ඇසළ පුන්පොහෝ දින පිළිබඳ මෙනෙහි කරන කල්හි ශ්‍රද්ධාව ජනනය කරවමින් ශාසන ඉතිහාසයේ නන් දෙස පැතිරුණු වැදගත් සිදුවීම් ගැන මතකයන් අප සිතට නැඟේ.

1. අපගේ මහ බෝසතුන් මව්කුස පිළිසිඳ ගත්තේත්,

2. විසි නව වැනි වියෙහි දී උයන්සිරි නැරඹීමට යන අතරතුර පැවිදි රුවක් දැක, එදිනම උපන් රාහුල කුමරුත් – යශෝදරාවන්, මව්පියන් ඇතුළු රාජකීය සම්පත්තියත් අත් හැර අභිනිෂ්ක්‍රමණය කළේත්,

3. ගුරු උපදේශ රහිතව අවබෝධ කර ගත් ඒ පරම ශ්‍රේෂ්ඨ ධර්මය ඉසිපතන මිගදායේ දී ප්‍රථම දම් දෙසුම ලෙස මිනිසුන්ට හා දෙවි බඹුන්ට දේශනා කළේත්,

4. ඒ ධර්ම ශ්‍රවණයෙන් ශ්‍රාවක සංඝයා බිහිව ත්‍රිවිධ රත්නය ලොව සම්පූර්ණ වූයේත්,

5. සම්බුද්ධත්වයෙන් වසර 7ක් ගත වෙන තැන අන්‍යාගමික තීර්ථකයින්ගේ මානය දුරු කරවමින් ගණ්ඩම්බ රුක් මුල්හි යමා මහ පෙළහර පාමින් සත්වැනි වස් කාලය ගත කරමින් අභිධර්මය දෙසීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළේත්,

මෙවැනිම වූ සුපින්බර ඇසළ පුන්පොහෝ දිනවල ය. එසේම;

6. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ගිය තැන රජගහනුවර වස් වැසූ මහකස්සප මහරහතන් වහන්සේ ඇතුළු පන්සියයක් රහතන් වහන්සේලා ප්‍රථම සංගීතියට පෙර කළ යුතු කටයුතු කිරීම ඇරඹූයේත්,

7. බු. ව. 236 වැන්නෙහි අරිට්ඨ කුමරු ඇතුළු පනස් හය දෙනෙක් වූ සිංහල කුල පුත්‍රයින් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා විසින් සම්මත කළ ප්‍රථම ඛණ්ඩ සීමාව තුළ පිහිටවූ තුම්බුරු සීමා මාලකයේ දී ලක්දිව සිංහල සඟ පිරිසේ ප්‍රථම මහණ උපසම්පදාව ලෙස පැවිදි අධි ශීලයෙහි පිහිටවූයේත්,

8. ඒ සියලු‍ සඟ පිරිසට විනයානුකූලව වස් වැසීම පිණිස මිහින්තලේ කණ්ඨක චේතිය අවට කුටිසෙනසුන් ලෙස අට සැට ලෙන් සාදවා මනාව පිළියෙල කොට පූජා වූයේත්,

9. එම විවේකී සෙනසුන්වල ලංකාදීපයේ ප්‍රථම වස්සූපගමනය සිදු වූයේත්,

10. බු. ව. 382 දී රුවන්මැලි මහා සෑ රජුන් තැනවීම පිණිස දුටුගැමුණු මහ නිරිඳුන් විසින් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කරන ලද්දේත්,

11. රන්මැලි සෑ ගොඩනගමින් ගොස් නියමිත තන්හි සොඳුරු ධාතු ගර්භය ඉතා මනරම්ව නිමවා බුද්ධාධිෂ්ඨානය පරිදි මහා බුදු පෙළහර සිදුව ඉන් අනතුරුව සර්වඥ ධාතු නිධානෝත්සවය සිදු වූයේත්, අද වැනි පින්බර ඇසළ පුන්පොහෝ දිනවල ය.

12. බු. ව. 847 කිත්සිරිමෙවන්‍ රජ දවස කළිඟු‍ රට සිරි දන්තපුරයෙන් හේමමාලාවන් සහ දන්ත කුමරුන් සර්වඥ ශ්‍රී වාම දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් අනතුරුව රාජානුග්‍රහයෙන් ශ්‍රී දළදා පෙරහරේ ආරම්භය සිදු වූයේත් අද වැනි පින්බර ඇසළ පුන්පොහෝ දිනක ය.

