‘මේ මිනිසා නම් පුදුම මිනිසෙක්.’
‘මේ තරම් හයියක් ඔහුට
ලැබුණේ කොහොමද?’
‘ඔහු මේ තහවුරු කරන්නේ
මිනිසෙකුට කළ නොහැක්කක්
නොමැති බව ද?’
දශරත් මාන්ජීගේ පුවත ඇසූ විට මෙවැනි බොහෝ අදහස් මගේ සිතෙහි ඉපදුණා. හැබැයි, මේ ඒ අදහස් ලියන්න සුදුසු තැන නෙමෙයි. අප මුලින් ඔහු ගැන කථා කළ යුතුයි.
කවුද දශරත් මාන්ජී…?
මිනිසෙකුට කන්දක් සෙලවිය හැකි බව ලොවට කියූ මිනිසා තමයි ඔහු…, ‘දශරත් මාන්ජී’…!
ඉන්දියාවේ, ගෙහෙලෝර් ගමේ කුලහීන ම පවුලක 1929 ජනවාරි 14 වැනිදා උපන් පුතුට දශරත් මාන්ජී නම තැබුණා. වයසින් වැඩී යද්දී ඔහු ෆල්ගුනි දේවි නම් වූ ගම්වැසි තරුණිය හා විවාපත් වුණා. ධාන්බාද්හි මිනිරන් පතල්වල සත් වසරක් පුරා දුෂ්කර සේවයේ යෙදුණු ඔහු නැවත උපන්ගම කරා පැමිණ දිනපතා කුලියට සේවය සපයන කම්කරුවෙකු ලෙස ජීවිකාව උපයාගන්නට පටන් ගත්තා.
ඉන්දියාවේ සෙසු දුෂ්කර, දුප්පත් ගම්මාන සේ ම ගෙහෙලෝර් ගමත් කිසිදු සංවර්ධනයකට ලක් නොවූ ගමක්. මේ ගම්වැසියන්ගේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ගයා දිස්ත්‍රික්කයට අයත් වසීර්ගුන්ජ් හා අත්‍රී ප්‍රදේශ අතරමැද පිහිටි විශාල කන්දක් ඔවුන් තරණය කළ යුතු වුණේ බොහොම පටු සහ අතිශය අවදානම් සහගත පාරක් දිගේ…
ජීවිත වෙනස් කළ අවාසනාව
ගෙහෙලෝර් ගමේ වගේ ම ඒ අවට ගම් කිහිපයක වැසියනුත් දෛනික අවශ්‍යතා වෙනුවෙන් භාවිත කළේ මේ දුෂ්කර මාර්ගය. ඒ සියලු ගම්වල කාන්තාවන්ට ඔවුන්ගේ පවුල්වලට වුවමනා වතුර ගෙන ඒමට අඩි 300ක් උස කඳු මුදුනට නැගීම අනිවාර්ය වුණේ ළඟම තිබුණු ගංගාවට මෙපිටින් ඒ කන්ද පිහිටා තිබුණු නිසයි…
දශරත් මාන්ජීගේ ජීවිතයත්, ගෙහෙලෝර් ගම්මානය හා ඒ අවට ගම්මාන ඇසුරු කරගත් සියලු දෙනාගේ ජීවිතත් සහමුලින් ම වෙනස් කරන්නට නිමිත්ත වුණ අවාසනාවන්ත සිදුවීමකට මුල් වුණේ මේ දුෂ්කර පාර ම තමයි. එවක ගැබිණියක වුණ ෆල්ගුනි දේවි කුඹුරු වැඩෙහි යෙදෙමින් උන් තම ස්වාමි පුරුෂයාට දිවා ආහාරය ගෙන යමින් සිටියා. කකුලේ දියපට්ට නැගෙනා තරමට ගිනියම් වූ කන්ද තරණය කරමින් සිටි ඇය හදිසියේ ම පය ලිස්සා ඇද වැටුනා. බරපතළ තුවාල ලැබූ ඇය ගැන පණිවිඩය ලැබුණු වහා ම එහි පැමිණි දශරත් මාන්ජී තවත් අයගේ උදව් ඇතිව කිලෝමීටර් පනස් පහක් දුරින් පිහිටි රෝහල කරා ඇය ව ගෙනගියේ ඒ දුෂ්කර මාර්ගයේ ම යි. අසාධ්‍ය තත්ත්වයේ සිටි ඇය දියණියකට උපත ලබා දී ජීවිතයෙන් සමුගත්තා.
