වප් මාසය පුරා ම, ලොව බෞද්ධ ජනයා විසිරී පැතිරී සිටින සෑම තැනක ම පාහේ කඨින පින්කම් පැවැත්වෙන බව අප දන්නා කරුණකි. චීවර මාසය අවසන් වෙන්නේ නොවැම්බර් (ඉල්) පෝය දවසිනි. මේ චීවර මාසය ලක්දිව කඨින උත්සව සමය යි. කුදු මහත් අයුරින්, ශක්ති පමණින්, හරසරින් කඨින පින්කම් පැවැත්වේ. නන් අයුරින් සැදැහැවතුන් පින් රැස්කර ගන්නා බැවින් කඨින පින්කම බෞද්ධයාගේ ජීවිතය හා අතිශයින් බැඳී පවතී. පින්කම හා එයින් ජනිත වන කුසල කර්මය පිළිබඳ පසුවිපරමක් කිරීම මේ ලිපියේ අරමුණයි. උතුම් පිනට හානි නොවන අයුරින් සිත රැක ගන්නා ආකාරය ද ඔබට මෙයින් ඉගෙන ගත හැකි ය.

වස් වැසීම

ඇසළ පුන් පොහෝ දිනට පසු දින වස් වැසීම භාග්‍යවතුන් වහන්සේගේ පැනවීමයි. ලක්දිවත්, ලොව පුරාත් සියලු භික්ෂූන් වහන්සේලා වස් සමාදන්ව වස් තුන්මාසයේ භාග්‍යවතුන් වහන්සේ පැනවූ ප්‍රතිපත්තියට ගරු කරමින් වාසය කරති. පෙරවස් මඟහැරුනු භික්ෂූන් නිකිණි පෝයට පසුවස් සමාදන් වන අතර කඨින චීවරයට හිමිකම් ලැබෙන්නේ පෙරවස් වැසූ භික්ෂූන්ට ය. කඨින චීවරය පූජා කිරීමේ කැමැත්ත ඇති සැදැහැවතුන් වස් ආරාධනා කොට ඒ තුන් මාසයේ සිව්පසයෙන් උපස්ථාන කොට කඨින චීවර පූජාවට සූදානම් වේ.

වස් පවාරණය

තුන් මසක් එක ස්ථානයක වස් වැසූ සංඝයා එකිනෙකා තුළ දුටු හෝ ඇසූ හෝ සැක හිතුණ හෝ අඩුපාඩු වේ නම් ඒවා පෙන්වා දීමට සහෝදර සංඝයාට පැවරීමේ විනය විධිය ‘පවාරණ විනය කර්මය’ තුළින් සිදුවේ. වස් පවාරණය භික්ෂු සංඝයා සතු කටයුත්තකි. වප් පෝයට පෙරවස් පවාරණයත්, ඉල් පෝයට පසුවස් පවාරණයත් සිදු වේ. පෙරවස් පැවරූ භික්ෂූන් පෙරටු කොටගෙන ය කඨින පින්කම සිදු වන්නේ.

කඨින චීවර පූජාවේ ආරම්භය කෙසේ සිදුවූයේද?