මේ සෑම කරුණක් ම එකක් එකක් පාසා අතිශය වැදගත් ශාසනික සිදුවීම් වේ. ඒ අතර මුදුනින් ම අප සිත් නැගෙනුයේ තුන්ලොවට ශ්‍රී ධර්ම රත්නයේ පිහිට ලැබී ආර්ය සංඝයා බිහිවීමේ පුණ්‍ය මුහුර්තියයි. ඒ පිළිබඳව ඇති ත්‍රිපිටකාගත තදනුගත අට්ඨකථානුසාරී සත්‍ය සටහන් පදනම්ව අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් ඉතා ශ්‍රද්ධාවෙන් විරචිත‍ ‘අච්ඡරිය මනුස්සෝ’‍ ග්‍රන්ථ රත්නයෙහි එන ‘අසිරිමත් දම්සක’‍ පරිච්ඡේදයේ පළමු දම් දෙසුම, දම්සක කරකැවීම, කොණ්ඩඤ්ඤ භික්ෂුව සෝවාන් වීම, ‘ඒහිභික්ඛු’ පැවිදි උපසම්පදාව ආදී අනු පරිච්ඡේදයන් අප තුළ බුද්ධානුස්සතිය, ධම්මානුස්සති, සංඝානුස්සතිය නිරායාසයෙන් ම උපදවයි.

ගයාවෙන් නික්මී පස්වග ශ්‍රමණයන් සොයා ඉසිපතන මිගදායට වැඩම කළ අප භාග්‍යවතුන් වහන්සේව සම්බුදුවරයකු ලෙස පිළිගැනීමට ඔවුහු අකමැත්ත ප්‍රකාශ කළහ. නොයෙක් අයුරින් පවසද්දීත් පස්වග ශ්‍රමණවරු නැවත නැවතත් ප්‍රතික්ෂේප කළාහුය.

අවසානයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. “මහණෙනි, පවසව්. මෙයට පෙර කිසි කලෙකත් මවිසින් ‘මම් රහත්මි. සම්මා සම්බුදු ය. අමා නිවන අවබෝධ කරන ලද්දේ ය’ කියා මෙබඳු කථාවක් කියන ලද්දේ ද?”

එසැණින් ම පස්වග භික්ෂූන්ට සිහි උපන්නේ ය. ඔවුහු ආවුසෝ ගෝතම යනාදී වචන ව්‍යවහාරය අත්හැර “නෝ හේතං භන්තේ – ස්වාමීනී, මෙබඳු දෙයක් නොවේ ය” කියා නිහතමානීව එකඟ වූවාහු ය.

භාග්‍යවතුන් වහන්සේ සිය පළමුවෙනි දෙසුමෙහි දී වදාළේ පැවිද්දහු විසින් කාමසුඛල්ලිකානුයෝගයත්, අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙක අත්හළ යුතු බවයි. අනතුරුව වදාළේ දහම් ඇස ලබාදෙන, නුවණ ලබාදෙන, විශිෂ්ට ඤාණය ලබාදෙන, අවබෝධය ලබාදෙන, නිවන ලබාදෙන සියලු අර්ථ සිද්ධිය සලසනු ලබන මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියා ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇරඹෙන්නේ සම්‍යක් දැක්ම හෙවත් සම්මා දිට්ඨියෙනි.

චතුරාර්ය සත්‍යය පිළිබඳව පරිපූර්ණ අවබෝධය ලැබීමෙන් පසු තමා අනුත්තර සම්මා සම්බෝධිය සාක්ෂාත් කළෙමි යි ලොව ඉදිරියේ ප්‍රතිඥා දුන් බවටත් සිංහනාද කළ සේක. උන්වහන්සේගේ සිත නොවෙනස් වන විමුක්තියක් පසක් කළ බවත්, ඉපදීම ක්ෂය වූ බවත්, බඹසර වාසය නිමවූ බවත්, ඒ වෙනුවෙන් කළ හැකි අන් දෙයක් නැති බවත්, මෙය අවසන් උපත බවත්, නැවත භවයක් නැති බවත්, චතුරාර්ය සත්‍යය පිළිබඳව විමුක්ති ඥානදර්ශනය ඇති වූ බවත් වදාළ සේක.

කොණ්ඩඤ්ඤ භික්ෂුව සෝවාන් ඵලයට පත් වෙයි

භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සාර්ථක ප්‍රතිඵල ගෙන දුන්නේ ය. එයට සවන් දී සිටිය දී පස්වග භික්ෂූන් අතුරින් සැමට වැඩිමල් කොණ්ඩඤ්ඤ තෙමේ සෝවාන් ඵලයට පත් වූයේ ය. එනම්, චතුරාර්ය සත්‍යය පිළිබඳ සත්‍ය ඤාණයට පැමිණියේ ය. සෝවාන් ඵලය පිළිබඳව ඉතා පැහැදිලි විග්‍රහයක් එහි සඳහන් ය.

“ඉමස්මිං ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානේ – මේ ගාථා රහිත දේශනාව වදාරන කල්හි, ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි – ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් හට අවිද්‍යා රජස් රහිත වූ මිසදිටු මල රහිත වූ දහම් ඇස පහළ වූයේ ය. යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධධම්මන්ති – එනම්, හේතූන් නිසා හටගන්නා ස්වභාවය ඇති යමක් ඇද්ද, ඒ හේතූන් නැති වීමෙන් එයින් හටගත් දෙය නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත ය යන දැක්ම ය.”