මේ ඛේදවාචකය දශරත් මාන්ජී සහමුලින් ම වෙනස් මිනිසෙකු කරලන්නට සමත් වුණා. එතෙක් එදිනෙදා ජීවනෝපාය උපයමින් සිටි ඔහු තමන්ගේ ආදරණීය බිරිඳ මුහුණපෑ ආකාරයේ ඛේදනීය ඉරණමකට අන් කිසිවෙකු ගොදුරු නොවීම පිණිස, ගෙහෙලෝර් ගම හරස් කොට පිහිටි කන්ද හොලවන්නට පටන් ගත්තා…!
විසි දෙවසරක උත්සාහය
තමන් සන්තකයේ හුන් එළුවන් විකුණා දමා මිටියක් සහ කපන කටුවක් මිලට ගත් මේ මිනිසා ගමට පාරක් තැනීමේ අරමුණින් කන්ද බිඳින්නට පටන් ගත්තා. තරුණ වයසේ සිටි දශරත් මාන්ජීට පවා දිවා කාලයේ වතුපිටිවල වැඩෙහි යෙදී රාත්‍රියේ කන්ද බිඳ දැමීම පහසු දෙයක් වුණේ නැහැ. ස්ථිර වූ දෛනික ආදායමක් සෙවීම පසෙක තබා ගමට පාරක් තැනීම පිණිස ඔහු දිවා කාලය කැප කරන්නට තීරණය කළේ ඒ නිසයි. යැපීම පිණිස මුදල් වුවමනා වූ විට ඔහු කන්ද තරණයෙහි යෙදෙන්නවුන්ගේ බඩුභාණ්ඩ ගෙන ගොස් දීමෙන් යම් මුදලක් උපයාසපයා ගත්තා. නමුත්, ඇතැම් අවස්ථාවල දශරත් මාන්ජීගේ පවුලට බඩගින්නේ සිටින්නටත් සිදු වුණා. එහෙත් කන්ද බිඳ පාරක් තැනීමේ කාර්යය නතර කළේ ඔහු නොවෙයි…!
සතියක් දෙකක්, මාසයක් දෙකක්, අවුරුද්දක් දෙකක් නෙමෙයි; අවුරුදු විසි දෙකක් පුරා ඔහු මේ කන්ද මත තම දහඩිය මහන්සිය තැවරුවා. දැඩි රළු කන්ද මත දර ගිනි තබා ඒ උණුසුමින් යම් මෙළෙකක් උපදවා කටුවෙන් ඒ පදාසයන් බිඳ දමමින් ඔහු අඛණ්ඩ ව කන්ද සමඟින් හැප්පුනා. ගැරහුම් හමුවේ අකම්පිත ව… මේක ලේසි වැඩක් ද? විශේෂයෙන් ම, තමන් කරනා දුෂ්කර කටයුත්තට උපකාර කරන්නට අයෙක් නොමැති විට… එහි ගුණ දකින්නට අයෙක් නොමැති විට… එපමණක් නොවෙයි; එය විහිළුවකට ගෙන සිනාසෙන, ගරහන පිරිස් බොහෝ සිටිනා විට… දශරත් මාන්ජී මුහුණපෑවේ එබඳු වටපිටාවකටයි. ගම්වැසියන් ඔහුට විහිළු කළා. ඔවුන් සිතුවේ දශරත් මාන්ජී උන්මන්තක භාවයට පත්වෙලා කියලයි. ඔවුන් ඔහුට සිනාසුණා. ඔහුට පිස්සු කියා කිව්වා. කාන්තාවන්ගේ උරුමය සහ රාජකාරිය ලෙස පරම්පරා ගණනක් පුරා ඔවුන් දුටු – කන්ද තරණය කොට දුෂ්කර ව දිය ගෙන ඒමේ කටයුත්ත ගැන මෙසේ වෙහෙසිය යුතුදැයි ඔවුන් ප්‍රශ්න කළා. දශරත් මාන්ජීගේ බිරිඳ පමණක් විශේෂිත අයෙකුදැයි ඔවුන් ඇසුවා.
