අපි මේ ගෙවා දමන ජීවිතෙත් හරි පුදුමාකාර එකක්. එකින් එක, ටිකෙන් ටික එක්රැස් කරගන්න දේවල් එකින් එක, ටිකෙන් ටික අපට අහිමි වෙලා යනවා. යම් යම් කාලවල දී අපට වැඩියෙන් ම වටින දේවල් තවත් කාලයක දී අපට කිසිම වටිනාකමක් නැති දේවල් බවට පත් වෙනවා. ජීවිතයේ සුවපහසුව වෙනුවෙන් මොනතරම් දේවල් එකතු කරගත්තත් ඒ හැම දෙයක් ම අපට දාලා යන්නත් සිද්ධ වෙනවා.

මොකක්ද මේකෙ තේරුම?

උත්සාහයෙන්, වීරියෙන්, බොහොම කැපවීමෙන් ශිල්ප ශාස්ත්‍ර හදාරලා ආචාර්ය උපාධි කිහිපයක් දක්වා විශිෂ්ට සමත්කම් දක්වලා ආචාර්ය මහාචාර්ය තනතුරු හොබවන කීර්තිමත් ම පුද්ගලයාට වුණත් ඒ තනතුර වැඩිපුර ම වැදගත් වෙන්නේ තමන් නියෝජනය කරන විෂය ක්ෂේත්‍රයේ දී. ඒ හැර, සමාජ ස්තරයේ පිළිගැනීමක් නිර්මාණය කරන්නට එය හේතු වෙනවා.

හැබැයි, තමන්ගේ ම ගෙදරට පවා ඒ ආචාර්ය මහාචාර්ය ධුරයන්ගේ තීරණාත්මක බලපෑමක් නැහැ. තමන්ගේ ගෙදරට ඔහු වගකීම් සහගත ගෘහමූලිකයා, ස්වාමිපුරුෂයා සහ පියා… නෑදෑ හිතමිතුරන්ටත් ඒ තමන්ගේ ඥාතියා, හිතමිතුරා. අපේ ජීවිතවලට උගත්කමින්, මිලමුදලින්, නිලතලවලින්, නම්බුනාමයන්ගෙන් එකතු කර ගන්නා වටිනාකම්වලට යා හැක්කේ සීමිත දුරක් විතරයි… තමන්ගේ විෂය ක්ෂේත්‍රයෙන් එපිටට, තමන් නියෝජනය කරන සමාජ ස්තරයෙන් එපිටට මේ කිසිමදෙයක ලොකු වටිනාකමක් නැහැ.

ඒ උදවිය පාරේතොටේ යද්දි අනිත් උදවිය වගේ ම තමයි; හැම අතින් ම විපත්වලට නිරාවරණය වෙලයි ඉන්නේ. තිරිංග නැතිව එන වෙනත් වාහනයක්, එහෙම නැතිනම් හික්මීමක් නැතිව වාහනයක් පදවාගෙන එන වෙනත් රියදුරෙක් ඉදිරිපිට ඒ විපත්පත් ජීවිතයක් ම විතරයි.

ගහක් කඩන් වැටුනත්, කන්දක් නාය ගියත්, ගංවතුරක් සුනාමියක් ආවත්, ගින්නකට හසු වුණත් ඒ කිසිම අවස්ථාවක උගත්කම, තනතුර, වත්පොහොසත්කම, නම්බුනාම, කීර්තිය, පිළිගැනීම තීරණාත්මක සාධකයක් වෙන්නේ නැහැ.

ජරා මරණ දුක් එළඹ ජීවිත යටපත් කරද්දී ලෞකික වශයෙන් අප විසින් දුෂ්කරව පවා උපයාගත් හැම වටිනා දෙයක් ම නොවටිනා දේවල් බවට පත් වෙනවා. ඒ කිසිම දෙයකින් කාටවත් හව්හරණක් නැතිව යනවා. ඔව්… කිසිම දෙයකට බැහැ මරණය වළක්වන්න. සියල්ල හැරදා අප යා යුතු ම වෙනවා…

මොන බලපුළුවන්කාරකම තිබුණත්, මොන පුරසාරම නැගුවත් ඒ කිසිවක් අපේ පිහිටට එන්නේ නෑ…

අමාරුවෙන්, බොහොම අමාරුවෙන් ඉගෙන ගන්න ශිල්පය අපට වෙන තැනකට අරන් යන්න බෑ. ආසාවෙන්, බොහොම ආසාවෙන් එක් රැස් කරන යාන වාහන, දේපළ, ආභරණ අපට අරන් යන්න බෑ. ආදරයෙන්, බොහොම ආදරයෙන් හදාවඩා ගන්න දරුමල්ලන්ට අපිත් එක්ක එන්න බෑ.

