඇතැම් උදවිය තමන්ගේ අසාර්ථකත්වය ගැන පසුතැවෙමින් ඉන්නවා. තවත් අය තමන්ගේ ඇඬියාව කියාගෙන යනවා. මේ හැමෝම අසාර්ථක අය විදිහටම ආයුෂ නමැති නූල අවසන් කරනවා.

ඔබ සාර්ථකත්වයට කැමති වෙන්න. තමන්ගේ අසාර්ථකත්වයන් ටිකෙන් ටික හෝ පරදවන්න. තමන් සාර්ථක වෙන දශමයෙන් පවා සතුටක් ලබන්න. ඒ සතුට ම ජීවිතේ තව දුරටත් සාර්ථක කරගැනීමට ප්‍රමෝදයක් බවට පත් කරගන්න. එය ජීවිතේට පිහිට ලබාදෙන හයවෙනි කරුණයි.

වීරියවන්තයෙක් වෙන්න…

ජීවිතේ දිනන්නේ වීරියවන්තයෝ ම විතරයි. ඉතින් ඔබ ඒ වීරියවන්තයන්ගේ ගොඩට එකතු වෙන්න. වීරියවන්තයා කියන්නේ තරඟකරුවෙක්. ඔහු හැමතිස්සේම ඉන්නේ තරඟයක. ඔහු සතුටින් තරඟ කරන්නෙක්. හේතුව වීරියවන්තයාගේ ජයග්‍රාහකයා තමාමයි. ඔහුගේ පරාජිතයාත් තමාමයි.

තමන් තුළ තිබෙන අසාර්ථක තැන්, දුර්වලතා, අඩුපාඩු, ළාමක ගතිවලට වීරියවන්තයා ටිකක්වත් කැමති නෑ. හරියට ලස්සනට ඉන්න කැමති කෙනෙක් තමන්ගේ ඇඟේ අසූචි තැවරෙනවාට අකමැතියි වගේ. ඉතින් ඔහු තරඟ කරනවා ඒ අසාර්ථක තැන්, දුර්වලතා, අඩුපාඩු, ළාමක ගතිවලට එරෙහිව. ඒ දේවල් පරද්ද පරද්දා ඔහු සතුටු වෙනවා. ඒ වීරියවන්තයා හැමදාම දශමයක් හරි දිනපු කෙනෙක්.

ඒ නිසා තමන් තුළම තරඟයක් හදාගන්න වීරියවන්තයෙක් වෙන්න. ඒක මේ රටේ ලෝකෙ මිනිස්සුත් එක්ක හදාගන්න තරඟයට වඩා හරිම වටිනවා. වීරියවන්තකම තමයි ජීවිතේට පිහිට ලබාදෙන හත්වෙනි කාරණය.

ලද දෙයින් සතුටු වෙන්න…

සාර්ථකත්වය කරා යන ජීවිතේකට තිබිය යුතු සැනසිලිදායක කාරණාවක් තමයි ලද දෙයින් සතුටුවීම. තමන් දැන් ඉන්න තැනින් සතුටු වෙන්න පුළුවන්කම. ඔබ හිතන්න ඒ ගැන මෙහෙම. ඔබ දැන් ඉන්න තැනින් සතුටු වෙන්නේ නැත්නම් ඔබ කවද්ද සතුටු වෙන්නේ?

ඉතින් හොඳ නුවණින් තේරුම්ගන්න. ලද දෙයින් සතුටු වෙන්න කියන්නේ දැන් ඔය තියෙන දේ තුළ සතුටු වෙවී ඔහොමම හිටපන් කියන එක නෙවෙයි. තමා ගැන තමාම සතුටු වෙමින් දශමෙන් දශමේ හෝ ජීවිතේ සාර්ථක කරගෙන ඉදිරියට යාමයි. එය තමයි ජීවිතේට පිහිට ලබාදෙන අටවැනි කාරණය.

සිහියෙන් ඉන්න…

සිහිය තමයි ජීවිතේට තිබෙන ආරක්ෂාව. තමන් කරපු කියපු හිතපු දේ තමන්ම දන්නේ නැත්නම්…, තමන් කරන කියන හිතන දේ තමන්ටම තේරුමක් නැත්නම් මොකක්ද ඒ ජීවිතේට තිබෙන ආරක්ෂාව. මේ වගේ වටිනා ලිපියක් තුළින් ජීවිතේ හදාගන්න වුණත් අපිට අත්‍යවශ්‍ය දේ තමයි සිහිය. ඉතින් සිහියෙන් ඉන්න. ජීවිතේට පිහිට ලබාදෙන නවවැනි කරුණ සිහියයි.

මේ ඔක්කොම ප්‍රඥාවන්තයාට යි…

ඇත්තෙන්ම මේ හැමදේම ජීවිතේට බද්ධ වෙන්නේ ප්‍රඥාව තිබුණොත් විතරමයි. ජීවිත ගෙත්තම ගැන කියූ උපමාව තේරෙන්නෙත් ප්‍රඥාවන්තයාටමයි. සීලය, දහම්දැනුම, කීකරුකම, කල්‍යාණමිත්‍ර ඇසුර, කම්මැලි නැතිකම, සාර්ථකත්වයට තිබෙන කැමැත්ත, වීරියවන්තකම, ලද දෙයින් සතුටු වීම, සිහිය මගේ ජීවිතේට ගොඩාක් වටිනවා කියලා තේරෙන්නෙත් ප්‍රඥාවන්තයාටමයි. ඔබට ජීවිතේට පිහිට ලබාදෙන දසවැනි කාරණය වූ ප්‍රඥාව උපදවාගන්න වාසනාව ලැබේවා!

මේ කරුණු සියල්ල එකතු කරගෙන ආයුෂය නමැති නූලෙන් ගතවෙන කාලය හොඳින් ප්‍රයෝජනයට ගනිමින් සාර්ථකව ජීවිත ගෙත්තම ගොතන්නට ඔබ හැම දෙනා වාසනාවන්ත වේවා!

අනිත් අයට වඩා සාර්ථක වෙන්න උත්සාහ කරනවට වඩා ඔබ හැම තිස්සෙම ඔබට
වඩා සාර්ථක වෙන්න
උත්සාහ කරන්න.
එතකොට ඔබට නිතරම ඔබේ සාර්ථකත්වයන් පෙනේවි!
ටිකෙන් ටික හරි තමන් ජීවිතේ ඉදිරියකට යන බව
ඔබට දැනේවි!
තමන් ඉන්න තැන අඳුනාගෙන කටයුතු කරන්න
ඔබට පුළුවන් වේවි!
ඒ නිසා දශමෙන් දශමේ හරි තමන්ගේ
අසාර්ථකත්වයන්
පරද්දලා…
දිනන්න…

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.