මසුරු මනුස්සයෙක්ගෙන් දනක් ගන්නවා කියන්නේ ඇඟෙන් ඇටයක් ගන්නවාට වඩා අමාරු දෙයක් කියලයි කියන්නේ. නමුත්, දන් දෙන්න ආස කෙනෙක්ට දානය කියන්නේ බොහෝ ප්‍රීතියට කාරණයක්. දන් දෙන කෙනාට දන් දීලා ‘දැන් ඇති’ කියලා හිතෙන්නේ නෑ. තව තව දෙන්න තමයි එයා ආසා.
දැන් මේ කෝටිපතියන්ට තිබ්බ සල්ලි ඔබට තිබ්බා නම් ‘මහා පින්කම් කරන්න, මුළු රටම කළඹවා මහ දන් දෙන්න තිබ්බා’ කියලා හිතෙන්නත් ඇති. “මට තිබ්බා නම්, දන් දෙන හැටි මම දන්නවා.” කියලා කියලත් ඇති. ඒත් එහෙම දෙන්නේ කෝටි ප්‍රකෝටි ගණන් තිබුණොත්නේ..
නමුත්, දැන් තියෙන හැටියට දුන්නොත් ඉදිරියේ දී එහෙම දෙන්න පුළුවන්කමක් ඇතිකර ගන්න බැරිත් නැහැ. අපි හිතන්නේ තියෙන හැටියට දෙන්න වඩා, අපට නැති විදිහට දෙන්නයි.
මේ කියන්නේ තියෙන විදිහට දීලා, අනාගතේ අනිත් අයට බැරි විදිහට දන් දුන්න යුවළක් ගැනයි. උදුම්බරගිර කියන මහාවිහාරය ළඟ තිබුන ගමේ තමයි මේ අඹු සැමි යුවළ ජීවත් වුණේ. ඒ ගමේ හැමෝටම වගේ මේ විහාරයේ වැඩ හිටිය සිල්වතුන් වහන්සේලා දකින්න, ඇසුරු කරන්න ලැබුණා. ඒ මිනිසුන් හරිම ආදරයෙන් සඟරුවනට දන් පැන් පිදුවා. මේ අඹු සැමි යුවළටත් හරි ආසා හිතුණා ඒ විදියට දන් දෙන්න. නමුත් ඒ දෙදෙනාගේ හිත ශ්‍රද්ධාවෙන් ධනවත් උනාට, ඔවුන් ධනයෙන් දිළිඳුයි. කුලී වැඩක් කරලා එදා වේල පිරිමහ ගත්තා. ගොයම් කැපෙන කාලේට පාගපු ගොයම්වල ඉතුරු වී ඇහිඳලා තමයි කැඳ ටිකක්වත් හදාගත්තේ. ඒ උපාසිකාව තමන්ගේ ස්වාමියාට කිව්වා “අපිට බඩ පිරෙන්නවත් කන්න දෙයක් නෑ. මෙච්චර කන්න බොන්න තියෙන සරුසාර කාලෙත්, අපිට කන්න නෑ. විලි වහගන්නෙ වැරහැල්ලකින්. අපි ‘ නෑ නෑ’ කියලා දැන් දෙන්නෙත් නෑ. ඊළඟ ජීවිතෙත් මීට වඩා දෙයක් හිතන්න බෑ. ඒ නිසා අපි කොහොමහරි දානයක් දෙමු.” කියලා.
මෙහෙම කතා වෙලා දෙන්න දෙමහල්ලෝ සම්මාදම් කරගෙන කුලී වැඩ කරලා යන්තම් හාල් ටිකක් හොයා ගත්තා. බතක් උයලා පලා කොළ ටිකකුත් හැදුවා. හදලා දානෙ ටිකක් අරගෙන විහාරෙට ගියා. එවේලෙ දානශාලාවට තෙරුන් වහන්සේලා වැඩම කරලා දන් වළඳන්න පටන් ගත්ත ගමන්.
