​සත්පුරුෂ ගුරු ඇසුරක වටිනාකම හඳුනාගත හැක්කේ නුවණැති පුණ්‍යවන්තයෙකුටම පමණි. ගුරු ඔවදනට දමනය වන බව කෙනෙකු තුළ පිහිටන සුවිශේෂී දුර්ලභ ගුණයකි. එබඳු ගුණවතුන්ගේ ඒ දමනය වන ගුණය මතු දිනෙක මහා සැපයක් පිණිස ම හේතු වනු නියත ය. අප මහා බෝසතාණන් වහන්සේ පාරමී දම් පිරූ සසරේ ඒ සත්පුරුෂ බෝසත් වදනට අවනත වූ යමෙක් ඇද්ද, ඒ සියල්ලෝම ගෞතම බුදු සසුනේ බුදු වදනට ද දමනය වූහ. යමෙකු බෝසත් ඔවදනට පිටුපා ගියාහු ද ඔවුහු ගෞතම සසුනට ද පිටුපා සසර සැඩ පහරේම ගිලී ගියාහු ය. සත්පුරුෂ ඇසුරක රැඳී සිටීම හෝ ගිලිහී යාම, සත්පුරුෂ වදනට දමනය වීම හෝ නොවීම සසර ගමනේ තීරණාත්මක සාධකයකි.

සියලු යහපතට පිවිසවන ස්වර්ණමය ද්වාරය බඳු ගුරු ඔවදන වරෙක මුදු මොළොක් විය හැකි ය. වරෙක සැඩපරුෂ විය හැකි ය. ස්වරය කුමක් වුව ද එහි ගැබ්ව ඇත්තේ කරුණාවයි. අනුකම්පාවයි. සිසු කැලගේ අභිවෘද්ධියයි. එය හඳුනාගැනීමට අසමත් අනුවණ දන කෙළෙහිගුණ නොදත් මිත්‍රද්‍රෝහීන් වීම කෙසේ වළක්වන්න ද?

මේ පුවත අසනු මැන. ඔහු බරණැස් රජුගේ ජ්‍යේෂ්ඨ පුත්‍ර රත්නයයි. රාජ සුකොමාලයෙන් යුතු සාඩම්බර පෙනුමැති හෙතෙම විඩාබරව සිටිනුයේ බරණැස සිට බොහෝ දුර ගෙවා දිසාපාමොක් ඇඳුරිඳු සොයා තක්සිලාවට පැමිණි නිසාවෙනි. දහස් ගණන් සිසු දරුවන් අනාගත සුබ සිහින දකිමින් දරු පෙමින් ගුරු සෙවණේ සිප් නැණින් වැඩෙද්දී ඒ සිහින යථාර්ථයක් බවට පත් කරවන වගකීම දරාගත්තෝ මේ ඇඳුරුතුමාණෝ නොවේද? මේ යොවුන් කුමරුවාණන් ද මතු රට කරවන රජෙකු බවට පත් කරවන වගකීම බාරගත් ආචාර්යපාදයෝ ශිල්ප ඉගැන්වීම ඇරඹූහ.

දිනක් දිය නෑමට යමින් සිටිනතරේ, මැහැලියක වේළමින් සිටි තල පැදුරකින් අහුරක් කුමරු හොරෙන් ම ගෙන කෑවේ ය. දින කිහිපයක් මෙය සිදු වූ විට, කුමරුගේ නොපනත් ක්‍රියාව දැනගත් ඇඳුරුතුමන් හුණ පතුරක් ගෙන්වාගෙන “යළි මෙවැනි දෙයක් නොකරනු…” යි කුමරුගේ පිටුපසට පහර තුනක් ගැසී ය. රාජකීය අභිමානයෙන් මැඩගත් කුමරුන් සිත සැණෙකින් ක්‍රෝධයට යට විය. ගතට වඩා සිත රිදුම් දෙද්දී, ඇඳුරුතුමන් දෙස බැලූ බැල්මෙන්ම කුමරු තමන් කෙරෙහි වෛර බැඳගත් බව ඇඳුරුතුමන් දැනගත්ත ද එය නොදත්තාක් මෙන් සිටියේ ය. ගුරුවරයෙකුගේ පුළුල් දැක්ම අබියස සිසුවෙකුගේ පටු සිත කෙතරම් හානිකර ද? ‘මා රජ වූ දිනක මොහු මරවමි…’ යි කුමරු අදිටන් කරගත්තේ තමා රජෙකු බවට පත් කරවන්නේ ඇඳුරුතුමන්ගේ හික්මවීම විසින් බව දැකීමට ශක්තියක් නොතිබූ නිසා ම ය.

