මේ ලෝකයේ සැමියා නිසා දුක් විඳින බිරින්දෑවරු සිටිනවා. බිරිඳ නිසා දුක් විඳින ස්වාමිවරු සිටිනවා. එකිනෙකාට ආදරයෙන්, ගෞරවයෙන්, අනෙකාගේ යහපත කැමැතිව වෙසෙන බිරිඳ – ස්වාමිවරු අල්පයි. අපගේ බෝසතාණන් වහන්සේත්, යශෝදරා කුමරියත් අඹු සැමියන් ලෙස සසරේ ගත කළ ජීවිතය ඉතා මිහිරියි. යශෝදරා තෙරණියට තිබෙන්නේ කාන්තා අප විශේෂයෙන් ම දැනගත යුතු, ගරු කළ යුතු, ජීවිතයට ගළපා ගත යුතු චරිතයක්. ස්වාමියාගෙන් අනේක දුක් පීඩා විඳිද්දී ඒ උතුම් යශෝදරා කතාව සිහිකර ඉවසීම පුරුදු කරන කාන්තාවන් අද අප සමාජයේ නැති තරම්. යශෝදරා කුමරියත්, යශෝදරා තෙරණියත් සමාජයට දුන් පණිවිඩය තමාගේ ජීවිතයට ගළපා ගැනීමටත්, අනාගත පරපුර උදෙසා රැකගෙන යාම සඳහාත් මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ රාහුල මාතා, යශෝදරා තෙරණිය පිළිබඳ කළ සාකච්ඡාවකි මේ.

යශෝදරා මහරහත් තෙරණිය අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බුදු සසුනේ පහළ වූ උතුම් මහානීය රත්නයකි. ඒ උත්තමාවියගේ ගුණසම්පන්න බව ගැන අප බොහෝ දහම් කරුණුවලින් ඉගෙනගෙන තිබෙනවා. එතුමිය සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට ම අපගේ බෝසතාණන් වහන්සේට සෙවණැල්ල වෙමින් පාරමී ධර්මයන් පූරණය කර ගැනීමට ආශීර්වාද කරමින්, ඒ දහම් මඟ අනුමෝදන් වෙමින් පැමිණි උත්තමාවියක්.

අපගේ බෝසතාණන් වහන්සේගේ ගිහි කල බිරිඳව සිටි එතුමිය භාග්‍යවතුන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත්ව භික්ෂුණී සංඝයා ආරම්භ කරද්දී බුද්ධ ශාසනයේ පැවිදි වුණා. නොබෝ කලකින් අරහත්වයට පත් වුණා. අභිඤ්ඤාලාභී භික්ෂුණියන් අතර අග්‍රස්ථානයට පත් වූ එතුමිය බණ භාවනාවේ යෙදෙමින් බොහෝ විවේකී ව සංසුන් ජීවිතයක් ගත කළා. එතුමිය බොහෝ දෙනාට අනුකම්පා කළා. නිතරම කරුණා මෙත් සිතින් වැඩ සිටියා. අල්පේච්ඡ ජීවිතයක් ගත කළා. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා සාගර රළ පරදා ගලනවා වගේ එතුමිය සොයා ආවා. නමුත්, තමන් සතු ගුණ සඟවාගෙන සෙනසුනෙන් – සෙනසුනට, වනයෙන් – වනයට වැඩියේ ඒ ලැබෙන ලාභසත්කාරවලින් ඈත්වීමට යි. ඒ වුණත්, ගැඹුරු නිම්නයකට ජලය ගලා එනවා වගේ ලාභ සත්කාර තෙරණින් වහන්සේ සොයාගෙන ආවේ එතුමියගේ පුණ්‍ය මහිමය නිසාම යි.