වැරහැලි ඇඳගෙන එක පාරටම ඇතුළට යා ගන්න බැරුව බයෙන් වගේ දාන ශාලාවේ දොරකඩ හිටගෙන ඉන්නකොට මහ තෙරුන් වහන්සේ මේ දෙදෙනා ව දැක්කා. ඇතුළට ගෙන්වා ගත්තා. සම්මාදම් හාලෙන් උයපු බතයි, පලා කොළ ටිකයි ඩිංග ඩිංග තෙරුන් වහන්සේලාගේ පාත්තරවලට බෙදුවා. සඟරුවන කිසි වෙනසක් නැතිව දන් වළඳනවා.
මේක දැකලා හරි සතුටුයි. ඒ උපාසකටත්, උපාසිකාවටත් දෙන්න පුළුවන් වුණ එක ම දානය එච්චරයි. අනිත් අය වගේ මහ දන් දුන් අයත්, දන් නොදුන් අයත්, මේ දෙදෙනාත් මිය ගියා. උදුම්බරගිර, එහෙම නැත්නම් දිඹුලාගල කන්ද ඇසුරු කරගත් විමානයක ඉපදුණා. මහා සැප සම්පත් ලැබුවා.
දවසක් මේ වෙහෙරට දුර ඉඳන් තෙරුන් වහන්සේලා සත්නමක් පා ගමනින් වඩිනවා. විකාලය එළඹෙන්න ළඟයි. නමුත්, ඊට කලින් විහාරයට වඩින්න බැරි පාටයි. මේ දෙවිවරු කථා වුණා. “අන්න පිං කෙතක් වඩිනවා. දානෙ වරදින්නයි යන්නේ. අපි මේ සම්මාදම් බතක් පුදලානේ සැප විඳින්නේ. ඒ නිසා අපි උන්වහන්සේලාට දන් පුදමු.”
මිනිස් වෙසින් දානේ පිදුවා. දන් වළඳලා, එතන වැඩ හිටිය කරුණු කාරණා තේරෙන තෙරුන් වහන්සේනමක් ආ ගිය විස්තර ඇහුවා. මේ උදවිය දෙවිවරු බව දැන ගත්තා. තිබ්බ හැටියට දන් දුන් හැටි මේ දෙවිතුමාත්, දෙවඟනත් කිව්වා.
තෙරුන් වහන්සේ ඇහුවා, “ඔබතුමන්ලා කොයිතරම් කාලයක් මේ විමානේ ඉන්නව ද?”
“අනේ ස්වාමීනි අවුරුදු ගාණක් නම් කියන්න බෑ. ඒත් මේ දිඹුලාගල මහ කන්ද ගැල් මාවතක් වෙනකල් පොළොව වැඩුණාම, ඒ කියන්නේ ගැලක ගිතෙල් පුරෝපු කල අරගෙන යන්න පුළුවන් උනාම අපි මෙහෙන් චුත වෙලා කේතුමතී නුවර මහ බමුණු කුලයක උපදිනවා. එතකොට මෛත්‍රී බුදුරජුන් පහළ වෙන කාලේ. අපි තමයි ස්වාමීනි, කොසොල් රජතුමා දුන්නා වගේ බුදුරදුන් ප්රමුඛ මහ සඟරුවනට අසදෘශ දානේ පූජා කරන්නේ. බුදු බණ පද අහල දහම් ඇස ලබන්ට අපි පින් පුරාගෙන ඉන්නේ.”
අදටත් ඒ පින් ඇති දෙවිවරු දිඹුලාගල මහ කන්දේ දෙව් විමනක සැප විඳිනවා ඇති. දවසක් දෙකක් නෙවෙයි, දිඹුලාගල මහ කන්ද තැනිතලාවක් වෙනකල්ම… ඒ උත්තමයන් ඒකාන්තයෙන් ම මෙතේ බුදුන් දකීවි. බණත් අසාවී. සසරෙනුත් ගැලවේවි. ඔය හැමදේම ලැබුවේ “අනේ අපට නෑනේ” නොකියා තියෙන හැටියට දන් දීලයි…
අපිට මෙතේ බුදුන් දැකීම තබා මරණින් මතු ඒකාන්ත සුගතිය කියන දේත් දුර්ලභයි. දහස් ගණන් සඟරුවන මලින් අලංකාර කළ මණ්ඩපයක හිඳුවා, රන් බඳුන්වල පිරවූ බොජුන් රන් හැන්දෙන් බෙදා, තුන් සිවුරු පිරිකර පුදා මහ දන් දෙන්න සිහින නොදැක ලැබෙන අවස්ථාවේ අතේ තියෙන සොච්චමෙන් හරි එක භික්ෂූන් වහන්සේනමකට හෝ වේවා “තුන්කල් වාසී ආර්ය මහා සංඝරත්නය උදෙසා පූජා කරමි, පූජා වේවා!” කියල හිත පහදවාගෙන දන් දුන්නොත් ඔබට කවදා හෝ ඒ සිහිනය හැබෑවක් කර ගන්න පුළුවනි.
