වෙනස් වීම් ගණනාවකට භාජනය වෙමින් සියවස් ගණනාවක් පුරා ඉදිරියට පැමිණි ලෝකය අද සිටින්නේ තාක්ෂණික භාවිතයෙන් නිර්මාණය කර ගත් පහසුකම් බහුල වූ යුගයක ය. පෙර දී බොහෝ කල් වේලා ගෙන සිදු කළ කටයුතු සිතූ සැණින් ඉටු කර ගන්නට සමත් තාක්ෂණික භාවිතාවක් තිබීම නිසා ම මෙය වනාහි අතිදියුණු යුගයකැයි පිළිගැනීමට බඳුන් වී තිබේ.
එහෙත්, මිනිසුන් තුළ ඉවසීම හීන වී ගොස් තිබෙන්නේ ද ප්රචණ්ඩත්වය සුලබ වී තිබෙන්නේ ද ගුණධර්ම බැහැර වෙමින් තිබෙන්නේ ද අවිවේකය බහුල වී තිබෙන්නේ ද මේ අතිදියුණු යැයි සැලකෙන යුගයේ ම ය. එහෙයින්, මෙය හුදෙක් නාමමාත්රික දියුණුවක් පමණකැයි කීමෙහි වරදක් නැත. ඒ නිසා ම, ලෝකය වෙනස් කළ යුතු බවට කතිකාවත් අඛණ්ඩව ම සිදු වේ.
සැබැවින් ම ලෝකය වෙනස් විය යුතු ය. නැති වී යන ගුණධර්මයන් යළි මුල් බැස ගන්නා පරිද්දෙන්, නොඉවසනසුලු ජනයා ඉවසනසුලු වන පරිද්දෙන්, අවිවේකී සමාජය විවේකය ලබන පරිද්දෙන් ලෝකය වෙනස් විය යුතු ය. මෙය අතිශය භාරදූර කාර්යයක් ලෙස පෙනී යන්නේ වුව ද ලෝකය වෙනස් කරන්නට සිදු කළ යුතු වන්නේ මිනිසුන්ගේ සිතුවිලි රටාව වෙනස් කිරීම පමණි. පොදු ලෝකයාගේ සිතුවිලි රටාව ඉක්මවා ගොස් උතුම් මිනිස් ධර්මයන් තුළ සිත හික්මවූ, සිත දමනය කරලූ ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය ලොව පහළ වූයේ එලෙසිනි. මේ වනාහි ඒ උතුම් මනුෂ්‍ය රත්නය ලොව පහළ වූ වෙසක් කාලය යි.
අප මහා බෝසතාණන් වහන්සේ අවසන් සිරුර දරාගෙන මනුලොව වැඩම කළ කාලය පෙරදිග ශිෂ්ටාචාරයන්හි අපූර්ව බුද්ධි ගවේෂණයක් සිදු වෙමින් තිබූ කාලයකි. කාම සම්පත්තීන්ගේ විභූතිමත් බව තුළ පවා යම් හිස් බවක්, අඩුවක් දුටු ඒ පැණවත් ජනයා අර්ථය කුමක්දැයි, සත්‍යය කුමක්දැයි, කුසලය කුමක්දැයි, විමුක්තිය කුමක්දැයි සොයා ගවේෂණයේ යෙදෙමින් අනගාරික පැවිදි ජීවිත ගත කිරීමට පසුබට නොවූහ. බෝසත් උපත සිදු වද්දී පවා අෂ්ට සමාපත්ති දක්වා චිත්ත දියුණුව උපදවා ගත්තවුන් ලොව සිටියේ ඒ නිසාවෙනි. සත්‍ය ගවේෂණයේ යෙදුණු බෝසතාණන් වහන්සේ මහාභිනික්මනින් නොබෝ කලක දී ම අෂ්ට සමාපත්ති දක්වා සිත වැඩූයේ වූ නමුදු එය පවා ජරා මරණයන්ගෙන් නිදහස් නොවූවක් බව දකින්නට තරම් උන්වහන්සේගේ ප්‍රඥාව මෝරා ගොස් තිබුණි. රූක්ෂ තාපස චර්යාවන්හි යෙදෙමින් විමුක්තිය සොයා වීරිය වඩන්නට උන්වහන්සේ පෙළඹුනේ එනිසාවෙනි.
