ප්‍රිය වූ, මනාප වූ හිතැතියනට තෑගිබෝග දෙන්නට ද එවැන්නවුන්ගෙන් තෑගිබෝග ලබන්නට ද අප කවුරුත් කැමති ය. ස්නේහවන්ත භාවය පදනම් කරගත් සමාජ සම්බන්ධතා තෑගිබෝග හුවමාරු කිරීම්වලට වටිනාකමක් දී තිබෙන්නේ එනිසාවෙනි. අද පමණක් නොවේ; දුරාතීතයේ ද මේ මානව ධර්මය ලෝකයේ දක්නට වීය.

තෑගිබෝගවල වටිනාකම තමනට ඇති හැකි පමණ අනුව පමණක් නොව එය අනෙකාට කොපමණ වටින්නේ ද යන කරුණ මත ද තීරණය කෙරෙන්නකි. රන් රිදී මුතු මැණික් ආදී අති විශාල මූල්‍ය වටිනාකමක් ඇති වස්තූන් කෙනෙකු ලද වටිනා ම ත්‍යාගය බවට පත් වද්දී කාරුණික වදනින් අමතා සියතින් පිළිගන්වන රසකැවිල්ල තව කෙනෙකු ලද වටිනා ම ත්‍යාගය බවට පත් විය හැක්කේ මේ නිසාවෙනි. තමන් කොපමණ වටිනා දෙයක් ත්‍යාග කළේ වුව ද එය අනෙකාට කොපමණ නම් වටින්නේ වුව ද අප හුවමාරු කරගන්නා තෑගිබෝගවල ස්වභාවය නම් අප සේ ම ඒවා ද කාලයේ පහර කෑමට නතු වන බව ය.

එසේ කාලයේ පහර කෑමට ලක් නොවන්නා වූ තෑගිබෝග හුවමාරු කරගන්නට තරම් බලසම්පන්න වූ මිනිසුන් ද ලෝකයේ දක්නට නොලැබුණා නොවේ.

ඒ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි කාලය යි. යොදුන් සිය දහස් ගණනක් පුරා විහිද පැතිර තිබුණු දඹදිව නොයෙක් නොයෙක් රාජ්‍යයන්හි පාලනය මෙහෙයවූ රජවරු බොහෝ දෙනෙකු එකිනෙකා දැක නොතිබුණ ද එකිනෙකා අතර මිත්‍ර සන්ථවයන් ඇත්තවුන් වූහ. ඒ මිත්‍රත්වයන් ගොඩනැගුණේ වෙළහෙළඳාම් කටයුතු පිණිස ඒ විශාල ජනපද කරා ගමනාගමනයේ යෙදුණු වෙළෙඳ පිරිස් හරහා ය.

සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධාභිෂේකය ලැබූ බුද්ධගයාව අයත් වූ මගධයේ සිට ඊට යොදුන් 237ක් පමණ දුරින් වූ තක්ෂසිලාව වෙත වෙළඳ දූත මෙහෙවරක යෙදුණු පිරිස එහි රාජ්‍යය කරවූ පුක්කුසාති රජු හමුවී සතුටු සාමීචියේ යෙදීමෙන් පසු මගධේෂ්වරයන් සමඟ මිත්‍රත්වය ගොඩනගා ගනු රිසි වූ පුක්කුසාති රජු මහානර්ඝ සළු අටක් තෑගි ලෙස මගධ රජුට එවුවේ ය. ඒ තෑග්ග ලද මගධේෂ්වර බිම්බිසාර රජු එයින් සළු හතරකින් සම්බුදුරජාණන් වහන්සේ ව පිදුවේ ය. ඉන්පසු, දඹදිව අන් කිසිදු තැනක නොදක්නා මේ සා වටිනා සළු මවෙත එවූ පුක්කුසාති මිතුරු රජු වෙත කවර නම් වටිනා ත්‍යාගයක් යවන්නේ ද කියා හේ කල්පනා කළේ ය. බිම්බිසාර රජුට තමන් සතු වටිනා ම වස්තුව ලෙස සිහි වූයේ සම්බුද්ධ රත්නය යි! සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකයේ පහළ වී සිටින බවත්, උන්වහන්සේ ස්වාක්ඛාත වූ සද්ධර්මය දේශනා කරන බවත්, ඒ දහමෙහි හික්මුණු සුපටිපන්න සඟ පිරිසක් ලොව වැඩවෙසෙන බවත්, තමන් තෙරුවන් සරණේ පිහිටි බවත්, ඔබත් තෙරුවන් සරණ යා යුතු බවත්, ආනාපනානසති කමටහනත් තමන් විසින් ම රන් පතක ලියූ බිම්බිසාර රජු මිත්‍ර ධර්මයේ පිහිටා ඒ හසුන පුක්කුසාති රජුට තෑගි කොට පිටත් කළේ ය.

හසුන ලද පුක්කුසාති රජු තමන් පහත් තැනෙක වාඩි වී, හසුන උස් තැනෙක තබා එය කියවා සාංසාරික පුණ්‍ය ශක්තීන් ඇත්තේ මහත් සතුටට පත්ව ඒ මොහොතේ ම සරණ සීලයේ පිහිටියේ ය. රාජ කෘත්‍යයන්ගෙන් ඉවත් වී හුදෙකලාවේ ආනාපානසතිය වඩා ධ්‍යාන ඉපැද්දවූයේ ය. නොබෝ දිනෙකින් රජකම හැරපියා සම්බුදුරජාණන් වහන්සේගේ නාමය උදෙසා පැවිදි බිමට පිවිස සම්බුදුරජාණන් වහන්සේ සොයා පා ගමනින් ම පිටත් විය. යොදුන් 237ක දුරක් පා ගමනින් ම පැමිණි ඒ ගමන අවසන් වූයේ පුක්කුසාති කුලපුත්‍රයා සම්බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා අනාගාමී ඵලයට පත්ව අවසන මිය ගොස් බඹලොව පහළ වීමෙනි.

මෙලෙසින් ම, බුද්ධ පරිනිර්වාණයෙන් 235 වසරක් ගත වද්දී තුන්වන ධර්ම සංගායනාව කරවූ ධර්මාශෝක අධිරාජයා තමන්ගේ අදෘශ්‍ය මිත්‍ර, ලක්දිව පාලක දෙවනපෑතිස් රජු හට සන්දේශයක් එවා තමන් තිසරණ සරණ පිහිටි බව දන්වා සිටියේ ය. ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පොහෝ දිනයේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සම්බුදුරජුන්ගේ සදහම් සන්දේශය ගෙන ලක්දිව මිස්සක පව්වට වැඩිය කල්හි එතැනට එළඹුණු දෙවනපෑතිස් රජු දුන්හී පසෙක තබා සරණ සීලයේ පිහිටියේ තම මිතුරා එවූ හසුන්පත ද සිහි කරමිනි. හසුන්පත එවූ ධර්මාශෝක රජු ද හසුන්පත ලැබූ දෙවනපෑතිස් රජු ද පසු අත්භවයක ලක්දිව ම ඉපිද ඒ සිරි සදහම් මග වඩා පිරිනිවනට වැඩියහ.

දිය යුත්තේ ද ලැබිය යුත්තේ ද කාලයේ පහර කෑමට ලක් නොවන්නා වූ, නිසැක යහපත සලසන්නා වූ එවන් මහරු ත්‍යාගයක් ම නොවේ ද!