කාලය කෙමෙන් ගෙවී ගියා. අපගේ තෙරණින් වහන්සේ 78 වැනි වියට පා තැබුවා. මේ කාලය වනවිට බුදු සසුන දඹදිව පුරා ප්‍රචලිත ව තිබුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, නන්ද මහරහතන් වහන්සේ, සුද්දෝධන මහරහතන් වහන්සේ, රාහුල මහරහතන් වහන්සේ, ප්‍රජාපති රහත් තෙරණිය ආදී බොහෝ මහරහතන් වහන්සේලා පිරිනිවන් පා තිබුණා. එතුමිය සිතුවා ‘මමත් ලෝකනාථයන් වහන්සේ වැඩ සිටිද්දීම පිරිනිවන්පානවා.’ කියලා.

ඉන්පසු ලක්ෂයක් පමණ භික්ෂුණී සඟ රුවන පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි රජගහ නුවරට වැඩම කළා. එතුමිය ප්‍රසිද්ධ ව සිටියේ ‘රාහුල මාතා’ නමින්. රාහුල මාතාව බොහෝ භික්ෂුණීන් වහන්සේලා සමඟ මෙසේ රජගහ නුවරට වඩින්නේ ඇයි කියා මනුලොව, දෙව්ලොව, බඹලොව කැළඹී ගියා. සියලු දෙනා රජගහ නුවරට එක් වුණා. මුහුදේ රළ නැගෙනා සේ මහා ජනකායක් රැස් වුණා.

යශෝදරා රහත් තෙරණිය භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් සිරිපා වන්දනා කොට මෙසේ වදාළා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම දැන් 78 වන වියේ පසුවෙමි. මාගේ ජීවිතයේ අවසන් කාලයයි ගෙවෙමින් තිබෙන්නේ. භාග්‍යවතුන් වහන්ස, මම පිරිනිවන් පාන්නටයි සූදානම. ඒ සඳහා මට අවසර ලබාදෙන සේක්වා.”

භාග්‍යවතුන් වහන්සේ වදාළා, “පින්වත් යශෝදරා, ඔබ පිරිනිවනට යනවා නම් ඒ ගැන මම කුමක් කියන්න ද?”

එවිට ඕ තොමෝ මෙසේ පැවසුවාය. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අනන්ත සංසාරය පුරා සැරිසරා පැමිණි ආත්මභාවවල මාගේ සිතින්, කයින්, වචනයෙන් යම් වරදක් වූවා නම් මහා වීරයන් වහන්ස මට සමාවෙන සේක්වා! මම අසංඛ්‍යෙය කල්ප හතරකුත් කල්ප ලක්ෂයක් පුරාවට ඔබවහන්සේ පසුපස ම පැමිණියෙමි. ඒ හැම ආත්මයක ම මගේ පණ දෙවැනි කොට ඔබවහන්සේ රැක ගත්තෙමි. ඔබවහන්සේ දස පාරමිතා පුරන ආකාරය මම සියැසින් දුටුවෙමි. බුද්ධත්වය පිණිස මම ඔබ වහන්සේට දිරියක් වුණෙමි. වීරයන් වහන්ස, ඒ එකදු ආත්මයක දී හෝ මගෙන් යම් දොසක් වී නම් සමාවන සේක්වා!”

නිකෙලෙස් මුනිරජුන් ඒ උත්තමාවියගේ අප්‍රකට ගුණ පතල කරවනු වස් ලෝකානුකම්පාවෙන් වදාළේ සියලු දෙනාගේ සැක දුරුකරවමින් ඉර්ධි දක්වන ලෙසයි. භාග්‍යවතුන් වහන්සේ එසේ වදාළේ මෙතෙක් කලක් ඈ අභිඤ්ඤාලාභීව සිටත් අප්‍රකටව ම වැඩ වාසය කළ බැවිනි. මහා අභිඤ්ඤා බලයෙන් යුතු, මහා පූරිත පින් බලයෙන් යුතු එතුමිය, භික්ෂුණීන් වහන්සේලා දහම් මණ්ඩපයට රැස් වූ විට පසුපසට ම ගොස් වැඩ සිටියා. බොහෝ දෙනෙකුට දැන ගන්නට බැරි වුවත් එතුමිය ගුණ සම්පත් සාගරයක් දරාගෙන, ඒ සියල්ල සඟවාගෙන වැඩ සිටියා.

