පුහුදුන් ජන සමාජය හා නිබඳ පොර බදමින් ගත කරන ජීවන අරගලයෙන් මිදී නිෂ්කාමී අපිස් දිවි මගකට සුවපහසුව එළවන, නිර්වාණාවබෝධයට මග සලසන භෞතික හා ආධ්‍යාත්මික සෞන්දර්යයේ පරමාස්වාදය මීට අවුරුදු දෙදහස් හයසියයකට පෙර ලෝකයට හෙළිකර දෙන ලද්දේ, මෙම භද්‍ර කල්පයේ සිව්වැනි වරට ලොව ජන්ම ලාභය ලැබූ මහා පරිසරවේදියාණන් වන අමාමෑණී සම්බුදුරජාණන් වහන්සේ විසිනි.

බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ශ්‍රාවක සඟරුවන එදවස පාරිසරික සෞන්දර්යය ඇසුරු කොට වින්දනය කළ නිශ්කාමී ආස්වාදය ස්වකීය ආධ්‍යාත්මික විමුක්තිය උදෙසා ඉවහල් කොටගත් ආකාරය සම්බුද්ධ දේශනාවන්හි නොයෙක් තැන්හි දක්නට ඇත. සකල ලෝකවාසී ජීවීන්ගේ පැවැත්ම හා මුක්තාරම්මණයන් සමඟ බැඳී පැවති තත්කාලීන පරිසරයෙන් මිනිසාගේ ආධ්‍යාත්මික හා බාහිර සංවරය මෙන් ම නිර්මාණ කුසලතාවන් ද ඔප් නංවා එමඟින් ආධ්‍යාත්ම විමුක්තිය සඵල කොට ගත හැකි අයුරු පෙන්වා දෙන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි.

බෝසත් උපතේ සිට උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කොටගෙන පරිනිර්වාණය දක්වා වූ උන්වහන්සේගේ නික්ලේශී වූ දිවිමඟ සාකල්‍යයෙන්ම බැඳී පැවැත්තේ රමණීය වන උයන් ගොමු, තෝතැනි වන ලැහැබ්, ගංගා හා ගිරිකඳුරු ආශ්‍රිතව ය. මුල් කාලයේ එකලාව ද සිය ශ්‍රාවකයන් සමඟ ද වනසෙනසුන් ගිරි ලෙන් ඇසුරු කරමින් විසි වසක් ම බවුන් වඩමින් දහම් දෙසමින් වැඩ විසූ බුදුරජාණන් වහන්සේ සිය උතුම් ජීවිතයේ ඉතිරි කාලය ගත කළේ ද රජ සිටුවරුන් ඇතුළු දායකයන් පිදූ වන උයන් සහිත ආරාමවල ය. මෙලෙස පන්සාලිස් වසක් දෙව් මිනිසුන් ඇතුළු සකල සත්ව වර්ගයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් යුතුව දියත් කළ උත්තුංග ධර්ම චාරිකාව නිමවා තමන් වහන්සේගේ දිවිමග තිර ලෙසම පරිසරය හා ප්‍රතිබද්ධව පවත්නා බව සනාථ කරමින් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වූයේ ද වන උයනක සල්රුක් සෙවණක දී ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ අන්තර්ගතය, විමුක්ති රසය හා දැවටී පැවතියේ සෞන්දර්යාස්වාදය ම ය. සම්බුද්ධත්වයට පත් වීමට මොහොතකට පෙර සිද්ධාර්ථ තවුසාණන් ව සිටිය දී නේරංජරා නදිය අවට පරිසරය දුටු අයුරු බුදුරජාණන් වහන්සේ පසු කලෙක මෙසේ මෙනෙහි කළ සේක:

“උරුවේලාවෙහි සේනානි නියම්ගම සිත්කළු භූමි භාගයෙන් සෑදුණේ වෙයි. සිත් පහන් කරවන වන ලැහැබ් හා සුදු වැලිතලාවන්ගෙන් එපෙදෙස ගැවසී ගත්තේ ය. නිවීහැනහිල්ලේ ගලා බස්නා දිය දහරාවන්ගෙන් පිරි නේරංජරා නදිය මනරම් ය. භූමිභාගය අතිශයින් ම රමණීය ය. වන ලැහැබ ද ප්‍රසාදජනක ය. මහා තොටුපළ සහිත වූ සුදු වැලිතලා මතින් ගලා බස්නා නදිය සිත් ගන්නාසුලු ය. හාත්පස ගොදුරු ගම ද පිහිටා ඇත. පධන් වීර්යය වඩනා කුල පුත්‍රයකුට මීට වඩා සොඳුරු තැනක් නැත්තේ ම ය.”