කොණ්ඩඤ්ඤයන්ට මේ අවබෝධය ඇති වූයේ සද්ධර්ම ශ්‍රවණය නිසා ය. තමා අසමින් සිටි ධර්මයට අනුව නුවණින් විමසීම හෙවත් යෝනිසෝ මනසිකාරයෙහි යෙදුණු නිසා ය. හේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ප්‍රථම මාර්ග අංගය වන සම්‍යක් දැක්මට පැමිණියේ ය. සෝත – නිවන කරා යන දහම් සැඩපහරට, ආපන්නෝ – පැමිණියේ ය. සෝතාපන්නෝ – සෝවාන් වූයේ ය හෙවත් නිවන කරා යන දහම් සැඩපහරට පැමිණියේ ය.

ඒ පළමු දම්දෙසුමෙන් සිදු වූයේ මේ අසිරිය පමණක් නොවේ. දහම් අසන්ට එහි පැමිණි දහඅට කෝටියක් බඹ පිරිසට ද අවිද්‍යා දූලි රහිත, මිසදිටු මල රහිත දහම් ඇස පහළ විය. එනම්, හේතූන් නිසා හටගන්නා ස්වභාවය ඇති යමක් ඇද්ද, ඒ හේතූන් නැති වීමෙන් එයින් හටගත් දෙය නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත ය යන දැක්ම ඇති විය. ඔවුහු සෝවාන් ඵලයට පත් වූහ.

අකනිටා බඹලොව තෙක් දහම් ඝෝෂාව පැනනගියි

ධර්මචක්‍රය අසිරිමත් ය! ධර්මචක්‍රය අද්භූත ය! දෙව් මිනිස් ලෝසතුන් නොඇසූ විරූ දෙයකි. හේතු සම්පත් ඇති අයට අවබෝධ වන දෙයකි. පෙති විහිදා පිපී යන පියුම් විහිදුවීමට සමත් හිරුමඬල උදා වීම බඳු දෙයකි.

භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මචක්‍රය කරකැවූ කල්හි භූමාටු දෙවියෝ මෙසේ හඬනගා පැවසුවාහු ය. “මේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි දී අනුත්තර වූ ධර්මචක්‍රය කරකවන ලද්දේ ය. මෙය ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි අන් කවරෙකු විසින් හෝ අප්‍රතිවර්තනය නොකළ හැක්කේ ම ය.”

භූමාටු දෙවියන්ගේ හඬ ඇසූ චාතුම්මහාරාජික දෙවියෝ ද එසේ ම හඬ නගා කීවාහු ය. ඔවුන්ගේ හඬ ඇසූ තව්තිසා දෙවියෝ ද එසේ ම හඬ නගා කීවාහු ය. මෙසේ යාම දෙවියෝත්, තුසිත දෙවියෝත්, නිම්මාණරතී දෙවියෝත්, පරනිම්මිත වසවත්ති දෙවියෝත්, එසේ ම හඬ නගා කීවාහු ය. එය ඇසූ බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන්ගේ පටන් අකනිටා බඹලොව දක්වා දෙවියෝ ද එසේ ම හඬ නගා කීවාහු ය.

“මෙසේ එකෙණෙහි, ඒ මොහොතෙහි අකනිටා බඹලොව තෙක් ම මේ ශබ්දය පැනනැංගේ ය. දසසහස්සී ලෝකධාතුව කම්පා වූයේ ය. තදින් ම සැලී ගියේ ය. බලවත් ව වෙවුලා ගියේ ය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම ගිය අප්‍රමාණ වූ උදාර වූ ආලෝකයක් ලොවෙහි පැතිර ගියේ ය.”

මෙසේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් දහම් ඇස ලබා සෝවාන් ඵලය පසක් කළ සේක. උන්වහන්සේ පැවිදි උපසම්පදාව ආයාචනා කළේ ය. භාග්‍යවතුන් වහන්සේ ඒහිභික්ෂු පැවිදි උපසම්පදාව ලබා දුන් සේක.

මේ සකලවිධ ආශ්චර්යයන් සිදු වූයේ ඇසළ පොහොය දා රාත්‍රියෙහි නොවේ. හිරු බැස යන්ටත් ප්‍රථම සන්ධ්‍යා කාලයෙහි ය. එදා රැයෙහි ඇසළ පුන්සඳ උදා විය. ඒ ඉන්දියාවෙහි වැසි සමය ආරම්භ වීම ය. ග්‍රීෂ්ම කාලය අවසන් වීම ය. මෙකල නම් ජූලි මස පොහොය දා ය. භාග්‍යවතුන් වහන්සේ ඒ වැසි කාලය ඉසිපතනයෙහි ම වසන්ට අදිටන් කරගත් සේක.

මෙසේ ත්‍රිවිධ රත්නය සම්පූර්ණ වූ මේ පින්බර ඇසළ පුන් පෝ දිනය ඔබ සැමට සියලු‍ යහපත උදා වන සුපින්බර පොහෝ දිනයක් වේවා!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.