ඒ කිසිවකින් සෙලවුණේ දශරත් මාන්ජී නොවෙයි… නමුත්, ඔහුගේ අප්‍රතිහත ධෛර්යය හමුවේ, විඳදරා ගැනීම් හමුවේ, කැපකිරීම් හමුවේ මහා කන්ද දිනෙන් දින සෙලවුණා. පසුකාලීන ව ඔහුගේ කටයුත්තට උපකාරයක් වෙමින් ගම්වැසියන් කිහිප දෙනෙකු ඔහුට ආහාර සහ උපකරණ සැපයූවා.
මුදුන්පත් වූ අරමුණ
1982 වර්ෂයේ දී කන්ද හරහා අනෙක් පසට යා හැකි කෙටි සහ ආරක්ෂිත පාරක් නිර්මාණය කිරීම පිණිස දශරත් මාන්ජී තුළ පැවති අරමුණ මුදුන්පත් වුණා. අඩි 360ක් දිග, අඩි 30ක් පළල, අඩි 25ක් උස වූ මේ මාර්ගය නිසා ගම්මාන හැටක වැසියන්ට ගඟට, රෝහලට, පාසලට යාම පිණිස වූ දුර කිලෝමීටර් හතළිහකින් පමණ කපාහැරුණා…! ලෝකයේ ගැරහීම් හමුවේ පසුනොබැස දිරියෙන් ම දිනූ මේ මිනිසා එතැන් පටන් ගම්වැසියන් විසින් සාධුවරුන් සඳහා භාවිත වූ ‘බාබා’ යන ගෞරව නාමයෙන් හඳුන්වනු ලැබුවා…
මිනිස් සිතක උපදනා සිතුවිල්ලකට මෙතරම් බලයක් පවත්නා බව ලෝකය හමුවේ තහවුරු කළ දශරත් මාන්ජී ඒ උතුම් අරමුණ ගැන මෙහෙම කිව්වා.
“මේ පාර හාරන්න මගේ හිතේ මුලින් ම අදහස දැල්වුණේ මගේ බිරිඳ ගැන තිබුණු ආදරයෙන්. නමුත්, බයක් හෝ කණගාටුවක් නොමැතිව මේ අවුරුදු ගාණ පුරා ම මාව දිගට ම මේ කටයුත්තේ යෙදෙව්වේ දහස් ගණන් ගම්වැසියන් ඔවුන්ට අවශ්‍ය වූ විට පහසුවෙන් මේ කන්ද පසුකර යනවා දකින්නට තිබූ කැමැත්ත…”
ලොවේ යහපත දකිනු රිසියෙක්…
ඔව්, වසර විසි දෙකක් පුරා අඛණ්ඩව ඔහු කන්දක් සමඟ හැපුණේ ‘මිනිසුන්ගේ යහපත කැමැති වීම’ නම් වූ උතුම් ගුණධර්මය නිසයි…!!!
පාර තැනීමෙන් නතර නොවුණු ඔහු එය තාර දමා නිම කරවා ප්‍රධාන මාර්ගය හා සම්බන්ධ කරවා ගැනීම පිණිස ගෙයක් ගෙයක් පාසා ගියා. නවදිල්ලි නගරය දක්වා වූ දුම්රිය මාර්ගයේ සෑම දුම්රිය නැවතුම්පළක ම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ අත්සන් එකතු කරගත්තා. පාරට තාර දැමීම, ගෙහෙලෝර් ගමට රෝහලක් තැනීම සහ ජලනල පද්ධතියක් ලබා ගැනීම පිණිස ඔහු නවදිල්ලියේ දී අත්සන් සහිත පෙත්සමක් භාර දුන්නා. ඔහුව අගයමින් රජය විසින් ලබා දුන් අක්කර පහක ඉඩම ඔහු නැවත ලබා දුන්නේ රෝහල ඉදි කෙරෙනා භූමිභාගය වෙනුවෙනුයි.
අවාසනාවකට, මේ සියල්ල සැබෑ වනවා දකින්නට ඔහුට හැකි වුණේ නැහැ. 2007 වර්ෂයේ අගෝස්තු 17 වැනිදා ඔහු ජීවිතයෙන් සමුගත්තේ අග්න්‍යාශ පිළිකා තත්ත්වයක් හේතුවෙන්.
ගුණයෙන් වැඩෙමු…!
නැතිබැරිකම්, දුෂ්කරතා ගැන සෙසු ලෝකයට දොස් තබනා – ඇඟිලි දිගු කරනා, අනුන් පිට වරද පටවනා සාමාන්‍ය ලෝකයා අතර දශරත් මාන්ජී ද සිටියා නම් ගෙහෙලෝර් ගම්වාසීන් ඇතුළු දහස් ගණනක් මිනිසුන්ට සුවසේ ගමනාගමනයේ යෙදෙන්නට පාරක් කොයින් ද? දශරත් මාන්ජීගේ සිතෙහි වූ දයාව, අනුකම්පාව, සංවේදී බව, ඉවසීම, කැපවීම, දැඩි අධිෂ්ඨානය, නොපසුබස්නා බව, උත්සාහය, ධෛර්යය ගණනින් මෙතෙකැයි කිව නොහැකි තරම් වූ පිරිසක් සුවපහසුවට පත් කළා… ශ්‍රේෂ්ඨ මිනිසුන් අතරට ඔහුව ඔසවා තැබුවා. ලෝකය යහපත් තැනක් කළ හැක්කේ මෙවැනි ගුණ පිරිපුන් මිනිසුන්ට ම යි!
මිනිස් සිතක පවත්නා මේ උදාරත්වය අප විමසා බැලිය යුතුයි. අනුන්ගේ දුක දැක කම්පා වන හදවතක් ඇතිව, අනුන්ගේ යහපත සලසනු පිණිස මුළු ජීවිතය ම කැප කළ ආශ්චර්යවත් පුරුෂ රත්නයක් විසින් ම යි සසර දුක් රැසින් දෙව්මිනිස් ලෝකයා එතෙර කරලන ලද්දේ. එවන් චින්තන විප්ලවයක් කරා මෙහෙයවිය හැක්කක් තමයි මේ සිත. ඒ
සම්බුදුරජුන්ගේ ධර්මය නොලද දශරත් මාන්ජී වැනි විශිෂ්ටයන් තුළ පවා ගුණධර්මයන් විපුල ව වැඩී ගොස් ලොවට යහපත දන් දුන්නා නම්, සියලු ගුණයන්ගේ පරතෙරට එළඹ ගුණ ජ්‍යේෂ්ඨත්වයෙන් යුතුව ලොව වැඩසිටි සම්බුදුරජුන්ගේ ශ්‍රාවකත්වයේ පිහිටයවුන්ට ගුණයෙන් ම වැඩී යමින් ලොව සුවපත් කළ හැකි ම යි.
ලෝකයේ අඩුපාඩුවලින් මැඩී නොයා, ගුණයෙන් ලොව යහපත සලසන උතුම් මිනිසා ඔබ වන්න…!!!
තෙරුවන් සරණයි!
(මහාමේඝ නවම් කලාපයේ පළ වූ ‘Dashrath Manjhi – The Man Who Moved a Mountain’ ලිපිය අනුසාරයෙනි.)
සටහන – උදුලා පද්මාවතී.
Recent Comments