එවිට අපගේ තෙරණින් වහන්සේ සිවුර ඒකාංශ කර භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා.

“වීරයන් වහන්ස, ශාඛ්‍ය කුලයේ උපන් ස්ත්‍රී රත්නයෙන් පිරිපුන් මම යශෝදරා වෙමි. ගිහි කල ඔබවහන්සේගේ ප්‍රිය පතිනිය වූයෙමි. සියලු කතුන් මැද ඉසුරුමත් වුණෙමි. රුවින්, ගුණයෙන්, ප්‍රිය තෙපුලෙන් යුත් මා සියල්ලන්ගෙන් පිදුම් ලැබුවෙමි. ලෝක නායක මුනිරජුන් හැර මට සමාන රූ දරණ කිසිවෙක් නැත්තේම ය. නමුත් ස්වාමීනි මම දැන් ඒ කාම ලෝකය, රූප ලෝකය ඉක්මවා ගොස් සිටින්නෙමි යි.” පවසා නැවත භාග්‍යවතුන් වහන්සේ වන්දනා කර අහසට පැන නැග්ගා.

අහසේ සිට මහාමේරු පර්වතය තරම් විශාල මහ ගුරුලෙකුගේ වේෂයක් ගත්තා. හිමාලයේ මහා ජම්බු වෘක්ෂය තුඩින් රැගෙන මේ පක්ෂි රාජයා එයින් අප භාග්‍යවතුන් වහන්සේට පවන් සැලුවා. ඉන්පසු තෙරණින් වහන්සේ විශාල ඇත් රුවක්, මහා අශ්ව රුවක් ආදිය මවා ප්‍රාතිහාර්ය පෑවා. මහ පොළොව මහ මුහුදක් කරමින්, ඉර හඳ ස්පර්ශ කරමින් ප්‍රාතිහාර්යය පෑවා. මහමෙරක් මෙන් දුක් ඉසිලූ ඒ මහෝත්තමාවිය මහාමේරූ පර්වතය දෑතට ගත්තා.

ඉන්පසු රාහුල මාතා තෙරණිය ශක්‍ර දෙවියන්ගේ වේෂය ගත්තා. “මහා වීරයන් වහන්ස, මම යශෝදරා වෙමි.” කියමින් නැවත වන්දනා කළා. පසුව එතුමිය විශාල සුපිපුන නෙළුමක් ගෙන දහසක් ලෝක ධාතුව වැසුවා. ඉන්පසු මහා බ්‍රහ්මයාගේ වේෂය ගත් තෙරණින් වහන්සේ නැවතත් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර සුළු මොහොතක් අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගැඹුරු ධර්මය දේශනා කොට වදාළා. බ්‍රහ්ම වේෂයෙන්ම සිට මෙසේ වදාළා. “මහා වීරයන් වහන්ස, මම ඍද්ධියෙන් වශීප්‍රාප්තයි. දිව්‍ය කන, දිව්‍ය ඇස මට වසඟයි.