වස් පවාරණය කළ භික්ෂූන් තිස්නමක් මහා වර්ෂාවෙන් තෙමී භාග්‍යවතුන් වහන්සේ වන්දනා කිරීමට පැමිණි අවස්ථාවේ දෙසූ ධර්මයෙන් තෙත් සිවුරු පිටින් ම ඒ භික්ෂූහු තිස්නම ඒ ආසනයේ ම උතුම් අරහත්වයට පත් වූහ. ධුත ගුණයෙන් යුක්ත සුපේශල ශික්ෂාකාමී ඒ උතුම් ස්වාමීන් වහන්සේලා තුන් සිවුරෙන් යුක්තව, අමතර සිවුරු නොමැතිව, වතුර වැක්කෙරෙන සිවුරුවලින් යුතු වූහ. මේ ගැන සැලකිලිමත් වූ භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂූන්ගේ ප්‍රතිපත්තියට හානි නොවී – අමතර සිවුරක් භාවිත කළ හැකි ක්‍රමයක් ලෙස කඨිනය ඇතිරීම අනුදැන වදාළ සේක. එය හුදෙක්ම සංඝයා සතු කටයුත්තකි. ලැබෙන සිවුර හෝ සිවුරු රෙද්ද කඨින විනය කර්මය පිණිස ලබා දෙන භික්ෂුව එම චීවරය (හෝ වස්ත්‍රයක් නම් එදින ම කපා හදා ගත් චීවරය) කඨිනත්ථරණය නැමැති විනය කර්මයට පැමිණීම තුළින් භික්ෂූන්ට කඨිනානිශංස සැලසේ. එවිට, අමතර සිවුර ළඟ තබා ගැනීමටත් – තුන් සිවුරෙන් එකක් ආරක්ෂිතව තැබීමටත් අවසරය ලැබේ. කඨින චීවර විනය කර්මය තුළින් සුපේශල ශික්ෂාකාමී භික්ෂුවට සිල්පද පහක ලිහිල් බවක් ලැබේ. මෙම කඨින චීවරයේ මූලික කටයුතු සියල්ල සංඝයා සතු ය. පසුකාලීනව වස් වැසූ භික්ෂූන්ට උතුම් චීවර පූජා සුලබ විය. මේ චීවරය හේතු කරගෙන සැදැහැවත්තු කඨින චීවර පූජාවට බෙහෙවින් ඇලුම් කරති.

කඨින චීවර පින්කම තනිකරම ගිහියාට පමණක් කළ නොහැක. උතුම් කඨින චීවරය උපාසක උපාසිකාවන්ට පමණක් පූජා කළ හැකි පූජාවක් නොවන්නේ ඒ සඳහා උපසම්පදා සංඝයා සිටිය යුතු බැවිනි. පෙරවස් විසීම, වස් රැකීම, වස් පවාරණය මේ සියල්ල සංඝයා සතු ය. ඒ භූමිය තුළයි කඨිනය පූජා කළ හැකි වන්නේ. චීවර මාසයයි ඒ සඳහා ඇත්තේ. එක වෙහෙරක එක කඨිනයයි. සංඝයා කොතරම් හිටියත්, ගිහියන් කොතරම් හිටියත් එක වෙහෙරක එක කඨිනයයි. අනෙක් සිව්පස පූජාවන් සඳහා මෙසේ නැත. මේ ආකාරයෙනුත් කඨිනය විශේෂිතයි. කඨිනය සාංඝික කර පූජා කළ යුතු ය. කවදාවත් කඨින චීවරය පෞද්ගලික පූජාවක් නොවේ. කඨින චීවර පූජා පින්කමේ සියලු පිරිකර කඨිනය සඟ සතු කිරීමෙන් ම සාංඝික වේ. වෙනත් අවස්ථාවන් මේ ආකාරයෙන් දැකිය නොහැක. කඨින චීවර පූජාවෙන් පසු කඨිනානිශංස ධර්ම දේශනාව අසා උවැසි උවැසියන් සතුටින් පිනා යති.

