සිරිලක් දිවයිනේ පූජනීයත්වයත්, අභිමානයත්, සශ්‍රීකත්වයත්, පරම රමණීය වූ සෞන්දර්යත් වඩවන සමන්කුළු පව්ව වැනි අග්‍රගන්‍ය ස්වභාවික වස්තුවක් ලෝකයේ කවරම රටකවත් දැකිය නොහැකිය. අසංඛ්‍යෙය කල්ප කාලයකට පසුව ලොව පහළ වී වදාළ උතුම් ම මනුෂ්‍ය රත්නය වූ ලොව්තුරා ගෞතම බුදුරජාණන් වහන්සේ පිහිටුවා වදාළ සම්බුද්ධ ශාසනය පන්දහසක් කල් නොනැසී පවත්නා එක ම ද්වීපය සිරිලක්දිව බව බුදු නැණින් පසක් කළ උන්වහන්සේ එදිවයින මධ්‍යයෙහි උත්තුංග ස්තූපයක් සේ පිහිටි සමන්ගිර මතට වැඩම කොට තම වම් සිරිපා ලාංඡනය තබා එය පූජනීය වස්තුවක් බවට පත් කළ සේක.
එදවස සිට දෙදහස් පන්සිය වසරක් මුළුල්ලේ සිරිලක්දිව වැසියන්ගේ පමණක් නොව ලොව පුරා වෙසෙන බැතිමතුන්ගේ නොමඳ ගෞරව පුද සත්කාරයන්ගෙන් උපහාර ලබන උතුම් සමන්ගිරි හිස සිරිපා ලකුණ ලොවැති සුදුර්ලභ ගණයේ පූජනීය වස්තුවක් වී ඇත්තේ ය. ඊට හේතුව වන්නේ වෙනත් සිද්ධස්ථාන මෙන් නොව ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කළ හැක්කේ අවුරුද්දෙන් එක්තරා කාලයකට පමණක් වීම යි. ඒ නිසාම එහි පූජනීය අගයත්, පාරිශුද්ධ භාවයත් සදා සුරැකි පවත්නේ ය.
බුදුරජාණන් වහන්සේගේ මෙත් කරුණා ගුණය ලක්වැසි ජනකාය වෙත පතල කර හරින්නා සේ සමන්කුළු පව් හිසින් පැන නැඟී සිව් දිසා සිසිල් කරමින් ගලා බස්නා මහා ගංගා මිහිතලය පවත්නා තාක් කල් එහි නිවසන ජනකාය ඇතුළු සත්ව වර්ගයා හට ශාන්තිය සලසා දෙනු ඇත. දිවයිනේ කවර දිසාවක සිට නැරඹුව ද අහසට නැඟි මහා ස්තූපයක් සේ එහි පිහිටීම ද මහා ආශ්චර්යයක් ම වී තිබෙයි. මුළු තුන් ලෝවාසින් පමණක් නොව දෙව් බඹ නා පිරිස් විසින් දෙදහස් පන්සිය වර්ෂාධික කාලයක් පුදනු ලබන සමන්තකූට පර්වත මස්තකයෙහි අප භාග්‍යවතුන් වහන්සේ සිය පාද ලාංඡනය පිහිටුවා වදාළේ උතුම් සම්බුද්ධත්වයෙන් අට වසරක් ගිය තැන තෙවැනි වරට ලක්දිවට වැඩි ගමනේ දී ය. සමන්කුළු පව්ව සිසාරා වැඩ සිටි මහරහතන් වහන්සේ ඇතුළු පන්සියයක් භික්ෂු සංඝයා වහන්සේ සමඟ භාග්‍යවතුන් වහන්සේ දිවා විහරණයෙන් වැඩ සිටීම හේතු කොටගෙන ශ්‍රී පාදස්ථානය අවට කඳුකර ප්‍රදේශය ම අති පාරිශුද්ධ පූජනීය භූමියක් වූයේ ය. එහි වන්දනාවේ යාම සඳහා නිශ්චිත සීමිත කාල පරිච්ඡේදයක් වෙන් වූයේ එහි පවත්නා ආශ්චර්ය පූජනීය ගුණමහිමය නිසා ම ය.
මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ආගමනයෙන් අනතුරුව ශ්‍රී පාදස්ථානය භික්ෂූන් වහන්සේගේ වාසභූමියක් වීමෙන් එහි වන්දනා මානනයට ඉඩ සැලසුණ බව පෙනී යයි. දුටුගැමුණු රජතුමාගේ කාලයේ දී මලියදේව මහරහතන් වහන්සේ ප්‍රධාන නවසියයක් භික්ෂූන් වහන්සේලා සමන්තකූට පර්වතයේ වැඩ විසූ බව මහාවංශයේ 32 පරිච්ඡේදයේ 49-50 ගාථාවන්හි සඳහන් ය.
(ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව – මහාවංශය, 578 පිටුව)
ශ්‍රීපාද වන්දනාවේ යාමට සැදැහැවත් ලක්වැසි ජනකායට අවස්ථා උදාවන්නට ඇත්තේ ඒ කාලයේ සිටම යයි සිතිය හැකිය. සැතපුම් ගණන් දුෂ්කර මඟ ගෙවාගෙන මහ වන ගහණ මැදින් වන්දනාකරුවන් කාණ්ඩ වශයෙන් සැදී පා ගමනින් ම ගිය අයුරු පුරාවෘත්තයන්ගෙන් හා තුන්සරණය, පුරාණ හිමගත වර්ණනාව ආදී වන්දනා කාව්‍ය ග්‍රන්ථවලින් පෙනී යයි. සැතපුම් ගණන් පා ගමනින් වෙහෙස විඳගෙන යන ගමනට කවිය මහඟු උත්තේජනයක් විය. පාළුව, විඩාව හා වන සතුන්ගෙන් වන ගැහැට මඟ හැර ගැනීමට කවිය අහිංසක අවියක් වූයේ ය.
ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීමට ලංකාවාසී ජනතාව විශේෂ උනන්දුවක්, කැපකිරීමක් මෙන්ම ආශාවක් ද දැක්වූයේ සීමිත කාලයකට පමණක් ඊට අවස්ථාව ලැබීමත්, අති දුෂ්කර වූත් වෙහෙසකර වූත් වන්දනා ගමනත් නිසා ය. පහසුවෙන් ගොස් වන්දනාමාන කිරීමට වඩා දුක්පීඩා විඳ දරාගෙන කරන පුණ්‍ය කර්මයෙන් මහත් කුසලයක් අත්පත් කරගත හැකි බව ගැමියන්ගේ විශ්වාසය යි. මෙම ගමනේ දී තමන්ට ඇති වන වෙහෙස නිවා ගැනීමට ඔවුහු කවි හදා ගායනා කළහ. වන්දනා නඩයේ ප්‍රධානියා හෙවත් නඩේ ගුරා තාලයකට ඇද පැද කියන කවි පදයන්ට සෙසු අය හවුල් වූයේ අත්වැල් ගායනයෙනි.
“වඳින්ට යන මේ නඩේට – සුමන සමන් දෙවි පිහිටයි
වැඳල බහින මේ නඩේට – සමන් සුරිඳු කරුණාවයි”
මේ කවි, ‘මාමට, නැන්දට, අයියට, නංගිට’ ආදී වශයෙන් පුද්ගලානුබද්ධ ලෙස කරන ඇමතුම් මඟින් ඔවුනොවුන් තුළ මානව බැඳීම් නිතැතින් ම වැඩෙයි.
බොහෝ දුරබැහැර සිට පාගමනින්ම දින ගණන් ගෙවා පැමිණ හිමේ නැඟීම දුෂ්කර ගමනක් වනුයේ කයට ඔරොත්තු නොදෙන තරම් දැඩි සීත දේශගුණය නිසාය. දැඩි සීතලට පිරිමැසෙන ඇඳුම් පැලඳුම් පමණක් නොව කෑම බීම ද ඔවුහු සීත හිමේ නැඟීමේ දී රැගෙන ගියහ. එහි රැගෙන යන කැවිලි පෙවිලි අතර අග්ගලාවට ලැබෙන්නේ විශේෂ සැලකිල්ලකි. අධික සීතලට පිරිමැහෙන පරිදි දෙකන් මුව රත්වන අන්දමට කුළුබඩු යොදා අග්ගලා සෑදීමට ගැමි කාන්තාවෝ සමත් වෙති. සිරිපා වන්දනා කවියට අග්ගලා සම්බන්ධ වූයේ මෙසේ ය.