අනුන්ගේ සිත් දැක ගැනීම මම වසඟ කර තිබෙන්නේ. ස්වාමීනි, පෙර ජීවිත දකින්නත් මම දක්ෂයි. ස්වාමීනි, මම අනාශ්‍රවමයි වාසය කරන්නේ. මම අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන ඥාන ලැබුවේ ඔබවහන්සේ සමීපයේ දී ම යි. වීරයන් වහන්ස, අප පෙර ජීවිතවල එක්ව රැස්කර ගත් පින් සිහිකරනු මැනව. මම අනාචාරය දුරුකර ඔබවහන්සේ වෙනුවෙන්ම ජීවිතය පරිත්‍යාග කළේ සතුටින් ම යි. කෝටි ගණන් ජීවිතවල දී මම ඔබ වහන්සේගේ බිරිඳ වෙලා සිටිද්දී දාසියක් ලෙස මා දන් දෙන විටත් මම දොම්නස් සිතක් උපදවා ගත්තේ නැහැ. කෝටි ගණන් ජීවිතවල දී ඔබවහන්සේ ගොදුරුකර ගන්නට පැමිණි අමනුෂ්‍යයන්, සිංහ, ව්‍යාඝ්‍ර ආදී සත්වයන්ට මගේ ජීවිතය මම පරිත්‍යාග කළේ කැමැත්තෙන් ම යි. මා සතු බොහෝ ස්ත්‍රි ආභරණ, පලඳනා, කෙත්වතු, ධන ධාන්‍ය, දැසි දස්සන් ඔබවහන්සේගේ දාන පරමිතාව සම්පූර්ණ කරගන්නට මම දානය පිණිස ම අත්හැරියා. මහා වීරයන් වහන්ස, මගේ කුසින් වැදූ දරුවන් ඔබවහන්සේගේ දාන පාරමිතාව වෙනුවෙන් දන් දෙනවිට මට දොම්නසක් ඇතිවුණේ නැහැ. ‘දන් දෙනවා’ කියන දේ ඇසුණා ම මගේ සිතේ සතුටක් ම යි ඇති වුණේ.

වීරයන් වහන්ස, දීපංකර බෝධිමූලයේ දී මම සුමිත්‍රා වූයෙමි. ඔබ වහන්සේට දීපංකර බුදුරදුන් නියත විවරණ ලබා දෙද්දී මමත් නිල් මහනෙල් මල් මිට අටක් අතැති ව ප්‍රාර්ථනයක් කළෙමි. එවිට ඒ දීපංකර උතුමාණෝ මෙසේ වදාළ සේක. “මේ සුකුමාල සුමිත්‍රා පරිබ්‍රාජිකාව සසරේ ඔබට භාර්යාව වී ධන හිමියෙක් භාණ්ඩාගාරය රකින්නා සේ ඔබේ කුසල් සාගරය මැය විසින් රකීවි.” උන්වහන්සේ මාව ද විවරණයෙන් අභිෂේක කළ සේක. වීරයන් වහන්ස, එදා සිට මම ඔබවහන්සේගේ කුසල්දහම් සාගරය ධන හිමියෙක් භාණ්ඩාගාරය රකින්නා සේ ආරක්ෂා කළෙමි.”

තෙරණින් වහන්සේ නැවත පොළොවට බැස භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට, “මහා වීරයන් වහන්ස, මම යශෝදරා වෙමි. ඔබ වහන්සේගේ ගිහි කල පතිනිය වූයේ මම යි. බැඳුම් සිඳහල ඇතින්නියක් සේ මම දැන් වාසය කරමි. ස්වාමීනි, අතීතය ක්ෂය වූවා. හටගත් වර්තමානයත්, ඉපදෙන අනාගතයත් ඒ ආකාරයෙන් ම යි. මගේ සියලු කර්මයන් ක්ෂය වී ගියා. සදහම් ඇති බුදුරජාණන් වහන්ස, මම ඔබවහන්සේගේ පා කමල් වන්දනා කරමි.” යි වදාළා.

සසර පුරා භාග්‍යවතුන් වහන්සේ සමඟ එකට ආ ඒ උත්තමාවිය වෙන් වී යන මොහොතේ මහපොළොව මහත් සේ කම්පාවට පත් වුණා. අප තෙරණින් වහන්සේ සියක් දහසක් භික්ෂුණීන් වහන්සේලා සමඟ නැවත භික්ෂුණී ආරාමයට වැඩියා. මේ ලෝක ධාතුව කම්පා කරමින් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවුණා.

ඒ මහෝත්තම ස්ත්‍රී රත්නය වූ රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණියට අපගේ නමස්කාරය වේවා!

සටහන – නයනා නිල්මිණි