‘සුඛ කාමානි භූතානි’ – ‘උපන් සියලු සත්වයෝ ම සැපයට ආශා කරත්…’ දෙවියෝ ද මිනිස්සු ද සතා සිවුපාවා තිරිසනා දක්වා… සැපය ම පතත්. සැපය ම සොයත්. ‘දුක්ඛ පටික්කූලා’ – ‘දුක පිළිකුල් කරත්.’ සැපය සොයා ම සියලු දේ කරත්. නොයෙක් විලාසිතාවලින් හැඩ වැඩ වන්නේ ද ප්‍රණීත ආහාරපාන සොයන්නේ ද උත්සව සාද පවත්වන්නේ ද ගී කියා නටා සොයන්නේ ද චිත්‍රපටි කතාන්දර බලා සොයන්නේ ද සැපය ම ය.
නමුත්, සබඳ, ඒ අයුරින් ‘සතුට’ සෑම කල්හි ම ලැබෙන්නේ ද…? සිතව්! මිත්‍ර සන්ථවයෙන් වෙලී විනෝදයෙන් සිටින මොහොතක කිසිවෙක් ඔබ සිත රිදුම් දෙන වදනක් කීයේ නම්… ඒ සතුට වහා පලා යන්නේ නොවැ. යම් වදනකින්, සිදුවීමකින් ඔබේ සිතට තරහ නැඟී ඒ නම්, විනෝදය අමතක වන්නේ නොවැ. මිහිරි බොජුන් මුව ළඟට ගත් මුත් ඇසුණ වදනකින් සිත පෑරී කුසගිනි පවා අහිමි වන අවස්ථා නොවුණි ද ඔබට? මන පොබයන සොඳුරු සිතුවම් පටක් බල බලා සිටිද්දී ඔබේ ප්‍රියයා කියූ වදනින් සැණෙකින් සතුට අතුරුදන්ව ගෝරනාඩු කර ඔබ දුකින් තැබූ වාර කොතෙක් ද…
විටෙක අවිවේකී වේගවත් ජීවන රටාවෙන් හෙම්බත් ව විවේකය සොයා… සතුට සොයා… ඇතැමෙක් සොඳුරු වනාන්තර, ගංගා ඇලදොළ, නිම්න ආදී ස්වභාව සෞන්දර්යය පිරි පරිසර කරා විනෝද චාරිකාවේ යෙදෙත්. නිහඬ නිසංසල පරිසරය සියලු පීඩා සංසිඳුවන්නේ යැයි ගංදිය සිසාරා හමන පවනැල්ල ගත දැවටෙද්දී ඔබට සිතෙනු ඇත.
එහෙත් එහි දී ම කිසිවෙක් ඔබට රිදවත් නම්, දොස් කියත් නම්, ඔබේ පසුම්බියේ ඇති පුංචි තිරයට දුක්බර පණිවිඩයක් එත් නම්… කිම… ඔබට තවදුරටත් ඒ පරිසරයේ සොඳුරු බව පෙනේවි ද? නැත්නම්… සිහිල් පවන් මැද හදවත ගිනි ගනීවි ද…? දියේ බැස සිටියත්… සිත කය දැවේවි ද? නිසල පරිසරයේ ගැහෙන චංචල හදවතින් පෙලී නෙතු රූරා කඳුළැලි වැටේවි ද? අහෝ, සබඳ! කෙසේ ද ඔබට මේ මනරම් කුසුමන්ගේ සොඳුරු බව පෙනෙන්නේ? කෙසේ ද මඳ පවනේ මිහිරි රිද්මය ඇසෙන්නේ…? කෙසේ ද බිඟුන්ගේ ගුමු ගුමු නද ඇසෙන්නේ? දුක, පීඩාව, අසරණ බව, භය, අපේක්ෂා භංගත්වය, ද්වේෂය… අනේක දුම් දමන සිතිවිලි ඔබව ගිලගනු ඇත. ගොදුරු කරගනු ඇත. කිම… එය ඔබ දුටු, දකින පරිසරයේ වරදක් ද? එය, ඔබ ඔබේ ශරීරයේ විළි වසා ගන්නා වස්ත්‍රවල වරදක් ද? ආහාරපානයෙහි දෝෂයක් ද?
සබඳ… ඔබ දන්නවා ද… කෑම්බීම්, ඇඳුම් ආයිත්තම්, ගීත – සාද – වාදන ආදී සකල විනෝදකාමී ආශ්වාදජනක අරමුණු කිසි දිනක නොපැතූ නොසෙවූ… එනමුත් රුක් සෙවණෙහිත්, පාළු බියජනක සොහොනෙහිත්, හුදු එළිමහනෙහිත්, ගිරි ගුහායෙත් සතුටින් ම වසමින්… සුළු අහරකින් යැපෙමින්… කිසි දුකක් නැතිව, කිසි පීඩාවකට ලක් නොවී… භය – ද්වේෂය ආදී ආතතික හැඟීම් නොවිඳ… මහා ශාන්ත සිතින්… සන්සිඳුණු සිතින්… ප්‍රීතිමත් සිතින්… තෘප්තිමත් සිතින්… ඕනෑම තැනක සුවසේ ම සැපසේ ම වැඩසිටි අද්භූත මනුෂ්‍ය ශ්‍රේෂ්ඨයන් පිරිසක් මෙලොව සිටි වග? ඇත්තෙන්ම… ඒ නම්, නිකෙලෙස් මුනිවර මුනිවරියන් ම ය. රහතන් වහන්සේලා ම ය.