කලකට පසු මැනවින් හික්මී සිටින තම පුතු දැකීමෙන් සතුටට පත් බරණැස් මහ රජු හෙතෙම රාජ්‍යයේ අභිෂේක කරවී ය. කිරුළු පැලඳ රාජකීය කම් සැපයෙන් කුල්මත්ව සිටියදී පවා ගත සිත රිදුම් දිදී ඔහුට වරින්වර සිහි වන්නේ ඇඳුරුතුමන් පෙර තමාට ගැසූ පහරයි. බරණැසට පැමිණෙන ලෙස ඇරයුම් කරමින් රජු තක්සිලාවට දූතයෙකු යැවී ය. එහි අරුත වහා වටහාගත් ඇඳුරුතුමන් ගමන කල් දැමුවේ, ජීවිතාශාව නිසා නොව මේ යොවුන් රජු තවමත් කරුණු කාරණා වටහා ගැනීමට අසමත් බැවින් නිසි කල් පැමිණි විට ගොස් ඔහුට කරුණු වටහා දිය යුතු ය යන අදහසිනි.

වසර ගණනාවක් ගෙවී ගිය ද මහලු ඇඳුරුතුමන් හද සිසු දරුවා ගැන වගකීම තවමත් ගිලිහී ගොස් නැත. තමා සෙවණේ ශිල්ප හැදෑරූ කුමරු දැන් රජ වී සිටිය ද ජීවිතය ගැන කියා දිය යුතු සොඳුරු පාඩම උගන්වන අදහස සිතේ දරාගෙන දිසාපාමොක් ඇඳුරුතුමන් බරණැස් මහරජ ඉදිරියේ පෙනී සිටියේ ය. ඇඳුරුතුමන් දුටු රජු ගුගුලේ ය. “මොහු එදා මට ගැසූ පහර තවමත් රිදුම් දෙනවා. වහාම මොහුගේ හිස ගසා දමව්.” උදහස් රජු අණ පරයා මහසත් ඇඳුරු මුදු ස්වරය රැව් දුනි. “දරුව, මා එදා ඉවත බලා සිටියා නම් අද ඔබ රජෙකු නොව, රාජ දණ්ඩනයට යටත් වන මහ සොරෙකු වන්නට ඉඩ තිබුණා.” සැණෙකින් රජුට එය වැටහුණි. කලක පටන් පැවති වෛරය සංසිඳුනි. වහා අසුනෙන් නැගී සිටි රජු, ගුරු පා වැඳ කමා කර ගත්තේ ය. ගුරුදෙව් ඇසුරේ දැහැමිව වසා මරණින් මතු හෙතෙම දෙව්ලොව ඉපදුණි. සැබැවින්ම ගුරු ස්වරය කෙතරම් මිහිරි ද?

ගුරු වදනක අරුත යමෙකුට නොවැටහෙන්නට ඉඩ තිබේ. එනමුදු… කරුණු කාරණා වැටහෙන ගුණ නැණින් පිරි ගුරු උතුමන්ගේ වදන හිස් දෙයක් විය නොහැකි බව අදහා ගැනීමට හෙතෙම සමත් විය යුතු ය. එවැන්නෙකුට නම් ගුරු කරුණාවේ පිහිට ලද හැක්කේ ම ය. එසේ නොමැති කල වැනසී යාම කෙසේ වළකන්න ද?

මෙය පෙර ලක්දිව සිදු වූවකි. ගුරු හිමි තම ගෝලනම සමඟින් මහ සෑ රජුන් පිදුමට පැමිණියත් මල් නොලැබුණි. ගුරු සමිඳුන්ගේ අදහස වටහාගත් පොඩිනම සැණෙකින් තම ඍද්ධි බලයෙන් හිමවතට ගොස් සීතල දිය වෑහෙන රම්‍ය පුෂ්පයෝ පෙරහන්කඩක් පුරා රැගෙන ආහ. පොඩිනමගේ දස්කම් දුටු, දුර දකිනා ගුරු හිමි අනාගතය දෙස බලද්දී අඳුරු කලදසාවක සේයා දුටු සේක. “පොඩිනම ඔය හැකියාවෙන් සෑහීමකට පත් වෙන්න එපා. ප්‍රමාද වුණොත් අනාගතයේ ඇසක් කණ වූ ගැහැනියක දෙන කැඳ බිබී ඉන්ට සිදු වේවි.” කාරුණික ගුරු ඔවදන ගෝලනමට විහිළුවක් විය. එහි අරුත තේරුම් ගත නොහැකි වූ හෙතෙම තමා ගැන අධි තක්සේරුවෙන්, ‘මට වරදින්නේ නැත’ යන අදහසින් ප්‍රමාද වී වසද්දී කාමයට වසඟව ඍද්ධි බල ද නසාගෙන බඹසර ද අහිමිව ගිහි බවට පත්ව දුක් පීඩා විඳින කල ගුරු වදන සිහිවී වැළපුණි. එනමුදු… එවිට හේ පමා වැඩි ය.

සියල්ල දන්නා අප තථාගතයාණෝ සත්පුරුෂ ඇසුරක ඇති අගය ඉස්මතු කරමින් වරෙක මෙසේ දේශනා කොට වදාළ සේක.