කඨිනානිසංස

නාගිත තෙරුන් කල්ප අනූ එකකට පෙර විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ පූජා කළ කඨින චීවරය හේතුවෙන් කල්ප අනූ එකක් දෙව් මිනිසුන් අතර විඳි සැප සම්පත් ගැන විස්තර සඳහන් ය. ඊට අමතරව වස්ත්‍ර දානය අතර කඨින චීවරයට වඩා උතුම් වස්ත්‍ර දානයක් නැත. එනිසා උතුම් දේ පූජා කොට උතුම් සැපයට පත් වේ. රූප සම්පත්තිය, ලැජ්ජා බය ආදී ගුණධර්මයන්, ඉන්ද්‍රිය සංවරය ආදියත් වස්ත්‍ර දානයෙන් උපදින පුණ්‍ය විපාකයි. මෙහිදී කඨින චීවර පූජාවේ සුවිශේෂී ආනිශංස වන්නේ ධර්මාවබෝධයට හානි නොවීමේ ශක්තියක් මේ පිනෙන් උපදින බැවිනි. මහ පොළව, මහමෙර සේ ස්ථිරසාර දැඩි පුණ්‍ය විපාකයක් ලැබෙන බව පවසන්නේ එබැවිනි. අජාසත්ත රජුට සෝවාන් වීමට පින තිබුණත් පීතෘ ඝාතන පාපය හරස් විය. රජගහනුවර දිළිඳු සිටු පවුල රහත් වීමට පින තිබුණත් ඒ සියල්ල නැසී ගිය අය බවට පත් විය. කඨින චීවර පූජාවේ පින තමා සතු අයෙකුට ධර්මාවබෝධයට පින ඇත්නම් එයට කිසිදු හානියක් කිසිවෙකුට කළ නොහැක. දියමන්තියක් මෙන් දැඩි ය. භික්ෂුණී සංඝයා අතර මුලින් ම පැවිදි වූ මහා ප්‍රජාපතිය හා කතුන් පන්සියය ම කලින් පසේබුදුරජුන් පස්නමකට එවැනි උතුම් චීවර පූජා කළ කාන්තාවෝ වූහ. මහා කස්සප මහරහතන් වහන්සේ, භද්දජී මහරහතන් වහන්සේ, නන්ද මහරහතන් වහන්සේ, නන්දක මහරහතන් වහන්සේ ආදී උතුමන් සසරේ කළ පින් අතර කඨින පින ද ප්‍රමුඛව පවතී. මේ තොරතුරු ඇසූ බැවින් පුරාතන රජදරුවන් කඨින චීවර පූජාව ඉතා ඕනෑකමින් කළ බව මහාවංශයේ සඳහන් ය. නමුත් මේ මහා පින පිරිසිදු වන්නේ කඨින චීවර පූජාවට ත්‍රිවිධ සම්පත්තිය එක් වීමෙනි.

පිරිසිදු කඨිනානිසංස ගෙනදෙන ත්‍රිවිධ සම්පත්තිය

මෙතෙක් කතා කළ සියලු ආනිශංස පිරිසිදු වන්නේ තුන් සිත පහදවාගෙන කළ කඨින පින්කමකිනි. තුන්සිත පහදවා ගැනීම ත්‍රිවිධ සම්පත්තිය යි. චීවර පූජාවට කලින් පැහැදීමෙන් සිටීමයි. සිතට අසතුටක් නොගැනීමයි. චීවර පූජා කරන කල්හි සතුටින්, පහන් සිතින් සිදු කිරීමයි. මේ වන විට කඨින පින්කම් කළ අයට ඒ අවස්ථා දෙක ම අතීතයට ගොස් ඇත. දැන් අමාරු ම දේ වන්නේ අපර චේතනාව යි. එනම් පින්කම සිදු කොට අසතුටක් නැතිව සිත පහදවාගෙන සිටීමයි. මේ ලිපිය ලිවීමේ අරමුණ එයයි. ‘මෙවැනි උතුම් පිනක් රැස්වෙන පින්කමක් මමත් කළා, මමත් සහභාගි වුණා, අනුමෝදන් වුණා’ කියා සතුටු විය යුතු ය. ‘අපරාදේ මං කඨිනයක් කළේ.’ කියලා දුක් වෙන්න සුදුසු නැත. තමාගේ නම නොකීවා කියා හෝ ගිහි පැවිදි කෙනෙකුගෙන් මෙසේ මා හට අසාධාරණයක් වූවා යැයි සිතිය යුතු නොවේ. දානයට පෙර – දන් දෙන මොහොත යන ස්ථාන දෙකේ දෝෂයක් වුණත් පසුව හිත පහදවාගන්නා එක පිනට මහා අස්වැසිල්ලකි. ඒ නිසා, මිය යන තුරු කළ පින්කම් ගැන අපර චේතනාව කිලිටි කරගන්න ම එපා…! එය පිනට හෙණයක් ගැසීම වැනි ය. උයා ගත් බත් මුට්ටිය බිම වැටීම වැනි ය. වාසනාවට පයින් ගැසීම වැනි ය. තුන් සිත පහදවා ගැනීමට දක්ෂ විය යුතු ය. කඨින චීවර පූජා පිංබලය ඔබට ධර්මාවබෝධයට හේතු වාසනා වේවා!

පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ.