බණ ඇසුවත් මිනිසුන් සිටින්නේ බොහෝ කරදර පිට ය. නිතර ලෙඩ වෙති. එක කරදරයක් අවසන් වන විට තව එකකි. කරන කිසි දෙයක් හරියන්නේ නැති පවුල් සිටිති. සමහර පවුල්වල සාමාජිකයන්ගෙන් වැඩි හරියක් දරුණු ආබාධවලට ලක් වී හව්හරණක් නැතිව සුසුම් හෙළති. ඒ අතර නොපෙනෙනා අමනුෂ්‍යයෝ ද කරදර කරති. මේවා ඔක්කොම එක්ක ආර්ථික ප්‍රශ්නයි, සොරසතුරු ප්‍රශ්නයි හැම එකක්ම එකට ආවහම මැරෙන්නට හිතෙන වාර අනන්ත ය. බොහෝ ගෙවල්වල සමඟිය ද අඩු ය. රණ්ඩුසරුවල් වැඩි ය. පොඩි දේවල්, පොඩි වචන අල්ලා ගනිමින් අවුරුදු ගණන් කියව කියව සිත් පාරා ගනිති. සල්ලි භාගේ, ගෙවල් දොරවල් රැකීරක්ෂා අයෙකුට තිබ්බත් හිතේ සැනසිල්ල නම් ඇත්තේම නැත. බණ අහනකොට සැනසිල්ලක් ආවත් නැගිට්ටම ආයෙ පරණ වළටම වැටෙනවා වගේ සිතේ. මේවට විසඳුම් කොහෙද? මේ අපට නිතර අසන්නට ලැබෙන අඳෝනා ය. මිනිස්සු මේවට කියන්නේ “අපිට හූනියමක් වැදිල ද කොහෙද, අපේම කරුමෙ” කියා ය. නමුත් මේ ශාපයක් නොවිය හැකි ද? දෙහි, පුහුල්, අළුවලින් කැපිය නොහැකි ඒ ශාපය ඔබටත් වැදී ඇත්ද? කාලයක් ඔබ සොයමින් සිටි දෙයකට මේ ලිපියෙන් පිළිතුරු ලැබේවි…!
මේ ලිපියෙන් කාරණා දෙකකට පිළිතුරු ලැබෙනු ඇත. එනම්, සැනසිල්ලේ කරදරයක් නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියන එක යි. අනිත් කරුණ එකපිට එක කරදර එන්නේත්, හිතන තරම් දියුණුවක් නැත්තේත්, ධනවත් වුණත් තමාට නිදහසක් සැනසිල්ලක් නැත්තේත් කුමක් නිසා ද යන වගයි. මෙයට පිළිතුරු සපයන උතුම් බුද්ධ දේශනාවක් අංගුත්තර නිකාය 03, පංචක නිපාතයේ ලිච්ඡවී කුමාර සූත්‍රයේ සඳහන් ය.
මේ, ඒ විග්රහයයි.
එදා අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහ වනයේ සවස් කාලයේ විවේක සුවයෙනි. එදා බොහෝ ලිච්ඡවී කුමාරවරු දඩයම් බල්ලෝත් ගෙන, අවි ආයුධ අතට ගෙන දඩයම් පිණිස මහ වනයට ඇතුළුව ඔබිනොබ ඇවිදිද්දී භාග්‍යවතුන් වහන්සේව දුටුහ. මහානුභාව සම්පන්න අපගේ මහා කාරුණික ශාස්තෘන් වහන්සේ දැක ඇති වූ පැහැදීමෙන් අවි ආයුධ පසෙක දමා, දඩයම් බල්ලන් පසෙකට දමා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර සියලු දෙනාම පසෙක හිඳගත්හ. මෙවෙලේ මහනාම ලිච්ඡවී රජු ව්‍යායාම පිණිස වනයේ ඇවිදිද්දී මේ දසුන දුටුවේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ සමීපයට විත් වන්දනා කර මෙසේ කීවේ ය.
“වජ්ජීහු දියුණුවට පත් වන්නාහු ය. වජ්ජීහු දියුණුවට පත් වන්නාහු ය.” භාවනාවෙන් අවදි ව භාග්‍යවතුන් වහන්සේ “මහානාම, ඔබ මෙසේ පවසන්නේ කිමදැ?”යි විමසූ සේක.
“ස්වාමීනි, මේ ලිච්ඡවී කුමාරවරු චණ්ඩ, පරුෂ, අනක්ගුණක් නැති හිතුවක්කාර තරුණ පිරිසක්. මොවුන් භාග්‍යවතුන් වහන්සේට ගරු කරනවා දැකලයි එසේ කීවේ.”
මෙවලේ අපගේ භාග්‍යවතුන් වහන්සේ යමෙකුට සැනසිල්ලේ, කරදරයක් නැතුව, ජීවිත දියුණුව කරා යාමට උපකාරී වන කරුණු පහක් වදාළ සේක. මේ කරුණු පහ යමෙකුට ලැබේ නම් ඔහුගේ දියුණුව, සැනසිල්ල, සිතුම් පැතුම් සමෘද්ධිමත් වීම සිදු වේ. එය නොමැති වීම ශාපයයි. එය ම හූනියමයි. එය ම විපතයි. එයම ඔබ කියන කරුමයයි.
මව්පියන්ගේ ආශීර්වාදය හා ශාපය
දැහැමෙන් සෙමෙන් හරිහම්බ කරන ධනයෙන් යමෙක් තම මව්පියන් පෝෂණය කරන්නේ නම් ඒ දෙමාපියන් දරුවන් ගැන දයානුකම්පාවෙන් “මගේ දරුවන්ට හරියන්න ම ඕන.” කියා ආශීර්වාද කරත්. භාග්‍යවතුන් වහන්සේ වදාළේ කෙනෙකුගේ දියුණුවට දෙමව්පියන්ගේ ආශීර්වාදය ඍජුව බලපාන බවයි. සැනසිල්ල හා දියුණුවේ පළමු කරුණ මෙයයි. මෙය හිතට ගත යුතු කරුණකි. මව්පියන් ආවේගකාරී ව දරුවන්ට බැණ වදිති. “තොපි හැදුවට වඩා හොඳයි කෙහෙල් ගහක් හැදුවනම්.” කියමින් දොස් කියති. “මී හරක්, ගොන්බූරුවො, කාලකන්නි.” කියති. ඇතැම් ගෙවල්වල තුන් වරුවේ දරුවන්ට දෝස්මුර තියති. මේවා ශාප ය. දරුවන්ට හූනියම් සේ වදිනු ඇත. ඉන්පසු දරුවන් කරන කියන දේ හරියන්නේ නැත. ජීවිත නොමඟට බර වෙයි. ඉහළට ගියත් දරුවන්ගේ ජීවිතවල සැනසිල්ලක් නැත. කරදර වැඩි වේ. එබැවින් දෙමාපියෝ දරුවන්ට ආශීර්වාද කරනවා විනා ශාප නොකළ යුතු ය. දරුවන් විඳවන විට වහාම නැවත දෙමාපියන්ට කර ගැසීමට සිදු වේ. ශාපය පාරාවළල්ලක් සේ නැවත තමාට ම පැමිණේ. දෙමව්පියන්ගේ කටෙන් පිටවන වචනය බලවත් බව දරුවන් තේරුම්ගෙන දරුවන් දෙමාපියන්ට සලකා ආශීර්වාද ගත යුතු ය. ශාප ලැබෙන වචන පිට වෙන තැනට දරුවන් දෙමව්පියන්ව පත් නොකළ යුතු ය. එය ළමුන්ගේ වගකීමකි.
අඹු දරුවන්ගේ ආශීර්වාදය හා ශාපය
යමෙක් දැහැමින් උපයන ධනයෙන් තම බිරිඳට, දරුවන්ට, ගෙදර වැඩ කරන අයට සලකයි. මෙයින් සතුටුව බිරිඳ, දරුවන්, ගෙදර වැඩ කරන අය “අනේ මේ මනුස්සයාට කරදරයක් නොවේවා! හොඳක් වේවා! දියුණු වේවා!” යන ආශීර්වාද වචන පිට කරති. එය ගෘහමූලිකයාට දියුණුව පිණිස, සැනසිල්ල පිණිස බලපානු ලබයි. මෙය දෙවැනි කරුණයි.
මෙයත් සිතට ගත යුතු ය. නිවසේ බිරිඳගේ වචන ස්වාමියාටත්, මවගේ පියාගේ වචන දරුවන්ටත් බලපාන බව ය. බොහෝ නිවෙස්වල සැමියා බිරිඳ නිතර රණ්ඩු සරුවල් ය. බැණ වැද ගනිති. එකිනෙකාට ශාප කර ගනිති. යම් නිවසක ආරවුල් රණ්ඩුසරුවල් වැඩි නම් ඒ පිටවෙන වචන ඔවුන්ට හූනියමක් වැන්න ය. ගෙවල්වල රණ්ඩුව ඒ ගෙදරම ශාපයයි. සැනසිල්ලේ සිටීමට, දියුණු වීමට බාධාවකි. බිරිඳගේ වචන ස්වාමියාට ආශීර්වාදයක් හෝ ශාපයකි. ඒ නිසා බිරිඳ තම ස්වාමියාට ශාප නොකළ යුතු ය. ඒ ශාපයෙන් ස්වාමියා විඳවනකොට බිරිඳ ද ඒ ශාපයට කර ගැසිය යුතු නොවේ ද? පාරාවළල්ලක් වී ගෙදර කරදර තමා පිටට ම පැටවේ. ස්වාමිවරුන් ද මෙය තේරුම්ගෙන බිරිඳගෙන්, දරුවන්ගෙන් ශාප ලැබෙන වචන පිට නොවන ලෙස කටයුතු කළ යුතු ය. සිතේ සැනසිල්ල – ජීවිතයේ දියුණුව නැතිවෙන, කරදර වැඩි වෙන දෙවැනි කරුණ එයයි.
යාළුවන්ගේ, ගුරුවරුන්ගේ ආශීර්වාදය හා ශාපය
යමෙක් තම රස්සාව කරන තැන, ශිල්ප ගන්න තැන ඉතා හොඳින් කටයුතු කරයි නම්, දැහැමින් උපයන දෙයින් ඔවුන්ට සංග්‍රහ කරයි නම්, ශිල්ප ගනිද්දි ගුරුවරුන් නොපෙළයි නම්, ඒ අය “අනේ මේ මනුස්සයට හරියන්න ඕනේ, මේ ළමයාට හරියන්න ඕන, යහපතක් ම වෙන්න ඕන.” කියමින් ආශීර්වාද වචන පිට කරයි. එය ඔහුගේ දියුණුවට, යහපතට, කරදර අඩු වීමට බලපාන තුන්වෙනි කරුණයි.
මේ අනුව රස්සාව කරන තැන හිතවතුන්ගේ විශ්වාසය දිනාගෙන අවංකව කටයුතු කිරීමත්, ඒ අයට දැහැමෙන් සංග්‍රහ කිරීමත් කොයිතරම් වටිනා දෙයක් ද? ඉගෙන ගන්නා ළමුන් ගුරුන් පෙළනකොට ගුරුවරු බැණ බැණ දොස් කියමින් කතා කරන බව අප ද අසා ඇත. ගුරුවරු ළමයින්ට බැණ වැදීම ළමුන්ට ශාපයකි. එබැවින්, දයානුකම්පා සිත් ඇති ගුරුවරු කිසිදා ළමුන්ට ශාප නොකළ යුතු ය. ළමයින් ද ගුරුවරුන්ගේ ශාප වචන පිට වන කටයුතු නොකළ යුතු ය. නැත්නම් මෙය ම ජීවිතයට හූනියමක් වනු ඇත. ශිල්පයෙන්, දැහැමි සංග්‍රහයෙන්, හික්මීමෙන් ගුරුවරු සතුටු කොට ආශීර්වාද ලබා ගත යුතු ය.
දේව ආශීර්වාදය හා දේව ශාප
යමෙක් දැහැමින් ලැබූ ධනයෙන් පූජා පිළිගන්නා දෙවිවරුන්ට පූජා තබා දෙවිවරු සතුටු කරයි නම් පූජා පිළිගන්නා ඒ දෙවිවරු “මේ මිනිස්සුන්ට කරදරයක් නොවේවා! දියුණු වේවා! යහපතක්ම වේවා!” යැයි ආශීර්වාද කරත්. “දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති” – දෙවියන්ගේ අනුකම්පාව ලැබුණා ම හැමදා යහපත ම දකී. එබැවින්, දේව ආශීර්වාදය ලබා ගත යුතු ය. දියුණුවේ, සැනසිල්ලේ, කරදර අඩු වීමේ හතරවන කාරණය එයයි. සමහර අය දෙවියන් ගැන කතා කරනවාට ද අකැමැති ය. දෙව්ලොවටත් බැණ වදී. යමෙක් දහම වරදවා වටහාගෙන දෙවියන් ගැන කතා කිරීමෙන් තිසරණයට හානි වේ යැයි සිතයි. නමුත් අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ, දෙවියන්ගේ ආශීර්වාදය මිනිසාගේ දියුණුවට, සැනසිල්ලට බලපාන බවයි.
පෙර දවස ගොයම් කපා, අලුත් සහල් මංගල්‍යය, මුරුතැන් දාන, දේව දාන අග්‍රශෂ්‍ය දාන, සාංඝික දාන ආදිය පවත්වා ප්‍රදේශවාසී දෙවි දේවතාවන්ට පූජා පැවැත්විණ. එයින් සතුටු වන දෙවියෝ කෙත්වතු, මිනිසුන් රකිති. පෙර පටන් ජනයා විශේෂ ඉදිකිරීම් සිදුකරන විට දී බහිරව දේවතාවන්ට පුද පූජා කොට භූමි දේවතාවෝ සතුටු කරති. සමන්, කතරගම, විභීෂණ, උපුල්වන් වැනි ලක්වැසි දෙවිවරුන්ට තුටු පඬුරු පිණිස පූජා පවත්වති. මෙහිදී සැලකිය යුතු කරුණ නම් මේවා භාරහාර නොව සතුටු පඬුරු ලෙස දෙන පූජා බව ය.
එහි පඬුරු ගැට ගැසීම් නැත, යැදීම් නැත, ඉල්ලීම් නැත, පොල් ගැසීම් නැත, කටු ගැසීම් නැත, ශාප කිරීම් නැත. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ සක් දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවියන් ඇතුළු දෙවිවරුන්ට නිතර පින් දෙති. එය ඔවුන්ට සත්පුරුෂ ඇසුරට අයිති කාරණයකි.
මෙයින් තේරුම් ගත යුත්තේ දෙවියන්ට සංග්‍රහ කොට ඔවුන් සතුටු කිරීම දියුණු වීමට උපකාරක වන කාරණයක් බවයි. එය භාග්‍යවතුන් වහන්සේ වදාළ කාරණයකි. ඔබේ ප්‍රදේශය භාර දෙවියන්ට පින් අනුමෝදන් කිරීම හොඳ දෙයකි. දෙවියන්ට බැණ වැදීම, ප්‍රතික්ෂේප කිරීම, දේව පූජා නතර කිරීම ආදිය ආර්ය ශ්රාවකයා නොකළ යුතු ය.
සංඝයාගේ ආශීර්වාදය හා ශාපය
යමෙක් දැහැමෙන් සෙමෙන් උපයන මුදලෙන් පැවිදි උතුමන් සිව්පසයෙන් පුදයි. ඒ පැවිදි උතුමන් “මේ ඇත්තෝ සුවපත් වෙත්වා! මේ අයට කරදරයක් නොවේවා! දියුණුවට පත් වෙත්වා!” යැයි ආශීර්වාද කරති.
භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒ කෙනෙකුගේ දියුණුවට උපකාරී වන පස්වැනි කාරණය බවයි.
අද කාලේ මිනිස්සු සංඝයාට බණිති. මෙය ම ශාපයකි. සමාජමාධ්‍ය, ශාපය වෛරසයක් කොට පතුරුවනු ලබයි. එනිසා, සංඝයා නිතර මිනිස්සුන්ට සෙත් පැතිය යුතු ය. මිනිසුන් ද සංඝයාගෙන් ශාප ලැබෙන තැනට කටයුතු නොකළ යුතු ය.
මේ අනුව බලන කල සෑම තැන ම ඇත්තේ ආශීර්වාදය නොව ශාපයක් ම ය. දෙමව්පියන් දරුවන්ට බැණ වදී. දරුවෝ ඊට එහා ය. ස්වාමියා බිරිඳ රණ්ඩු පිට ය. පාසල් හා රැකියා ස්ථානවල ගහමරා ගනිති. දොස් පරොස් කියති. දෙවියන්ට සතුටු පූජා නොපවත්වති. තියන හැම පූජාවක් ම බාරහාර ආදී ගනුදෙනු ය. පැවිදි උතුමන්ට බැණ වැදීම් බහුල ය. සුළුවෙන් හෝ ලොකුවට හෝ කවුරු කවුරුත් මේවාට සම්බන්ධ ය. ඉතින් කෙසේ සැනසිල්ලේ සිටින්නට ද? කරදර නැතිව සිටින්නට ද? කෙසේ දියුණු වෙන්ට ද? එනිසා ජීවිතයට ශාප ගන්නට එපා. දෙමාපියන්, අඹු දරුවන්, ඉගෙනගන්න හෝ රැකියා ස්ථානය, දෙවියන්, පැවිද්දන් කියනා මේ ස්ථාන පහේ අර්බුද හදාගැනීමේ භයානක බව වටහා ගන්න. දියුණුව කැමති කෙනා මේ ස්ථාන පහේ ආශීර්වාදය ලබා ගත යුතු ය. නමුත් සමහර ස්ථාන අද කාලේ සතුටු කිරීම අමාරු ය.
ඔබ සැබෑ දරුවෙක් ලෙස ගුණවත් ව සිටී නම් මව්පිය ශාපය නොවදී. පියා යුතුකම් දනී නම්, සේවකයා, ශිෂ්‍යයා ගුණවත් නම්, දෙවියන් සමඟ අමනාප නැත්නම්, දායකයෙක් ලෙසින් යුතුකම් දනී නම් අන් අය ශාප කළත් ශාප නොවදී. සිඟාලෝවාද සූත්‍රය ශාප නොලබන ආරක්ෂාව සපයන තැනයි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ ආශීර්වාද ඇති කෙනා මෙලොව සැනසිල්ලේ සිටිනවා වගේ ම, දියුණුවට පත් වෙනවා වගේ ම, මරණින් පසු දෙව්ලොව උපදින බවයි. එය ම අද කාලේ ලොකු ජයග්‍රහණයකි.
පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ.
Recent Comments