“යම් පුද්ගලයෙක් යම්කිසි පුද්ගලයෙකු කරා පැමිණිලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ධර්මය සරණ ගියා නම්, සංඝයා සරණ ගියා නම්, පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර දීම ආදියෙන්.

ඒ වගේ ම පින්වත් ආනන්ද, යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු කරා පැමිණ සතුන් මැරීමෙන් වළකිනවා නම්, සොරකමින් වළකිනවා නම්, වැරදි කාම සේවනයෙන් වළකිනවා නම්, බොරු කීමෙන් වළකිනවා නම්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා නම්, පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලයි මං කියන්නේ.

ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර දීම ආදියෙන්.

ඒ වගේ ම පින්වත් ආනන්ද, යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු කරා පැමිණ බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු වෙනවා නම්, ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු වෙනවා නම්, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු වෙනවා නම්, ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වෙනවා නම්, පින්වත් ආනන්ද අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර දීම ආදියෙන්.

ඒ වගේ ම පින්වත් ආනන්ද, යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු කරා පැමිණ දුක්ඛ ආර්ය සත්‍යය කෙරෙහි නිසැක වෙනවා නම්, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කෙරෙහි නිසැක වෙනවා නම්, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය කෙරෙහි නිසැක වෙනවා නම්, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යය කෙරෙහි නිසැක වෙනවා නම් පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර, පිණ්ඩපාත, සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ආදියෙන්.”

එසේ නම්, අමෘතදායක බුදු සමිඳුන්ගේ සසුනේ සරණ ලැබ දෙන උත්තම සත්පුරුෂ ගුරු උතුමන්ගේ ඇසුර කෙතරම් උත්තරීතර ද? එවන් ගුරු උතුමන්ගේ වදනට කෙසේ නම් අපි අවනත විය යුතු ද? කෙතරම් නම් ගරු කළ යුතු ද?

එවන් මහත් ගෞරවයෙන් සදහම් ගුරුන් ඇසුරු කරන්නෙකුට අත්වන මහා ශාන්තිය, ශාන්තිනායක බුදු පියාණන් මෙසේ පෙන්වා දුන් සේක.

යස්මා හි ධම්මං පුරිසෝ විජඤ්ඤා
ඉන්දං’ව නං දේවතා පූජයෙය්
යසෝ පූජිතෝ තස්මිං පසන්නචිත්තෝ
බහුස්සුතෝ පාතුකරෝති ධම්මං

නැණවත් වූ කෙනෙක් ලොවේ – ඉගෙන ගනී නම් සදහම්
‘සක්දෙවිඳුව’ පුදන ලෙසින් – හේ ‘සදහම් ගුරුන්’ පුදයි
බොහෝ දහම් දැනුමින් යුතු – පිදුම් ලබන ගුරුවරයා
පහන් සිතින් යුතුව ඔහුට – මතුකර දෙයි සද්ධර්මය

තදට්ඨිකත්වාන නිසම්ම ධීරෝ
ධම්මානුධම්මං පටිපජ්ජමානෝ
විඤ්ඤූ විභාවී නිපුණෝ ච හෝති
යෝ තාදිසං භජතේ අප්පමත්තෝ

නොපමා වී කෙනෙක් එබඳු – දහම් ගුරුන් ඇසුරු කළොත්
හොඳින් සවන් යුග යොමු කොට – සිරි සදහම් බණ ඇසුවොත්
නුවණැති හේ පිළිපදිනා – විට අසනා දහම් අනුව
වහා වැටහෙන සියුම් නුවණ – ඇති කෙනෙකුන් බවට පත්වෙයි

තස්මා හවේ සප්පුරිසං භජේථ
මේධාවිනංචේව බහුස්සුතංච
අඤ්ඤාය අත්ථං පටිපජ්ජමානෝ
විඤ්ඤාතධම්මෝ සෝ සුඛං ලභේථාති.

සැබැවින් මේ කරුණ නිසා – බොහෝ දහම් දැනගෙන ඇති
මනා නුවණ ඇති යහපත් – උත්තම සදහම් ගුරුන්ව
නිතර ඇසුරු කළ යුතුමය
එවිට ඔහුගෙ සදහම් දැන – ඒ සදහම් පිළිපැදගෙන
අවබෝධයකින් යුතු වී – ලොව්තුරු සැප ලබන්නේ ය

සැබවින්ම එවැනි උත්තම ගුරු ඇසුරක සුරැකෙමින්, ගුරු ඔවදනට දමනය වන සත් දන සුගති රැකවරණ ලබමින් අමා නිවනින් ම නිවී යනු ඒකාන්තයි.

ඇසුර – තිලමුට්ඨි ජාතකය, දක්ඛිණා විභංග සූත්‍රය, ධම්ම නාවා සූත්‍රය

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.