මේ ජීවිතයේ මහචාර්යවරයා ඊළඟටත් උපදින්නේ මහාචාර්ය කෙනෙක් වෙලා ද? මේ ජීවිතයේ ප්‍රකෝටිපතියා ඊළඟටත් ඉපදෙන්නේ ප්‍රකෝටිපතියෙක් වෙලා ද? මේ ජීවිතයේ රූප සුන්දරී ඊළඟටත් උපදින්නේ රූප සුන්දරියක් වෙලා ද? මහපොළොවේ පස් හා සමාන අතිබහුතරයකට මරණින් මත්තේ මිනිසත් බව පවා අහිමි වෙනවා. නිය සිළට ගත්ත පස් ටික වගේ පිරිසක් තමයි ආයෙමත් මිනිසුන් අතරට එන්නේ. ඉතින් අප මේ උපයා සපයාගත්ත වටිනාකම් මෙතැනින් එහාටත් ගෙනියන්න, මෙතැනින් එහාටත් ඒවාට උරුමකම් කියන්න කොහොමද ඉඩක් ලැබෙන්නේ?

හැබැයි, එක ම එක දෙයක් අත්නොහැර අප සමඟ එනවා. මැරෙන, ඉපදෙන හැම සත්වයෙකුට ම ඒ දායාදය ලැබෙනවා. ඒ තමයි, චේතනාව මෙහෙයවා රැස් කරන කර්මයන්ගේ විපාකය… මෙතැනින් එහාට නිසැකවම ඒ දේවල් යා වෙනවා, හා වෙනවා, මුහු වෙනවා…

මෙතැනින් එහාට අප පැළ වෙන භූමිය තීරණය කරන්නේ කර්මය. මෙතැනින් එහාට අපට ලැබෙන ඇස තීරණය කරන්නේ කර්මය, අපට ලැබෙන කන තීරණය කරන්නේ කර්මය, අපට ලැබෙන නාසය දිව කය මනස තීරණය කරන්නේ කර්මය. අපේ ඤාතී සමූහයා තීරණය වෙන්නේ කර්මය මත. අපේ පවුල් පසුබිම තීරණය වෙන්නේ කර්මයෙන්. ඉතින් ඒ පැරණි කර්ම දායාදයත් එක්ක ආයෙමත් අලුතින් ම පටන් ගන්නයි තියෙන්නේ. ආයෙ ආයෙමත් ඇස ඇසක් පිණිස සංස්කරණය වෙනවා. කන කනක් පිණිස සංස්කරණය වෙනවා… ඔහොම තමයි ආයතන හට ගන්නේ. කෙළවරක් නොපෙනෙන ගමනක කලින් කලට නවතින කෙටි නවාතැන්පළවල දී එතැනට නමක් දීලා, උගත්කමක් ගරුනම්බුනාමයක් දීලා, ‘අපිත් සතුටු වෙලා, ලෝකයත් සතුටු කරවලා ජීවත් වුණා’ කියලා හිත හදාගෙන ආයෙමත් යම් තැනක පැළ වෙනවා.

සසර ඔය විදිහට සැකසෙන ගමනක් නිසයි අපි එක ම විදිහේ දුක් පීඩා අරබයා හැමදාමත් කඳුළු සලන්නේ… ඒ නිසයි අපට එක ම අර්බුදය ආයෙ ආයෙමත් හැදෙන්නේ. අලුතින් ම උපන්නා වගේ පෙනුනට, හිතුණට මේ හැම දෙයක් ම පරණ දේවල්. පරණ තැන් එක්ක ගැළපිලා යන දේවල්. එකම බැණුම, එකම රණ්ඩුව, එකම ගුටිය, එකම පිච්චිල්ල ආයෙ ආයෙමත් උරුම කර ගන්න එකට කියන නම තමයි ‘සසර’…

දැන් ඉතින් සර්පයා වල්ගයෙන් අල්ලා ගන්නට එපා. මේ කියන්නේ දැනඋගත්කම් හෝ මිලමුදල් හෝ නම්බුනාම හෝ ඉපැයිය යුතු නැහැ කියලා නෙමෙයි. කාමභෝගී ගිහි ජීවිතයක ලෞකික ව ලබනා දියුණුව භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරනවා විතරක් නෙමෙයි; ඒවා ධර්මික ව උපයා සපයා ගන්නට ප්‍රතිපදාවත් භාග්‍යවතුන් වහන්සේ වදාරා තිබෙනවා. දැහැමි ව ලබනා ලෞකික දියුණුව නුවණැති සත්පුරුෂයන්ගේ පැසසුම් ලබන්නක්. ඒ දියුණුව හුදෙක් මෙලොව දියුණුවක් පමණක් ම නොවී පරලොවට ද ගෙන යන දියුණුවක් කරගන්නට උත්සාහවත් විය යුතුයි කියලයි අප මේ කියන්නේ.