“හෙලේ නගින්ඩ ඕන පුතා
අග්ගල කන්ඩ ඕන පුතා”
“හෙලේ නගින් ඩෝං පුතා – අග්ගල කන් ඩෝං පුතා” යනුවෙන් පසු කලෙක විකෘති වූයේ ඉහත කවි පද දෙක යි. “ඩෝං පුතා” යනු කිසිදු අරුතක් නොදෙන විසු`ඵ යෙදුමකි.
ගැමි කවිය වූ කලී ගැමි වහරේ සරු අරුත් ගැබ් වුණ ව්‍යංග්‍යාර්ථ රැගත් බසින් පිරිපුන්, හෘදයංගම, අව්‍යාජ සාහිත්‍ය රීතියකි. ගරු අරුතින් සපිරි එකී ගැමි වදන් කෙලෙසුණේ එහි නිශ්චිත අරුත නොවිමසා නාගරික විදග්ධයන් වහරන්ට වූ හෙයිනි. “හෙලේ නඟින් ඩෝං පුතා” යනු එබඳු විකෘති වූ වහරකි.
වන්දනා කවියේ මුදුන් මල් කළඹක් සේ ගිණිය හැකි, පද්‍ය එකසිය තිහකින් යුතු ‘පුරාණ තුන්සරණ’ කාව්‍යයත්, පද්‍ය එකසිය විසි හයකින් යුතු ‘පුරාණ හිමගත වර්ණනාව’ කාව්‍යයත් ගැමි කවියන් විසින් පබඳින ලද ඉතා උසස් නිර්මාණද්වයක් වන අතර වසර තුන් හාරසියයක පමණ ඈත යුගයේ සිට සිරිපා වන්දනාවේ යන වන්දනාකරුවන් ගායනා කළ කවි ඒ කාව්‍ය සංග්‍රහයන්හි ඇතුළත්ව තිබේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පද්මයේ පිහිටා ඇති සිරිලකුණු වර්ණනා කිරීම සඳහා පුරාණ හිමගත වර්ණනාව ලියූ කවියා පද්‍ය විසි දෙකක් යොදාගෙන ඇති අතර ඒ එක් එක් පද්‍යයක සිරි ලකුණු තුන බැගින් වර්ණනාවට හසු කොට තිබේ. එහි පළමු පද්‍යයත්, අවසාන පද්‍යයත් මෙසේ වෙයි:
ස්වස්තික දෙක පිහිටපු සිරිපතුලේ
සිරිවස දෙක පිහිටපු සිරි පතුලේ
නදවට දෙක පිහිටපු සිරි පතුලේ
අපි යමු වඳින්ට ඒ සිරි පතුලේ
චක්‍රාවාට දෙක පිහිටපු පතුලේ
ෂඩ්විධ ලෝදෙක පිහිටපු පතුලේ
ෂෝඩෂ ලෝ දෙක පිහිටපු පතුලේ
අපි යමු වඳිනට ඒ සිරි පතුලේ
සිරිපා වඳින්ට යන නඩයේ සිටින සෑම දෙනාම ඒකාත්මික හැඟුමෙන් යුතුව සංවරව හැසිරිය යුතු බව මේ වන්දනා කවිවලින් පෙන්වා දෙයි.
නඩේ මෙ යන හැම දෙන අහපල්ලා
නඩේ ටිකින් ටික පසු නොබසිල්ලා
තරහ තිබුණ මුත් දුරු කරපල්ලා
ගුරුන් කියන හැම දේ අහපල්ලා
ගැමි කවියේ ව්‍යංග්‍යාර්ථ මතුවන්නේ නිතැතිනි. වියත් කවියන් මෙන් සිතා මතා සිය පරිකල්පනය මෙහෙයවා ධ්වනිතාර්ථ, ව්‍යංග්‍යාර්ථ තම ක්ෂණික නිර්මාණවලට පිවිසවීමට තරම් කුසලතා ගැමි කවියන්ට නොමැත. එහෙත් ජීවිත පරිඥානයෙන් ලබාගත් සහජ පරිකල්පන ශක්තියක් ඔවුන්ට තිබුණි. බුදුරජාණන් වහන්සේ වැඩම කිරීමෙන් පසු ගලක් මෙන් දැඩිව තිබුණ ශිෂ්ටාචාරයක් මුදු මොළොක් වීමත්, ගිරි හිසින් මතුවුණ සිව් මහා ගංගා දහම් සිසිල ගෙන දෙමින් ලක් පොළෝතලය තෙමා ගලා ගිය ආකාරයත් ගැමි කවියාගේ කවි සංකල්පනාවට බඳුන් වූ අසිරිය කොතරම් අපූරු ද?