පොරි ටිකක්, උක් දණ්ඩක්, කැවුමක්, කැඳ ටිකක් පිදුවම අනන්ත අප්‍රමාණ සැප විපාක උපදවන බුදු සසුනක් තමයි දැන් අපට මුණගැහිල තිබෙන්නෙ. එනිසා, “අනේ නෑනේ” නොකියා කලින් දුන් හැටියට දැන් ලැබෙන නිසා, තියෙන විදියට දන් පුදන්න.
“සඟ ගුණ කියලා, බත් ව්‍යංජන තමන්ගේ අතින් ම උයලා, වැඳ වැටිලා, දන් පැන් පුදන්න, “නෑනේ” නොකියා. මේ වසංගත කාලේ දන් වැටට බර පැන දැරීමත් දානයක් ම තමයි. දානය ගැන කීවම හැමෝටම මතක් වෙන්නේ සාංඝික දානයක්. හොරණෑ පිඹලා, උඩුවියන් යටින්, පාවඩ මතින් පුදන දානයක්. නමුත් නිවසට පිණ්ඩපාතයේ වඩින භික්ෂුවකට කැඳ ටිකක් පිදුවත් ඒ පිදුවේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙන් පටන් පැවතෙන මහ සඟරුවනට කියල අමතක වෙනවා. ඉල්ලගෙන එන මනුස්සයෙකුට, අසනීප කෙනෙක්ට, කුසදරු අම්මා කෙනෙක්ට දුන්නත්, ඒ සා මහත්ඵල නොවුණත් ඒකත් දානයක්.
දන් දීම සෝතාපත්ති අංගයක්. අපගේ භද්දිය මුනිදුන්ගේ මෑණියන් වූ කාලිගෝධාව පැවසුවා, තම නිවසේ කන බොන රසවිඳින යමක් තියෙනවා නම් ඒ සියල්ල සඟරුවනට පුදා මිස පරිභෝග කරන්නෙ නෑ කියලා. එයට සාධුකාර දුන් අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ, එය සෝතාපත්ති අංගයක් බවයි.
ඒ නිසා හැමදාම දන් දෙන්න. තියෙනකොටත් දන් දෙන්න, අගහිඟකම් වැඩි වෙනකොටත් දන් දෙන්න. ආයෙ ආයෙමත් දන් දෙන්න. තියෙන දේකින් දන් දෙන්න. නැති දේ ගැන දුක් වෙන්න එපා. හිත පහදවාගෙන දන් දෙන්න. මහරහතුන්ගේ ගුණ හිත හිතා දන් දෙන්න. දන් දීලා සතුටු වෙන්න. දන් පිදීම වර්ණනා කරන්න. නමුත්, ‘මම තමා දෙන්නේ’ කියලා තමාව වර්ණනා කරන්න එපා. ඒ විදියට තමන්ට අයත් දේ දීලා දෙව්ලොව පියගැටපෙළ එකින් එක නැගගන්න.
“දානං සග්ගස්ස සෝපානං” දානය යනු දෙව්ලොවට ඇති පියගැටපෙළයි. ඒ පියගැටපෙළ නැගලා, නොකා නොබී දන් දීලා, සම්මාදම් කර දන් දීලා, දන් දීපු නිසා ගුටි කාපු, දිවි පරදුවට තියලා දහමේ හැසිරුණු, සේඛ බල පුරවා ගත්ත ඒ උතුමන් සමඟ පරලොව සමාන කෙනෙක් වෙන්න.
මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේනමක් විසිනි.
ගොඩක් සතුටු හිතෙන කරුණු දැනගන්න ලැබුණා මේ ලිපිය කියවලා.