හරිහම්බ කරපු දේවල් යහපතේ යොදවන්න. උගත්කම, මිලමුදල්, නිලතල, නම්බුනාම තිබෙන්නේ ආඩම්බරයට පත් වන්නට නොවෙයි; ඔබ ව යහපත තුළ යොදවන්නටයි. ලෞකික දියුණුවක් ලෙස උපයන සියල්ල තුළ ඔබ ව සමාජයේ වටිනා පිළිගැනීමක් ඇත්තෙක් බවට පත් කරනවා. ඒ දේවලුත් උපකාරයක් කරගෙන සිත කය වචනය මෙහෙයවමින් ඔබ යම්තාක් පින් රැස් කරනවා ද ඒ පිනෙන් මේ ජීවිතයටත් සැප විපාක උපදවනවා. ඔබ යම් දිනක මියපරලොව යද්දී දුරු රටක ඉඳන් එන ඥාතියෙක් ව පිළිගැනීමට මඟබලන් සිටිනවා වගේ ඒ පින්වල විපාක ඔබ ව පිළිගන්නට බලාගෙන සිටිනවා.

උගත්කම, මිලමුදල්, නිලතල, නම්බුනාම උපයාසපයා ගත නොහැකි වුණත් සිත කය වචනය යහපතේ හසුරුවමින් පින් රැස් කරන්න ඔබට බැරිකමක් නැහැ. ලොකු බැබළීමක් නැතිව, බොහොම දුක සේ ජීවත් වෙන කෙනෙක් වුණත් රැස් කරන්න ඕනේ පින ම තමයි. ‘කළු උපතක් ලබලා සුදු දෙයක් ඉපැද්දුවා’ කියා යම් පිරිසක් ගැන ධර්මයේ කියැවෙනවා නම් ඒ කියැවෙන්නේ දුක්ඛිත ජීවිත ගෙවද්දී පවා තුන්දොරින් පින්දහම් රැස් කරන ඔය පිරිස ගැන තමයි…

ඇති හැකි කෙනෙක් නම්, සුවපහසුවෙන් ම පින් කරන්න. නැති බැරි කෙනෙක් නම් දුක සේ වුණත් පින් කරන්න. ඇති හැකි උදවිය දකිද්දී ‘අනේ මේ උදවිය සසරේ පින් කරලා, ඒ පිනෙන් සැප විඳිනවා නෙව…’ කියලා පිනේ විපාක ගැන ම හිතන්න. තමන්ට නැති – අනුන්ට තියෙන සැපසම්පත් ගැන ඊර්ෂ්‍යා කරන්න එපා. තමන්ට තියෙන සැපසම්පත් ගැන ලෝභ හිතන්නත් එපා. වපුරපු විදිහට නෙළාගෙන යන්න සිද්ධ වුණු මේ සසර ගමනේ අපි නොවිඳපු දුකක් නැහැ, නොවිඳපු සැපකුත් නැහැ… ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ අතිශය කටුක දුක් විඳින විරූපී දුක්ඛිතයන් දකිද්දීත්, බොහෝ සැපසම්පතින් ආඪ්‍ය සුවපහසු ජීවිත ගෙවන උදවිය දකිද්දීත් ‘අනේ අපත් සසරේ මෙහෙම හිටියා නෙව…’ කියලා නිසැක වෙන්න යැයි වදාළේ.

ඔව්… මෙතැනින් එහාට ජීවිතයක් තිබෙනවා. නොපිහිටි විඤ්ඤාණයක් ඇතිව පිරිනිවන් පානාතුරු ම එහි නිමාවක් නැහැ. සම්බුද්ධ ශාසනය මුණගැහිලා, පිරිසිදු ව ධර්මය කියා දෙන සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන්වත් මුණගැහිලා, ධාතු චෛත්‍යයන් බෝධීන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා බුදු සිරිපා පහස ලද පුණ්‍යභූමී ඇස ගැටෙන පින්බිමකත් ඉපදිලා මෙතැනින් එහාට ගෙනියන්න යහපතක් එකතු කර ගත්තේ නැති නම් ඒක මොනතරම් නම් අවාසනාවක් ද…

මෙතැනින් එහාටත් ඔබ නමින් පුණ්‍ය නිධානය තැන්පත් වෙලා නම්, ඒක මොනතරම් නම් වාසනාවක් ද…!

සටහන – උදුලා පද්මාවතී.