එතැනින් ජලකඳ හතරක් නැඟිලා සිව් දිග ගංගා ගියා වගේ
බොහෝ ජනයා දුරු කතර ගෙවාගෙන දුෂ්කර මංමාවත් ඔස්සේ පා ගමනින් සිරිපා වන්දනාවේ යද්දී තව පිරිසක් ඔරුපාරු හා අඟුල්වල නැඟී ගංගාවන් ඔස්සේ වන්දනාවේ ගිය අයුරු ඇතැම් ජන කවියක දැක්වෙයි.
ගං බැස අඟුල පැද යමි ගෙත්තම්පාන
පිං මදි අයට සීමා පවුරකි එතැන
ඉන් නැඟ ගිය කලට මළුවට සෝපාන
වම් සිරිපතුල තැබුවා සමනොළ මුදුන
උතුම් සිරිපා ලකුණ හෙබි සමනොළ ගිරිහිස පිළිබඳ බැතිබර හැඟුමන් පිරුණ ගැමි කවියාගේ හද බුදු පුදට සැදුණ පුදසුනක් වූ අයුරු අසිරිමත් ය. ශ්‍රද්ධාවෙන් වියුක්ත වූ අයට ගෙත්තම්පානෙන් එහාට පිය නැඟිය නොහැකි ය.
සැදැහැ හැඟුමෙන් පිරුණ හද ඇති වන්දනාකරුවාට මහගිරිදඹය ද සෝපාන හිනි පෙළක් වැන්න. ගැමි වහරේ සරු අරුත් හා දැවටුණ මෙවදන් නඟන ධ්වනිතාර්ථ හෙළ වහරේ මහරු බව පළ කරන්නකි.
ගමන් බැස පිටත් වී අඟුල පැදගෙන
සමන් දෙවියන්ට පුද පඬුරු බැඳගෙන
මෙවන් කළු ගඟේ කණු මුල් බලාගෙන
ඉතින් යමුව සැම දෙවියන්ට වැඳගෙන
අඟුල්වල නැඟී ගංගා තරණය කරමින් සිරිපා වන්දනාවේ යාම ලෙහෙසි පහසු ගමනක් නොවේ. ගල් මුල්වල නොහැපී සීරුවෙන් යුතුව උඩුගං බලා අඟුල් පැදගෙන යාත්‍රා කරන්නේ සිත තුළ නැඟි සද්ධා මහිමය නිසා ම ය. සමනල අඩවියට රැකවරණ සලසන සමන් දෙවියන්ගේ කරුණාව වන්දනාකරුවන්ගේ ගමනට ඉමහත් දිරියකි.
සමන්ත කූටෙට බැල්ම හෙළන්නේ
දිවා ගුහාවට මුරේ තියන්නේ
සිරිපා පද්මේ නිතර වඳින්නේ
සමන් දෙවියො මල් යහනේ වඩින්නේ
ඈත යුගයේ සිට ම වෙහෙස දරාගෙන සිරිපා වන්දනාවේ ගිය සැදැහැවතුන්ගේ සිතට මහත් අස්වැසිල්ලක් හා ප්‍රබෝධයක් දැනුණේ කවි ගායනයෙනි. දැනට දක්නා ලැබෙන සෑම වන්දනා කවියකට ම පසුබිම් වී ඇත්තේ මින් වසර සිය ගණනකට පෙර අප දිවයිනේ පැවති පරිසරය යි. දුෂ්කර මං පෙත් ගෙවාගෙන පා ගමනින් ගිය ඔවුන් ගැයූ කවියේ දෝංකාරය අදත් සමනොළ ගිරි හිසින් නැඟී දසත පැතිර යන්නේ ජන හදවත් නිවා සනසාලමිනි.
සටහන – දයාපාල ජයනෙත්ති.
Recent Comments