සය වසරකට ආසන්න කාලයක් පුරා බොහෝ කටුක පිළිවෙත්හි යෙදෙමින් අවබෝධය උපදවා ගන්නට අපමණ වෙර වැඩූ මහා බෝසතාණන් වහන්සේ එයින් විමුක්තිය ලද නොහැකි බව තේරුම් ගෙන මැදුම් පිළිවෙතට එළඹුනහ. එතෙක් අත්නොහැර උන්වහන්සේ සමීපයේ රැඳෙමින් උපස්ථාන කළ පස්වග ශ්රමණයන් මේ වෙනස් වීමට කැමති නොවූවා පමණක් නොව මේ මහා ශ්‍රමණයා විමුක්ති මාර්ගයෙන් බැහැර වූවා යැයි නිගමනයට එළඹෙමින් උන්වහන්සේ ව හුදෙකලා කොට බැහැර වූහ. මෙසේ පරිවාර සම්පත්තිය අහිමි වද්දී පවා විමුක්ති මාර්ගය කෙරෙහි බෝසතාණන් වහන්සේගේ සිතෙහි වූ විශ්වාසය බිඳ වැටුනේ නැත. තෝරා ගත් මාර්ගයේ අපමණ වීරියෙන් යුතුව, සිහිනුවණින් යුතුව උන්වහන්සේ ගමන් කළහ.
මෙයින් වසර 2612 කට පෙර එළඹි වෙසක් පුන් පොහෝ දිනයේ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අවිජහිත ජයභූමිය වූ බුද්ධගයාවේ වජිරාසන බිම සම්මා සම්බුද්ධත්වය අධිෂ්ඨාන කොටගෙන උන්වහන්සේ අසුන් ගත්හ. ලෝ සත සසර සයුරින් එතෙර කරලන සම්මා සම්බුදුවරයෙකු වන්නට යැයි සිතෙහි අධිෂ්ඨානයක් ඉපැදවූ හෝ අවසන් සිරුර දරාගෙන මනුලොව වඩින්නට යැයි ආයාචනා කර සිටි හෝ දෙවියෙකු බ්‍රහ්මයෙකු හට පවා උන්වහන්සේගේ සමීපයේ රැඳෙන්නට ඉඩ නොතබා ලෝකපාලක පාපී බලවේගය ස්වකීය සේනාව ද රැගෙන සටන් වදිද්දී මහ පොළොව සොලව සොලවා සසරේ පූරණය කළ පාරමිතාවන්ගේ බලධර්මයෝ ම පමණක් බෝසතාණන් වහන්සේට රැකවල් සැදූහ. ජරා මරණ දුකින් විනිර්මුක්ත අමා මහ නිවන සාක්ෂාත් කරමින් ජරා මරණයන්ගෙන් බැට කන ලෝකය තුළ ඉපදී, එහි ම හැදී වැඩී, එහි ම රැඳෙමින් සිත වඩා නුවණැස උපදවාගෙන ඒ ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය සම්බුදු බවට පැමිණ වදාළේ ලොව ශ්‍රේෂ්ඨතම චින්තන විප්ලවය මුදුන් පමුණුවමිනි.
අප සරණ ගියේ සියලු දුකින් නිදහස් වූ ඒ ශාස්තෘන් වහන්සේ ව යි. කාමාශක්ත ලෝකයා ඇදී යන අනුසෝතගාමී ගමනින් බැහැර වෙමින් ගුණධර්මයන්ගේ පරිපූර්ණත්වයට පත් වීම පිණිස ගුණහීනයනට මග කියන්නේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය යි. ඒ උතුම් සරණෙහි ම අප සිත් ද පිහිටාවා!
Please keep on publishing and sending the magazine through email. I have learned important and valuable facts about Dhamma by reading the articles.
With Meththa ….