බුදුරජාණන් වහන්සේ විසින් තුන්ලෝවාසීන්ගේ හිතසුව උදෙසා දේශනා කොට වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මය උපමා කරන ලද්දේ ද සුපුෂ්පිත මලින් පිරි මනරම් වන රොදකට ය:

“වනප්පගුම්බේ යථා ඵුස්සිතග්ගේ
ගිම්හානමාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයී
නිබ්බාණගාමිං පරමං හිතාය”

“ගිම්හාන සමයෙහි මුල් මාසයේ (බක් මස) වනගොමුවල ලස්සනට මල් පිපෙන්නේ යම්සේ ද එලෙසටමයි (බුදුරජුන්) ලෝක සත්වයාට පරම සෙත සලසන ඒ අමා නිවන කරා රැගෙන යන උතුම් ධර්මය වදාළේ.”

පුහුදුන් සමාජය හා ගැටෙමින්, පොරබදමින් අත්විඳින දිවිමගින් බැහැරව ආර්ය මාර්ගයට සුවපහසුව එළවන හුදෙකලා වනාන්තර වල විසීම නිවන් මග වඩන පැවිදි උතුමන්ට ප්‍රිය බව බුදු මුවින්ම වදාරන ලද්දේ ය.

“රමණීයානි අරඤ්ඤානි
– යත්ථ න රමතී ජනෝ
වීතරාගා රමිස්සන්ති
– න තේ කාමගවේසිනෝ”

“මහා වනාන්තර අතිශයින් රමණීය වුවද කම් සැප සොයන ජනයා ඒ වනයට නොඇලෙන්නේය. එනමුදු වීතරාගී වූ රහතන් වහන්සේලාට මහ වනය අතිශයින්ම ප්‍රිය වේ. එසේ වූයේ උන්වහන්සේලා කම් සැප නොසොයන බැවිනි.”

ආර්යයන් වහන්සේලා හුදෙකලා ව බවුන් වැඩීම කෙරෙහි ඇලී මිනිස් වාසයෙන් ඈත වනගහන මැද ලෙන්වල කුටිවල වැඩ විසුවේ කෙසේ ද යන්න බුදුරජාණන් වහන්සේ ම පෙන්වා දුන් ආකාරය මජ්ඣිම නිකායේ භයභේරව සූත්‍රයෙහි සඳහන් වෙයි. “ඈත පිහිටා ඇති මහ වනාන්තරයන්හි කුටිවල වැඩ වසමින් හුදෙකලා ව භාවනා කිරීම දුෂ්කරයි නේද? සමාධියක් නොලැබූ බවුන් දම් වඩන්නන්ගේ මනස වනාන්තරය විසින් ගිල ගනු ලබනවා නොවේ ද?” යනුවෙන් වරක් ජානුස්සෝණි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් විමසූ කල්හි උන්වහන්සේගෙන් ඉතා පැහැදිලි පිළිතුරක් බමුණාට ලැබුණි.

එනම් ආර්යයන් වහන්සේලා පිරිසිදු චරිතයකින් යුතුව කාම රාග අරමුණුවල නොඇලී මෙත් සිතින් යුතුව නිදිමත හා අලස බව දුරුකොට සංසිඳුණු සිතින් සිහිය, සමාධිය, ප්‍රඥාව උපදවාගෙන වන ගහන මැද වාසය කරන බවය.

ථේර ගාථා පාලිය ආරම්භ වන්නේ ද වන මැද බවුන් වැඩූ සුභූති තෙරුන් වහන්සේ ඉදිරිපත් කරන පරිසර වර්ණනාවකිනි. උන්වහන්සේගේ කුටිය අවට ඇති පරිසරයෙහි පවත්නා වැස්ස, සුළඟ මේගැටුම් ආදී ස්වභාවික උපද්‍රව මධ්‍යයේ සමාහිත සිතින් යුතුව වැඩ වාසය කරන බව පවසන සුභූති තෙරණුවෝ හැකි නම් තමන් වහන්සේ ලබන සුවය වෙනස් කරන ලෙසට පරිසරයට ද අභියෝග කරයි.