ඒ මහා ඉසිවරු රාගයෙන් මිදුණ හෙයින්, ද්වේෂයත් මෝහයත් ප්‍රහාණය කළ හෙයින් ලොව කිසි දෙයකින් නොරිදෙන, නොසැලෙන, නොතැවෙන, නොකැළඹෙන සිත් දරා වැඩ සිටි සේක්.
අප තුළ සරාගී හැඟුම් උපදන සෑම රූපයක් ම… සෑම ශබ්දයක් ම… ඕනෑම වින්දනයක්… උන්වහන්සේලාට අරතියක් ම විය. එනම්, මුනිවරු රාගයට සංවේදී නොවූහ; රාගය සිතෙහි නැති බැවිනි. කෙතරම් ද්වේෂය ඇවිස්සෙන අරමුණු ඉදිරියට පැමිණිය ද ඒ මුනිවරු කෝප නොගන්නා සිත් ඇත්තාහු, මෛත්‍රියේ ම සිටියාහු, තරහ ප්‍රහාණය කළ බැවින් ය. කිසි මනුෂ්‍යයෙකුට හෝ අමනුෂ්‍යයෙකුට හෝ මුළා කළ නොහැකි සිත් ඇත්තාහු ය.
මෝහය සදහටම ප්‍රහාණය කොට මනාව යථාභූත ඤාණයෙහි පිහිටියාහු ය. දුක, ආතතිය, බිය, අසරණ බව, තනිකම, අපේක්ෂා, පැතුම් ආදී සිත සතුට පැහැරගන්නා හැඟුම් උපදින ස්වභාවය ඒ මහා ධීර වීර උතුමන් විසින් ඉක්මවා ගියේ නොවැ. උන්වහන්සේලා ලද අමිහිරි අල්ප භික්ෂාව වුව, මිහිරි අග්‍ර භෝජන හා එක ම රසයක් වන් සිතින් වළඳා නොඇලී තෘප්තිමත් වූ සේක. සන්තකයට ම සිවුරු පාත්‍රා පමණක් ඇතිව, බොහෝ වස්ත්‍ර නොසොයා පහසුවෙන් යැපුනාහු ය. ලැබෙන සරල සෙනසුනකින්, සරල බෙහෙතකින් තෘප්තිමත් වූවාහු, නොනැසෙන සතුටක් සදා වින්දාහු ය.
එසේ නම් මින් ගම්‍ය වන්නේ මෙයයි. දුක්ඛ පාක්ෂික හැඟුම් උපදින්නේ ක්ලේශ ඇත්තාහුට ය. ක්ලේශ නැත්තාහු සදා සැනසෙත්. ඉදින් සබඳ… නොවෙනස් වන සතුටක් විඳින ජීවිතයකට ඔබත් රිසි නම්, තෘප්තිමත් සැනසිලිදායක ජීවිතය පතත් නම්, වහ වහා කෙලෙස් දුරු කිරීමේ ප්‍රතිපදාවක බැසගත මැනව. රාග, ද්වේෂ, මෝහ ද සියලු පාපී අකුසල් ද පිළිකුල් කළ මනා ය.
පළමුව, තමා තුළ බලපවත්වන අකුසල් වෙන් වෙන්ව හඳුනා ගත යුතු ය. ඒ සඳහා ධර්මය පිළිසරණ කරගත යුතු ය. ඉන්පසු ඒ අකුසල් පිළිකුල් කොට, එහි ආශ්වාදයට හසු නොවී කෙලෙසුන්ගේ භයානක බව වටහාගත යුතු ය.
ඒ පාප නීච දීන ක්ලේශ සිතින් ප්‍රතික්ෂේප කරමින්, බලවත් ලැජ්ජා බය උපදවා, පුණ්‍යවන්ත ශ්‍රේෂ්ඨ ගුණ දහම්වලට ඇලෙමින්, ඒවා දියුණු කර ගැනීමට අධිමාත්‍ර උත්සාහයක්, වීරියක් ඇරඹිය යුතු ය.
ඒ අකුසල් දුරු කරන’යුරු දහම තුළින් ඉගෙන ඒවා පිළිපැද්ද යුතු ය. ඔබ අද හෙට නිකෙලෙස් නොවූව ද සිතනා තරම් වේගයෙන් අකුසල් බැහැර නොවූව ද ටිකෙන් ටික… කෙලෙස් දුරු වන විට, තුනී වන විට, කුසලයේ පිහිටන විට වඩ වඩාත් තමා නිදහස් බව, සතුටින් සිටින බව, පෙරට වඩා විශේෂ සැනසුමක් අත්විඳින බව ඔබට ම වැටහෙනු ඇත. කෙලෙසුන් බැහැර කරන්නට වීරිය ගන්නා ඔබට ඕනෑම තත්ත්වයක් යටතේ සතුටින් සිටීමේ මඟ මඳින් මඳ පෑදෙනු නොඅනුමාන ය. එවන් මොහොතක ඔබ මුවින් නිරායාසයෙන් ම මෙවදන් ගිලිහෙනු ඇත.
“අහෝ! ශාස්තෘ සම්පත්තිය ආශ්චර්යයි!
සාන්දෘෂ්ඨික වූ ශ්‍රී සද්ධර්මය ආශ්චර්යයි!
ඒ නිකෙලෙස් මුනිවරු කෙතරම් සැනසිල්ලක් විඳිනවා ඇත්ද!”
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණීයන් වහන්සේ නමක් විසිනි.
Recent Comments