දිය ඇලි කඩා හැළෙන ගිරිශිඛර මත සියොතුන් නාද කරන වන ගැබකට පිවිස බවුන් වඩන තාලපුට රහතන් වහන්සේ ලද අත්දැකීම සිතින් මෙනෙහි කරමින් නිරාමිස ප්‍රීතිය හා හුදෙකලා චිත්ත විවේකය විඳි අයුරු පවසන්නේ මෙපරිද්දෙනි:

“වැසි වට කල්හි සිව් අඟල් පමණ වූ නිල් තණ ගොබ ඇදී රම්‍ය තණ තලා බිහි වෙයි. සුපිපි මලින් ගැවසී ගත් විසල් රුක් මුදුන් වලාකුළු හා සම්බන්ධ වෙයි. එකල්හි මහා පර්වත මත වැතිරුණ ගසක් පරිද්දෙන් තණ තලාවෙහි වැතිරෙන්නෙමි. එය මුදු මොළොක් සයනයක් ලෙසින් මට අතිශය සුවදායී වන්නේ ය.”

අජකරණී නදිය අසබඩ අසපුවෙහි බවුන් වඩන සප්පක තෙරුන් වහන්සේ තමන් නෙත ගැටුණ පරිසරයේ පවත්නා සුන්දරත්වය ප්‍රකාශ කරන්නේ මෙලෙසිනි:

“ඒ කෙකිණියගේ අත් තටු සුදු නෙළුමේ පාටින් යුක්තයි. කළු වලාකුළට බිය වෙලා ඇය තැති ගත්තා. ඉන්න තැනක් සොයාගෙන ඈ ඉගිලී යන වෙලාවට මේ ‘අජකරණී’ නදිය මගේ සිත ඇදගන්නවා.

කෙකිණියගේ අත්තටු සුදු නෙළුමේ පාටින් යුක්තයි. කළු වලාකුළට බිය වෙලා ඇය තැති ගත්තා. ඇයට සැඟවෙන්න තැනක් නෑ. සැඟවෙන්න තැනක් සොයමින් ඇය පලායන කලට ‘අජකරණී’ නදිය මගේ සිත් ඇදගන්නවා.

ගංතෙර දෙපැත්තේ ජම්බු ගස් තියෙනවා. ඒවා සතුටු නොකරන්නේ කාවද? මගේ ලෙන පිටිපස්සේ තියෙන ඒ ජම්බු ගස් පළාතම ලස්සන කරනවා.

ගෙම්බන් නාද කරන්නේ ගාම්භීර විදිහට. ඒගොල්ල සර්පයන්ගෙන් බේරිලා ඉන්න නිසා වෙන්න ඇති. මේ කාලයේ කඳු ගංගා වෙන් වෙලා තියෙන කාලයක් නොවේ. ‘අජකරණී’ නදිය කියන්නේ කෙම්බිමක්. හැම අතින්ම ලස්සනයි. රමණීයයි.”

බුද්ධකාලීන යුගයේ වැඩ විසූ රහතන් වහන්සේලා වන පෙත් උයන්වල බවුන් වඩමින් ලද නිරාමිස සෞන්දර්ය වින්දනය අරභයා පළ කළ උදාන ගීත ලොව කවර නම් සාහිත්‍යයකින් දැකිය හැකි වේ ද? නෙත් සිත් පහන් කරවන පාරිසරික සෞන්දර්යය, තෙර තෙරිණියන් වහන්සේලා සිය ජීවිත විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉවහල් කොටගත් ආකාරය වටහා ගැනීමට ථේර ථේරී ගාථාවලින් ද ලැබෙන එළිය අපමණ ය. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සෞන්දර්ය සංකල්පය වූ කලී ආර්ය ශ්‍රාවකයාගේ පරම නිෂ්ටාව වන නිර්වාණාවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා ම යොමු වූවක් වෙයි. ලෝක සත්වයා හා අනවරතයෙන් බැඳී පවතින සමාජ විද්‍යාත්මක ක්‍රියාවලියක් වන සෞන්දර්යාත්මක ඇගයීම, පුහුදුන් සමාජය අත්විඳින කාමාශක්ත සංකල්පයන්ගෙන් බැහැර කොට ආර්ය මාර්ගයට සුවපහසුව එළවන නිෂ්කාමී ආස්වාදනයක් බවට පත් කිරීම ලෝක සාහිත්‍ය විෂයෙහිලා වුව ද ආශ්චර්යවත් සංසිද්ධියක් නොවන්නේ ද?

සටහන – දයාපාල ජයනෙත්ති.